පෙම්වතුන්ගේ දිනය සැමරීම විවාහක යුවලකට අකැපද?

Feb 14, 2020

අද දවස සුවිශේෂී දවසක්. ලංකාවේ අපි මේ දවස සමරන්න පටන් ගත්තේ මෑතකදී වුනත් දැන් රට පුරාම විලාසිතාවක් වෙමින් පවතිනවා. මෙන්න මේ වැලන්ටයින්ස් ඩේ නැත්නම් පෙම්වතුන්ගේ දවස ගැන විවිධ උදවිය විවිධ මත දරනවා. පිරිසක් එය අනුමත කරන්නේ නැහැ. තව පිරිසක් අනුමත කරනවා.

Continue Reading Below

ආදරය කරන්න එක දවසක් ඇතිද ?

ආදරය කියන්නේ ජීවිත කාලය පුරාම බැඳුන දෙයක් නිසා ඒ වෙනුවෙන් එක දවසක් වෙන් කිරීම වැරදි බව බොහෝ දෙනෙක් කියනවා. ඒ වගේම විවාහක යුවලවල් බහුතරේ සිතන්නේ “ අනේ අපි දැන් බැඳලා.. මොන පෙම්වතුන්ගේ දවසක්ද ?” කියලයි. විවාහ වෙන්න කලින් නම් එදාට පෙම්වතිය එක්ක එලියට ගිහින් ආහාර අරගෙන නැත්නම් ෆිල්ම් එකක් බලල පුංචි තෑග්ගක් එකිනෙකාට අරගෙන දුන්නහම සිත සතුටින් පිරෙනවා. ඒ වගේම වෙනසක් දැනෙනවා. ඉතින් ඒ ආදරයේ සැමරීම විවාහ වුනාට පස්සේ කරන එක, තමා වෙනුවෙන් කැප වෙන අනෙකාට විශේෂත්වයක් දීම වරදක් නෙවේ. අද අපි කතා කරමු විවාහ වෙලා ඉවර වුනත් පෙම්වතුන්ගේ දවස සමරන්න පුංචි ටිප්ස් කීපයක්. එය ඔබේ සිත සතුටින් පුරවාවී. සම්බන්ධය අලුත් කරාවි.

    1) සැමියාට / බිරිඳට සුබ පැතීම

    ජීවිතයක ජීවත් වීම කියන්නේ සටනක්. විවාහයෙන් පස්සේ බොහෝ ස්වාමි භාර්යාවෝ කතා කරන්නේ ගෙදරට බඩුවක් ගෙන්නා ගන්න, වැඩක් කරගන්න, යමක් දන්වන්න, දරුවෙක්ගේ රෝගයක් ගැන දැනුම් දෙන්න වගේ දේවල් වලට. පොඩ්ඩක් නවතින්න. එදා උදේ නැගිටලා හාද්දක් දීල ඔහුට/ ඇයට සුබපතන්න. ඔබේ මතකය අතීතයට දිව යාවි.

  • 2) පුංචි ත්‍යාගය සතුට වැඩි කරවනවා

    පෙම්වතුන්ගේ දිනයට දෙන්න විශේෂ ත්යාගයක් සූදානම් කරගන්න. ලස්සනට පැක් කරන්න. සඟවා තබාගන්න. ඒ මගින් ඔබ වෙනුවෙන් කරන මහා මෙහෙයට ඔබේ අනික් කෙනාට සුළු ස්තුතියක්, අගය කිරීමක් පිරිනැමෙනවා. ඒ සතුට ඔබේ ජීවිතේ සතුටට පත් කරවාවී.

  • 3) කාර්ඩ් එකක් වඩා සුන්දරයි

    මා දන්නේ නැහැ ඔබ විවාහ වුනාට පස්සේ කාර්ඩ් දෙනවද කියල නමුත් ඔබට කාලත්රයා ගැන අවංකව දැනෙන දේ ලියල දීල ඔහු/ ඇය සතුටු කරවනවා නම් ඒක ගොඩක් හොඳයි. ඇගයීම ලැබෙන්න නම් අපි අගය කිරීම හුරු වෙන්න ඕනේ.

  • 4) විශේෂ ආහාර වේලක්

    එදාට දරුවන්ගෙන් නිදහස් වෙලා , ඔබේ දෙමාපියන්ට දරුවෝ භාර දීල ඔබ දෙදෙනා තනියම ආහාර වේලක් ගන්න.

  • 5) නිදහසේ පැය කීපයක් කතා කරන්න

    ආහාර වේල අතරතුර ඔබ දෙදෙනාට ඔබ ගැන කතා කළ හැකියි. ඔබේ දිවියේ එකිනෙකාට ඇති ආදරය ගැන, බලාපොරොත්තු ගැන සංවාදයක් ඇති කර ගන්න. හදාගන්න ඕනේ යමක් තිබේ නම් එයත් කතා කරන්න. අභියෝග , ගැටළු ජීවිතේට එනවා . වටිනාකම වෙන්නේ අඹු සැමියන් ලෙස පිළිසඳර කතාවෙන් මේ හැම ගැටළුවක්ම පිළිවෙල කරගැනීම තුලයි.

විවාහයෙන් පසුවත් ආදරවන්තයන්ගේ දවසේදී පුංචි පුංචි දේවල් කරලා ඔබ දෙදෙනා අතර ඇති ආදරය අලුත් කරගන්න පුළුවනි. ඇත්තටම බොළඳ දේවල් කියල සමහරු පිටුදැක්කට ආදරේ වෙනුවෙන් විශේෂ දවසක් තියන එක වරදක් නම් නොවේ. ජීවත් වෙන කාලයේ අපි හොයාගන්න ඕනේ සතුටු වෙන්න, ආදරය කරන්න තව අමතර හේතුවක් මිස වෛර කරන්න හේතු නම් නොවේ.

Share Now

Related Article