නිළියක වෙන්නට ගොස් මිනීමැරුමකට ලෝක ප්රසිද්ධ වූ ගැහැණිය

Aug 6, 2020

“මේක හරියට කලොත් ඔයාට නිලියෙක් වෙන්න පුළුවන්.. ගොඩක් ප්රසිද්ධ වෙන්නත් පුළුවන්..” ඒ් වචන පෙල අයිෂාට සිහිනයක් මෙන් විය.

Continue Reading Below

“නිළියක වීම” අයිෂාට දකින්නටවත් හයියක් නොතිබුණු සුන්දර සිහිනයකි. ඉතින් දැන් එය හැබෑ වෙන්නට යයි.

“ඒ විතරක් නෙවෙයි.. මේකෙන් ඔයාට හොදට සල්ලි හොයන්නත් පුලුවන්..” ඔවුහු කීහ.

සල්ලි.. ඔව්.. අන් හැම දෙයකටම වඩා අයිෂාට උවමනා මුදල්ය. ජීවිතය එතරම්ම අමාරුය. දුෂ්කරය. අයිෂා මේ ක්වාලාලම්පූර් නගරයට ආවේද ඒ දුෂ්කර ජීවිතයෙන් මිදෙන්නට මගක් සොයා ගනු පිණිසය. ඉතින් මුදල් සොයා ගැනීමේ පහසු මාර්ගයක් ගැන සිතුවා මිසක මේ සිදුවෙන්නට යන්නේ කෙතරම් බිහිසුණු සිදුවීමක්දැයි වටහා ගන්නට තරම් ඇයට සූක්ෂම දැනුමක් තිබුණේ නැත.

අයිෂා උපන්නේත් හැදී වැඩුණේත් දුප්පත් ගම්මානයක, දුප්පත් ගෙදරකය. ඇගේ දෙමාපියෝ වැඩි උගත්කමක් නැති සාමාන්ය මුස්ලිම් ජාතිකයෝ වූහ. මැටි ගඩොලින් තැනූ අයිෂාගේ නිවසේ බිත්ති පවුලේ අයගේ ඡායාරූපද, කුරානයේ පාඨ වලින්ද සැරසී තිබුණි. එපමණකි. පොතක් පත්තරයක් තබා රූපවාහිනියක්වත් ඒ නිවසේ තිබුණේ නැත. එනිසාමදෝ බාහිර ලෝකය ගැන අයිෂාට තිබුණු දැනුම බෙහෙවින්ම දුර්වල එකක් වීය. අඩු ගාණේ “ඩොනල්ඩ් ට්රම්ප්” යනු කවුරුන්දැයි කියාවත් ඇය අසා තිබුණේ නැත.

සාමාන්ය ගතානුගතික මුස්ලිම් පවුල් වල අනෙක් දැරියන්ට මෙන්ම අයිෂාටද වැඩි දුර ඉගෙන ගන්නට ලැබුණේ නැත. වයස අවුරුදු දොලහ වෙද්දීම පාසැල් ගමන නවතා ගෙදර නතර වෙන්නට ඇයට සිදු විය. ඉතා අඩු වයසින් ඇගේ විවාහයද සිදුවිය. එනිසාම වයස අවුරුදු දාහතක් වන විට අයිෂා එක් දරු මවක්ව උන්නාය.

අයිෂාගේ විවාහය වාසනාවන්ත එකක් නොවීය. ඇය සතුටින් උන්නේ විවාහයෙන් පසු ගෙවුණු පළමු මාස තුන පමණකි. ඇගේ සැමියා සූදුවට ඇබ්බැහි වූවෙක් විය. වෙනත් ගැහැණුන් සමග සම්බන්ධතාද කෙළවරක් නැත. අයාලේ යනු මිස ඔහු අයිෂා ගැනවත්, දරුවා ගැනවත් බැලුවේ නැත.

වැඩි කල් යන්නට කලින් ඒ විවාහය බිදී වැටුණි. අයිෂා දරුවාව ඇගේ සැමියාගේ දෙමාපියන් ලග තබා රැකියාවකට යන්නට සිතුවාය. හරි හමන් අධ්යාපනයක්වත්, කිසිදු වෘත්තීය පුහුණුවක්වත් නැති අයීෂාට ලේසියෙන් මුදල් හොයන්නට නම් තිබුණේ එකම එක රැකියාවකි. අයීෂා මැලේසියාවේ අග නගරය වූ ක්වාලාලම්පූර් නගරයේ තරගකාරී ලිංගික ශ්රමික වෙලදපොලට පිවිසෙන්නේ ඒ රැකියාව සොයාගෙනය.

2017 වසර වන විට ඇය සිටියේ ක්වාලලම්පූර් නගරයේ ෆ්ලැමින්ගෝ හෝටලයේ සම්බාහන සේවිකාවක ලෙස සේවය කරමිනි. දහවලට සම්බාහන සේවිකාවක ලෙස සේවය කළ අයීෂා රාත්රියට සලෙලුන්ගේ සිරුරු පිනවීමේ රැකියාව කලාය.

ඇගේ ජීවිතය සදහටම වෙනස් කළ මිනිසා ඇයට හමුවූයේ එවන් ගණුදෙනුකරුවෙකු විලසිනි. ඔහු කුලී රථ රියැදුරෙකි.

“මං දන්න ජපන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා.. එයා ටීවී එකේ රියැලිටි ෂෝ එකකට ඉන්න කෙනෙක් හොයනවා.. කැමති නම් කතා කරලා දෙන්න පුළුවන්..” ඔහු කීවේය. ඉතින් අයීෂාට පෙරැත්ත කිරීම් අවශ්ය වූයේ නැත. ඇය ඒ යෝජනාවට එක පයින් කැමති වූවාය.

ඒ අනුව ඇය පසුවදාම ඒ රියැදුරු කී “ජපන් ජාතික රූුපවාහිනී වැඩසටහන් නිශ්පාදකයා” වන “ජේම්ස්” ව මුණ ගැසෙන්නට ගියාය. ඔහු තමාව හදුන්වා දුන් අයුරින් නම් ඔහු කලේ යූ ටියුබ් නාලිකාවකට ප්රහසන වීඩියෝ තැනීීමය.

එහෙත් ඔහුගේ ඇත්තම නම “ජේම්ස්” නොව “රි-ජි වූ” බවත්, ඔහු ජපන් ජාතිකයෙකු නොව උතුරු කොරියානු ඒජන්තයෙකු බවත් අයීෂාට දැනගන්නට ක්රමයක් තිබුණේ නැත.

ඉන්දුනීසියානු භාෂාව දැන නොසිටි “ජේම්ස්” අයිෂා හා කතාබහ කළේ “ගූගල් ට්රාන්ස්ලේට්” වල පිහිටෙනි. ජේම්ස් අයිෂාට පැවරූ රාජකාරිය තරමක් අමුතු පන්නයේ එකකි. ඒ සාමාන්ය සුුපිරි වෙලදසැලකට ගොස්, එහිදි අහඹු ලෙස හමුවන කිහිප දෙනෙකුගේ සිිරුරේ වැරදීමකිින් මෙන් බේබි ඔයිල් තැවරීමය. එසේ කර සමාව ඉල්ලා ඔවුන් පසුකර ඉදිරියට යා යුතුය. ඒ් අතර ජේම්ස් ඔහුගේ නවීන ජංගම දුරකතනයෙන් ඒ සිදුවීම වීඩිියෝ කරයි. මෙසේ කරන්නේ යූු ටියුබ් නාලිකාවක විකට වැඩසටහනකට යැයි ජේම්ස් අයීෂාට කීවේය.

මේ අමුුතු රගපෑමට අයීෂාට ලැබෙන මුදල නම් ඉහලය. එය එක් රගපෑම් වාරයකට පවුම් අසූවකි. මේ විහිළුව කරන්නට ගොස් තමන්ට බැනුම් අසන්නට සිදුවේදැයි ඇය ජේම්ස්ගෙන් ඇසුවාය.

“ජපානෙ මිනිස්සු ඔය විහිළු වැඩසටහන් වලට ගොඩක් කැමතියි.. ඒ නිසා ගොඩක් අය ඒ වගේ යූ ටියුබ් වීඩියෝ බලනවා.. ඔයා ඉක්මනින්ම ජනප්රිය වෙයි. අපි මේකට හොදට ගෙවන්නම්..” ජේම්ස් කීවේය.

ඇත්තටම ඔහු යහමින් ගෙවීම් කළේය. විනාඩි පහලොවක වැඩකට ඔහුගෙන් පවුම් අසූවක ගෙවීමක් ලැබිණ. ඇය සේවය කළ හෝටලයේදී ගණුදෙනුකරුවෙකු සමග පැයක් ගත කිරීමෙන්ද ඇයට උපයාගත හැකි වූයේ පවුම් හතරක් වැනි සුළු මුදලක් පමණකි.

ඊලග සතියේත් ජේම්ස් ඇයව කැදවාගෙන, ඒ කාර්යයම ක්වාලාලම්පූර් වල සුපිරිවෙලද සැල් සංකීර්ණයන්ගේදීද, ක්වාලාලම්පූර් ගුවන්තොටුපොලේදීද කරන්නට දුන්නේය. ඇයට කරන්නට තිබුණේ වෙනදා කරන විහිළුවමය. ජේම්ස් ඇගේ දෙඅත්ලේ යම් ද්රාවණයක් තවරයි. ඇයට තිියෙන්නේ කිසිවෙකුගේ පසුපසින් ගොස් ඒ ද්රාවණය ඔහුගේ මුහුණේ තැවරීමය. ඉන්පසුව ඇයට තියෙන්නේ ඒ පුද්ගලයාගෙන් සමාව ඉල්ලා ඉක්මනින් එතැනින් පිටව යාමය. මේ වතාවේ ඇගේ ගෙවීම තවත් වැඩිවී තිබිණ. ඒ වන විට එය පවුම් සීයක් දක්වා ඉහල ගොසිනි.

“ඔයා හොදට රගපානවානේ.. මං ඔයාව ඇමරිකාවට එක්කගෙන යන්නම්.. ඔයාගේ පාස්පෝට් එක දෙන්නකෝ වීසා හදාගන්න..” ජේම්ස් ඇයට කීවේය. අයීෂාගේ සතුට නිම්හිම් නැත. ඇය කිසිදු ප්රශ්න කිරීීමකින් තොරව ඇගේ ගමන්බලපත්රයද ඔහු අතට දුන්නාය. සති කිහිපයකට පසුව ඔහු ඇයව කාම්බෝජයට කැදවාගෙන ගොස් “මිස්ටර් චෑන්ග්” නම් තවත් අධ්යක්ෂක වරයෙකුට හදුන්වා දුන්නේය. “මිස්ටර් චෑන්ග්” ට අයීෂාගේ මව්බස චතුරව හසුරුවන්නට හැකියාව තිබිණ.

එයින් පසුව අයීෂා ප්නොම් පෙන් හා ක්වාලාලම්පූර් යන ස්ථාන දෙකේදීම පෙර කී රගපෑම කළාය. ඇයට ඒ වෙනුවෙන් හොදින් ගෙවීම්ද ලැබිණ. සති කිහිපයකට පසුව ඇයට එක් වරම “මිස්ටර් චෑන්ග්” ගෙන් පවුම් දෙසීයක මුදලක් ලැබිණ.

“ඇයි මෙච්චර ගාණක්..?” අයීෂා ඇසුවාය.

“ඔයා හොදට වැඩ කරන නිසා අපේ බොස් ඔයා ගැන හරි සතුටු වුණා.. මේක එයාගෙන් තෑග්ගක්..” මිස්ටර් චෑන්ග් කීවේය.

පසුදිනයේදී ඇය “මිස්ටර් චෑන්ග්” ව මුණ ගැසෙන්නට ක්වාලාලම්පූර් ගුවන්තොටුපොලේ කෝපි හලකට යා යුතු විය. එහිදී මිස්ටර් චෑන්ග් ඇයට ඇගේ ඊලග රාජකාරිය ගැන විස්තර කළේය.

“අද කරන්න තියෙන්නෙ වෙනදට වඩා ටිකක් වෙනස් වැඩක්.. අද මෙතනට එන්නේ අපේ කම්පැනි එකේ බොස්.. එයාට ටිකක් තරහ යනවා.. මං ඔයාගෙ අතේ ගාන දියරය එයාගෙ ඇස් දෙකේ ගාලා පුළුවන් තරම් ඉක්මනින් එතනින් යන්න.. ගිහින් අත් දෙක පිරිසිදු කරගන්න.. ඉතිරි හරිය අපි වීඩියෝ කරගන්නම්..” ඔහු අයීෂාට කීවේය.

අයීෂාට මද චකිතයක් දැනුණද ලැබෙන්නට තිබෙන මුදල ගැන සිතා ඇය එය කරන්නට බාර ගත්තාය.

අයීෂා තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම කළාය. මිස්ටර් චෑන්ගේ ඇගේ අතේ තැවරූ දියරය ඔහු පෙන්වූ පුද්ගලයාගේ දෑසේ තැවරුවාය. ඇය එතැනින් පිටවන විටම එතැනට ආ තවත් යුවතියක් ඇය මෙන්ම ඒ පුද්ගලයාගේ දෑසේ තවත් යමක් තැවරුවාය.

වෙනදා මෙන් සියල්ල එතැනින් අහවර යැයි සිතූ අයීෂා, උපදෙස් ලැබුණු පරිදිම දෑත් සෝදාගෙන, මිස්ටර් චෑන්ග්ගෙන් තමන්ට හිමි මුදල ලබාගෙන, ගුවන්තොටුපොල පරිශ්රයේම තවත් පැය දෙක තුනක කාලයක් ගෙවා, දිවා ආහාරයද ගෙන එයින් පිටව ගියාය.

වත් දින දෙකකට පසුව, ඇගේ නවාතැන පොලිසියෙන් වටලන ලදී. අයීෂාව අත් අඩංගුවට ගැනිණ. මුලින් නම් ඇය සිතුවේ මේ තවත් යූ ටියුබ් රංගනයක කොටසකැයි කියාය. එහෙත් පොලිස් නිලධාරීන්ගේ බැරෑරුම් ප්රශ්න කිරීම් හමුවේ එය තවත් විහිළුවක් නොවන බව ඈ වටහා ගත්තාය.

“දහතුන් වෙනිදා කොහෙද හිටියෙ..? ඔයා එයාපෝට් එකේ හිටියා නේද..?” පොලිසිය ඇගෙන් ප්රශ්න කළේය.

ඇය ඇත්තම කීවාය.

“හරි.. එහෙනම් අපි දැන් ඔයාව අත්අඩංගුවට ගන්නවා..”

ඒ වචනත් සමග අයීෂා ගල් ගැසුණාය. “ඇයි මාව අත්අඩංගුවට ගන්නේ..?” ඇය විමතියෙන් ඇසුවාය.

“මිනීමැරුම් චෝදනාවකට..”

“මිනීමැරුමක්..? මං කාවද මැරුවේ..?”

“ඔයා මැරුවෙ උතුරු කොරියානු ජනාධිපතිගේ සහෝදරයාව…!”

ඔව්. මිස්ටර් චෑන්ග් කීවා නිවැරදිය. ඒ වන විටත් අයිෂා ලෝක ප්රසිද්ධ වී උන්නාය. ඇය ප්රසිද්ධ වී තිබුණේ රගපෑම නිසා නම් නොවේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සහෝදරයා වූ කිම් ජොන් නාම් ඝාතනය කිරීම හේතුවෙනි. කිම් ජොන් නාම්

අයිෂා නොදැනුවත්වම කිම් ජොන් නාම් ඝාතනයට හවුල් වී තිබුණාය. එදා ක්වාලාලම්පූර් ගුවන්තොටුපොලේදී මිස්ටර් චෑන්ග් ඇයට පෙන්වූ පුද්ගලයා වූයේ “කිම් ජොන් නාම්” ය. මිස්ටර් චෑන්ග් ඇගේ අත් වල තැවරූ දියරය ප්රබල ජන ඝාතක අවියක් වූ VX නම් විෂ වර්ගයේ එක් කොටසකි. එහි අනිත් කොටස සම්පූර්ණ වන්නේ ඇයට පසුව එතැනට ආ අනෙක් යුවතියගේ දෑත් වල තිබුණු දියරය සමග එක් වීමෙනි. මේ දෙදෙනාගේ අත් වල තැවරුණු රසායනික දියර වර්ග දෙක එක් වීමෙන් ඒ ප්රබල විෂ වර්ගය නිර්මාණය වෙයි. ඒ විෂ වර්ගය සිරුරේ තැවරුණු විට මිනිසෙකුගේ මරණය විනාඩියක් ඇතුලත කාලයක් තුළ සිදුවේ යැයි කියයි.

ඉතින් කිම් ජොන් නාම් ටත් සිදුවූයේ එයමය. යුවතියන් දෙදෙනා දෙවරකට තැවරූ රසායනයන් එක් වී වී.එක්ස් නම් ප්රබල විෂ වර්ගය නිපදවූ අතර, ඒ විෂ වර්ගය නිසා කිම් ජොන් නාම්ගේ දෑස් ක්ෂණයකින් අන්ධ විය. ගුවන්තොටුපොල ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව රෝහලට ගෙන යන විටත් මේ අධිවිෂ ශරීර ගත වීමෙන් ඔහු මියගොසිනි.

යුවතියන් දෙදෙනාගේ අත් වල තැවරුණේ රසායනයේ එක් එක් කොටස බැගින් නිසාත්, ඔවුන් වහාම ඒවා අත් වලින් සෝදා ඉවත් කළ නිසාත් ඔවුන්ට එය විෂ වීමක් සිදුවූයේ නැත. එහෙත් තමා කළ මිනීමැරුම ගැන හාංකවිසියක් නොදැන උන්නත් ඔවුන් දෙදෙනාටම පුරා දෙවසරක්ම බන්ධනාගාර ගතව සිටින්නට සිදුවිය. එය සාමාන්ය සිර දඩුවමක් නොව දැඩි රැකවල් සහිත හුදෙකලා සිරදඩුවමකි. අවසානයේදී ඔවුන් මෙයට සහභාගී වී ඇත්තේ නොදැනුවත්ව බව ඔප්පු වූ පසුව යලිත් නිදහස ලැබූහ.

කොතරම් බිහිසුණු ගමනක් මැදින් වුවත් තමා ලැබූ අපූරු ප්රසිද්ධිය ගැන නම් අයීෂා තවමත් ආඩම්බර වෙන්නීය..

“කවුද හිතුවෙ.. හරි හැටියකට ඉස්කෝලෙවත් ගිහින් නැති මං වගේ කෙල්ලක් ලෝක ප්රසිද්ධ වෙයි කියලා.. නරක දේවල් වලට මූණ දෙන්න වුණා තමයි.. ඒත් මේ ලැබුණ ප්රසිද්ධියම මදෑ..”

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article