නොදුටු මිතුරිය

Sep 29, 2020

මා කුඩා කාලයේදී, මුළු ගම්මානයටම තිබුණු එකම දුරකථනය තිබුණේ අපේ ගෙදරය. ඉහල මාලයට නගින පියගැට පෙළ ලග බිත්තියේ සවි කොට තිබුණු, ඕක් ලීයෙන් හදා ඔපදැමූ පෙට්ටිය මට තවමත් මතකය. ඒ පෙට්ටියේ එක පැත්තකින් දිළිසෙන රිසීවරයක් එල්ලෙමින් තිබිණ. මට එහි අංකය පවා තවමත් මතකය. අපේ දුරකථනයේ අංකය 105 විය. ඒ දුරකථනයට ලං වෙන්නට මට උස මදිය. එහෙත් අම්මා මේ අපූරු උපකරණයට කතා කරන අයුරු මම ආසාවෙන් අහගෙන උන්නෙමි. වරෙක තාත්තා ව්යාපාරික කටයුත්තක් සදහා දුරක ගොස් උන් අවස්ථාවක, අම්මා මාව එතැනට ඔසවා දුරකථනයෙන් තාත්තා සමග කතා කරන්නට මට ඉඩ දුන්නේය. එය මට ඉන්ද්රජාලයක් මෙන් විස්මිත දෙයක් වීය.

Continue Reading Below

එයින් පසු මට තවත් දෙයක් සොයා ගන්නට හැකි විය. මේ විස්මිත උපකරණය ඇතුලේ අපූරු කෙනෙක් ජීවත් වෙයි. ඇගේ නම “ඉන්ෆොමේෂන් ප්ලීස්” ය. ඇය නොදන්නා දෙයක් නැත. අම්මා ඇයට කතා කර කාගේ හෝ අංකයක් අහන පරක්කුවට “ඉන්ෆොමේෂන් ප්ලීස්” අම්මාට ඒ සියල්ල සොයා දෙයි.

මේ “රිසීවරයේ භූතයා” සමග මා පළමු වරට කතා කළේ අම්මා අසල්වැසියෙකු හමුවෙන්නට ගොස් සිටි අවස්ථාවකය. එදා මම බිම් ගබඩාවේ ඇති තාත්තාගේ වඩු ආම්පන්න සමග සෙල්ලම් කරමින් සිටියෙමි. හදිසියේම මගේ අතේ ඇගිල්ලක් මිටියට තැලී ගියේය. වේදනාව ඉවසන්නට බැරි තරම්ය. එහෙත් හැඩීමෙන්ද පලක් නැත. මා නලවා ගන්නට ගෙදර කවුරුවත්ම නැත. වේදනාවෙන් පුපුරු ගහන ඇගිල්ල උරමින් මම ගේ පුරා ඇවිද්දෙමි.

අන්තිමේදී මම පියගැට පෙල ඇති තැනට ආවෙමි.

දුරකථනය එතැනය.

ඉක්මනින්ම සාලයට දිව ගිය මම එහි වූ මිටි කනප්පුව ඇදගෙන දුරකථනය ඇති තැනට ආවෙමි. මිටි කනප්පුව උඩට නැගගත් මම දුරකථනයේ රිසීවරය අතට ගත්තෙමි.

ඉන්පසු මා දන්නා අර අමුත්තියට කතා කළෙමි. “ඉන්ෆොමේෂන් ප්ලීස්.?”

ඊලග මොහොතේ මට අර අපූරු ලයාන්විත, පැහැදිළි කටහඩ ඇසිණ.

“ඉන්ෆොමේෂන්.”

“මගේ ඇගිල්ල තුවාල වුණා..” මම දුරකථනයට කියමින් හඩන්නට පටන් ගත්තෙමි. මගේ ඇසින් නොනවත්වා කදුළු ගලා ආවේය. දැන් ඉතින් මගේ දුක අහන්නට කෙනෙකු සිටී.

“ඔයාගෙ අම්ම ගෙදර නැද්ද.?” රිසීවරයෙන් ප්රශ්නයක් මතු විය.

“මං විතරයි ගෙදර ඉන්නෙ..” මම ගොත ගසමින් කීවෙමි.

“ඔයාගෙ අතෙන් ලේ එනවද.?”

“නෑ..” මම උත්තර දුන්නෙමි. “මගේ අතේ මිටිය වැදුණා. ඒක ගොඩක් රිදෙනවා..”

“ඔයාට අයිස් පෙට්ටිය අරින්න පුළුවන්ද.?” ඇය ඇසුවාය. මම පුළුවන් බව කීවෙමි.

“එහෙනම් පොඩි අයිස් කැටයක් ගන්න. ඒක ඔයාගෙ ඇගිල්ලට තියලා තද කරන්න.. ඒකෙන් රිදෙන එක අඩු වෙයි. හැබැයි පරිස්සමින්..” ඉන්පසු ඇය නැවතත් මෙසේද කීවාය. “දැන් ඉතින් අඩන්න එපා. ඔයාට ඉක්මනින්ම සනීප වෙයි..”

ඒ සිදුවීමෙන් පසුව, මම “ඉන්ෆොමේෂන් ප්ලීස්” ට කතා කොට සියලු දේම කියන්නට පුරුදු වීමි. ලෝක සිතියමේ ඇති එක එක තැන් සොයා ගන්නට මම ඇගෙන් උදව් ඉල්ලුවෙමි. කවදා හෝ මා ලොකු වූ විට මා ඒ තැන්වලට යන බවද ඇයට කීවෙමි. මගේ ගණිතය ගෙදර වැඩ කරන්නටද මම ඇයගේ උදව් සෙව්වෙමි. දවසක්දා මට උද්යානයේදී හමුවුණු දඩු ලේන් පැටියා ගෙදර ගෙන ආ විට මම ඇයට කතා කොට ඒ බව කීවෙමි. ඌ කන්නේ පළතුරුත් රටකජුත් බව මට කීවේ ඇයයි.

මා සුරතලයට ඇති කළ කැනරි කුරුල්ලා මිය ගිය විටත් මා දුක බෙදාගන්නට කතා කළේ “ඉන්ෆොමේෂන් ප්ලීස්” ටය. ඇය මා අඩමින් කියූ කතාව අසා සිට, පොඩි ළමයෙකු සනසවන්නට සාමාන්යයෙන් වැඩිහිටියන් කියන දේවල් සියල්ලම මට කීවාය. එහෙත් මට එයින් සිත හදා ගත නොහැකි විය.

“කුරුල්ලො ඉන්න ඕන සින්දු කියන්නනෙ.. පිහාටු ගොඩක් විදිහට කූඩුව පතුලෙ වැටිලා ඉදගෙන ගෙදර අයව අඩවන්න නෙවෙයිනෙ…” මම ඉකිබිදිමින්ම කීවෙමි.

ඇයට මගේ සිතේ ඇති ගැඹුරු වේදනාව වැටහෙන්නට ඇත. ඇය හීන් හඩින් යලිත් කතා කළාය. “පෝල්.. මතක තියාගන්න.. සින්දු කියන්න ඕන මේ ලෝකෙට විතරක් නෙවෙයි.. ඒ ලෝකෙටත් කැනරි කුරුල්ලාගේ සින්දු ඕනනේ..” ඇගේ ඒ වචන වලින් මගේ සිතට අස්වැසිල්ලක් දැනිණ.

තවත් දිනක මම “ඉන්ෆොමේෂන්” ට ඇමතීමි.

“මට ෆික්ස් කියලා ලියන්නේ කොහොමද කියලා කියල දෙනවද..?”

“එෆ් අකුර, අයි අකුර, එක්ස් අකුර.. ෆික්ස්..” ඉන්ෆොමේෂන් මට කියා දෙමින් උන්නාය. ඒ මොහොතේම මගේ අක්කා ඇවිදින් මහ හඩක් නගමින් මා බය කළාය.

අනපේක්ෂිත හඩට මා කොතරම් බය වුණාදැයි කිවහොත් මා සිටගෙන උන් මිටි කනප්පුවෙන් බිමට ඇද වැටුණේ, රිසීවරයත් අත තිබියදීමය. රිසීවරය වයරයෙන්ම දුරකථනයෙන් ගැලවී ඇවිත්ය. දුරකථන පෙට්ටියද බිම වැටී ඇත.

අනේ “ඉන්ෆොමේෂන් ප්ලීස්” ට තුවාල වුණාද.? මගේ සිතට පළමුවෙන්ම ආවේ ඒ සිතිවිල්ලය.

විනාඩි ගණනක් යන්න කලියෙන් කවුදෝ දොරට තට්ටු කරන හඩ ඇසිිණ. දොර විවර කරන විට දොර ලග උන්නේ නාදුනන පුද්ගලයෙකි.

“මම දුරකථන අලුත්වැඩියා කරන කෙනෙක්..” ඔහු තමාව හදුන්වා දුන්නේය. “මම මේ පාරෙ කෙළවර තැනක වැඩ කර කර හිටිියේ.. ඒ වෙලාවෙ ඔපරේටර් කිව්වා මේ අංකෙ තියෙන ටෙලිෆෝන් එක තිියන තැන ප්රශ්නයක් කියලා. මං ආවෙ ඒක බලන්න. මොකද වුණේ..?”

මම ඔහුට සියල්ල කීවෙමි.

“හොදයි.. මට පුළුවන් ඉක්මනට මේක හදලා දෙන්න..” ඔහු කීවේය. ඉන්පසුව ඔහු දුරකථන පෙට්ටිය විවර කළේය. මගේ බලාපොරොත්තු කඩ විය. වයර් වලින් සැදුණු අවුල් ජාලයක් මිසක “ඉන්ෆොමේෂන් ප්ලීස්” යැයි මා සිතා සිටි අන්දමේ කෙනෙකු එහි සිටියේ නැත. විනාඩියක් දෙකක් කුඩා නියනකින් ඒ වයර් කෑලි සමග හරඹයක් කළ දුරකථන අලුත්වැඩියා කරන්නා නැවතත් දුරකථනය බිත්තියේ සවි කළේය. ඉන්පසුව රිසීවරය ගෙන කතා කළේය.

“මං මේ කතා කරන්නෙ පීටර්. අංක 105 තියන තැන කිසි ප්රශ්නයක් නෑ. එයාගෙ අක්කා එයාව බය කරලා. එච්චරයි..”
දුරකථනය තැබූ ඔහු මගේ හිස අතගා ඔහු යන්නට ගියේය.

———————————————————-

මේ සියල්ල සිදු වූයේ වයඹදිග පැසිෆික් හි ක්රඩා නගරයකදීය. මට වයස අවුරුදු නවයක් වන විට අපේ පවුල බොස්ටන් වල පදිංචිය පැමිණියේය. මට ඉදහිටක මගේ උපදේශක මිතුරිය මතක් නොවුණා නොවේ. එහෙත් “ඉන්ෆොමේෂන් ප්ලීස්” අයත් වූයේ අර පරණ ලී දුරකථන පෙට්ටියටය. මේසය මත ඇති අලුත් හීන් දුරකථනයට මගේ අවධානය එතරම් යොමු වූයේ නැත.
තරුණ වියට පැමිණි පසුද මට ඇයව අමතක වූයේ නැත. කුඩා දරුවෙකුගේ ප්රශ්න වලට ඉවසිලිවන්තව සවන් දී, හැම දෙයක්ම තේරුම් ගත්, ආදරයෙන් පහදා දුන් ඒ කරුණාවන්ත බව කෙලෙසින් අමතක කරන්නද.?

ඉනුත් වසර ගණනාවකට පසු, මා නව විශ්ව විද්යාලය කරා යද්දී, මා ගිය ගුවන් යානය සියැටල් වෙත ගොඩ බස්වන ලදී. ඊලග ගුවන්යානයට මාරු වෙන්නට තව පැය ගාණක් ඉතිරිව තිබිණ. ඉතින් මම, ඒ වන විට විවාහ වී දරු සුරතල්ද බලමින් උන් මගේ අක්කාට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ඇය සමග විනාඩි ගණනක් ආගිය තොරතුරු කතා කළ පසුව මම වැඩි දුර නොසිතාම මා උපන් නගරයේ දුරකථන ක්රියාකරු සම්බන්ධ කරගන්නට අංකය කරකැවූයෙමි. “ඉන්ෆොමේෂන් ප්ලීස්..” එහා පැත්තෙන් රිසීවරය එසවෙන විට මම ඇසීමි.

පුදුමයකි. මට නැවතත් අර හුරු පුරුදු පැහැදිලි ලයාන්විත කටහඩ ඇසුණි. “ඉන්ෆොමේෂන්..”

මෙය මා කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ඊලග මා කී කතාවද එලෙසම මා කියන්නට බලාපොරොත්තු වූ දෙයක් නොවේ.

“මට ෆික්ස් කියලා ලියන්නේ කොහොමද කියලා කියල දෙනවද.?”

ඉන්පසු ඇතිවූයේ දිගු නිහඩතාවයකි. මිනිත්තුවකට දෙකකට පසු ඒ නිහඩතාවය බිදිමින් අර කටහඩ නැවතත් ඇසිණ. “මං හිතන්නෙ…” ඉන්ෆොමේෂන් ප්ලීස් කීවාය. “දැන් ඔයාගෙ ඇගිල්ල හොදටම සනීප ඇති නේද..?”

මම සිනාසුණෙමි. “ඇත්තටම මේ ඔයාමද.? ඔයා දන්නවද ඒ දවස් වල ඔයා මට කොච්චර වැදගත් කෙනෙක්ද කියලා..”

ඒ කතාබහ අවසානයේ මම මගේ පළමු අධ්යන වාරය අවසන් වූ පසුව ඇයව බලන්නට එන බව කීවෙමි.

“අපොයි එන්න. මං බලා ඉන්නවා. මේ අංකයට කතා කරලා සැලී කියලා අහන්න..” ඇය කීවාය.

එයින් තුන් මසකට පසුව, මම නැවතත් සියැටල් වෙත ආවෙමි. මෙවර අර අංකයට කතා කළ විට පිළිතුරු දුන්නේ ආගන්තුක කටහඩකි.

“සැලී ඉන්නවද.?” මම ඇසුවෙමි.

“මට බොහොම කණගාටුයි.. සැලී පහුගිය කාලෙ තිස්සෙම හිටියෙ අසනීපෙන්.. මීට සති තුනකට කලින් එයා නැතිවුණා..”

ආගන්තුක කටහඩ කීවේය. “ඔයා කවුද.? එයාගෙ යාලුවෙක්ද..?”

“ඔව් පරණ යාලුවෙක්.”

“ඔයාගෙ නම විලියාර්ඩ්ද.?” ඔහු ඇසුවේය.

“ඔව්. කොහොමද දැනගත්තෙ..?” මම ඇසුවෙමි.

“එයා ඔයාට පණිවිඩයක් ලියලා ගිහින් තියනවා..” ඔහු කීවේය. “මේ තියෙන්නෙ.. මං ඒක කියවන්නං.. “එයාට කියන්න සින්දු කියන්න ඕන මේ ලෝකෙට විතරක් නෙවෙයි කියලා.”

“ඉන්පසුව ඔහු මෙසේද කීය. “එයා ලියල තියනවා ඔයා මේකෙ තේරුම දන්නවා කියලා..”

ඔව්. මම එහි තේරුම දනිමි. ඇය මේ වන විට තවත් ලොවක සිට, ඒ ලොවට යහපතක් කරමින් සිටින බව මට විශ්වාසය.

(1966 වසරේ Reader’s Digest සගරාවේ පළවුණු සත්ය කතාවක් ඇසුරිනි.)

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article