සැකය නිසා විනාශ වුන පවුලක කතාවක්

Nov 15, 2019

එදා අප දෙදෙනා අපගේ චූටි දුව සහන්සිගේ එන්නත් විදීමට යාමට සූදානම් වුනෙමු. එවකට ලොකු පුතු තරිඳු සත් හැවිරිදි වුන අතර බාල පුතු මියුරු පෙරපාසල් යමින් සිටියේය. හිරුජිත්ට වෛද්ය වරයා හමුවීමෙන් පසු මීටින් එකකට යාමට තිබුන නිසා අපි දෙදෙනා පළමුව සහන්සි ගේ එන්නත් විදගෙන ඔහුගේ කාර්යාලයට ආවෙමු. එය විශාල තට්ටු 16 කින් සමන්විත සමාගම් ජාලයක එකතුවකි. හිරුජිත් එහි එක සමාගමක ප්රධාන විධායක නිලධාරියාය.

Continue Reading Below

රියදුරු එනතුරු අප දෙදෙනා ඉස්සරහ අසුනක වාඩි කරවා ඔහු වැඩ පිණිස කාමරයට ගියේය. මෙය විශාල කාර්යාලයක් නිසා කවුරුත් මා නොදත්හ. ඒ වනවිට සහන්සි කිරි බොමින් සිටි අතර මගේ බර කිලෝ 96 ක් ලෙස වැඩි වී තිබුනේය. දරුවන්ගේ වැඩ කරමින් එකලාව ගෙදර සිටි මට දැනුනේ මා ජීවිතයෙන් කොන් වී ඇති බවකි. ගෙදර වැඩට ගැහැනියක් මෙන්ම හිරුජිත්ගේ අම්මාද සිටි නමුත් මට ලෝකය එතරම් ප්රිය ජනක නොවීය. එයට හේතු වන්නට ඇත්තේ කුමක්ද මම අදටත් නොදනිමි.

මා වාඩි වී සිටින තැනට එහායින් තව අසුනක තරුණියක් වාඩි වී සිටියාය. බැලු බැල්මට සම්මුඛ පරීක්ෂණයකට පැමිණ ඇති බව පෙනෙන්නට වූයේ අගේ අතේ වූ ෆයිල් කවරය නිසාය. ඈ වෙතට මේ සමාගමේම ඉහල මහලක වැඩ කරන වෙනත් තරුණියක් පැමිණියාය. දෙදෙනා මිතුරියන් ලෙස ආචාර කර ගත්හ. මගේ නෙතට මේවා හසු වුනේ ඇයි කියා මම අදටත් දෙවියන්ගෙන් අසමි. මගේ හිතේ ඒ සිහින් ලස්සන තරුණිය ගැන මද නොරිස්සුමක් ඇතිවී තිබුණි. අලුතින් පැමිණි තරුණිය අනික් කෙනාගේ ෆයිල් එක බලා…

“ආ ..හිරුජිත්ගේ සෙකට්රි වේකන්සි එක නේද? එයාට මාව ඕනේ. මම කිවුවොත් ඔයාව ගනී” කියමින් අතිශය සල්ලාල ලෙස ඉඟි මැරුවාය.”

මට එලොව මෙලොව නොපෙනී ගිය අතර එතැන් සිට මම පිස්සුවෙන් මෙන් ඔවුන්ගේ කතාව අහන්නට වෙර දැරුවෙමි. මා හිරුජිත්ගේ බිරිඳ බව ඔවුන් නොදන්නා බව මම දනිමි. එතැන් සිට මා රිය වෙත පැමිණියේ හීනෙන් මෙනි. ගෙදර ගිය මට හිරුජිත් පරිස්සමෙන් ගියාද අහන්න කෝල් කල නමුත් කෝපයෙන් මම ෆෝන් එක ගසා දැමුවෙමි.

හවස වෙනතුරු මේ ගැන සිතමින් සිටි මට අර තරුණියගේ හිනාව විටින් විට ඉරා දමන්නක් මෙන් මනසට පැමිණේ. මගේ හිටපු සැමියා හිරුජිත් සහ මම හමු වූයේ විශ්ව විද්යාලයේදීය. ඔහු ඉතාම දිරියෙන් වැඩකළ තරුණයෙක් වුන අතර විශ්ව විද්යාලයෙන් ඉවත් වුන විගසම අප විවාපත් වුනෙමු. ඔහු ගැන කිවීමට වරදක් නොවීය. අපට පුතුන් දෙන්නෙක් ඉපදීමෙන් පසු ඔහුගේ බලවත් ඉල්ලීම නිසා තවත් දරුවෙක් හදා ගන්නට මම එකඟ වූයේ සතුටිනි. ඔහුගේ සතුට මගේම සතුට නිසාය. එක ළඟ දරුවන් 3 දෙනෙක් ඉපදීම නිසා සහ ගෙටම කොටුවී සමාජ ආශ්රය අඩු වීම නිසා මා තනි වන විට ඔහු වුර්තියෙන් ඉහලටම ගියේය. අප වෙනුවෙන් දිවා රාත්රී වෙහෙසී වැඩ කළේය. දියණියට ඔහු ආදරය කළේ කුමරියකට මෙනි.

නමුත් මගේ සිතේ ලොකු සතුටක් නොවීය. මා නිතරම අඩුවක් සොයමින් සිටියක් වැන්න. බොහෝ විට අප දෙදෙනා අතර බහින්බස් වීම් පවා ඇති වෙමින් තිබුන කාලයක අර කතාව මගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය.
එදා සිට සුළුවෙන් හෝ තිබුන සතුට ජීවිතයෙන් පලා ගියේය. මම හිතාමතාම ඔහුව නොසලකා හැරියෙමි. අර තරුණිය ගැන ඔහුගෙන් නැවත නැවත ඇසුව නමුත් එවැනි ගැහැනියක් ගැන ඔහු නොදන්නා බව දිවුරා කීමට ඔහු සමත් විය. නමුත් හැමදවසක්ම මේ වෙනුවෙන් කළහ කරගන්නට වෙන් විය.

අපගේ දබර ඒ අයුරින්ම පැවතුන අතර මනෝ වෛද්ය උපදෙස් වෙත යන්නට මට වුවමනාවක් නොවීය. මගේ හිත හිරුජිත් මෙන්ම අර තරුණිය වගේම මා මනොමයෙන් මවාගත් තරුණියන් රාශියකට එරෙහිව සටන් වැදෙමින් තිබුණි. පාරේ දකින ගැහැණියක් දෙස පවා හිරුජිත් බලන්නේද සැකයෙන් ඔහුගේ මුහුණ බැලීම මගේ රාජකාරිය විය. කොටින්ම කීවොත් මම ඔහු ගේ ඊ මේල්, ෆෝන් හැම දේම බලමින් පසුපස ගියේ දඩයම් බල්ලෙක් මෙනි. එහෙත් ඔහු මට ද්රෝහී වෙන බව මට සාක්කියක් සොයා ගත නොහැකි විය.

පසු කතාව :

අවසානයේ ඇත්තටම හිරුජිත් මා දමා යන්න ගියේය. දික්කසාදයෙන් පසු මා වෙනස් හැසිරීම් පෙන්වන හෙයින් මගේ දෙමාපියෝ බලෙන්ම මනෝ වෛද්ය වරයෙක් වෙත රඳවා ප්රතිකාර කර ඇත. ඒ කාලය මට මතක නැත.

නමුත් සිතුවිලි මීදුම පහව ගිය පසු මා වසර 5 කට පසු අර ටටියනා නමැති තරුණිය ගැන සොයා බැලුවෙමි. ඇය එදා සඳහන් කල හිරුජිත් එම සමාගමේ වෙනත් සමාගමක වැඩ කරන සාමාජිකයෙක් බව දැනගතිමි. එවකට අවිවාහක තරුණයෙකු වූ ඔහු මේ තරුණිය කෙරෙහි ආශක්ත වී ඇත. ඔවුන් දෙදෙනා විවහා වී දැන් කැනඩාවේ වෙසෙන බව ෆේස් බුක් හරහා දැකීමෙන් මගේ හදවත කීරි ගැසී ගියේය. ඈ සඳහන් කර තිබුනේ මගේ සැමියා ගැන නොවේ.

එවකට මා දරුවන් සමග ගෙටම වී සිටීම සහ දරු උපතින් පසුව ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසා දැඩිව විශාදයට ලක්ව සිටින්නට ඇති බව මගේ මනෝ වෛද්ය වරයා පැවසීය. සැකය, නොරිස්සීම , කෝපය මේ සියල්ල හටගත්තේ එබැවිනි. හිරුජිත් පසුපස යමින් ඔහුගේ පුද්ගලික ජීවිතේ ගොඩ දමනවාට වඩා මට බොහෝ වැඩ කරන්නට තිබිණි.

මට තිබුනේ ආර්ථිකව අප නිදහස් හෙයින් මගේ පෙර තිබු ලස්සන නැවත මතු කර ගැනීමට වෙහෙසීමයි. ඒ නිසා හටගත් හීනමානය මා සැමියා කෙරෙහි සැක කරන්නට හේතු වුන බව මට සිතේ. මාගේ පෙනුම හදාගනු වෙනවට මා කලේ රටේම සිටින ගැහැණුන්ගෙන් හිරුජිත් ගලවා ගැනීමට මනෝමය අරගලයකට වැටීමයි. එය කවදාවත් ප්රායෝගික නොවන බව මටදැන් දැනේ.

මට දැනෙන අසහනය පාලනය කර ගැනීමට මට තිබුනේ මනෝ වෛද්ය සහ උපදේශන ප්රතිකාර ලබන්නටය. එහෙනම් මෙතරම් දුරදිග යන්නේ නැත. හිරුජිත් මේ දේ කිරීමට බොහෝ උත්සහ දැරුවේය. කෝප වුන මම ඔහුට පෙරලා බන වැදුනෙමි.

“මම පිස්සෙක් කියල ඔප්පු කරලා උඹට මගුලේ යන්න නේද” කියමින් මම හැම විටම ඒ අදහස විසික් කර දැමුවෙමි.

අපේ රටේ මෙවැනි පුහු සැකය නිසා විනාස වෙන්නේ එක පවුලක් දෙකක් නොවේ. බොහෝ ගණනක් විනාස වේ. ඒවාගේ පලවිපාක ලබන්නේ දරුවෝය. එබැවින් ඔබ මවක් ලෙස වඩා කල්පනාකාරී විය යුත්තේ සැමියාගේ සහ ඔබගේ බැඳීම රඳවා ගැනීමටය. එය රඳවා ගත හැක්කේ ඔහු ලෝකයේ සියලු ගැහැණුන්ගෙන් වසා දැමීමෙන් හෝ සැක කරමින් නොවේ.

ඔබ හැම විටම ලස්සන , සතුටින් ඉන්නා වටිනා කෙනෙක් වෙන්න උත්සහ දරන්න. ඔබට අස්වාභාවික ලෙස කෝපය, සැකය වැනි භාවයන් දැනෙනවා නම් කරුණාකර මනෝ වෛද්ය වරයෙක් හමු වී ඔබේ ගැටළු පවසන්න. මා කල වරද ඔබ කරන්න එපා. දරුවන් දැන් ලොකුය නමුත් ඔවුන් දකින හැම වතාවකම මට මහා වරදකාරී හැගීමක් ඇති වීම වලක්වා ගත නොහැක.

Share Now

Related Article