විස සහිත නැන්දම්මා එක්ක ගනුදෙනු කරන්නේ මෙහෙමයි

Dec 18, 2019

මේ වෙද්දී ලංකාවේ අසතුටින් ඉන්න පවුල් ගොඩක් අධ්යනය කරලා බැලුවොත් ඒ ගැටලුවේ මුල ඉන්න ප්රධාන කාරනාවක් තමයි නැන්දම්මා සාධකය කියල කියන්න පුළුවනි. වාසනාවට ඇතැම් නැන්දම්මලා ඉන්නවා තමන්ගේ අම්මට වඩා අලුතින් එන ලේලියට මහත් සේ ආදරේ කරන. ඉතින් ඔබ මේ වගේ කෙනෙක් නම් හිතන්න ඕනේ ඔබ දුර්ලභ ගනයේ වාසනාවන්තියක් කියල. එහෙම නොවෙන නැන්දම්මා නිසා අසතුටින් ඉන්න ඔබට අපි තීරණය කළා එහෙම කෙනෙක් එක්ක ගනුදෙනු කරන හැටි ගැන කියල දෙන්න.

Continue Reading Below

ඔබේ නැන්දම්මා විස සහිත කෙනෙක් කියල හඳුනාගන්නේ කොහොමද ?

1) ඇය ඔබට කැමති නැත.

විස සහිත නැන්දම්මා මුල සිට ඔබට කැමති නැත. මොකක් හෝ හේතුවක් කියමින් විවාහයට තදින්ම විරුද්ධ වීම බොහෝ විට දක්නට ලැබේ. කෙසේ හෝ විවාහයට කැමති වුනත් විවාහයෙන් පසු ඉඩ ලැබෙන හැම විටම අකැමත්ත ඔබට පෙන්වන ආකාරයට හැසිරේ.
ඔබට පහර දීමට වරදක් නැති නම් ඔබේ පවුලේ කෙනෙක් ගැන හෝ සඳහන් කර ඔබව අපහසුවට ලක් කිරීමට සතුටුය.

2) පවුල එකතු වෙන අවස්ථා වල ඔබව අපහාසයට බඳුන් කිරීමට උත්සහ දරයි.

සැමියාගේ පවුලේ උදවිය එකට එකතු වෙන අවුරුද්ද , විවාහ මගුල් වැනි අවස්ථාවලදී ඔබව කොන් කිරීමට කටයුතු කරයි. ඔවුන්ගේ ඥාතීන් ඉදිරියේ ඔබට දොස් නැගීමට උත්සහ දරයි.

3) ඔබගේ නොහැකියාවන් ගැන නිතරම පුතාට පැමිණිලි කරයි.

හිතන්න ඔබ දරුවෙක් ලබන්න ඉද්දි සැමියා ඔබේ ඇඳුම් සෝදලා දුන්න කියල. නැත්නම් සැමියා ඔබේ ඔෆිස් ඇඳුම් මැදලා දුන්න කියල. මේ දේවල් ඇය දකින්නේ ලොකු වරදක් ලෙසයි.
එතනින් නොනැවතී පුතාට අනුකම්පා කරන ආකාරයට ඔබව එපා කරවන්න කටයුතු කරාවි.

“මම පුතාව හැදුවේ කුමාරයෙක් වගේ. මේ කොහෙද යන ගෑනියක් වැඩ ගන්නවා. අනේ මගේ පුතා මොන දුකක් විඳිනවද ?” වගේ වචන කියල ඔබ දෙදෙනා අතර විරසකයක් හදන්න උත්සහ දරාවි.

4) ඔබේ දරුවන් ඔබ සමග අමනාප කරවන්නට කටයුතු කරයි.

මුණුපුරන් වැඩියෙන් ආදරේ ආත්තම්මට බව පෙන්වන්න උපරිම පියවර ගනීවි. ඔබ දරුවට එපා කියන දේවල් ඇය කරන්න දේවි.
උදාහරණයකට සීනි කෑම ඔබ නොදෙනවා නම් හොරෙන් දේවි. දීල දරුවෝ එක්ක වඩා හිතවත් තමා බවත් අම්ම නරක බවත් උගන්වාවි.

5) ඔබගේ ජයග්‍රහණ ආදිය ගැන කිසිඳු සැලකිල්ලක් නොදක්වයි

ඔබ අධ්‍යාපනයෙන් , වෘත්තියෙන් කොපමණ ඉහළට ගියත් ඇය ඒ ගැන අඩුම ගානේ වචනයකින් වත් දන්නා බවක් හඟවන්නේ නැහැ.
කෙනෙක් ඔබගේ හොඳ ගැන කීවත් ඇය ඒ බව ප්‍රතික්ෂේප කරාවි. නැත්නම් ඇගේ දුව ගැන කියාවි.

6) ඔබේ පවුලේ උදවියට වෙනස්කම් කරයි.

නැන්දම්මා විස සහිත කෙනෙක් නම් ඔබේ දෙමාපියන් සහෝදරයන් ඇතුළු පවුලේ සැමට වෙනස්කම් කරාවි. ඔවුන් ඇවිත් ඉන්න වෙලාවට කාට හෝ බනීවි. ගේ අතුගා දමාවි. නැත්නම් ඔවුන්ට නොයෙක් වචන කියා හිත රිදවාවී.

නැන්දම්මා ලේලිය එක්ක හතුරු වෙන්න හේතුව මොකද්ද ?

මේ ගතිගුණ තිබෙනවා නම් ඔබේ නැන්දම්මා විස සහිත කෙනෙක්. ඇය නිසා ඔබට හෝ පවුලට යහපතක් නම් වෙන්නේ නැහැ.
මෙවැනි නැන්දම්මලා බොහෝ විට පුතාගේ පවුල කඩල පුතා නැවත ඇය වෙත ගැනීමට හීන දකින කෙනෙක්.

මේ වගේ ගතිගුණ එන්න ගොඩක් විට හේතු වෙන්නේ ස්වභාවයෙන් ඇතැම් ගැහැණු තුල පවතින තවත් ගැහැණියක් සතුරෙක් ලෙස දකින මානසික මට්ටම නිසයි. ඇතැම් කාන්තාවෝ තමන්ගේ විවාහ ජීවිතේ සතුට විඳින්නේ නැහැ.
දරුවෝ ඉපදුන දවසේ ඉඳල සැමියා පසෙකට තල්ලු කරලා දරුවා මත්තෙම දඟලනවා. අවසානයේ ඔවුන්ට පිළිගන්න බැහැ ඒ විදිහට හදපු දරුවා තවත් ගැහැණියකට අයිති වෙනවා කියල.

එතකොට නැන්දම්මා ඔබව දකින්නේ දරුවෙක් ලෙස නෙවේ. තමා සතු පිරිමියා උදුරා ගන්න ආව තවත් සතුරු ගැහැනියක් දෙස බලන ආකාරයටයි. පර්යේෂකයන් පවසනවා මෙය ලිංගික ඊර්ෂයාවක් දක්වා පැතිරෙනවා කියල.
අප ලංකාවේ ඇතැම් විට අසා තිබෙනවා පුතා සහ ලේලිය නිදන කාමරයේ පුටුවක් තියාගෙන වාඩි වෙලා රාත්‍රිය පහන් කරන නැන්දම්මලා ගැන පවා.

මේ ගැටලුවෙන් මිදෙන්නේ කොහොමද?

1) සැමියාගේ සහය පතන්න.

මේ වෙලාවේදී ඔබ සැමියා ඔබේ පැත්තට අදින්න එපා. ඔහු ඉන්නේ අසරණ වෙලා. අම්ම වගේම බිරිඳත් ඔහුට ඕනේ. ඔහුගේ තත්වය තේරුම් ගන්න. ඔහු සමග කළහ කරගන්න, බනින්න යන්න එපා. ආදරෙන් ඔහු එක්ක සාකච්චා කරන්න.
කොයිම මොහොතක වත් ඔහුගේ අම්මට පරුෂ වචන වලින් බනින්න එපා. ඔහු කොහෙත්ම කැමති නැහැ අම්මට කවුරු වුනත් බනිනවට.

“අනේ අම්මා ඔයා වෙනුවෙන් කොච්චර කැප වුනාද? අම්ම කොච්චර හොඳද? ඒ වුනත් අම්ම මේ දේවල් කරනවා මට.
මොකද අම්මට පොඩි හිතේ අමාරුවක් ඇති. මෙහෙම ගියොත් මට බය අපි දෙන්න තරහ වෙන්න වැඩ සිදු වෙයි කියල“

ඔන්න ඔය විදිහට අම්මගෙන් සහ අම්මා විසින් කරන ක්‍රියා වලින් ඔබට එන බලපෑම අවම වෙන්න හැසිරෙන්න ඔහුව පොළඹවා ගන්න. ඒ ආදරෙන් මිස ඔහු සමග කළහ කිරීමෙන් නෙවෙයි.

2) වෙනම ගෙදරක පදිංචි වෙන්න.

නැන්දම්මා ශක්තිමත් කාලයේ ඇගේ ගෙදර ඉන්න එක ඔබ දෙදෙනාටම හොඳ නැහැ. හොඳින් ඉන්න කෙනෙක් වුනත් විරසක වෙන්න එක ගෙදර සිටීම හේතු වෙනවා.
ඒ නිසා සැමියා එක්ක විවාහ වුන ගමන්ම වෙන ගෙදරකට යන්න. ඒ තීරණය ඔබ දෙදෙනාටම යහපත් ලෙස බලපානවා.

3) ඇගේ පැත්තෙන් හිතන්න.

නැන්දම්මා තේරුම් ගන්න උත්සහ කරන්න. ඇගේ හිතේ විරසකය නැති වෙන විදිහට කටයුතු කරන්න උත්සහ දරන්න.
කොහොම වුනත් ඔබේ සැමියා මේ ලෝකෙට බිහි කරලා හදා වඩා ගත උතුම් ගැහැණිය කියන තැන ඔබේ හදවතින් අවංකව දෙන්න.

ඇයව වර්ණනා කරන්න. ආහාර පාන ඇයටත් පුතා අතේ යවන්න. ත්යාග දෙන්න. ඔබේ අම්මට සලකන ආකාරයටම ඇයටත් සලකන්න.
ඇය මොනවා කලත් ඔබේ සැලකිල්ල අඩු කරන්න එපා. එවිට ඇයටම එපා වෙන්න ඉඩක් තියනවා.

4) පිළිගන්න. සමාව දෙන්න. අතහරින්න.

මේ හැම දේම කරලත් වෙනස් නොවෙන උදවිය ඉන්නවා. එහෙනම් කරන්න තියෙන්නේ එකම දෙයයි. මේ මට ලැබුන හැටි කියල පිළිගන්න.
ඇයට සමාව දීල ඔබේ හිත නිදහස් කර ගන්න. අතහැර දමන්න. එය ඔබේ හිත නිවාවී. නමුත් මොනම හේතුවකට වත් පුතා සහ අම්ම බේද කරන්න එපා.

Share Now

Related Article