ජීවිතේ සැප විඳින ගැහැණියකගේ කතාව

Nov 22, 2019

මට වසුන්දරා හම්බ වෙද්දී මගේ වයස 19ක් . එයා හම්බ වුනේ මම ඉගෙන ගන්න ගියපු උසස් අධ්යාපන ආයතනයෙදියි. ඒ කාලේ ඉතින් දන්නේ නැද්ද අපි හැමෝම ජීවිතේ බරක් පතලක් නොදන්නා වයසේ හිටියේ. වසුන්දරා හරි හොඳ යාලුවෙක්. ඉගෙන ගන්නත් ගොඩක් දක්ෂයි.

Continue Reading Below

පන්තියේ ඉන්ටවල් එකේදී අපි හැමෝම ලගම තිබ්බ සුපිරි ආපන ශාලාවකට ගිහින් කඩචෝරු කනවා. වසුන්දරා ඒ වෙලාවට අපි එක්ක එකතු වුනේ නැහැ. එයා ගෙදරින් ගෙනාව බත් මුල ලෙහාගෙන පන්තියේ බංකුවක වාඩි වෙලා කෑවා. ගෙදරින් ගෙනාව වතුර එක බීවා.

“ පවු. එයාල අමාරුවෙන් ඉන්නේ”

අපි හැමෝම කතා වුණා. මේ නිසා වසුන්දරාට යාළුවො නොහිටියෙත් නැහැ. මොකද ඇගෙන් ගොඩ දෙනෙක් නෝට් ගත්තා. පාඩම් අහගත්තා. වසුන්දරාගේ අම්ම රජයේ කාර් පාර්ක් වල ටිකට් කඩනවා. තාත්තා පොඩි කාලේ මැරිලා. නංගිටයි, වසුන්දරාටයි උගන්වන්න අම්ම ගොඩක් මහන්සි වුණා

ටික දවසකින් වසුන්දරා කඩේක පොඩි අලෙවි කරන රස්සාවක් හොයා ගත්තා. මටත් ඒකට එන්න කීවට අපේ අම්ම මට හොඳටම බැන්නා. වසුන්දරාටත් බැන්නා.

“ මොන නව නිග්රහයක්ද ? කවුරු හරි දැක්කොත් ලැජ්ජාවේ බැහැ. “ මෙහෙම කීවට ඉතින් අපේ පවුලත් මහා ලොකු සල්ලි කාරයෝ නෙවේ. හැබැයි අපි හොඳට විය හියදම් කරලා හිටියේ. මේ ගැන වසුන්දරාට කීවහම එයා කීවේ…

“ කුමුදු අපි අත් දෙක උස්සලා හොරකමක් කරන්න, වංචාවක් කරන්න ලජ්ජා වෙන්න ඕනේ . මහන්සි වෙලා හම්බ කරන්න ආඩම්බර වෙන්න ඕනේ “ කියලයි.

මට ඒ ගැන වැඩිදුර හිතන්න ඕනේ වුනේ නැහැ. කඩේ වැඩට අමතරව ඉගෙන ගන්න එකට උදවුවක් වෙන්න වසුන්දරා අම්ම එක්ක එකතු වෙලා උදේට හදන කඩයප්පන් , වඩේ වගේ දේවල් කඩවල් වලට දාගෙන තමයි වැඩට ගියේ. සති අන්තයේ ඇය පන්ති ආවා.

අවුරුදු 3 කින් අපි හැමෝම උපාධිය ගත්තා. වසුන්දරා ජොබ් එකක් හොයාගෙන තිබ්බා. ඒ තමයි වෛද්ය වරු හම්බ වෙලා බෙහෙත් වර්ග විකුණන රස්සාවක්. බොහොම අඩු වැටුපකට ගියේ. අපේ අම්මලා හෙවුවේ මට ලේසි ජොබ් එකක්. ඔය පාරවල් ගානේ ගිහින් බස් වල දුක් විඳින්න ඇත්තටම මට බැහැනේ.

ඊට පස්සේ අපි දෙන්න අතරේ ලොකු ගනුදෙනුවක් නැති වුණා. වසුන්දරා මම හිතන්නේ රාජකාරිය එක්ක බිසී වුණා. මම මගේ පෙම්වතා කමේෂ් එක්ක විවාහ වෙන්න හිටියේ . ඒ අතරේ මම පරිඝනක ඇසුරින් කරන රැකියාවක් හොයා ගත්තා. අම්මලත් ගොඩක් ආඩම්බර වුනා මා ගැන.

කමේෂ් සහ මම බඳිනවා කියන එක ඉතින් ලොකු ආරංචියක් වුනා. එකම ගැහැණු ළමය නිසා ලොකුවටම කරන්න අම්මිට ඕනේ වුණේ. ඉතින් අපි ආච්චි දීල තිබ්බ ඉඩමක් විකුනලා වෙඩින් එක ගත්තා. බෙර කාරයෝ , මල් සැරසිලි, ලොකුම හෝටලයක්, ලස්සනම ලස්සන උසස්ම ගනයේ අරාධනා පත්ර, Thank you cards… ෆොටෝ ගහන්න ගෙන්නුවේ ලංකාවේ හොඳම ශිල්පියා. මගේ යාළුවන්ට හිටියේ දෙවෙනි මනමාලියෝ 4 ක් නිසා මම 6 ක් ගත්තා. ඇත්තටම ලස්සනම වෙඩින් එක තිබුනේ මටයි. කොහෙද වැඩකට රට යනවා කියල වසුන්දරාට එන්න බැරි වුණා. ආවේ නැති එකත් හොඳයි ඉතින් එයාට දුක හිතෙන්න පුළුවන්. අනික අඳින්න ඇඳුම් එහෙම ගන්න එයාලට ලොකු වත්කමක් නැහැනේ.

අපි හනිමූන් යන්නේ පුකට් වලට කියන එක හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. අරුනිලා ශිම්ලා ගියේ. ඉන්දියාවට යන එක මහ දෙයක්ද ඉතින්? මගේ ආසාව නිසා කමේෂ් බැංකුවෙන් Personal loan එකක් ගත්තා. ඇයි දෙයියනේ ජීවිත කාලෙටම මිනිස්සු යන්නේ එකම හනිමූන් එකයිනේ. ඒවාට ලෝස් වෙලා බැහැ. රත්තරන් බඩු වලට වියදම් කළේ ත්ත්තාගේ ETF සල්ලි . මුලින් අදිමදි කළත් තාත්තට ඉතින් සල්ලි මොකටද කියල? මම තදින් ඇහුවහම තත්තා කැමති වුණා.

බැඳලා කමේෂ් සහ මම එක වහලක් යටට ආවා. වාහනේ ලීස් එකයි , ලෝන් එකයි ගෙවන නිසා අපිට ටිකක් අමාරු වුණා. අම්මලාගෙන් ඉල්ලන්නත් බැහැ. එයාලත් ආර්ථික මට්ටම හොඳ තත්වෙක නෙවේ හිටියේ. වෙන දෙමවුපියෝ නම් කොයි තරම් දේවල් කරනවද? මෙයාල අපි බැන්දට පස්සේ සද්ද නැතුව ඉන්නවා ඉතින්. එයාලගේ වැඩේ ඉවරයි වගේ. කොහොම හරි පොඩ්ඩෝ දෙන්නෙක් ලැබුණා. මම වැඩට යන නිසා අම්මයි තාත්තයි මෙහෙ ආවා. අයියගේ වයිෆ් නපුරු නිසා මහගෙදර ඉන්නත් අමාරු වුණා. හය දෙනෙක් කාල ඉන්න එකත් අද කාලේ කොයි තරම් නම් වියදමක්ද ?

කොහොම හරි ජීවිතේ අමාරුවෙන් තමා ගියේ. මට හරි තරහයි. මොකද මම සල්ලි තියන කෙනෙක්ව බැන්දේ නැහැ. අපරාදේ..එහෙම මොලයක් තිබ්බා නම් ඒ කාලෙම අද මේ දුක විඳින්න නැහැනේ. මම කමේෂ් එක්කත් නිතරම හිතේ පීඩනේ නිසා දබර කරනවා. කමේෂ් ඔෆිස් එකට වෙලා OT කිය කියා රෑ වෙනකම් එතන පැල වෙද්දී තවත් අවුල්. මොනාහරි කීවොත් කියනවා “ සල්ලිත් ඕනේ..වැඩ කරන්න දෙන්නෙත් නැහැ “ කියල.

මෙහෙම ඉද්දි දවසක් මම අහම්බෙන් වගේ ළමයිගේ ඉස්කෝලෙට ඕනේ වුන ඇඳුමක් හොයන්න ෂොපින් ගියා. අන්තිමට දැන ගත්තා තරමක් ලොකු කඩයක ඒවා තියනවා කියල. මාලේ උගස් කරලා ඒක ගන්න ඕනේ කියල හිතලා මම ගියා ගාන බලන්න. නැත්නම් දරුවොත් අනික් ළමයි අතරේ සවුත්තු වෙනවනේ. මම ඒ ඇඳුම් තෝරමින් ඉද්දි ගැහැණු කෙනෙක් මගේ උරහිසට අත තියල කතා කළා.

“ මේ කුමුදු නේද ?”

“ වසුන්දරා..මතකද ? BSC ක්ලාස් එකේ. ?”

“මොකද නැත්තේ ?” මම හිනා වුනේ පුදුමයෙන් . වසුන්දරා කොහොමද මේ වගේ ලස්සන වෙලා. ලස්සන වටිනා ඇඳුමක් ඇඳගෙන. ඉස්සර අර මොකක් හරි දවටගෙන බස් එකේ ආව ළමයා. මට මතකයට ආවා. හරි පුදුමයි නේද? ෂුවර් එකටම මොකක් හරි වැඩකට සෙට් වෙලා ඇති. එක්කෝ හොඳ සල්ලි කඳක් කරගහ ගන්න ඇති. මගේ හිතේ නැගුනේ එහෙම සිතුවිලි.

වසුන්දරා කතා කරන්න කියල මාව ලගම තිබ්බ සුපිරි අවහලට එක්ක ගියා. ඒවා මේ අපිට යන්න පුළුවන් ජාතියේ ඒවා නෙවෙයි. ඒත් මම වෙනසක් පෙන්නුවේ නැහැ. මේ එදා බත් මුල ලෙහාගෙන බැංකුවක ඉඳගෙන කෑව වසුන්දරා.

අවන්හලේදී ඇය මට කතාව කීවා. එදා ඉඳල අවුරුදු 15 ක් ගිහින් නේද කියල මතක් වෙද්දීත් පුදුමයි . කොච්චර දේවල් නම් වෙනස් වෙලාද?

වසුන්දරා කතාව පටන් ගත්තා…

කුමුදු ඒ කාලේ ඔයා දන්නවනේ මම මුලින්ම බෙහෙත් අරගෙන සේල්ස් කළානේ. ඒකෙන් හම්බ වෙන කමිෂන් වලට අතක් තිබ්බේ නැහැ. අත්තිකාරම් මුදලක් හදාගෙන මුලින්ම ඉඩමකට සල්ලි හිර කරා. පඩිය අතට එන්නත් කලින්ම බැංකු ලෝන් එකට කැපුනා. ඒ කාලේ ඉතින් මම පාර්ට් ටයිම් ජොබ්ස් එහෙම කරා. ඔය දන්නේ නැද්ද පොඩි බිස්නස්. හෑන්ඩ් බෑග්, රූපලාවන්ය නිෂ්පාදන වගේ. එහෙදි තමා මට රුවන් හම්බ වුණේ. ( ඒ සල්ලි කාරයා කවුද දැනගන්න මම පුල පුලා බලා සිටියා)

රුවන් හමුදාවට ගිහින් අබාධිත වුන සෙබලෙක්. එයාගේ කකුල තිබ්බට කම්බි දාල තියෙන්නේ. පඩිය ලැබුණා. අනේ ඉතින් අපේ පවුලට හොඳට ගැලපෙනවා. එයත් අපි වගේම දුප්පත් පවුලක කොල්ලෙක්. මම ඉගෙන ගන්න එකට එයා අකුල් හෙළුවේ නැහැ මොකද වැඩිදුර ඉගෙන ගන්න ඕනෙකම තියෙද්දී තමා එයා දුප්පත්කම නිසා හමුදාවට බැඳිලා අබාධිත වෙලා තිබ්බේ. මම ඒ අතරේ MBA එකට ජොයින් වුණා. ඒකට සල්ලි යන නිසා අපිට වෙඩින් එකක් ගන්න බැරි වුණා.

අම්මට නම් හිතට අමාරු වුනාට අපි දෙන්නා අර ඉස්සර ගත්තු ඉඩමේ එක කාමරෙයි කුස්සියයි අටෝගෙන ගියා. අම්මයි නංගියි දෙන්නටත් මම ඒ වෙද්දී සල්ලි දෙනවා. අපේ අම්මට හතිය නිසා ජොබ් එකට යන්න බැරිව හිටියේ. අපේ නංගි කැම්පස් ගියා . පස්සේ කලෙක එහෙම Lecturing වලට සම්බන්ධ වෙලා දැන් PHD එක කරන්න රට. මගේ මහන්සිය වතුරේ ගියේ නැහැ කුමුදු.

පස්සේ අපි දෙන්නා තීරණය කළා ළමයෙක් හදාගන්නේ නැහැ ආර්ථිකේ හදා ගන්නකම් කියල. රුවන් නිකන් ඉන්න එකේ කොටුවට ගිහින් කට් පීස් විකුණන්න ගෙනත් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. ඒකට ගත්තේ මම ටිකෙන් ටික එකතු කරගත්තු සල්ලි වලින් කොටසක්. ටික ටික ඇඳුම් , සෙල්ලම්බඩු වගේ දේවල් ෂොප් එකට එකතු වුණා. ඉඩ මදි වෙද්දී අලුත් තැන් වලට ගියා. මම අධ්යාපනය හදාගත්තු නිසා ජොබ් එකෙන් ඉහළටම ගියා. අවුරුදු 5 කට කලින් අයින් වුණා. දරුවෙක් පරක්කු කළ නිසා වෙන්න ඇති ලැබුනේ නැහැ.

රුසිරු ෆැෂන්ස් එක දන්නවා නේද? ඒ කරපු පොඩි කඩේ අද ඒ තත්වෙට ආවා.

මගේ ඇස් දෙක උඩ ගියා. එහෙනම් දැන් වසුන්දරාලා කෝටිපති. මේ රටේ කවුද රුසිරු එක නොදන්නේ?

රුවන් බිස්නස් එක කරාට මම තමා කළමනාකරණය කරන්නේ මම කලින් වැඩ කරපු අත්දැකීම් නිසා ලේසියි මේ වගේ ලොකු බිස්නස් එකක් බලන්න. මතකද මම මුලින්ම වැඩ කරපු රෙදි කඩේ? එතන වැඩට ගියේ මගේම වාසනාවට. ඒකෙන් තමා මම රෙදි බිස්නස් එක අල්ලාගත්තේ. කොටුවේ කඩ හොයා ගත්තේ.

අවුරුදු දෙකකට කලින් මගේ දුවයි පුතයි මට හම්බ වුනේ කැම්පස් ගිය ගෑනු ළමයෙක්ගෙන්. මොකද්දෝ දෙයක් නිසා ඒ ළමයිට බඳින්න බැරි වෙලා. ඒ මදිවට නිමුන්නු ලැබෙන්න. මම සතුටින් දරුවෝ දෙන්නවම හදාගන්න ගත්තා.

එවර ඇය ෆොටෝ එකක් අරගෙන පෙන්නුවා. ලස්සන හුරු බුහුටි පැටවූ දෙන්නෙක්.

වසුන්දරාගේ ජීවිතේ වාසනාව ගැන අහල මම මගට බැස්සේ හිස් හැගීමකින්. ජීවිතේ හැම දේම දුන්නත් අපේ දෙමාපියෝ අපිට යහපත් විදිහට මුදල් කළමනාකරණය කරන්න කියල දුන්නේ නැහැ. අපි නය වෙලා හරි දරන්න බැරි දේවල් ලෝකෙට පේන්න කරා. ඒ නිසා අද ජීවිතේ කිසිම සතුටක් නැතුව ඉන්නවා.

රස්සාවක් පොඩි ලොකු කියල බේදයක් නැහැ කියල මම අද ඉගෙන ගත්තා. වැරදි වැඩක් නෙවේ නම් වසුන්දරා කීව වගේම පොඩි රස්සාවක් තමයි ලොකු එකකට මග පාදන්නේ. සල්ලි වියදම් කරලා ඉතුරු කරන්න නෙවේ ඉතුරු කරලා වියදම් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතුරු කළ සල්ලි සුදුසු විදිහට ආයෝජනය කරන්න ඕනේ. මේ හැම දේම මම අද ඉගෙන ගත්තා.

ජීවිතේ අලුතින් පටන් ගන්න කවදාවත් පරක්කු නැහැ. වසුන්දරාගේ කතාව මම ලොකු වුනාම මගේ දරුවන්ට කියනවා. මම කියන්නේ මම වගේ හැදෙන්න කියල නෙවේ වසුන්දරා ඇන්ටි වගේ හැදෙන්න කියලයි.

Share Now

Related Article