කාර්යාලයේදී ඔබව හිංසනයට ලක් කරන අය මෙල්ල කරන ටිප්ස් 5 ක්

Nov 18, 2019

නර්මදා අලුත් රැකියාව හොයා ගත්තේ ගොඩක් අමාරුවෙන්. ඇගේ මුලු අනාගතයම ඒ රැකියාව මත රැඳිලා තිබුණා. ඒ සමගම ගොඩක් හොඳ එකක්. ඒ වගේම වැටුප හොඳයි. මෙතන අත්දැකීම් සහ පළපුරුද්ද එක්ක තව වසර තුනක් රැඳුනොත් තමන් ජීවිතේ දිනන බව ඇය දන සිටියා. ඇය ගොඩක් දක්ෂ, සුහද , අහිංසක කෙනෙක්. පාඩුවේ තමන්ගේ වැඩ කොටස කරගෙන හැමෝගෙම හිත දිනාගෙන හිටියා.

Continue Reading Below

මේ කාර්යාලයේ සිටි අමෝදී අවිවාහක කාන්තාවක්. ඇගේ බලය ගොඩක් වැඩියි. තනතුරෙන් වගේම ඇය අනියම් සම්බන්ධයක් පවත්වන විවාහක ප්රධානියා නිසා ඇගේ බලය වැඩි වුනා. අමෝදිට නර්මදා කියන්නේ ඇහේ අනින කට්ටක් වගේ. ඒ නිසා අගේ සහචර පිරිස එක්ක වැඩේට බැස්සා. අමෝදිට ඕනේ වුනේ නර්මදා හැකි ඉක්මනින් මෙයින් එලවා දැමීමයි. නමුත් අමාරුවෙන් ගත්තු අධ්යාපනය, මේ ආයතනයේ තිබෙන වටිනාකම වගේම දෙමාපියන්ගේ දුගී බව නිසා නර්මදාට මේ රැකියාවෙන් දැන්ම ඉවත් වෙලා යන්න හැකියාවක් තිබ්බේ නැහැ.

අමෝදී ඉඩ ලැබෙන හැම විටම නර්මදා කොන් කළා. ඇයට අපහාස කළා. සමච්චල් කළා. නර්මදා එක්ක කතා නොකරන්න හැමෝටම බල කළා. මේ පීඩනය නිසා නර්මදා ගොඩක් මානසිකව වැටුනා. අම්මට කීවා මේ ප්රශ්නය ගැන. ගෙදර අයගේ අදහස වුනෙත් කොහොම හරි කාගෙන ඉන්න කියලයි. දවසක් නර්මදාගේ මුර්ත දේහය හමු වුනේ කෝච්චි පාරකින්.

මේ අවාසනාවන්ත සිදුවීම සිදුවීමට මුල් වුන අමොදී අදත් යහතින් ඉන්නවා. ඉන් පසුත් ඇය බොහෝ දෙනෙක් පීඩනයට ලක් කළා. මේ ඇයගේ එක ගොදුරක් විතරයි. තව අය ආයතනය දමා ගියා. සමහරු මානසික අවපීඩනයට අදටත් බෙහෙත් බොනවා. මේ වගේ අවාසනාවත සිදුවීම් නොවෙන්න නම් අපි ඉගෙන ගමු කොහොමද මේ කෙනෙහිලි කරන්නන් නැත්නම් Bullies ලාව මෙල්ල කරන්නේ කියල. ඒකට පළමුව ඔවුන්ව හොඳට තේරුම් ගන්න ඕනේ.

01) පළමුව තේරුම් ගන්න ඔවුන් මානසික ශක්තිය ගොඩක් අඩු දුබල මිනිස්සු.

සාමාන්යයෙන් මිනිස්සු කියන්නේ සහකම්පනයක් ඇති කාරුණික පිරිසක්. නමුත් ඇතැම් මිනිස්සු අනුන්ව විනාසය, වේදනාව කරා ගෙනයාම ජීවිතේ කරගෙන ඉන්නවා. එයට හේතු වෙන්නේ ඔවුන්ගේම චරිත වල සහ ජීවිතයේ පවතින අඩුලුහුඩුකම්. ළමා කාලයේ මිනිසුන් ලබන තාඩන පීඩන, ඔවුන්ගේ පෞර්ෂ දුබලකම් වගේ දේවල් නිසා ඔවුන් අනුන්ට ගිනි ගෙඩි දීමෙන් විනෝද වෙනවා. එතකොට ඔවුන්ට තමන්ගේ ජීවිතේ වේදනාව ටිකකට හෝ අමතක කළ හැකියි.

මේ මිනිස්සු ඔබව හිංසනයට ලක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ විඳවනවා දැකල සතුටු වෙන එකයි. ඒ නිසා කොයිම වෙලාවක වට ඔවුන්ට පේන්න දුක් වෙන්න එපා. ඔබ පසුපසට වුනා, බය වුනා, දුක් වෙනවා කියල පෙන්නුවොත් ඔවුන්ගේ හැසිරීම වැඩි වෙනවා.

බොහොම කෙලින් වැඩ කරන්න. අවශ්ය දෙයක් විතරක් එක එල්ලේ මුහුණ කෙලින් බලල කතා කරන්න. වුර්තීය කටයුත්තක් හැර කිසිවක් ඔවුන් එක්ක කතා කරන්න එපා. සුහද වෙන්න යන්න එපා. ඔවුන්ට පෙන්වන්න ඕනේ ඔබ බය නැති බව සහ තද බව. එතකොට මොවුන් සහජයෙන්ම බය ගුල්ලෝ නිසා ඔබෙන් ඉවත් වෙලා වෙන පහසු , දුබල ගොදුරක් කරා යනවා.

02) ඔබගේ ප්රධානියා දැනුමත් කරන්න.

ඔබේ රාජකාරියට බාධා කරමින් කටයුතු කරනවා නම් මොවුන් ගැන ඔබගේ ප්රධානියාට දැනුම් දෙන්න. ඔබගේ වැඩ අවුල් කරන්නට ඉඩ නොදෙන්න. කල්පනාවෙන් සීරුවෙන් වැඩ කටයුතු හැම විටම E. Mail දාල කරන්න. හැම වැඩකටම සාක්කි තියා ගන්න. නැතහොත් ඔවුන් ප්රධානියා ඉදිරියේ ඔබේ වැඩ වල දුබලකම් රහසේ පෙන්වාවි.

03) Recording Devices පාවිච්චි කරන්න.

ඔවුන් ඔබට හිංසා කරනවා නම් දිගින් දිගටම හෙමින් සාක්කි එකතු කර ගන්න. ඔවුන් සමාජ මාධ්ය වල ඔබට අපහාස කරනවා නම් screen shots එකතු කරන්න. ඒ වගේම ෆෝන් එකට Recording app දමාගන්න. දැන් තාක්ෂනය දියුණු කාලයක් නිසා එය පහසුවෙන් කළ හැකියි. මෙම සාක්කි සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට පෙන්වීමට එකතු කරන්න. මේ වගේ දෙයක් ඔබ ළඟ තිබෙනවා නම් ඔවුන් ජීවිත කාලෙම මුල්ලට කර තබන්නට ඔබට හැකි වේවි.

04) ඔබේ හිත කෙලින් තබා ගන්න.

හැම වෙලේම හිතන්න වැඩ කරන තැනට එහා ජීවිතයක් ඔබට ඇති බව. මේ තත්වය තාවකාලික බව හිතන්න. කොයිම වෙලාවක වත් ඔබට අනුකම්පා කරන්න, පරාජිතයෙක් වෙන්න එපා. ඒ වෙනුවට හැකි හැම විටම ඔවුන් කරන දේවල් වලට ඔවුන්ව විහිලුවට ගන්න. ගණන් නොගෙන ඉන්න.

05) හොඳ සම්බන්ධකම් ඇතිකර ගන්න.

ඔවුන්ගේ තර්ජන වලට බයෙන් මුළු ගැන්විලා ඉන්නේ නැතුව මිතුරන් ඇති කර ගන්න. ඔබේ බලය තර කර ගන්න. ඔබේ ඉගෙනීම වැඩි දියුණු කරගන්න. ආයතනයේ හොඳ නම හදා ගන්න. ඔබේ දියුණුව දකිද්දී ඔවුන් හැමදාම එකතැන බව ඔබට පෙනේවි.

Share Now

Related Article