සහකරුගේ සතුට වෙනුවෙන් ඔබට කළ හැකි සරල දේවල් 8ක්!

Dec 14, 2015

ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ - සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ’ කියන කියමන විවාහ දිවියකටත් එක විදිහටම අදාළ වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දෙන්නට දෙන්න කොච්චර ආදරේ වුනත් රණ්ඩු දබර, හැල හැප්පීම් ඕනෑම විවාහයක් ඇතුලේ දකින්න පුළුවන්. ඒවගේ දේවල් නිසා ඇති වෙන සිත් තැවුල් මගහරවාගෙන හිටියටත් වඩා ආදරෙන් කල් ගෙවන්න අනෙකා වෙනුවෙන් තමන් ස්වෙච්ඡාවෙන් කරන ඉතාම කුඩා දෙයක් පවා උදව් වෙනවා.

Continue Reading Below

ඔබේ සහකරු ප්‍රීතියෙන් තැබීමට උපකාරී වන සරල ක්‍රියා පිළිවෙත් කිහිපයක් පහතින් දැක්වෙනවා.
බලාපොරොත්තු නොවන අවස්ථාවක ලබා දෙන ස්පර්ශය

ඔහු දවසේ වැඩ කටයුතු නිසා වෙහෙසට පත් වී සිටින්නට පුළුවන්. එවැනි අවස්ථාවක ඔහුගේ ඉල්ලීමකින් තොරවම ඔබ විසින් ලබා දෙන ස්පර්ශය, දෑත් දෙපා සම්භාහනය ඔහු ආදරයෙන් සහ ප්‍රීතියෙන් යුතුව බාරගනීවී. එයින් කියවෙන්නේ ඔහුගේ ඉල්ලීමකින් තොරව වුවද ඔහුගේ අවශ්‍යතාවන් ඔබට වැටහෙන බවයි.

ගමනක් යන විට කල් වේලා ඇතුව සූදානම් වන්න.

වර්තමානයේ ගැහැණු, පිරිමි බේදයකින් තොරව සියලු දෙනාම ගත කරන්නේ අධික කාර්යබහුල දිවියක්. එම නිසා ගමනක් යනවිට ප්‍රමාද වීම යනු ආතතිය, නොසන්සුන් බව මෙන්ම කෝප ගැනීමටත් හේතුවක් වනවා. එය ඔබ හා ඔබේ සහකරු අතර පසුව පසුතැවිලි වන අන්දමේ වචන හුවමාරුවක් පවා ඇති කරවීමට සමත් විය හැකියි. එවන් අනවශ්‍ය තත්වයන් මග හරහා ගැනීම සඳහා ගමනක් යාමට නියමිත විට කල් වේලා ඇතුව සූදානම් වන්නට සිතට ගන්න.

අලුත් ආහාර වට්ටෝරු අත්හදා බලන්න.

ඔහු වෙනුවෙන් ඔබ නිතරම පිළියෙළ නොකරන ආහාර වර්ගයක් සකසන්න. ඉතාම සරල ආහාර වේලක් ඉතාම ප්‍රමාණවත්. ඔහු ආසා කරන ආකාරයට එම ආහාර වේල සැකසීමටත් වග බලා ගන්න. පිළියෙළ කර අවසන් වූ විට එය පාර්සල් කර කුඩා සටහනක් සමඟ ඔහුගේ කාර්යාලයට යැවීමට ඔබට පුළුවන්. එසේත් නැතිනම් ඔහු නිවසට පැමිණි විට ඔහු හා එක්ව එය අනුභව කිරීමට ද පුළුවන්. දෙකෙන් කුමක් වුවත් ඔහු ඉතාම සතුටට පත්වන බවනම් නොඅනුමානයි.

ඔහු ප්‍රිය කරන දෑ පිලිබඳ දැනගන්න

ඔහුගේ ප්‍රිය කරන පුද්ගලයන්, ප්‍රිය කරන සංගීතය ආදී දෑ පිලිබඳ තොරතුරු දැන ගන්න. තම සහකාරිය සමඟ තමන් ප්‍රිය කරන දේවල් පිලිබඳ කතා බහ කිරීමට පුරුෂ පක්ෂය ඉමහත් ලැදියාවක් දක්වනවා. එසේ ඔහු කැමති දෑ පිළිබඳව ලබා ගන්නා දැනුවත් බව ඔබ දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු වීමටද හේතුව වනවා. එමෙන්ම විශේෂිත අවස්ථා වලදී ඔහුව පුදුමයට පත් කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා.

ඔහුගේ විනෝදාංශ සඳහා සහයෝගය ලබා දෙන්න.

විවාහ වීමට පෙර පැවති ඔහුගේ විනෝදාංශ විවාහයෙන් පසුද පවත්වාගෙන යාමට ඉඩ දීම සහ ඒවා සඳහා හැකි අයුරින් සහයෝගය දැක්වීම ද ඉතා වැදගත් බව ඔබ සිහියේ තබා ගත යුතුයි.

ඔහුට ආදරය කරන්නේ ඇයි දැයි නිතරම පවසන්න.

ඔබ ඔහුට ආදරය කරන බව බොහෝ වාර ගණනක් පවසා ඇති. එහෙත් එයට හේතුව කුමක්දැයි කිසි දිනෙක ඔහු හා පවසා තිබෙනවාද? මනෝවෛද්‍යවරුන් පවසන ආකාරයට ‘මම ඔබට ආදරෙයි’ කීම සහ ‘මම මේ හේතුව නිසා ඔබට ආදරෙයි’ කියා පැවසීම පැහැදිලිවම එකිනෙකට වෙනස් වූ හැඟීම් දනවන්නක්.

එකිනෙකාව රැක බලා ගන්න.

එකිනෙකා කෙරෙහි අවධානයෙන් සිටීම හා එකිනෙකාව රැක බලා ගැනීම සාර්ථක විවාහ දිවියක තිබිය යුතුම ලක්ෂණ දෙකක්. ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථා මතක තමා ගැනීම, ඒවාට තමාට හැකි උපරිම ආකාරයෙන් සහයෝගය දැක්වීම ඔබ සතු යුතුකමක් හා වගකීමක්. ඔබේ සහය ඔහුට අවශ්‍ය සෑම විටෙකදීම ඔහු සමීපයේ සිටීම ඔබ දෙදෙනා අතර ඇති බැඳීම වැඩි දියුණු කිරීමට ඉමහත් රුකුලක් වනවා.

එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කර ගන්න

ඔබ හා ඔහු කොතරම් කාර්ය බහුල ජීවන රටාවකට හුරු වී සිටියත්, ඒ සියළු වැඩ කටයුතු මධ්‍යයේ වුවද එකිනෙකා සමඟ ගත කිරීමට කාලය වෙන් කරගැනීම ඉතාම වැදගත්. ශ්‍රී ලංකාව තුල බොහොමයක් පවුල් ජීවිත උසාවියකින් කෙළවර වීමට බලපාන්න එක් ප්‍රධාන හේතුවක් වන්නේ ද එකිනෙකා වෙනුවෙන් මිඩංගු කිරීමට කාලය සොයාගැනීමට අසමත් වීම බව මෙහිදී කිව යුතුමයි.
සති දෙකකට වරක් හෝ ඔහු සමඟ ආහාර ගැනීමට පිටතට යාම, දෙදෙනා ප්‍රිය කරන චිත්‍රපටයක්, සංගීත සංදර්ශනයක්, වේදිකා නාට්‍යයක් හෝ නැරඹීමට යාමට කාලය වෙන් කර ගැනීම දෙදෙනාම සතු වගකීමක්.

මතක තබා ගන්න ජීවිතයේ සතුට සහ සැනසුම රැඳී පවතින්නේ අප විසින් එකිනෙකා උදෙසා කරනු ලබන ඉතාම කුඩා දේවල් මත බව.

Share Now

Related Article