ශෝකාන්තයකින් නිමවුණු තුන්කොන් ප්රේමය

Apr 29, 2020

චාර්ලොට් දුප්පත්ය. ඒ නිසා ඇය යාන්තම් තරුණ වියට එළැඹි කාලයේ පටන්ම නිවෙස් වල මෙහෙකාරකම් වලට ගියාය. ඇය උපන් එංගලන්තයේ කොන්වෝල් හි බොඩ්මින් ප්රදේශය අතිශයින්ම සුන්දරය. මේ පෙදෙසේ නිවෙස් කිහිපයකම මෙහෙකාරකම් කළ චාර්ලොට් ඩයිමොන්ඩ් 1842 අවුරුද්දේ ඒ ප්රදේශයේම වූ පෙන්හේල් ගොවිපොලේ සේවයට බැදුණාය. ඒ ගොවිපොලේ නිවසේ මෙහෙකාරිය ලෙසිනි.

Continue Reading Below

පෙන්හේල් ගොවිපොලේ හිමිකාරිය වූයේ 61 වියැති වැන්දඹුවක් වූ පීටර් මහත්මියයි. ඒ ගොවිපොල පවත්වාගෙන ගියේ පීටර් මහත්මිය හා ඇගේ පුතණුවන් විසිනි. මේ ගොවිපොලේ කටයුතු වලට සහය වෙන්නට තවත් සේවකයින් දෙදෙනෙක් එහි උන්හ. ඒ ජෝන් ස්ටීවන්ස් හා මැතිව් වීක්ස්ය.

මැතිව් උන්නේ වයස විසි ගණන් වල මුල් හරියේ වුවත්, ඒ වනවිටත් ඔහු පෙන්හේල් ගොවිපොලේ සේවය කරන්නට වී වසර හතකුත් ඉක්ම ගොස් තිබිණ. මැතිව් ඒ හැටි කඩවසම් පෙනුමැති තරුණයෙකු නොවේ. ඔහුගේ මුහුණේ හැම තැනම කුරුලෑ වලින් ඇතිවූ කැලැල් ය. දතක්ද අඩුය. ඒ මදිවාට කකුලේ කොරයකුත් තිබිණ. එහෙත් තම පෙනුමේ වූ අඩුපාඩු ඇදුමින් පැලදුමින් වසා ගන්නට මැතිව් නිතරම ජේත්තුවට ඇන්දේය.

චාර්ලොට් රුවැති තරුණියක් වුවත් මේ අවලස්සන මැතිව් සමග පෙමින් බැදී උන් බව ගම්මානයේ කිසිවෙකුට රහසක් වූයේ නැත. ඒ දෙදෙනාගේ සම්බන්ධය චාර්ලොට් ඒ ගොවිපොලේ වැඩට එන්නට සෑහෙන කාලයකට කලින් ඇතිවුණු එකකි.
වැඩි කල් යන්නට පෙර මැතිව් වීක්ස්ට ප්රතිවාදියෙකුද ඇති විය. ඒ තෝමස් ප්රවුට්ය. තෝමස් ගොවිපොල හිමිකාරිණියගේ ඥාති පුත්රයෙකි. ඔහු ඉදහිට ගොවිපොලේ වැඩ වලට උදව් දෙන්නටද ආවේය. ඒ ආ විටෙක චාර්ලොට්ව දුටු තෝමස් ඈ කෙරේ සිත් බැදගත්තේය. නිතරම ඈ හා කතාවට වැටෙන්නට උත්සාහ කළේය. චාර්ලොට්ද මේ ඇලුම් බැලුම් ප්රතික්ෂේප කළේ නැත. තැන නොතැන නොබලාම ඇය තෝමස් සමගද උකුළු මුකුළු කළාය.

මේ පටලැවිල්ල කනින් කොණින් ආරංචි වෙන්නට පටන් ගත්තද, මැතිව් වීක්ස්, තෝමස් සමග අමනාපයක් ඇති කරගත්තේ නැත. ඔහු තම පෙම්වතිය විශ්වාස කරමින් ඉවසා සිටියේය. එහෙත් මැතිව් වීක්ස් නොසිතූ යමක් සිදුවෙමින් තිබිණ.

“ඔයාට මේ වගේ ගෙවල් වල වැඩ කරන එක කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. ඔයා ඉන්න ඕන කුමාරිකාවක් වගේ.. මං ඔයාව සතුටින් තියන්නම්. අපි මෙහෙන් පැනලා යමු..” තෝමස් චාර්ලෝට්ට යෝජනා කර තිබිණ. චාර්ලොට්ද ඒ යෝජනාවට එක පයින් කැමති වූවාය.

ඔවුන් දෙදෙනා උන්නේ නිවසින් පලා ගොස් විවාහ වෙන්නට සැලසුම් කරමිනි. මේ ප්රේම ත්රිකෝණය මැදින් කාලය ගලා යමින් තිබිණ.

ඒ 1844 අවුරුද්දය. එදා අප්රේල් 14 වැනිදාය. එදා ඉරිදාවක් වූ නිසා කලින්ම ගොවිපොලේ වැඩ මුරය නිම කළ චාර්ලොට් මැතිව් සමග ගමනක් යන්නට සැරසුණාය. ඇයට තිබුණු හොදම ගවොමෙන් සැරසුණු චාර්ලොට් ගමන පිටත් වෙන්නට කලින් තෝමස් සමග මොකක්දෝ රහස් කතාවක යෙදී උන්නාය. ඇය සමග ගමන යන්නට සූදානමින් මැතිව් ආවේ ඒ අතරය. මැතිව් වෙනදා මෙන්ම ජේත්තුවට ඇද පැලදගෙන උන්නේය. මැතිව් එන බව දුටු චාර්ලොට්, තෝමස් සමග වූ රහස් කතාව නවතා ගොස් මැතිව්ට එකතු වූවාය.

ඔවුන් දෙදෙනා ගොවිපොලෙන් පිටත්ව යන අයුරු 63 හැවිරිදි අසල්වැසියෙකු වූ ඉසාක් කෝරි දුටුවේය. එදා තද මීදුමෙන් පිරුණු දිනයක් වුවත්, චාර්ලොට් නිතර අදින කොළ පැහැ ඉරි වැටුණු ගවොමත්, කකුලේ කොරයක් ඇති මැතිව්ගේ ගමන් විලාසයත් ඉසාක් කෝරි හොදින් හදුනා ගත්තේය.

ඔවුන් දෙදෙනා එක්ව ඇවිද යනු අවසන් වතාවට දුටු පුද්ගලයා ඉසාක් කෝරි විය.
එදා හැන්දෑවේ මැතිව් වීක්ස් ආපසු එන විට චාර්ලොට් ඔහු සමග උන්නේ නැත.

“කෝ චාර්ලොට්.?” ගොවිපොලේ හිමිකාරිය මැතිව්ගෙන් ඇසුවාය.

“මං දන්නෙ නෑ..” මැතිව්ගේ පිළිතුර එපමණකි.

එහෙත් මැතිව් සමග වැඩ කරන ජෝන් ස්ටීවන්ස් මැතිව්ගේ වෙනසක් දුටුවේය. වෙනදාට ජේත්තුවට පිරිසිදුව සිටින මැතිව්ගේ මේස් වල දණහිස දක්වාම මඩ තැවරී තිබිණ. ඔහුගේ කමිසයේ දෙතුන් පොලක් ඉරී ඇති බවද, කමිස බොත්තමක්ද ගැලවී ඇති බවද ජෝන් ස්ටීවන්ස් දුටුවේය.

දින ගණනක් ගෙවී ගියේය. චාර්ලොට් ගැන ආරංචියක්වත් නැත. චාර්ලොට් ආපසු එන පාටක්වත් නැත. චාර්ලොට් ගැන ආරංචියක්වත් නැත. මැතිව් දිගින් දිගටම කීවේ ඔහු චාර්ලොට් ආගිය අතක් නොදන්නා බවමය. ගොවිපොලේ උන් කවුරුත් මැතිව් ගැන සැක පහළ කරන්නට වූහ.

“චාර්ලොට් බ්ලිස්ලන්ඩ් වල අලුත් රස්සාවකට ගිහින්..” චාර්ලොට් අතුරුදන් වී දහවන දිනයේදී මැතිව් කීවේය.

ඇලන් ගං ඉවුරේ පාලු ඉසව්වක තිබී චාර්ලොට්ගේ මළ සිරුර ගැමියන් පිරිසකට හමුවූයේ ඒ අතරතුරදීය. උඩුබැලිව වැතිර උන් ඇගේ ගෙලේ අගල් අටහමාරක කැපුම් තුවාලයක් තිබිණ. බෙහෙවින් ගැඹුරු වූ ඒ කැපුමෙන් ඇගේ ගලනාලය එහෙම පිටින්ම කැපී ගොස් තිබිණ.

මේ වන විටත් කාගේත් සැකය එල්ල වී තිබුණේ මැතිව් වීක්ස් දෙසටය. පොලිසිය විසින් මැතිව් වීක්ස්ට මිනීමැරුම් චෝදනාව යටතේ වරෙන්තු නිකුත් කරන ලදී.

එහෙත් කිසිවෙකුට මැතිව් වීක්ස්ව හොයා ගන්නට හැකි වූයේ නැත. ඔහු අතුරුදන් වී සිටියේය. අන්තිමේදී ඔහුව සොයාගනු ලැබුවේ ප්ලයිමත්හි ඔහුගේ සොයුරියගේ නිවසේ සැගවී සිටියදීය.

ඉතින් මේ මිනීමැරුමට මැතිව් වීක්ස් වරදකරු බව තහවුරු කරගන්නට බොහෝ අයට වෙනත් සාධක උවමනා වූයේ නැත.

මැතිව් වීක්ස් දුන් කටඋත්තර වරින් වර වෙනස් විය. ඒවා එකකට එකක් ගැලපුණේද නැත. එහෙත් චාර්ලොට්ව මරා දමා තිබුණු ගං ඉවුරේ සටහන්ව තිබූ පිය සටහන් වල සපත්තු අඩි මැතිව්ගේ සපත්තු වල අඩි වලට ගැළපුණි. අන්තිම වරට චාර්ලොට් මැතිව් සමග පිටව යනු දුටු ඉසාක් කෝරිගේ සාක්ෂියද ඊටම එකතු විය.

අවසානයේදී, අධිකරණයෙන් මැතිව් වීක්ස්ට මරණ දඩුවම තීන්දු විය.
ඔහුව එල්ලා මරණ දිනය එළඹෙන තෙක් සිර කුටියක රදවා සිටින අතරතුර මැතිව් වීක්ස් ලිපියක් ලීවේය.

“හැම තරුණයෙකුම මට සිදුවුණු දෙයින් පාඩමක් ඉගෙන ගනු ඇතැයි සිතමි. මා කළ අයුරින් තරුණියකව දැඩිව විශ්වාස කිරීමේ වරද කිසිවෙකු අතින් නොවේවායි පතමි. එසේම තරුණියන්ද තමන් වෙත එන සියළු තරුණයින්ව විශ්වාස කරන වරද නොකරනු ඇතැයි සිතමි. මම ඇයට දැඩිව ආදරය කළෙමි. මගේ ජීවිතයට තරමටම ඇයටත් ආදරය කළෙමි. විශ්වාස කළෙමි. මා ඇයට එතරම් ආදරය කළ පසුවත් ඇය අවසානයේදී මට කීවේ තවත් නම් ඇයට මා සමග ගණුදෙනුවක් නැති බවය. සියල්ල නිමාවූ පසුව මම ශෝකයෙන් වැලපුණෙමි. ඉතින් මේ මගේ අවසානයයි. මා ඇයව විශ්වාස කළ වරදට මට ගැලපෙනම දඩුවම දුන්නාට මම විනිසුරු තුමාටත්, ජූරියටත් ස්තුතිවන්ත වෙමි.

මැතිව් වීක්ස්

හැම කෙනෙකුම සිතුවේ ඔහුගේ ඒ ලිපිය පාපොච්චාරණයක් බවය. 1844 අගෝස්තු 12 වන දින බෝඩ්මින් බන්ධනාගාරයේදී ඔහුව එල්ලා මරන ලදී. ඔහුව එල්ලා මරන අයුරු දකින්නට සිව් දෙසින් එක්වූ විසි දහසක පමණ ජනතාවක් පැමිණ සිටියහ. චාර්ලොට්ගේ මරණය ගැන තවත් හෝඩුවාවක් මතුවූයේ ඒ පැමිණ උන් ජනතාව අතරින් කෙනෙකුගෙනි.

එදා මැතිව් සමග ගමන පිටත් වෙන්නට පෙර චාර්ලොට්, මැතිව් හමුවී පැමිණි පසුව හැන්දෑවේ ගං ඉවුරේදී තෝමස්ව හමුවෙන්නට කතිකා කරගෙන උන් බව එතැනදී අනාවරණය විය.

මේ මිනීමැරුමට මැතිව් වීක්ස් වරදකරු නොවන බවත්, ඔහුව එල්ලා මරා දැමුණේ නිරපරාදේ බවත් මිනිස්සු කතා වෙන්නට පටන් ගත්හ. අසාධාරණ අයුරින් නිරපරාදේ එල්ලා මරා දැමුණු මැතිව් වීක්ස්ගේ අසරණ ආත්මය, තවමත් වැලපෙමින් බෝඩ්මින් බන්ධනාගාරය තුළ සැරිසරන බවත් අදද කෝන්වෝල්හි වැසියෝ විශ්වාස කරති.

(නිම්මි මුදිතා හේරත් ලේඛිකාව විසින් සති අග අරුණ පුවත් පතට සැපයු ලිපිය ඇගේ අවසර ඇතිව නැවත පල කරන ලදී)

Tags

LS 4

Share Now

Related Article