බබාලා අහන අමුතු ප්‍රශ්න දහයකට දෙන්න උත්තර මෙන්න

Oct 29, 2018

ගොඩක් වෙලාවට දෙමව්පියෝ අමාරුවේ වැටෙන තැනක් තමයි දරුවෝ ඉවරයක් නැතිව අහන ප්‍රශ්න. සමහර වෙලාවට දරුවෝ ප්‍රසිද්ධියේ අහන ප්‍රශ්න නිසා දෙමව්පියෝ හැංගෙන්න තැන් හොයන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඒ කොහොම වුනත් නුතන මනෝවෛද්‍ය සොයා ගැනීම් වලට අනුව නම්, දරුවා අහන ප්‍රශ්න වලට පිළිතුරු නොදී මඟ හරින එක සුදුසු නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි, බොරු උත්තර කියලා දරුවන්ව රවට්ටන්නත් හොඳ නැති බව කියවෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

Continue Reading Below

1 “මම කොහෙන්ද ආවේ?”

පුතාගේ තාත්තයි අම්මයි පුතාට ආදරේ නිසයි පුතාව අපිට ලැබුණේ. පුතාගේ තාත්තාගෙයි, අම්මගෙයි සෛල එකතු වෙලා තමයි පුතාව හැදුනේ. අම්මගේ බඩ ඇතුලේ චූටි බබෙක් විදිහට තමයි පුතා හිටියේ. බඩ ඇතුලේ ටික ටික ලොකු වුනාට පස්සේ තමයි පුතා ඉපදුනේ.

2 “මම ලොකු වුණාට පස්සේ අම්මව බඳින්නද?”

අපි හැමෝටම පවුලේ පැවරුණු වැඩ රාජකාරි තියෙනවා. ඔයාගේ අක්කට තාත්තා වෙන්න බැහැ. තාත්තට ආච්චි වෙන්න බැහැ. ඒ වගේම තමයි පුතාටත් අම්මගේ සැමියා වෙන්න බැහැ. පුතා ලොකු වෙනකොට පුතාගේ අම්මා වයසට යනවා. පුතා ලොකු වුණාම, පුතාට බඳින්න තරුණ ගැහැණු ළමයෙක් මුණ ගැහේවි.

3 “අම්මයි, තාත්තයි වාද කරන්නේ ඇයි?”

මිනිස්සු වාද කරන්නේ එයාලගේ අදහස් එකිනෙකට වෙනස් වුනාමයි. වාද කරන්නේ එක අදහසක් ඇති කර ගන්නයි. පොඩි දරුවෝ වාද කරනවා වගේම, වැඩිහිටියොත් වාද කරන අවස්ථා තියෙනවා. හැබැයි අම්මයි, තාත්තයි අතරේ කිසිම වෙලාවක තරහක්, අමනාපයක් නැහැ. අම්මයි, තාත්තයි එකිනෙකාට ආදරෙයි. ඒ වගේම දෙමව්පියෝ දරුවන්ටත් ආදරෙයි.

4 “ඇයි අර ගෑනු කෙනා ඕනෙවට වඩා මහත?”

අපි එක එක්කෙනා එකිනෙකාගෙන් වෙනස් වෙනවා. සමහරු ගොඩක් උසයි. සමහරු මිටියි. සමහරු ගොඩක් කෙට්ටුයි. සමහරු ගොඩක් මහතයි. සමහර වෙලාවට අසනීප නිසාත් මිනිස්සු අනිත් අයට වඩා වෙනස් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි පුතා ඒ විදිහට මිනිස්සුන්ගේ වෙනස්කම් ගැන අහන්න ගියොත්, එයාලගේ හිත රිදෙනවා.

5 “අම්මා වැඩියෙන් ආදරේ මටද?, නංගිටද?”

පුතයි, නංගියි දෙන්නා එකිනෙකාගෙන් වෙනස්. ඒත් මම දෙන්නටම එක තරමටම ආදරෙයි. මම විතරක් නෙවේ, තාත්තත් පුතාටයි නංගිටයි එක සමානවම ආදරෙයි.

6 “ඩොක්ටර් මට රිදවයිද?”

ඩොක්ටර් පුතාට රිද්දන්නේ නැහැ. අසනීප තමයි පුතාට රිද්දන්නේ. ඩොක්ටර්ට ඕනේ පුතාගේ අසනීපය සම්පුර්ණයෙන්ම සනීප කරවන්නයි. ඉතින් පුතා බය නැතුව ඩොක්ටර් ගාවට යන්න ඕනේ. පොඩ්ඩක් රිදුනත්, පුතාගේ අසනීපෙ ඉක්මනටම හොඳ වෙන නිසා පුතාට ලොකු සනීපයක් දැනෙයි.

7 “මම කවදා හරි මැරෙනවාද? අම්මා කවදාහරි මැරෙනවාද?”

මේ ලෝකේ ඉපදෙන හැමදේම මැරෙනවා. මල් පරවෙන්නෙත් ඒ නිසායි. සත්තුත් මැරෙනවා. මමත් මැරෙනවා. ඒත් ඒ දැන්ම නෙවේ. මම ආච්චි වගේ වයසට ගියාට පස්සේ තමයි මැරෙන්නේ. එතකොට පුතා තාත්තා වගේ ලොකු වෙලා ඉඳියි. පුතා කවදා හරි කසාද බැඳලා, දරුවෝ හදලා ඊටත් පස්සේ තමයි මැරෙන්නේ. ඒ සීයා කෙනෙක් වගේ වයසට ගියාට පස්සෙයි.

8 “ඇයි ඔයාලා මාව දාලා වැඩට යන්නේ?”

මට පුතාව දාලා යන්න ඕනේ නෑ. ඒත් මට යන්න වෙනවා. රැකියාවට යන එක අත්‍යවශ්‍යයි. ඒත් මම හවසට එනවා. හවසට අපිට ආයේ හම්බෙන්න පුළුවන්. මම එද්දී පුතාට කන්න රස කෑමක් අරගෙන එන්නම්.

9 “ඇයි තාත්තට පුලුවන්නම්, මට බැරි?”

දුම් බොන එක නරක පුරුද්දක්. මම දුම් බොන්න පුරුදු වුනේ කම්පියුටර් එකේ රෑට වැඩ කරන නිසයි. මම ඉක්මනින්ම ඒ නරක පුරුද්ද නවත්තනවා. හැබැයි පුතා කවදාවත් ඒ නරක වැඩේ කරන්න එපා.

10 “ඇඳ යට ඉඳලා යකෙක් ඇවිත් මාව අරගෙන යයිද?”

දරුවට බොරු කියන එක හොඳ නැති වුනත් මේ වගේ අවස්ථාවකදී නම් දරුවට පොඩි බොරුවක් කියන්න වෙනවා. මොකද ඔබ කොයි තරම් කිව්වත් ඇඳ යට ඉඳලා යකෙක් එන්නේ නැහැ කියලා, දරුවා එය පිලිගන්නේවත්/ දරුවාගේ බිය නැති වෙන්නෙවත් නැහැ. මේ වගේ අවස්තාවක දරුවාට පුංචි රිමෝට් එකක් ලබා දෙන්න.

යකෙක් එන්නේ නැති බව පවසන්න. නමුත් හදිසියෙවත් යකෙක් පැමිණියොත් රිමෝට් එක ඔබන්න කියලා දරුවට කියන්න. එය මැජික් රිමෝට් එකක් බවත්, යකා එයට බය බවත් පවසන්න. එය කොට්ටය ළඟ තබාගෙන නිදා ගැනීමට උපදෙස් දෙන්න. දරුවා වැඩිහිටිවියට එළඹෙද්දී යකෙකු ගැන ඇති බිය ඉබේම පහ වෙනු ඇත.

Share Now

Related Article