පීරියඩ්ස් දවසට නාන එකෙන් වඳ භාවය ඇති වුන තරුණියක ගේ අනුවේදනීය කතාව

Nov 4, 2019

මේඛලා සහ දුශාන්ත විවාහ වෙලා අදට වසර 5 ක්. ඒත් ඒ කැදැල්ලට දරු හුරතලයක් බලන වාසනාව ලැබුණේ නැහැ. ඉතින් මේ ගැන වරදකාරයා වුන මෙඛලාට ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඇනුම්පදයක් කියන්න හැමෝම මැලි වුනේ නැහැ.

Continue Reading Below

“දැන් කාලේ හැදෙන කෙල්ලෝ අපි කියන දේ අහන්නේ නැහැනේ . පීරියඩ්ස් හැදුනහම ඉවර වෙනකම් නාන්න හොඳ නැහැ. කොහෙද මෙයාල පලවෙනි දවසේ ඉඳලම නානවා.” කියල ඇගේ නැන්දම්මා නිතර කියනවා.

“ඔය වෙන මුකුත් නෙවේ රුබෙල්ලා වලට ගහන ඉන්ජෙක්ෂන් එක නිසානේ ඔහොම වුනේ. ඕවා මේ දැන් කරන බොරු විකාරනේ.“ එහෙම කීවේ පහල ගෙදර ගුණසීලි ආච්චි.

“ ඔය වෙන මුකුත් නෙවේ . දැන් ඔය අඳින පෑඩ් වල තියන පුළුන් නිසයි ඔහොම වෙන්නේ. ඉස්සර අපේ අම්මලා ඇන්දේ රෙදි. ලේසියට ඕවා අඳින නිසයි ඔහොම වෙන්නේ.” මෙහෙම කීවේ ඇගේ සැමියා දුශාන්තයි.

“කිල්ල පිටින් දැන් පෝශනේ කිය කියා මස්, මාළු, බිත්තර කනවා. ලෙඩේ හැදෙන දවස් ටිකේ කන්න ඕනේ පිරිසින්දුව. මස්, මාළු කන්න හොඳ නැහැ. ඒ නිසානේ ළමයි නොලැබෙන්නේ.“ ඔෆිස් එකේ ගුණවතී මිස් කිවුවා.

ස්ත්‍රී වඳ භාවයට ඇත්තම හේතු මොනවද ?

මේ සේරම කතා අහල ඔලුව කුරුවල් වුන මේඛලා අවසානයේ වෛද්‍ය වරයෙක් වෙත යොමු වෙනවා. ඇය පරීක්ෂා කරන නාරි හා ප්‍රසව වේදියාගේ මතය වෙන්නේ ඇයට තිබෙන PCOS නැත්නම් Polycystic Ovary Syndrome කියන හෝර්මෝන අසමතුලිත බව නිසා ඩිම්බ මෝචනය නොවීම මේ මද සරු භාවයට හේතු වුනා කියලයි. මේ රෝගයට නිසි ලෙස ප්‍රතිකාර කරලා මස 4 ක් වගේ කාලයක් තුල සාර්ථකව මේඛලා ගැබ් ගත්තා. කියන්න සතුටුයි ඔවුන් දෙදෙනා අද ලස්සන පුතුන් දෙදෙනක් ගේ මාපියෝ. ඔවුන් බෙහෙත් නොගෙන ඉහත මිත්‍යා විස්වාස කරගෙන හිටියා නම් මේ වෙද්දීත් ඒ වාසනාව ඔවුන්ට නැහැ.

කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග ගැන මෙතරම් දියුණු යුගයක වුනත් මිත්‍යා කතා සහ ආකල්ප අතින් අපේ ලංකාවේ සමාජය ඉන්නේ ගොඩක් පහල අඩියක.

කාන්තාවන්ගේ මද සරු භාවයට හේතු මොනවද ?

01) ඩිම්බ නිකුත් කිරීමේ ගැටළු

ඩිම්බ නිකුත් කිරීම නිසි ලෙස සිදු නොවීමට හේතු ලෙස ,හෝර්මෝන අසමතුලිත වීම, ගර්භාෂයේ හෝ ප්‍රජනන පද්ධතියේ හටගන්නා ගෙඩි ( Tumor or cyst), තෛරොයිඩ් ග්‍රන්ථියේ අසමතුලිතතා, අධික තරබාරුව, මානසික පීඩනය යන සාධක බලපායි.

02) පැලෝපීය නාලය හෝ ගර්භාශයේ අබාධ

මෙයට හේතු ලෙස ශ්‍රෝණියේ ආසාධන (Pelvic inflammatory disease), ගර්භාෂයේ හටගන්නා ගෙඩි වැනි තත්වයන් , Endometriosis රෝගතත්වය , Scar tissue or adhesions වැනි තත්වයන් , පෙර හටගත් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම්( ectopic pregnancy ) හෝ උපතින් එන ආබාධ වැනි තත්වයන් හේතු වේ.

03) ගැබ් ගෙල හටගන්නා ගැටළු

04) වයස වැඩි කාන්තාවන් අතර ස්වාභාවිකවම සාපල්‍යතාවය හීන වීම.

මේ තත්වයන් ඇතිවීමට හේතු මොනවාද ?

මෙම ඉහතින් දක්වන ලද රෝග තත්වයන්ට නිශ්චිත හේතුවක් නොමැති අතර ශාරීරික සහ ජානමය බලපෑම් මත හෝ පාරිසරික බලපෑම් මත මෙම රෝග තත්ව ඇති විය හැක. නොපමාව වෛද්‍ය ප්‍රතිකාර කිරීම් මගින් මද සරු භාවයට සාර්ථකව ප්‍රතිකාර කළ හැක.

මිත්‍යාමත තමයි සමාජයට ලොකුම හතුරා

රෝග තත්වයන්ට නිසි ලෙස බෙහෙත් නොකර මිත්‍යා විශ්වාස වල එල්බ සිටීමෙන් කාලය ගත වීම නිසා දරුවෙක් ලැබෙන හීනය අඳුරුම වෙලා යන එක හැර වෙනත් කිසිවක් වෙන්නේ නැහැ. මේ සම්බන්ධව අදහස් දක්වන ලෝක සෞක්‍ය සංවිධානය පවසන්නේ ආසියාතික රටවල පවතින මිත්‍යා විශ්වාස නිසා සත්‍ය වශයෙන්ම ඇතැම් කාන්තාවන් වඳ භාවයට පත් වන බවයි.

පීරියඩ්ස් නැත්නම් ආර්තවය පවතින කාලයට මුළු ශරීරයම ඉතාම පිරිසිදුව තබා ගන්න ඕනේ. අපේ රටේ වුනත් ඇතැම් ග්‍රාමීය පළාත් වල තවමත් මේ කාලයේදී ස්නානය තහනම් වෙනවා. අතීතයේ මේ වගේ මතයක් හැදුනේ ගංගා , ළිං වගේ පොදු ස්ථාන වල නාද්දී එයින් ඒ ජලාශ අපිරිසිඳු වෙනවා කියන හේතුව මතයි. නමුත් ගෙදරම ස්නානය කිරීමේ පහසුකම් තිබෙන අද වගේ කාලයක නාල හොඳින් පිරිසිදුව ඉන්න ඕනේ. එහෙම නොසිටීම නොයෙක් බැක්ටීරියා, දිලීර රුධිරය එක්ක හැදිලා විෂබීජ ප්‍රජනන පද්ධතියට යාම තුලින් ශ්‍රෝණියේ ආසාධන ඇති විය හැකියි. එපමනක් නොවේ මෙම විෂබීජ මුත්‍රාශයට යාමෙන් රෝග රැසකට මුහුණ දෙන්න පුළුවන් බව තමයි වෛද්‍ය මතය. එම නිසා මේ දවස් වලදී මිත්‍යා කතා පැත්තක තියල ඔබේ පිරිසිඳුකම රැකගන්න වෙහෙසෙන්න ඕනේ.

ඉස්සර කාලේ කාන්තාවන් මේ කාලයේදී රෙදි භාවිතා කළා. මෙම රෙදි නිසි ලෙස හෝදා ඉර එළියේ හොඳින් වේලන්න ඕනේ. කාලයේ දියුණුව එක්ක සනීපාරක්ෂක තුවා අපට ලොකු ශක්තියක් ගෙනාවා. පහසුවක් වගේම වැඩි සනීපාරක්ෂාවක් අපිට ලබා දුන්නා. ඇතැම් පිරිස් හුවාදක්වනවා සනීපාරක්ෂක තුවා නිසා වඳ භාවය ඇති වෙනවා ඒ නිසා අතීතයේ වගේ රෙදි භාවිතාවට හුරු වෙන්න කියල. මේක සහමුලින්ම මිත්‍යාවක් බව ලෝක සෞක්‍ය සංවිධානය බැහැර කරවනවා. සනීපාරක්ෂක තුවායක් මගින් කොයිම ආකාරයකට වත් වඳ භාවය ඇති කිරීමට හේතු වන්නේ නැහැ. ඒ වෙනුවට ශෝනියේ අසාධන අවම කිරීම මගින් කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ නිරෝගී බව තහවුරු කරවනවා. තත්වයෙන් උසස් නියම ප්‍රමිතියට දේශීයව නිපදවන තුවා ශ්‍රී ලංකාවේ තිබෙනවා.

සාපල්‍ය වයසේ කාන්තාවක් ශරීරයෙන් රුධිරය පිට වෙන මේ කාල වකවානුවේදී අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් සහ යකඩ බහුල ආහාර වේලක් ගන්න ඕනේ. මස්, මාළු , බිත්තර , කරවල වගේ දේවල් වලින් ඉවත් වෙනවා කියන්නේ රුධිර සෛල ඇතිකරවීමට හේතුවන අත්‍යවශ්‍ය පෝෂක කොටස් ලබාගැනීමට සිරුරට නොහැකි වෙනවා. නිරක්තිය ලංකාවේ කාන්තාවන් අතර බහුල තත්වයක්. මෙය ඩිම්බ නිකුත් වීමේ ගැටළු ඇති කරවලා මද සරු භාවයට විතරක් නෙවේ උපදින දරුවන්ගේ ජනන අබාධ වලටත් හේතු වෙනවා.

රුබෙල්ලා සහ HPV එන්නත් අලුතින්ම ලංකාවේ එන්නත් ක්‍රම වලට හඳුන්වා දුන් ගැහැණු දරුවන් වෙනුවෙන් නොමිලේ රජය මගින් ලබාදෙන ඉතාම වටිනා එන්නත් දෙකක්. ජර්මන් සරම්ප රෝගය සහ ගැබ්ගෙල පිළිකා වෙනුවෙන් ලබාදෙන මේ එන්නත් දියණිවරුන්ට ලබාදීම අත්‍යවශ්‍යයි. අවාසනාවට මේ රටේ සිටින ඇතැම් උදවිය මෙම එන්නත් දෙක ලබා නොදීමට බල කරමින් විවිධ අසත්‍ය කට කතා පතුරනවා. ඔවුන්ගේ කතා වල මිත්‍යා ඉවත දමා නිසි කල ගැහැණු දරුවන්ට එන්නත් දෙක ලබා දීමෙන් ඔවුන්ගේ ප්‍රජනන සෞඛ්‍ය වගේම අනාගතේ උපදින දරුවන්ගේ ආරක්ෂාවත් තහවුරු වෙනවා.

අවසාන වශයෙන් අප දියුණු ලෝකයක ජීවත් වන මිනිසුන් වශයෙන් මෙවැනි මිත්‍යා විශ්වාස බැහැර කර වෛද්‍ය උපදෙස් වලට අනුව ප්‍රජනන සෞක්‍ය සහ සනීපාරක්ෂක පුරුදු වගා දිගා කර ගන්න උත්සහ දරමු.

Share Now

Related Article