සොඳුරිය මට නොකියාම ගියා…..

Apr 6, 2020

පුවතක් : තරුණ සහකාර පොලිස් අධිකාරි වරයා රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගනී.

මාත් නිලුත් යාලු වුනේ දහය වසරේදීය. යාලුවුනා කීවට ඉන්ටවල් එකේ හොරෙන් ලියා ගන්නා ලිපියක් හැර වෙනත් කිසිවක් අප අතර සිදු නොවුන අහිංසක කුඩා දරුවන් දෙදෙනෙක් අතර පැවති සම්බන්ධයක්ම විය. නිලුගේ තාත්තා විදුහල්පති වරයෙක් වුන පළාතේ වංශවත් පවුලකින් පැවත එන රදළයෙකි. අපේ අම්මා හැර මට වෙනත් ඥාතියෙක් නොවීය.

Continue Reading Below

අම්මා තරමක් පොහොසත් පවුලක සිට තාත්තා සමග වහන් වී මේ ගමට පැමිණි අතර රියදුරු රැකියාවක් කළ බව මා අසා තිබුණි. මට වයස තුන වන විට හර්ද ආබාධයකින් මියගිය බව හැර මට ඔහු ගැන මතකයක් නැත. එදා සිට අම්මා මා හදා ගැනීමට අපමණ දුක් වින්දාය . ගෙවල් වල පිටි කෙටීම්, දාන හැදීම් වැනි වැඩ වලට උපකාර කර වේලක් හැර වේලක් කන්නට මුදල් උපයා ගත්තීය. නමුත් ඈ නිතරම මට අනුබල දුන්නේ ගස් ගෙඩි කඩමින් කොලු නඩයේ සෙල්ලම් කිරීමට නොව ඉගෙනගෙන අප දෙදෙනා මේ දුකෙන් නිදහස් කරවනු පිණිසය.

කුඩා කළ සිට මම ඉගෙනීමට දක්ෂ වුනෙමි. පාසලේ ගුරුවරු මට ආදරේ කළහ. ඊට අමතරව තත්තා නැති එකා යනුවෙන් මම හැමවිටම අනුකම්පාවට බඳුන් වුන බව දුටුවෙමි. අපගේ කුලයේ තිබුන අඩුපාඩුවක් නිසා ගමේ උත්සව වැනි දේවල් වලට අපිට ආරාධනා නොලැබුනත් හැම විටම හොඳ හිත නොමදව ලැබුණි. මා එය ඔවුන් මට ආදරේ යයි වරදවා වටහා ගත්තෙමි.

නිලුත් මාත් කුඩා කල සිට දන්නා හඳුනන ගෙවල් ළඟ හැදුන වැඩුන දරුවෝය. මම නිලුට පාඩම් කියා දුන්නෙමි.

“ සුසන්ත පුතේ අපේ දුව දඟල දඟල ඉන්නවා..අල්ලාගෙන ගණිතය ටිකක් කියා දෙන්න “ වැනි කාරුණික වචන ඇතැම් විට නිලුගේ අම්මාගෙන් ඇසේ.

අපේ අම්මා බොහෝ විට ඉස්කෝලේ හාමිනේ ලාගේ ගෙදර වැඩ කර මුදල් සොයා ගත්තීය. ඉතුරු වෙන ආහාර පවා එවීමට ඉස්කෝලේ හාමිනේ කාරුණික වූවාය. එකට දුව පැන ඇවිදිමින් හැදුන නිලුත් මාත් අතර ආදරය හටගත්තේ නිරායාසයෙනි. වැඩිවිය පැමිණීමෙන් පසු ඇය මා සමග සෙල්ලමට නාව අතර මටත් එහෙ නොයන මෙන් අම්මා උපදෙස් දී තිබුණි.

නිලුත් මමත් අනාගතය ගැන කතා කරන හැම විටම නිලුගේ දෙනෙතේ මෝදු වන බය මම දුටුවෙමි.

“ ඔයා ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගන්න සුසන්ත . ඊට පස්සේ අපි දෙවනුව මගුල ගැන හිතමු “ ඕ නිතරම මට කීවාය.

මගේ පැතුම වූයේ හොඳින් ඉගෙන ගෙන අපේ ගේ පිළිවෙලකට හදාගෙන නිලූ ගෙදර කැන්දාගෙන ඒමයි. අපේ අම්මාට සහනයක් දීමට එවිට මට හැකිය. අම්මා නිලුට පන ඇරගෙනය. වෙන එකක් තියා නිලූ ලොකු ළමයෙක් වෙන දවසේ නෑවුවේද අපේ අම්ම හෙයින් ඈ ඒ ගැන නිතරම කීවාය.

එවිට නිලූ දමාගෙන සිටි රත්තරන් කරාඹු දෙක අම්මට ඉස්කෝලේ හාමිනේ විසින් දෙනු ලැබූ අතර අම්මා එය කවදාවත් දැම්මේ නැත. ඒ මොකද කියා මම දිනක් ඇසීමි.

“ උඹ හැරෙද්දී මම නොදන්නවායැ පුංචි බේබි උඹ බැන්ද දවසක හම්බ වෙන මිනිබිරීට මම ඒක දානවා. කනවැන්දුම් මට මොටද ඕවා?”

මගේ හිතේ දුකක් මෙන්ම සතුටක් හටගත්තේය. පරාර්ථකාමී ගැහැනියක් ලෙස මුළු ජීවිතේම මා වෙත කැප කිරීමෙන් පසු ඇයට කරාඹු දෙකක් අරගෙන දීම මගේ පලවෙනි අදිටන විය. අම්මට කරාඹු විතරක් නෙවේ ඔසරි , මාල හැමදේම ගෙනත්දීල ලස්සනට අන්දවන්න ඕනේ, හරියට නිලුගේ අම්ම වගේම මම සිතුවෙමි.

දෙවැන්න අම්මා නිලූ ගෙදර කැන්දාගෙන එනතුරු බලා සිටීම මට මහත් සතුටක් විය. කුලය හා බැඳුන සැබෑ තත්වය මම ඒ වන විට නොදැන සිටියෙමි.

මා කැපවීමෙන් උගත්තෙමි. උසස්පෙළ විභාගය ඉහලින්ම සමත් වුවත් තව වසර 4 ක් අම්මට දුක් දීමට මට සිතක් නොවීය. එබැවින් ශ්රී ලංකා පොලිසියේ නිලධාරී ධූරයට ඉල්ලුම් කළෙමි. නීති උපාධිය බාහිරව කර රැකියාවේ ඉහල යාම හෝ නීතිඥයෙක් ලෙස සේවයට වාර්තා කිරීම මගේ අරමුණ වී තිබුණි. රැකියා දෙකම හොඳ සමාජ ආර්ථික තත්වයක් ලැබෙන රැකියා හෙයින් නිලුගේ ගෙදරින් මා හට විරුද්ධ වීමට දෙයක් නැතිවනු ඇතියි මම බලාපොරොත්තු වුනෙමි. පුහුණුවෙන් පසු මගේ සේවය දුෂ්කර පලාතකට යෙදවුණ අතර සති අන්තයේ මම පොලිස් ජීප් රියෙන් ගෙදර ඒම අම්මා ලද මහත්ම ජයග්රහණයක් බව ඇගේ නොසඟවන උද්දාමයෙන් පෙනුණි.

“ ඉස්සර අපි නරි බල්ලෝ ගානට දාල හිටි එවුන් දැන් එනවා පුතාට කියල පැමිණිලි උස්සලා දෙන්න කියල” කියමින් ඇතැම් විට ඕ මට කීවාය. ගමේ කාට හෝ උපදෙස් හෝ උපකාර ඇවැසි විට මම ඒ හැමදේම අඩුවක් නැතුව කළෙමි.

බැංකු ණයක් ගෙන මම අපේ ගෙදර පිළිවෙලට හැදුවෙමි. එහා වත්තෙන් පර්චස් 20 ක් මිලට ගෙන වත්තේ මායිම විශාල කළේ ලොකු ඉඩමක හැදුන නිලුට නිදහසේ සිටීමටය. අම්මා නිලුගේ සහ මගේ කාමරයට වෙනම නාන කාමරයක් එයටම අල්ලා හැදිය යුතුබව තරයේම කීවෙන් මම ඉතා සිත්කළු ලෙස එයත් ඉටු කළේ අම්මාගේ කල්පනාකාරී බව ගැන සිතෙන් පින් දෙමිනි.

මේ අතරේ ගුරු විද්යාලයෙන් ඉවත් වුන නිලුට ගමේම පාසලට පත්වීම හදා දුන්නේ ඇගේ පියාගේ මිතුරු අධ්යාපන අධ්යක්ෂක කෙනෙක් විසිනි. ගමේ හැමෝටම අපේ සම්බන්ධය රහසක් ලෙස අපි තබා ගත්තෙමු. නොවරදවා එකිනෙකාට ලිපි ලියා ගැනීම නම් හැම සතියකම කළෙමු. ඇතැම් විට අපි දෙදෙනා හමුවීමට තෝරා ගත්තේ නිලුගේ යෙහෙලියක් සිටින කඩුගන්නාවේ තිබුන කුඩා උද්යානයකි. ඒ වන විට නිලූ 26 හැවිරිදි වුන අතර මා 29 හැවිරිදි වීමි.

ගෙදරින් ගෙන එන යෝජනා වලට තමා අකමැති වීම සාධාරණීකරණය කිරීමට නොහැකි වුන තැන “ මොනවද තවත් හංගන්නේ? මම ගෙදර එනවා හෙටම . ඇවිත් තාත්තාගෙන් අහනවා “ යන තීරණය ඇයට දැන්වීමි.

“ අනේ සුසන්ත ..ඒක නම් කරන්න එපා..අම්මලා කවදාවත් ඔයාට කැමති වෙන්නේ නැහැ”

“ ඔයා ඇහුවේ නැහැනේ… මම ඇවිත් අහන්නම්.. ඔයාව හොර පාරෙන් උස්සන් පනින්න මට හිතක් නැහැ නිලූ. ඉස්සරහ දොරෙන් පෝරුවේ නග්ගලා ලස්සනට ගේන්න ඕනේ නිසයි මේ සේරම දුක් මම වින්දේ “ කියමින් ඇයට බුරා හැලුනෙමි.

නිලුට ඕනේ වුනේ මා සමග පැන යාමටය. නමුත් එයින් ඇගේ ගෞරවය කෙලෙසේ. වගකීමක් ඇති වෘත්තියක යෙදෙන මගේ ගෞරවය කෙලෙසේ. අනික ලස්සන විවාහ උත්සවයක් ගෙන තමා වසර 10 ක් තිස්සේ ආදරය කළ පළමු පෙම්වතිය කැන්දන් යන්නට අකමැති කොයි පිරිමියාද?

“ මට ඕනේ ඔයා විතරයි සුසන්ත..මට බයයි. “ මගේ සිරුරට බර දීගෙන සිටි ඇගේ සාරියෙන් වැසුන ලය වේගයෙන් උස් පහත් වනු මට දැනුණි.

මම පහුවෙනිදාම නිලුගේ ගෙදර ගියෙමි. ඇගේ දෙමාපියෝ විසින් මාව සාදරයෙන් පිළිගත් නමුත් අප දෙදෙනාගේ සම්බන්ධය ගැන කියූ විට ඔවුන් මහත්සේ විමතියට පැමිණි බව පෙනුණි.

“ මේ ළමයා කියන දේ ඇත්තද?” යනුවෙන් ඇසූ පියා සිය සිතැඟි හඟවනු මට පෙනුණි.

“ එහෙනම් ඒකයි මේ උඩුගම වලවුවේ නිලමේ තුමාගේ පුතාට බැහැ කියල පරසක්වල ගැහුවේ.” කියමින් ඉස්කෝලේ හාමිනේ කෝපයෙන් ගේ පුරා ඇවිද්දාය.

ගේ ඇතුලේ තිබුන පීඩනය සමනය කරවීමට මෙන් නිලුගේ පියා මාව එලියට එක්කන් එන ලදී.

“ සුසන්ත පුතා එක්ක සම්බන්ධයක් තිබුනා කියල මේ ළමය නිකන් වත් අපිට කියල නැහැ. අනික අවුරුදුම 10 ක්… ඒ වුනාට මේ ළමයාගේ අම්මහේ හිතේ තියනවා මෙයාව එයාගේ ඇවැස්ස මස්සිනාගේ පුතාට බන්දවන්න. ඒ නිසා ඕක හරියන්නේ නැහැ ළමයෝ … ඔය ළමයා හිත හදාගන්න “ කියා ඉතාම සාමකාමීව පවසා මා සමග ගේට්ටුව දක්වාම පැමිණියේය.

නිලුගේ නිවස අසල වසන කාමලී ගේ පුංචි පුතා අවුරුදු 13 ක ගැටවරයෙකි. නිලූ සහ මා අතර පණිවිඩ හුවමාරු කරන ලද්දේ ඔහු විසිනි. හවස මම කොල්ලා අල්ලාගෙන සිදුවුණ දේ අසාගන්නට වෙර දැරුවෙමි.

“ නිලූ නැන්දට ලොකු ආච්චි හොඳටම ගහල කොස්සක් කැඩෙනකම්ම” යන පුවත මගේ කන වැකෙද්දී හවස් වී තිබුණි.

පොලිස් මාමටත් හොඳටම ආච්චි බැන්නා. කොලුවා මුව උල් කරයි.

“ මේ ගමේ රෙදි හෝදපු රදවූ ගිය උඩක්…..උන්නේ මහා එකාගේ තාත්තා අපේ අප්පච්චිලාගේ මහගෙදරට ආවේ පස්සේ දොරෙන්. උන්ට කන්න දෙන්න වෙනම සුද්ද කරපු පොල්කටු තිබුණා”

“ තෝ රදවී ..අපේ මුළු පවුලේම නම කෑවා” කියල තමා බැන්නේ. සීයා නම් සද්ද නැතුව හිටියා.

“ අපේ හාමිනේ දැන් ගැහුවා ඇති නේද ? “ කියල පාරෙන් පාර ආච්චිට කීවා . ආච්චි ඇහුවේ නැහැ මාමේ. මට නිලූ නැන්දා ගැන දුකයි.

“නෑදෑයෝ හැමෝම ඇවිත් නිලූ නැන්දට බනිනවා . මම හෙට දිහාට නැන්දගෙන් පණිවිඩයක් ගේන්නම්” කොලුවා මගේ හිත හදයි. හෙට ඉරිදාය. මම සඳුදා වැඩට යා යුතුය. මේ අපායේ නිලූ තනිකර දමා යන්නේ කෙසේද? පණ්ඩිතකම් නොකර ඇය කියූ ආකාරයට පැන ගියානම් මැනවයි මට සිතුණි.

ඊළඟ දිනයේ කොලුවා මට ගෙනාවේ හීනෙන් වත් අසන්නට බලාපොරොත්තු වුන පුවතක් නොවේ. ඒ වනවිට නිලුගේ ඥාති සමූහයම පැමිණ අයට තර්ජන , ගර්ජන, බැනුම්, ඉල්ලීම්, යාතිකා සියල්ල කිරීමෙන් පසු ඇය සදහටම පවුලෙන් ඉවත් කරවන බවට පවසා මගෙන් වෙන් වීමට කැමැත්ත ගෙන තිබුණි.

සුසන්ත,

මම අපේ නෑදෑ අයියා කෙනෙක්ව බඳින්න කැමැත්ත දුන්නා. මීට පස්සේ අපේ සම්බන්ධය ඉවරයි. ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි. තෙරුවන් සරණයි.

නිලූ

ලෙස ලියු කුඩා තුන්ඩු කැබැල්ලක් ලැබුණි. ඇය හමුවීමට ආයාචනා කර කොලුවා අතේ කොතෙක් ලියුම් යැවුවත් ඇය නිසොල්මන්ව ගලක් මෙන් සිටියාය.

“ උත්තරයක් නැහැ කියල තමා නැන්දා කීවේ.” කියා කොලුවා පැමිණි දින ගණන 10 කට වැඩි විය. ඒ අතර නිලුගේ මංගල්ලයට සූදානම් වෙන බව කොලුවා විසින් මට පවසන ලදී.

මේ අතර ඇඳිවත පිටින් පැන යාමට ආරාධනා කර ලියුමක්ද යැවීමි. ඇය විසින් කළ යෝජනාව නොසලකා සිටීමේ ආදීනව මට දැනෙමින් පැවතුණි. මංගල්ලය වෙනුවෙන් නියම වුන තරුණයා පැමිණි බවත් නිලූ කැමැත්ත දුන් බවත් කොලුවා මට කීවේය.

“නිලූ නැන්දා දැන් කා එක්කවත් කතා කරන්නේ නැහැ. ඉස්කෝලේ ගිහින් ඇවිත් කෙලින්ම කාමරේට යනවා. එච්චරයි . ලොකු ආච්චි කියන්නේ බැන්දහම ඕවා හරියනවා කියලයි” කොලුවා තවත් සැන්දෑවක මට කීවේය.

ඇගේ විවාහයට මසක් තබා මම හැම දේම ගැන අදහස සදහටම අතහැරියේ දැඩි වේදනාවෙනි. මන්ද නිලූ ඒ වනවිට හිත හදාගෙන බව දැන ගන්නට මට ලැබුනේ ඇයට ඇඳුම් අන්දවන අක්කාගෙනි. ගිය සතියේ ඇය සාරිය හැට්ටේ ෆිට් ඔන් කර බැලූ බවත් කර කැපී වැඩි නිසා වෙනස්කම් කීපයක් කරන ලෙස යෝජනා කළ බවත් කීවාය. නිලූ හිත හදාගෙන නම් එය පිළිගැනීම මගේ වගකීම නිසා මම අමාරුවෙන් හෝ නැවත ටික කලකට ගමට නොඑන්නට තීරණය කළෙමි.

පුරා දසවසරක් මනාලියකර ගෙට ගෙනයාමට හීන දුටු ගැහැණිය වෙන මිනිහෙක්ගේ පතිනිය වී යාම දැක සතුටු වන්නට තරම් මම බෝධිසත්වයෙක් නොවීමි.

ඇත්තටම ඒ ටිකේ මම හිතා මතාම මා සිටි පෙදෙසේ මිනිසුන්ගේ වැඩ සමග කාර්ය බහුල වීමි. ඒ ප්රදේශයට දැඩි පහරක්ව පවතින කසිප්පු ජාවාරම කොනක සිට අල්ලන්නට පටන් ගතිමි. කස්සිපු ජාවාරමේ මහා මොලකරු අල්ලාගෙන එදා සවස මා සිටියේ දැඩි උද්දාමයෙනි. DIG සර් මට පුද්ගලිකව කතා කර සුබ පැතුවේය. මා හට මත්ද්රව්ය වැඩි පලාතක පොලිස් අධිකාරි තනතුරක් දෙන බවට ඔහු පොරොන්දු විය.

එදා හවස මගේ කාර්යාල දුරකතනයට තවත් ඇමතුමක් ලැබිණි. මා සිතුවේ පොලිස් ඉහල නිලදරුවෙක් විය යුතුය කියාය. මගේ බලවත් සතුටට හේතු වුනේ නිලුගේ තාත්තා එනම් ලොකු සර් කතා කිරීම නිසයි. හෙට ගෙදර එන්න යයි කියූ හෙතෙම දුරකථනය විසන්ධි කළේය. ඔහු සාමන්යයෙන් කතා නොකරන නිසාත් හඬ එතරම් පැහැදිලි නොවූ නිසාත් මා සිතුවේ අන්තිම මොහොතේ නිලූ විසින් ඔවුන් කැමති කරගන්නට ඇති බවය . ඒ සමගම එදා නිලුගේ විවාහය යෙදී ඇති බව මට අමතක විය.

මම රාත්රියේම ගෙදරට පිටත් වුනේ අපේ ගෙදර දුරකතනයක් නැති නිසා අම්මට කතාකර තොරතුරක් දැන ගැනීමට නොහැකි නිසාය. නිලුගේ නිවසට ගොස් ගෙදර යමියි සිතා ලොක්කාගේ හිත වෙනස් වුනේ කෙසේද සිතමින් මම සතුටින් නිලුගේ ගෙදර දෙසට වාහනය හැරවීමි. පාරේ සුදු කොඩි දමා තිබුනු අතර ලෙඩින් සිටි එහා ගෙදර ලොවි ආච්චි මියගොසින් ඇතිය. උන්දා අංශභාගය හැදී සැහෙන්න කල් දුක් වින්දාය. මිය ගිය එක හොඳය.

නමුත් සුදු කොඩි තිබුනේ නිලුගේ ගෙදරය. එහෙ කවුරු මැරෙන්නද?

මම ගෙට යන විට සාලය මැද බාවා තිබුනේ නිලුගේ පනසුන් දේහයයි. මා දකින්නට පුන පුනා බලා සිටි මනමාලි ඇඳුමින් ඕ සැරසී සිටියාය. නමුත් මුහුණේ කිසිඳු සුන්දරත්වයක් නොවීය. මුහුණ අසීමිත ලෙස නිල් වර්ණයකට හුරු වී තිබුනේය. දෙතොල් තද සුදුමැලි පැහැය ගෙන තිබුණි. එකිනෙක පියවුන දෙතොල් වටේට සුදු කුඩක් තැවරී ඇති හෙයින් මම ඒ කුඩ පිසීමට අත්ල දිගු කලෙමි. ඇට නහර දක්වා යන දැඩි සීතලක් ඒ මුහුණේ විය. මේ ගතවුණ මාස 6 ට නිලූ වැහැරී ඇති තරම කොතෙක්ද යතොත් අතපය කෝටු මෙන් සිහින් බව මට එක් වරම පෙනුණි.

කම්පනය නිසා මට කතා කර ගත නොහැකිව මා සෑහෙන්න වෙලාවක් සිටි බව මට යන්තම් මතකය. මගේ පාසල් වියේ මිතුරෝ දැන් විවාහ වුන පියවරු විය. එයින් දෙදෙනෙක් මාව වත්තම් කරගෙන සාලයෙන් එහාට ගෙන ගියෝය.

සියල්ල ඉවසා දරා දෙමාපියන්ගේ කුලයට ගැලපෙන කෙනෙක් විවහා කරගන්නට එකඟ වුන නිලූ කසාදය හෙට තබා මගුල් පෙරහැර එන විට වල්නාශකයක් බී දිවි තොර කරගෙන තිබුණි. අවසන් මොහොතේ විඳි දැඩි වේදනාව ගැන සිහිකළ මම මහත්සේ ශෝක කළෙමි.

ඇගේ ආදාහනයට පෙර ලොකු ඉස්කෝලේ හාමිනේ මගේ දෙපා මුල වැඳ වැටී සමාව ඉල්ලුවාය. කරන්නට දෙයක් නැති මම අමනයෙක් මෙන් ඒ දෙස බලාසිටියෙමි. ඇගේ අවසානයට පින් දීමට අතපැන් වත් කිරීමට ඔවුන් මට අරාධනා කරන ලදී. අතපැන් වත්කර දැඟිලි බැදී එක ගෙදරකට යන්නට හීන දුටු ගැහැණිය වෙනුවෙන් මතක වස්ත්ර පූජා කරන්නට මට සිදු විය. මා මේ ලොව තනි වුන බව මට වැටහිණි. ඇය නැති මේ ලොවින් මට ඇති පලය කුමක්ද? අද රාත්රියේ මම ඇය තනිවී සිටින සොහොනට යමි. එක්ව යන්නට කතකරගෙන සිටි ගමන ඕ තනිව ගිය හෙයින් මාත් ඇය සමග එකතු වෙමි.

Share Now

Related Article