අනුන්ට උදවුවට ගොස් නිකරුනේ නින්දාවට වැටුන හැටි

Oct 12, 2020

මා ව්යාපාරික කටයුතු කරන 35 හැවිරිදි කෙනෙක්මි. මගේ නම නිර්මාල් යයි පල කරන මෙන් ඉල්ලමි. එය මගේ සත්යය නම නොවේ. කුරුණෑගල නගරයේ විශාල පොත් සාප්පුවක් සහ තරමක් ගමට වන්නට තව පොත් සාප්පු තුනක් මට තිබේ. මේවාට සේවකයන් 28 ක් පමණ සිටින සෑහෙන්න හොඳින් ක්රියාත්මක වන ව්යාපාරයකි. ව්යාපාරය මා ගොඩනැගුවේ ඉමහත් අසීරුවෙනි. මගේ බිරිඳ නිර්මලා සහ මම විශ්ව විද්යාලයේ සිටියදීම මේ ව්යාපාරය පොඩිවට පටන් ගත්තෙමු. අප දෙදෙනා ඉතාම අවබෝධයෙන් සහ ආදරයෙන් සිටිනා යුවලකි. මේ විස්තර ලිවුවේ ඔබට මා ගැන අවබෝධයක් ලබනු පිණිසය.

Continue Reading Below

මා කුඩා කල හැදී වැඩුනේ අම්මා සහ මගේ සුළු පියා සමගය. අම්මාට ඔහුට දාව තව මල්ලිලා දෙදෙනෙක් සිටි අතර සුළු පියා මා සමග කුඩා කල සිට සිටියේ දැඩි ඉරිසියාවකිනි. ඔහුගේ අතවර හමුවේ අම්මා අසරණව මුනිවත රැක්කාය. අනෙක් අතට අම්මාගේ හිතේද තිබුනේ මා ගැන අමනාපයකි. මගේ පියා මා බඩේ ඉඩදීම මැරුණේ මගේ පවකට යයි ඕ විශ්වාස කළාය. කෙසේ හෝ වයස 18 පහු කරගන්නා තුරු මා ගෙදර සිටි අතර දැඩිව මානසික අවපීඩනයට ලක් වුනෙමි.

මගේ ජීවිතේ මා ලද ලොකුම වාසනාව නිර්මලා හමු වීම යයි සිතමි. මට වඩා වසර 4 ක් වැඩිමල් නිර්මලා විශ්ව විද්යාලයේ ගිය දක්ෂ ගැහැණියක් වුන අතර පළාතේ ප්රධාන පාසලක සේවය කළ ගුරුතුමියකි. ඇය විසින් පවසා මා ආරම්භ කළ ව්යාපාරය කෙමෙන් කෙමෙන් දියුණු වී අප දෙදෙනා ආර්ථික අතින් ස්ථාවර අතට පත් වීමු. මූලය සාර්ථකත්වය ලද නමුත් අපිට දරුවන් ලැබුනේ නැත. එබැවින් මාගේ දැඩි පෙරැත්තය මත නිර්මලාද ඒ වෙනුවෙන් කැප වූවාය. අප දෙදෙනාම කාගේ හෝ අසරණ ළමයෙක් දුටු විට නොපැකිල උපකාර කළෙමු. විශේෂයෙන්ම දෙමාපියන්ගේ ගැටළු, නොසලකා හැරීම් නිසා කාලකන්නි වෙන ළමා ජීවිත ගැන අපි තුළ හටගත්තේ බලවත් දුකකි.

නිර්මලාගේ පාසලේ ඇය විසින් බෙහෙවින්ම ආදරේ කරන ගැහැණු ළමයෙක් සිටියාය. මානසික අවපීඩනය වෙනුවෙන් ඖශධ ප්රතිකාර පවා කළ මේ දැරිය උසස් පෙලින් පසු රැකියාවක් නොකර ගෙදරටම වී සිටින හෙයින් රැකියාවක් දෙන මෙන් දිනක් නිර්මලා මගෙන් ඉල්ලුවාය. ඇගේ රෝගයට බොන බෙහෙත් නිසා උදේ නැගිටීම අපහසු නිසා වෙන රැකියා කළ නොහැකි බව පවසන ලදී. මේ දරුවා බෙහෙත් වලින් මිදී සුවපත් වන තුරු ප්රමාද වී වැඩට ඒමේ නිදහස දීමට මම එකඟ වීමි. රෝගියෙක් සහ අසරණ ජීවිතයක් ගලවාගෙන යහපත් ලෙස සමාජ ගත කිරීම අප දෙදෙනාගේ අභිලාශය විය.

මෙවැනි දේවල් අපි දෙදෙනා කළේ ඉතා සතුටිනි. ඊට අමතරව ප්රදේශයේ විශේෂ දරුවන් ඉන්නා ළමා නිවාසයකට නිර්මලා සහ මම උපකාර කළෙමු. මේ කියන ගැහැණු දරුවා එක හැන්දෑවක අපගේ නිවසට නිර්මලා විසින් ගෙන්වා තිබුණි. ඇය පැහැපත් අහිංසක පෙනුමක් තිබුන දැරියකි. වයස 24 ක් බව දැනගැනීම අපේ දැඩි දුකට හේතු විය. කුඩු පානය කරන මිනිසෙක් මෙන් අගේ අතැඟිලි එකින් එක වැදෙමින් වෙවුලන්නට විය. ඒ මානසික අවපීඩනයේ උපරිම තත්වයක් බව මා හට වැටහුණි.

මේ දරුවාට රැකියාවක් දීම මගින් අපි බලාපොරොත්තු වූයේ යහපත් ලෙස සමාජ ගත කිරීමයි. ඇය පීඩනයට ලක් කර හිංසා කල පරිසරය කොතරම් නපුරුද? ඒ මදිවට ඇයට පෙම් සම්බන්ධතා දෙකක් තිබී ඇති අතර ඒ මිනිසුන් හදිස්සියේ ඇය අතහැර යාම නිසා ඇගේ තත්වය බොහෝ වැඩි වී ඇති බවත් තමා සතු ඉඩම් පවා ඒ පිරිමින් කොල්ල කාගෙන පැනගත් බව මේ දැරිය අපිට හෙළි කළාය. ඇගේ නම මධුෂිකා නම් වුන අතර දුටු මතින් මේ දරුවා තුලින් මම අතීතයේ සිටි මා දුටුවෙමි. මගේ ප්රිය බිරිඳ නිර්මලා මට වඩා වසර 4 ක් වැඩිමල් වුනත් කොතරම් යහපත් ගැහැණියක්ද යන්න හිතමින් නැවත වරක් ඇයට පින් දුන්නෙමි.

මධුෂිකා ඊළඟ දිනයේ සිට පොත් සාප්පුවේ වැඩට පැමිණියාය. ඇගේ රෝග තත්වය නිසා නියමිත වැඩක් ඇයට පැවරිය නොහැකි හෙයින් මගේ සහයිකාව ලෙස තෝරා ගත්තෙමු. මම හැකි සැම විටම දෙමාපියන්ගෙන් නොලද කරුණාව ඇයට දෙන්නත් , ඈ හා කතා බහ කිරීමෙන් ශක්තිමත් කිරීමටත් වෙර දැරුවෙමි. නිර්මලාද දිනක් මධුෂිකා ගේ වෛද්ය වරයෙක් වෙතට ගෙන යාම පවා මා වෙතට පැවරුවාය. මම ඇය වෛද්ය වරයා වෙතට තනිව ගෙන ගියේ එදා සමස්ත ලංකා වැඩසටහනකට යාමට නිර්මලාට තිබුණු බැවිනි. මදුෂිකා කෙමෙන් අප පවුල සමග සමබන්ධ වුන අතර ඇගේ පවුල තුලද ඇයට යම් පිළිගැනීමක් ලැබෙමින් පැවතුනි.

සාප්පුවේ ඇගේ වගකීම් විරහිත ලෙස වැඩ පැහැර හැරීම් නිසා නොයෙක් ගැටළු ඇති වුනත් අප දෙදෙනා ඒවාද නොසලකා සිටියෙමු. මදුෂිකා හට කාරුණික මිනිසෙක් සොයා විවාහා කර දීමට පවා අප දෙදෙනා ඇතැම් විට කතා කරගෙන සිටියෙමු. මන්ද යත් මේ වන විට මධුෂිකා ඕනෙවට වඩා අප හට සමීප වී සිටි හෙයින් අපිටත් මෙය කරදරයක් හෙයිනි. ඒ අතර අපේ සමාගමට තවත් මව පියා වෙන්වී සිටි දැරියක් පැමිණියාය.

ඉතා දිරියෙන් වැඩකළ ඇය මධුශිකාට හොඳ උත්තේජනයක් දෙනු ඇතියි කියා මා සතුටු වීමි. එබැවින් පසුව සමන්ධ වුන සමනලීගේ කාර්ය ශූරත්වය , ඉගෙනීමට ඇති උනන්දුව පවා අප විසින් වර්ණනා කළෙමු. සමනලී සැබවින්ම ඉතා අහිංසක යහපත් දැරියකි. වැඩ කරන උදවිය විටින් විට හදිස්සියේ ඉවත් වී ගිය අතර ඔවුන් යන කාලයේ වැඩ අවුල්ව කරනු දැකීම නිසා මා විසින් ඉවත් කිරීම් සිදු විය. මෙය මට තේරුම් ගත නොහැකි විය. මට කාර්යාලයේ වැඩිම විශ්වාසවන්ත කෙනා වුන මදුෂිකා විසින් එකිනෙකා ගැන දෙන තොරතුරු මත යැපීමට මම ඒ වන විට හුරු වී සිටියෙමි.

නිර්මලා බොහෝ විට පාසලේ දරුවන්ගේ වැඩ සමග කාර්ය බහුල වූවාය. එවන් විටක මම මදක් වේදනාවෙන් සිටිනු දකින මදුෂිකා ලඟට පැමිණ මා සමග සාමිචි කතාවේ යෙදේ. කාර්යාලයේ හැමෝම පාහේ මදුෂිකා සහ මම සමීප බව දැන සිටියහ. ඇය මට ඉතා ගෞරවයෙන් කටයුතු කළාය. නිර්මලාගේ අනුදැනුම යටතේ මගේ දියණියක මෙන් ඈ ගැන කුළුණු ගුණෙන් සිටි මට සඟවන්නට දෙයක් කොහෙත්ම නොවීය. මේ අතර අපගේ බලාපොරොත්තු සපල කරවමින් නිර්මලා ගැබ් ගත්තාය.

මම සියලුම වැඩ අතපසු කොට නිර්මලාගේ සුව පහසුව බලන්නට පටන් ගත්තෙමි. වසර ගණනකට පසු අප දෙන්නා මාපියන් වන අතර රෝග තත්වය නිසා නිර්මලා ඇඳ විවේක ගන්වා සිටියාය. මම ඉමහත් සතුටින් ඇය ළඟ වැටී ඈ බලාකියා ගත්තේ මගේ දරුවා රැක ගැනීම අප දෙදෙනාගේම වගකීමක් හෙයිනි. මේ පරිසරයේදී මදුශිකාද බෙහෙවින් සතුටු වී දුවක මෙන් අපිට ආධාර කරනු ඇති බවට නිර්මලාට හෝ මට මදකුදු සැකයක් නොවීය. නමුත් තමාට රෝගී බව කියමින් මදුෂිකා මුලින්ම වැඩට නොපැමිණ සිටියාය. ඉක්බිති මට දුරකතනයෙන් කතා කරමින් ඇගේ සේවය ස්ථිර කරන ලෙසත් තමා සතුව ඇති සාක්ෂි ගෙන උසාවි යන බවත් වැටුප ලක්ෂ එක හමාරක් ගෙවිය යුතු බවත් කියමින් මට ඉතාම දැඩිව දෝශාරෝපනය කරන්නට පටන් ගත්තාය.

සැබවින්ම මධුෂිකා වැඩ කළේ දවසට පැය කීපයකි. උදේ 11 ට එන ඇය හවස තුන හමාර හතර වන විට ගෙදර ගියාය. දවසම වෙහෙසී වැඩ කරන සමනලී හට ස්ථිර කිරීම් සහ 40,000 ක පමණ වැටුපක් ගෙවුවද මදුශිකාට ගෙවන ලද්දේ රුපියල් 30,000 ක වැටුපකි. ඒ වැටුපද නාස්තියක් බව මට හිතුනි. නිතර සේවයට නොඑන, නිසි වෙලාව වැඩ නොකරන මදුෂිකා ස්තිර කිරීම් කළ නොහැකි බව මම කීවේ නැග එන කෝපයෙනි. අප පත්ව ඇති හදිස්සි තත්වයේදී මේ ගුණමකු කෙල්ලගේ ක්රියාකලාපය නිර්මලාට හිතා ගත නොහැකි විය. අප ගෙදරට පිට කාටවත් ඒමට ඉඩක් නොදුන්නේ නිර්මලා හට කුමක් හෝ රෝගයක් වැළඳීමට ඉඩ ඇති බැවිනි. මට වැඩට යන්නටද සති කීපයක් නොහී වුන නමුත් මගේ සේවකයෝ මෙවෙලේ එකා වන්ව වැඩේ යෙදුනාහ.

හදිස්සියේ මදුශිකාගෙන් ඇමතුමක් මට ලැබුණු අතර ඇය කියූ කතාව මට හිතා ගැනීමට නොහැකි විය.

“නිර්මාල් දැන් ළමයා එක පාරටම ලොකු වුනා නේද? නාකි ටීචරුයි දෙන්නා දැන් කිරි පැණි වගේ නේද? මම නිකන් ඉන්නේ නැහැ කියල මතක තියා ගනින් “ මදුෂිකා කෑ ගැසුවාය.

වෙන්න යන්නේ මොකද්ද කියා මට හිතා ගත නොහැකි විය.

“ තමුසෙට මොනවා වෙලාද ඕයි? මරු කියෝනවද? මම දැන්ම නිර්මලා ටීචට කියල තමුසෙව අස් කරනවා ‘ යයි කීවේ කෝපය නිසාය.

“ හාහ්…. මම අතීතය හෙළි කරන්නේ නැතුව නිකන් ඉඳීවි කියල උඹ හිතුවද ? බලමුකෝ දෙන්නා දරු හුරතල් බලන හැටි “ කියමින් උමතුවෙන් මෙන් සිනාසුනාය. මම මෙයින් මහත් සේ කෝප වීමි.

“ ඇයි මගේ ළමයට මොනවා කරන්නද? තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ ?” යයි මම ඇසුවේ මේ දැරියට හදිස්සියේ කුමක් විනිද යන සැකයෙනි.

මගේ මිතුරෙක් මදුෂිකා හමු වෙන්නට ගිය අතර මාස දෙකක වැටුප කාරුණික කම ගැන සලකා ලබා දී වෙනත් රැකියාවක් හොයාගන්නා මෙන් ඉල්ලා මින් පසු කාර්යාලය වෙත නොඑන මෙන් තදින් කියා තිබුණි.

පසුව කාර්යාලයට ගිය මම මදුෂිකා ලඟින් ඇසුරු කළ සමනලී ගෙන්වා විස්තර අසා බැලුවෙමි. ඇසු කරුණු මට විශ්වාස කළ නොහැකි තරම් විය. සමනලී කියූ කරුණු අනුව මදුෂිකා ඇයට කියා ඇති දේවල් මෙසේය.

මදුශිකාට අනුව “ නිර්මලා සහ මම ගෙවන්නේ අතිශය දුක් සහිත විවහා ජීවිතයකි. නිර්මලා මා වෙත මා බලාපොරොත්තු වන ආදරය නොදෙන බවත් ඒ නිසා මා දැඩි අසහනයෙන් සිටින බවත් ඇය නිතර කාර්යාලයේ හැමෝටම පවසා තිබුණි. එමෙන්ම මදුෂිකා සහ මා අතර අනියම් සම්බන්ධයක් පවතින ආකාරයට ඇය බොරු කරුණු හුවා දක්වා ඇත. ඒවා අසන මට මෙතරම් වයාධිමය ලෙස මිනිසුන්ට බොරු කිව හැකිද විශ්වාස කළ නොහැකි විය.

“ නිර්මාල් සර් නාන කාමරයේ කොටු කරගෙන මගේ දෙතොල් සිප ගත්තා “ යයි වරෙක ඈ කාර්යාල සේවකයන්ට කියා තිබුණි.

තවත් දිනක සේවකයෙක්ගේ උපන් දිනයක් සමරන විට මම මේසය යටින් මදුශිකාගේ කකුල් පාගමින් සිටි බව කියා ඇත. එවන් දිනයක් මට කොහෙත්ම මතකයේ තිබුනේ නැත. මට ඉතා සමීපව දුවක මෙන් කෑම , වතුර ටික පවා ගෙනත් දෙන මදුෂිකා මෙවැනි සාහසික බොරුවක් කීවේ කෙසේද මම කල්පනා කළෙමි. එසේ කිරීමෙන් ඇය අපේක්ෂා කළේ කුමක්ද මම කල්පනා කලෙමි.

“ මම නිර්මාල් සර්ට පිස්සුවෙන් වගේ ආදරෙයි..හැබැයි ටීච දකිද්දීත් මට ගොඩක් වරද කාරී හැගීමක් එනවා. එයා මට කොච්චර නම් සලකනවද ?” කියා වරෙක පවසා ඇත.

එමෙන්ම සමනලී හොඳින් වැඩ කරන නිසා මගේ ප්රසාදයට ලක් වීම තමන්ට ඉහිලිය නොහැකි හෙයින් සමනලීව මා පාවිච්චි කරන බවත් ඔතරම් මහන්සි වී වැඩ නොකරන ලෙසත් ඉල්ලා ඇත. මීට පෙර ඉවත් කරන ලද දක්ෂ සේවකයන්ට සිදු වුනේ කුමක්ද යන්න වටහා ගැනීම මට අසීරු නොවීය.එමෙන්ම සමනලී මදුශිකාව ඇසුරු කර ඇත්තේ දැඩි බියකිනි.

“ නිර්මාල් සර් අහන්නේ මම කියන දේ විතරයි. ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක ජොබ් එකෙන් අයින් කරවන්න මට පුළුවන් “ කියමින් ඕ වහසි දොඩා සමනලී වෙත දැඩි අධිපති බවක් පෙන්වාගෙන සිට ඇත.

මගේ හිත මහත් සේ කලකිරුණේ මා විසින් අනුකම්පාවෙන් උපකාර කිරීමට ගිය මනුස්සයෙක් විසින් මට මෙවැනි දරුණු ද්රෝහී කමක් කළ හෙයිනි. සැබවින්ම එය ඇයට ඇති මානසික ව්යාධියක් නිසා සිදු වූවක්ද ? නැතහොත් හිතා මතා තක්කඩි කමට කරන ලද්දක්ද යන්න මට හිතා ගත නොහැකි වියට. සමනලී කියූ පරිදි මෙන්ම මට දැනුණු පරිදි මදුෂිකා වියරු වැටී ඇත්තේ අපගේ දරුවා ලැබීම සමගය. දරුවා සමග මා සහ නිර්මලා කාර්යබහුල වූහ. අපිට මදුෂිකා වෙත පෙර දැක්වූ අවධානය යොමන්නට බැරි විය. ඇගෙන් අපේ දරුවාට සහ නිර්මලාට අනතුරක් වෙතියි මම මහත් සේ භය වීමි. මාස 9 කින් අපගේ දියණිය නිරෝගීව මෙලොව එලිය දුටුවාය. නිර්මලා සහ මා අපමණ සතුටට පත් වීමු. මදුෂිකා වැනි කෙනෙක්ගේ වචන අසා මා සැක කරන්නට තරම් මෝඩ ගෑනියෙක් නොවේ නිර්මලා. එබැවින් අපගේ අතර කිසිඳු ගැටුමක් මේ සිදුවීමෙන් හටගත්තේ නැත.

පෙම්වතුන් ගැන සහ දෙමාපියන් ගැන කියන ඇතැම් කරුනුත් ඇය විසින් අනුකම්පාව සහ අවධානය ලැබීමට ගොතා කියන කරුණු බවට සැකයක් ඇති විය. ඕනෙම ගැහැණු කෙනෙක්ට උපකාර කිරීමේදී දෙවරක් සිතීමට මම එදා සිට පෙළඹුනෙමි. අපගේ අනුකම්පාව බොහෝ විට වැරදි ලෙස පාවිච්චි කිරීම මේ සමාජයේ සිරිතකි. අනුන්ගේ අනුකම්පාව ලැබීමට බොරු කියමින් හැසිරෙන ඇතැම් මිනිසුන්ගෙන් ප්රවේශම් විය යුතුය. මා වෙන්න තිබුන විශාල විපතකින් ගැලවුනේ හැම විටම නිවැරදිව ක්රියා කළ බැවිනි. ඔබට මිනිසුන්ට උදවු කිරීමේදී පරිස්සම් විය යුතු බව කීමට මේ කතාව බෙදා ගතිමි. පොදුවේ මනුෂ්ය වර්ගයා ගැන මට ඇති වන්නේ මහත් කලකිරීමෙකි.

Share Now

Related Article