සියදිවි නසාගත් “ සුහාරා “ ගේ කතාව

Jul 13, 2020

කුඩා කල සිට මා අයත් වූයේ සංවේදී අහිංසක ළමයා යන වර්ගයටය. මම අපේ පවුලේ එකම ගැහැණු දරුවාය. අපේ දෙමාපියන් විසින් බොහෝ උත්සහ දැරීමෙන් පසු මා උපන් හෙයින් ස්වාභාවිකවම ඔවුන්ගේ සැලකිල්ල සහ ආදරය ඉතාම වැඩි විය. ඔවුන් වචනයක් කියා හෝ මගේ හිත රිදවා නැත.

Continue Reading Below

පාසල් කාලයේද ඇතැම් අවස්ථා වල ගැටළු ඇති වුන නමුත් දෙමාපියන් පැමිණ හැම විටම ඒවා නිරාකරණය කළහ. යාළුවන් නැති මම තරමක හුදෙකලා ළමයෙක් වීමි. ඉන් පසු මා විභාග ඉතා හොඳින් සමත්ව රාජ්ය විශ්ව විද්යාලයකට පැමිණි අතර නවක වදය නිසා මට විශ්ව විද්යාලය එපාම වී ගියේය. මම බය කෙනෙක් හෙයින් සමහර ශිෂ්යයෝ හිතා මතාම මාව අල්ලාගෙන හිරිහැර කර වින්දනයක් ලැබූ බව මට වැටහිණි.

කීප වරක් නවතින්නට උත්සහ දරන ලද නමුත් දෙමාපියන්ගේ පෙරත්ත්යට අධ්යාපන කටයුතු කලෙමි. ඒ අතර මානසික අවපීඩනයට බෙහෙත් පවා ගන්නට මට සිදු විය. කොහොම නමුත් දෙවන වසරෙන් පසු මම මගේ පාඩුවේ ඉගෙනීම් කළ අතර අවසාන විභාගයෙන් Batch Top ලෙස සාමාර්ථ ගැනීමට මා හට හැකි විය.

මගේ අවාසනාව පටන් ගත්තේ එතැනිනි. ළමයි කීප දෙනෙක් කොපි කිරීම අහුවීම නිසා අපේ බැජ් එකටම කථිකාචාර්ය පදවි ලබා නොදෙන බවට ජෙෂ්ට ආචාර්ය මණ්ඩලය තීරණයක් ගෙන තිබුණි. මට දැනුණේ එය පුද්ගලිකව මා ඉලක්ක කර සිදුවුන පලි ගැනීමක් බවයි. මට දැඩිව හිංසා කළ එක් සාමාජිකාවක් ප්රධාන ආචාර්ය වරයෙක් සමග සම්බන්ධයක් තිබුණ බව හැමෝම දත්හ. මේ තීරණය නිසා මා දැඩිව මානසික වැටීමට ලක් වීමි. රජයෙන් පත්වීම් දෙන තුරු නොසිට පුද්ගලික ආයතනයක සේවයට යන මෙන් හැමෝම ඉල්ලා සිටියත් මට එසේ කිරීමට හිත හදා ගත නොහැකි විය.

මා නිසල් සමග විවහා වූයේ යෝජනාවකිනි. ඔහු ඉතා යහපත් අහිංසක සැමියෙක් විය. මහන්සි වී වැඩ කළ දිරිය මිනිහෙක් වූ නිසාම මා රැකියාවකට නොයාම ඔහුට ගැටලුවක්ද නොවීය. නමුත් ඔහුගේ එක අඩුවක් තිබුණි ඔහු ආදරය කිරීම කලේ දුරස්ථ ලෙසිනි. මා සිප ගැනීම , සුරතල් කිරීම වැනි කටයුතු ඔහු විසින් කලේම නැත. මේ නිසාද මා දැඩිව මානසිකව වැටුන බව සිතමි.

කෙමෙන් අපි දෙදෙනා අතර ලිංගික සම්බන්ධතා පැවැත්වීම මට කොහෙත්ම රුචිකර නොවන්නට විය. ගෙදර කිසිම වැඩක් නොකර බොහෝ විට මා මුළු දවසම කරන්නේ නිදාගැනීමයි. මේ අයුරින් අපගේ සම්බන්ධය සහ මගේ ජීවිතය පහළටම යන විට මා හට වෛද්ය ප්රතිකාර ගැනීමට යෝජනා විය. නමුත් මගේ අම්මා ගේ තීරණය වූයේ මට ඇති ලෙඩක් නැති බවත් මා මානසික රෝගයකට බොරුවට බෙහෙත් ගැනීමෙන් මගේ සිරුරට හානි වන බවත්ය. අනික සැමියාගේ පාර්ශවය මේ ගැන දැන ගතහොත් විශාල ගැටළු ඇති වන බව අම්මාගේ මතය විය. එම නිසා අප ප්රතිකාර වලට යොමු වුනේද නැත.

මද කලකින් මගේ සැමියාට මගෙන් දික්කසාද වීමට වුවමනා විය.

“ ඔයා කරන හැම දේටම මම සද්ද නැතුව හිටියට ඔයාට පේන්නේ නැද්ද මගේ මුළු ජීවිතේ පහුගිය අවුරුදු ගානම විනාස වෙලා ගිහින්. දැන් වත් මම ජීවිතේ හදාගන්න ඕනේ “ ඔහු මා හට දැන්නුවේය.

සැබවින්ම මා ඔහු සමග කරේ මට ආදරේ නැති බව කියමින් කළහ කිරීම පමණකි. බිරිඳක් ලෙස ඔහුට ප්රිය ලෙස කතා කිරීම, ආහාරයට යමක් හදා දීම කොටින්ම කීවොත් ඔහුගේ නරක දැකීම හැර ඔහුගේ එකම හොඳක් වත් මම දැක්කේ නැත. ඔහු වැඩට ගිය විට මම ඇඳෙන් නොනැගිට ෆෝන් එක ඔබමින් හෝ නිදමින් සිටියෙමි. මෙසේ හැසිරීමට හේතුව ඔහු මා කෙරෙහි ආදරයක් නොදැක්වීම බව අපේ අම්මා සිතුවාය. දැන් එය සත්යයක් වී තිබේ.

අප මද කලකින් දික්කසාද වුනෙමු. දැන් මම ගෙදරට වී පුරුදු විදිහටම ජීවත් වෙමි. ගෙදරට එන ඥාතීන්ගේ කතා නිසා මගේ හිත පෑරේ. මුළු ලෝකයම මට එදිරිව කුමන්ත්රණ කරන බව මට සිතේ. මේ ජීවිතයෙන් පලක් නැති බවත් මේ ජීවිතය ඉවර වන්නේ නම් මැනවි යන්නත් මට නිතර සිතෙන්නට විය. මගේ දෙමාපියෝ නොයෙක් යාග හෝම , යන්තර මන්තර කරතත් මා හට සහනයක් නොදැනේ. මට දැන් මාවම අවිශයය. අරුචිකරය.

Goodhousekeeping.lk වෙබ් අඩවියේ සටහන :

මෙය ඉතාම අවාසනාවන්ත කතාවකි. අප රට විවාහක කාන්තාවන් සියදිවි හානි කරගන්නා රටවල් අතරින් ඉහළම අගයකට පැමිණ තිබේ. මෙයට හේතු වන්නේ මානසික සෞක්යය ගැන ඇති මිත්යා විශ්වාසයි. ජීවිතයේ විවිධ හැපීම් දරාගැනීමට එකිනෙකා තුල ඇති හැකියාවන් වෙනස් ය. ඇතැම් ගැටළු මානසික රෝග දක්වා වර්ධනය වේ. එවන් අවස්ථා වල සමාජ අපවාදයට බයෙන් සහ වෙනත් මිත්යා මත නිසා බෙහෙත් සහ උපදේශණ ප්රතිකාර නොගැනීම නිසා වටිනා ජීවිත අනතුරට ලක් වේ.

ඔබ අවට සිටින ඔබගේ සමීපතමයා වෙනස් ගති ලක්ෂණ පෙන්වනවා නම් නොපමාව මනෝ වෛද්ය ප්රතිකාර ගැනීමට රැගෙන යන්න. රෝග ලක්ෂණ ගැන ඔබට අවබෝධයක් නැති නම් 1926 අංකය අමතා මානසික විද්යායතනයේ උපදෙස් ලබාගන්න.

(මෙවැනි තවත් කතා කියවීමට කැමති නම් පහළ ඇති Tags වචනයට යටින් ඇති Motivational Story මත ක්ලික් කරන්න. එවැනි කතා සියල්ල ඔබට දැකිය හැකිය.)

Share Now

Related Article