නොගැලපෙන විවාහයක අනුවේදනීය කතාව

Apr 15, 2020

අපේ කාර්යාලයට මා සම්බන්ධ වෙන වුනේ පහුගිය වසරේ අගෝස්තුවේය. මගේ ප්රධානී තුමිය නිලන්ති ජයසේකරගේ ලේඛම්තුමිය ලෙස කටයුතු කිරීම තරමක් වගකීම් සහගත ක්රියාවක් විය. නමුත් ඇය සමග වැඩ කිරීම අතිශය පහසු දෙයකි. මට නොදන්නා දේවල් ඇගෙන් ඇසීමට අනුබල දුන්නාය . මගේ අතින් වරදක් වුනත් ඈ කිපී බැන වැදුනේ නැත. ඒ වෙනුවට මුල සිටම කියා දුන්නාය. දෙදරු මවක් වුන ඇය කාරුණික ගැහැණියකි.

Continue Reading Below

පෙනුමෙන් අගතැම්පත් සම්පූර්ණ ගැහැනියක් වුන ඇය එංගලන්තයේ උසස් අධ්යාපනය නිම කර තිබුනීය. අධ්යාපනයේ වටිනාකම දන්නා එතුමිය මටද ඉගෙන ගන්නා දේවල් ගැන නිතර අවවාද කළේ අවංක චේතනාවෙනි.

මා නැට්ටක් මෙන් ඇගේ පස්සෙන් යන විට ඇතැම් ස්ථාන වලදී මට නොයෙක් අනතුරු ඇඟවීම් ලැබිණි.

“ චූටි නංගි ඔයා අලුත්නේ. ඔය ගෑනිගෙන් පරිස්සම් වෙයන් ” වැනි අවවාද මට ලැබුන අතර මුලින් මුලින් මම පරිස්සමෙන් නිලන්ති ඇසුරු කළ නමුත් එහෙම පරිස්සම් වෙන්න හේතුවක් මට පුරා මාස 6 ක් ම සොයා ගත නොහැකි විය.

කාර්යාලයේ පිරිත් තිබෙන දවසක එළිපිට නිලන්තිට මැඩම් කියා දෙකට නැවෙන බොහෝ දෙනෙක් අපහාසාත්මක නම් කියමින් සිනාසෙනු මට ඇසුනි. බැරිම තැන මම ඔෆිස් එකේ පියන් වූ කරුණාදාස අන්කල් ගෙන් ඇසුවේ ඔහු මගේ දවල් ආහාරය ගෙන එන නිසා මා සමග තරමක් මිතුරැ නිසාය.

“ ආ..ඔය අනුන්ගේ සීනි කිරණ එවුන් කියන කතා මිස් ගණන් ගන්න එපා. මැඩම්ගේ සේකට්රි වෙන කෙනෙක් නවතින තැන කියන්න බැහැ. සෑහෙන්න වාසනාවක්” ඔහු උත්තර දුන්නේය.

“ ඒත් ඔනාද මේ හැමෝම මැඩම්ට කියන කතා? මට දැන් මේවා අහලම ඔලුව කචල් වෙලා අංකල්. “

“ ආ…. ඒකට හේතුව අපිට අදාළ නැහැ මිස්.. නොදන්නා නිසා මම කියන්නම් ඕවට කට දාන්න එපා.. මැඩම්ට ඉස්සර ඉඳල පොඩි සම්බන්ධයක් තියනවා. හැමෝම දන්නවා. හොරෙන් නෙවේ තියෙන්නේ. මම හිතන්නේ සංගීත ගුරුවරයෙක් එක්ක. ඒ මිනිහත් ගෙදර යනවා එනවා. මැඩම් එක්ක ගමන් බිමන් යනවා”

“මැඩම් බැඳල ඉන්නේ කැම්පස් එකේ ඩීන් කෙනෙක් නේද? සර් දන්නේ නැද්ද ඔය ගැන?”

“දන්නවා වගේ පේනවා මිස්… මොකද ඒ මනුස්සයා නොදැන ගෙවල් දොරවල් වල එන්න බැහැනේ නේද?” ඔහු ඇහුවේ හිනාවෙමින්.

“ඒ වුනාට මැඩම් කරන වැඩේ හරි නැහැ නේද?” මම ඇහුවත් ඔහු පිළිතුරක් දුන්නේ නැත.

එදා සිට මට නිලන්ති ගැන ඇතිවූයේ පිළිකුලකි.

“සර්ට ලජ්ජා ඇති. ඒ මදිවට සර් නොදන්නා විදිහට ඉන්නේ ළමයි නිසා වෙන්න ඇති. මැඩම් ගේ පුතා ලොකු ළමයෙක් . ඒ ළමයට මොනවා හිතෙනවා ඇතිද ?” මම විටෙක කල්පනා කළෙමි.

නිලන්ති ජයසේකර හැමෝටම හොඳ මූණ පෙන්වන්නේ තමාගේ ජරා චරිතය වහගන්න බව සිකුරුය. “වල් කමේ යන ගොඩක් ගෑනු ඔය වගේ. එලියට බෝධිසත්ව පාර්ට් දාගෙන ඉන්නේ” කියා කීවේ කාර්යාලයේ තවත් ගැහැණු කෙනෙකි.

මගේ අප්රසාදය ඇතැම් විට නිලන්තිට වැටහෙන්නටද ඇත. ඕ කුමක් හෝ හේතුවකට මට ඇලුම් කළාය. බාගදා ඇයට දුවෙක් නැතිවීමේ අඩුව විය යුතුය. මාර්තු මස අප දෙදෙනාට කාර්යාලීය වැඩකට පෝලන්තය බලා යාමට සිදුවිය. එහිදී නිලන්ති සහ මම මිතුරියන් මෙන් ඇසුරු කළෙමු. අපගේ සම්මන්ත්රණය ඉවර වුන පසු දින දෙකක් එහි සංචාරය කිරීම අපගේ පැතුම විය. ගුවන් තොටට පැමිණි ඇගේ සැමියා ඉතා ආදරෙන් ඇයගේ හිස සිඹ සමු දෙන විට මට ඔහු ගැන දැඩි ගෞරවයක් ඇති විය. ඔහු කොතරම් උසස් මිනිසෙක්ද?

දෙවන දින අවසානයේ අප බඩු පොඩි බැඳ හවස එලියට ගියේ ආහාර ගෙන ඒමටයි. කදිම අවන්හලේ වයින් බෝතලයක් ඇනවුම් කළ අප වයින් හිස් කළේ සැහැල්ලු සිතෙනි. මා කවදාවත් නොසිතු ලෙස නිලන්ති තමාගේ සම්බන්ධය ගැන කතා කරන්නට පටන් ගත්තීය.

“යශෝධා අහල ඇති නේද මගේ හොර මිනිහා ගැන?” කියමින් ඕ හයියෙන් සිනා සුනාය.

“ම්ම්… ම්ම්… කියමින් මා උත්තරයක් නොදුන්නේ ඇය මගේ බොස් බව අමතක නොකළ නිසාය.

“යශෝදා මොනවද ජීවිතේ ගැන දන්නේ? … මේ ටික කියල දෙන්න හිතුවේ ඒකයි”

“මම මගේ බෝයි බඳිනවා ලබන අවුරුද්දේ… “ මම ආඩම්බරයෙන් පිළිතුරු දුන්නෙමි.

ඕ සිය වොලට් එක දිගහැර දුර්වර්ණ වී ගිය චායාරූපයක් පෙන්නුවාය . එහි වූයේ ඩීන් සර් ගේ සහ ඇගේ චායාරූපයකි.

“මේ තමා ඩීන් සර්…මගේ ආදරය..මගේ ජීවිතය….”

“යකෝ ආදරේ නම් මොන මගුලටද හොර මිනිහෙක් තියාගෙන ඉන්නේ?” අහන්නට මට සිත්විය.

මගේ සිතැඟි තේරුම් ගත්තාක් මෙන් නිලන්ති කතාවට හරිබරි ගැසුණාය.

ඩීන් සර් මට හම්බවෙද්දී මට වයස 21 යි. ඊට කලින් යාළුවෙලා නොසිටි නිසා එයා තමා මගේ පලවෙනි ආදරේ වුනේ. එයා ඒ වෙද්දී එයාගේ PHD එක ඉවර කරලා හිටියේ. අපිට උගන්වන්න ආව දේශකයෝ අතරින් හොඳම කෙනා. ඉතින් මමත් එයාගේ ලස්සනට, කරුනාවන්ත කමට පිස්සුවෙන් ආදරේ කළා. මගේ ලෝකයේ වීරයා වුනේ එයා.

අපි යාලු වෙලා තමා බැන්දේ. හැමෝම මම ගැන ගොඩක් සතුටු වුණා. ඉතින් බැඳලා එයා මාව ගොඩක් ආදරෙන් බලාගත්තා. මගේ ඔලුව අතගාල නිදි කරලා එයා කෙලින්ම ගියේ එයාගේ ඊළඟ දවසේ නෝට්ස් හදන්න. එයාගේ යාලුවෙක් වුන තවත් විශ්ව විද්යාල ආචාර්යවරයෙක් අපේ දිහා පහල තට්ටුවේ හිටියා. ඒ දෙන්න හොඳ යාළුවො. ඔහු එහෙ ආවට කවදාවත් මට මනමාලකම් ඉඟියකින් වත් පෙන්නුවේ නැහැ. වෙන එකක් තියා “ මොනාද නංගි වෙන්න ඕනේ?” අහල ගෙදර කුණු පවා සුද්ධ කළා. මගේ ඕනෙම වැඩක් ඔහු බොහොම ආදරෙන් කළා කීවොත් හරි.

“ඉතින් ඔයා හිතන්නේ මම එයා එක්ක යාලු වුනා කියල නේද? “ මිනිගෙඩි හිනාවෙන් මුළු පෙදෙසම පැතිරෙද්දී ඇගේ මුහුණේ මතුවුනේ වලාකුලක්.

“ දවසක් මට රෑ නින්ද යන්නෙම නැහැ. ඒ ගමන මම නැගිටලා එයාගේ ඔෆිස් කාමරේට ගියා කතා කරලා ඕනේ නම් කෝපි හදාගෙන බොන්න. ඒත් ඔෆිස් කාමරේ එයා නැහැ. මම ඒ ගමන එයා හොයාගෙන පහලට ආවා. ඒ වෙද්දී මට ලොකුපුතා ලැබෙන්න මාස 3 ක් වගේ. මම දැක්ක දෙයින් සිහිසුන් වෙලා වැටුණා. ඔවුන් දෙදෙනා හොඳ යාළුවො නෙවේ ආදරවන්තයෝ කියල දැනගත්තේ එදා.“

ඩීන් සර් මාව නිදිකරලා ..මගේ කකුල් අතගාලා ගැහැණු කෙනෙක් වගේ මට ආදරෙන් බැලුවට මා එක්ක කායික සම්බන්ධකම් තියාගත්තේ බොහොම කලාතුරකින්. මට රිදෙන නිසා, මම පවු නිසා වගේ බොහොම සුන්දර හේතු තිබුන නිසා මම හිතුවේ ඒ මට තියන ආදරේ වැඩි කම කියලයි. නමුත් ඇත්ත එයාට මා ගැන එහෙම හැගීම් ඇතිකරගන්න බැහැ. මොකද එයා සමලින්ගිකයි.

එයාගේ දෙමාපියෝ මැරෙන්න කලින් බඳින්න කියල එයාට බලකරලා. මේ දේවල් බැන්දහම හරියයි කියලයි ඔවුන් හිතල තියෙන්නේ. එහෙම හරියන්න කෙනෙක්ගේ ලිංගික නැමියාව කියන්නේ ලෙඩක් නෙවෙයි යශෝදා. ඒවා වෙනස් කරන්න බැහැ.

මාස දෙකක් වගේ එකිනෙකාට කරුණු කියල..බැනල..වැලපිලා, සමාව ඉල්ලලා ඉවර වෙද්දී අපි තුන් දෙනා තීරණයකට ආව. අපේ අම්මල මට කීවේ අපේ පවුල් වල කවුරුත් දික්කසාද වෙලා නැහැ. ඕක මහා ලැජ්ජාවක් කියලයි. ඔවුන් මට කීවේ ඔවුන්ගේ මූනේ දැලි ගාන්න එපා කියලයි.

ඊට පස්සේ ඩීන් සර්ට සහ එයාට පහල තට්ටුවේ ඉන්න දෙන්න මම තීරණය කළා. මමයි ලොකු පුතයි උඩ පදිංචි වුණා. මම පුරුදු විදිහටම ගෙදර ස්වාමි දුව විදිහට ඒ දෙන්නට සැලකුවා. ඒ දෙන්නත් මට උපරිමේට සැලකුවා. ගිය අවුරුද්දේ ඒ අයියා මැරෙද්දි එයාගේ සියලුම දේපොළ මගේ ළමයිගේ නමට හරවලා මැරුණේ. වෙන එකක් තියා පිළිකාවකින් මාස තුනක් ඔත්පල වෙලා ඉද්දි මම තමයි එයාට බැලුවේ ඩීන් සර් එක්කම.

එතකොට ළමයි දෙන්නෙක් වුනේ කොහොමද? මම ඇහුවේ කුහුලෙන්.

“ ඒ මගේ අයියගේ ළමය. එයාගේ කලින් වයිෆ් මැරුණා බබා ලැබෙද්දී. ඉතින් මම ඒ දරුවා ගෙනාවා. ඩීන් සර් දරුවා ඔහුගේ නමට කුලවද්දලා අපේ දරුවෙක් විදිහට හදා ගත්තා. ඒ ගැන මම එයාට ණයයි” ඇය සැහැල්ලුවෙන් සිනා සුණා.

ලොකු පුතාගේ වයස 5 වෙද්දී සංගීතය ඉගෙන ගන්න ආස වුණා. ටියුෂන් දෙන්න ගෙදරට ආව ගුරුවරයා තමයි ඔය හැමෝම කියන මගේ හොර මිනිහා. ඩයාන්….හරි කලාකාමී කෙනෙක්. ඔහු විවාහ වෙන්න හිටි ගෑනු ළමයා ඇක්සිඩන්ට් එකකින් මැරිලා තිබ්බා. ඉතින් කොරයි අන්ධයයි වගේ අපි දෙන්නා ආදරේ බෙදාගන්න ගත්තා. අපි දෙන්නා හොටෙල් ගානේ යනවා ආරංචි වුන ඩීන් සර් තකහනියක් ඔහු හම්බ වෙන්න ගිහින් ගෙදෙට්ටම එන්න කියල බොහොම ආදරෙන් ආරාධනා කරලා තිබුණා.

ඉතින් ඔන්න ඕකයි බෝධිසත්ව මිනිහෙක්ට වංචා කරන වල් ගෑනිගේ කතාව යශෝදා. ,කියමින් ඕ සිනාසුණාය. ඇගේ හිතේ පසුතැවීමක චායාවක් හෝ නොවීය.

ඇයි ඒ මිනිහාගෙන් දික්කසාද වෙලා හරි විදිහට කසාද නොබැන්දේ ? මම ඇසුවෙමි.

“ හොඳ ප්රශ්නයක්… ඇත්තටම ඇයි එහෙම නොවුනේ?” මදක් කල්පනා කළ ඇය….

“ එහෙම කරා නම් ඩීන් සර් තනි වෙනවා. අපි දෙන්න ගෑනි සහ මිනිහ නොවුනට තාම හොඳම යාළුවො. ඒ ආදරේ මට වෙන කෙනෙක්ගෙන් ලබන්න බැහැ යශෝධා. එයාව ලෝකේ ඉස්සරහ වැරදි කාරයෙක් කරලා දුවන්න මට බැහැ. අපි දෙන්නම ලැබුන දේ එක්ක සමාදාන වුණා. එයාට එයා වගේ පෙනී ඉන්න බැරි මේ සමාජයේ එයා ගොඩක් අසරණයි. එයාට ඉන්න එකම ශක්තිය මමයි. ඔයා තව කල් ජීවත් වෙලා කොන්ඩේ සුදු වෙද්දී ඔයාට මම මේ කියන කතාව තේරෙයි.

සීතලත් වැඩි වේගෙන එනවා. අපි දැන් යමු නේද?” කියමින් කබාය ගෙන නිලන්ති සැහැල්ලු ලෙස නැගිට්ටාය.

Share Now

Related Article