තම මව මහලු මඩමක තනිකළ දුවෙක්

Sep 21, 2020

“අඩේ ශෂිකලා අම්මව මහලු මඩමකට දාල “ තිසුරි කීවේ අමනාපයෙන්.

Continue Reading Below

“නැහ්හ්… කොච්චර වුනත් බලු වැඩ නේ ?” යුවනි උත්තර දුන්නා.

“ඕකුන්ට නම් හෙන ගහනවා දෙමාපියෝ මේ විදිහට මඩම් වල දානවට. ඒ මනුස්සයට මොන ගින්දරක් ඇතිද ? මම නම් වෙලාවක මූණටම හොඳට කියනවා “ තිසුරි කීවේ තේ එක පසකින් තබමින්.

“සමහරවිට අද එයි. Assignment එක කරන්න අද එයා මෙහෙ එනවා කීව නේද ? “ යුවනි මතක් කරා.

තිසුරිගේ පොඩි එකා මේ වෙලාවේ හිනා වෙවී ආවේ අද සෙනසුරාදා අම්ම ගෙදර ඉන්න නිසා. තිසුරිගේ ලොකු බබාට අවුරුදු 4 යි. චූටි බබාට වයස අවුරුදු එක හමාරයි. තිසුරියි මහත්තයයි වැඩට යන නිසා ඔවුන් අම්ම එක්ක සති අන්තයේ ඉන්න ආසයි. ටික වෙලාවක් තිසුරිගේ ඇඟේ දැවටුන බබා චූ දැම්මා. දාල කකුල් දෙකින් චූ තැලුවා. කෝප වුන තිසුරි කුස්සියේ දොර දිහා බැලුවේ.

“අම්මේ..අම්මේ… අනේ මෙහෙ එන්නකෝ. මේ මෙයා චූ දාල. කලිසම මාරු කරලා මෙතන මොප් කරලා දාන්න “ කියමින් ඇය පුටුවෙන් නැගිට්ටේ ළමයා ප්රවේශමෙන් අහකට කරන ගමන්.

අම්මා කුස්සියේ දවල්ට උයමින් ඉඳල සාලෙට ආවේ සමාව යදින බැල්මෙන්. රෙදි පොටේ අත් දෙක පිහාගෙන අම්මා වහාම මුනුබුරා එතනින් අරගෙන ගියා. ශෂිකලා ජීවත් වුනේ තිසුරිගේ ගෙදරට ගෙවල් දෙකකට එහා ගෙදර. ශශිකලාගේ තාත්තා නැති වුනේ මීට අවුරුදු තුනකට කලින්. ශෂිකලා එකම දරුවා. අවුරුදු 30 ක් වුනත් ඇය තාම අවිවාහකයි. මේ යෙහෙළියෝ තිදෙනාම MBA එක කරන්නේ එකම විශ්ව විද්යාලයේ.

“අම්මා තේ බීල ඉවරයි. මේ කෝප්ප ටික ගෙනියන්න “ නැවත තිසුරි අම්මට කතා කරා. අම්මා ලහි ලහියේ එතෙන්ට ආවේ කාරනාවක් කියන්නත් එක්ක.

“දුවේ අපේ ලොකු අක්කා බස් එකෙන් වැටිළලු. මම මේ හිටියේ හෙට උදේම තාත්තා එක්ක ගිහින් හවස එන්න . ඔයා මේ ටිකේ වැඩ නිසා මට බබාලා දාල යන්න විදිහක් නැති කමට හිටියේ . දැන් දවස් 4 ක් වෙනවා “ අම්ම කීවේ දෙන්නගේ කෝප්ප දෙක බන්දේසියේ තියා ගන්නා ගමන්මයි.

“අනේ අම්මේ පිස්සුද ඕවගේ යන්න ? මට මේ වැඩ කට ගාවට . හෙට තව ප්රසන්ටේෂන් එකක් තියනවා.” තිසුරි කීවේ කෝපයෙන්.

“මල ..සමයන්. අපේ අම්මලට තේරෙන්නේ නැහැ. මේ යක්කු පැටවූ දෙන්නා දවසක්ම බලන්න ගියොත් මගේ හොඳ පන යනවා “ඇය හෙමිහිට මිනිනුවේ යෙහෙළිය යුවනිටයි.

“අයියෝ තිසු අපේ අම්මත් ඔහොමමයි… සිල් ගන්න යන්න ඕනේ කියල හෙන රණ්ඩුව. ඕවට යන්නම ඕනෙද ඔය TV එකේ බණක් අහන්න බැරිද මම කියන්නේ නිවාඩු වෙලාවට ? අපි දෙන්න පෝයට විතරයි ගෙදර ඉන්නේ. එදාටත් ළමයිගේ කරච්ච්රල්

“යුවනිත් තමාගේ අම්මගේ ප්රශ්න කීවා.

“ඒ මදිවට මෙයාට ඉන්දියාවේ යන්න ඕනෙලු. මම කීවේ ඒ සල්ලි වලින් අර වැඩ ඉවර කරපු නැති බාත්රූම් එකේ වැඩ ඉවර කරන්න පුළුවන් කියල. අපේ අම්ම ඕක ඉතුරු කරගත්තේ සැහෙන කාලෙක ඉඳල . බලන්නකෝ මට සල්ලි නැහැ කියල දැන දැනම ගේ වැඩ ඉවර කරන්න දුන්නේ නැහැ. ඉන්දියාවේ යන්නම ඕනෙද අනේ ශ්රද්ධාව තියනවා නම් මෙහේ හිටියත් ඇති “ තිසුරි කීවේ හඬ පහත් කරමින්.

මේ වෙලේම ශෂිකලා ආවේ දෙන්නගෙන් සමාව ඉල්ලමින්. ඇයත් පාඩම් මේසේ ඉඳ ගත්තා.

“අනේ සොරි තිසු..ලගම ඉඳල මම තමා පරක්කුම නේද?” ශෂිකලා ඇහුවේ සිනා සෙමින්.

“අප්පෝ ඔවු වැටවල් දෙකක් ඈත කෙනා එන්න කලින් මාත් ආවා.” යුවනි කීවේ නෝක්කාඩුවක් වගේ.

“ඔයාට නම් අපිට වගේ වැඩ නැහැනේ..ලේසියෙන්ම මේවාට කාලය යොදවන්න පුළුවන්. අපිට නම් ළමයි, අම්මලා , හස්බන්ඩ්ලා හැමෝගෙම වැඩනේ “ තිසුරි ඇනුම් පදයක් කීවේ දෙපැත්තම කැපෙන්න. අම්මව මහලු මඩමට දාල සැපෙන් ඉන්නවා ඒ වුනත් උඹ තාම බැඳලා නැහැ..දරුවෝ නැහැ..අපේ ජීවිත නම් සර්ව සම්පූර්ණයි කියන අදහස ශශිකලා ට දෙන්න ඇයට ඕනේ වුණා.

ශෂිකලා හිනා වෙලා ඇය දෙස බැලුවා.

“ මොනවද ශෂී නැන්දව මඩමකට ගිහින් දැම්මේ? ඒ මනුස්සයා කොයි තරම් ගින්දරකින් ද ඉන්නවා ඇත්තේ ? “ යුවනි කෙලින්ම කතාවට අවතීර්ණ වුණා. ඒ වෙලාවේම තිසුරිගේ අම්මා උඩ තට්ටුවේ ඉඳල ඇගේ සාරි කීපයක් අරගෙන පාඩම් කරන කාමරේට ආවා.

“දුව ඔයා සඳුදට අඳින සාරිය කියන්නකෝ . මට දැන්ම මැදලා දාන්න. නැත්නම් උදේට කරදරේ “ ඇය කීවේ යටහත්ව.

“ඕක දැන් මදින්න ඕනේ නැහැනේ අම්මේ.”

“අනේ පුතේ දැන් මම උයල ඉවරයි. මේ පිටින්ම මේක මැදලා නානවා. පුතාගේ ටිකත් මැද්දා. මට හවස පොඩි එකාගේ රෙදි ටික හෝදන්න තියනවා “ තිසුරිගේ අම්මා කීවා. තිසුරි සාරිය තෝරලා දුන්නට පස්සේ ඇය යන්න ගියා.

“අප්පෝ ඔවු ශෂී… දෙමාපියෝ මඩම් වල දාල ඔයාලට නම් කවදාහරි ඕවා පල දෙනවා. මැරෙනකම් ඒ මනුස්සයා ගෙදර තියා ගන්න බැරි මාර දුවෙක්නේ ඔයා. ඔයාගේ නිදහස ලොකුද අම්මට වඩා ? “ තිසුරි කීවේ නතර වුන තැන නැවත අල්ලාගනිමින්.

“මේකයි යුවනි , තිසුරි කොහොමත් මම අද ඔය දෙන්නට මේ ටික කියන්න හිතාගෙන තමා ආවේ.. මොකද ඔය දෙන්න ගිය සතියේ අපේ බැජ් එකේ කට්ටියට කෝල් කරලා ඔය ගැන කියපු බව මම දන්නවා….. මම ගැන කියපු සේරම කතා ඒ ගොල්ල මට කීවා “ ශෂිකලා කීවේ හයියෙන්.

“මගේ තාත්තා මැරෙන්න කලින් ඉඳලම අම්මට ඩිමෙන්ශියා තිබ්බා කියල ඔයාල නොදන්නේ නැහැ. අපි දෙන්න තමා අම්මව බලා ගත්තේ. තාත්තා නැති වුනාට පස්සේ ගෙදර වැඩට ගොඩ දෙනෙක් ආවා මම ජොබ් එකට යන වෙලාවට. ජොබ් එකට නොගියොත් අපි දෙන්නට කාල ඉන්නවත් අම්මට බෙහෙත් ගන්න වත් සල්ලි නැහැනේ. ඒ නිසා මම වැඩ කරන්න ඕනේ “ ඇය වේගයෙන් කීවා.

“ඊට පස්සේ ආව ගෑනු අම්මට කල්පනාව නැති නිසා කරපු දේවල් මම කියන්නම්. එක්කෙනක් අම්මට කන්න දුන්නේ නැහැ කක්කා දාන නිසා. මම හවස එනකම් ඒ මනුස්සයා බඩගින්නේ සතෙක් වගේ කාමරේ දාල ඒ ගෑනි හොඳට කාල TV බැලුවා. ඊට පස්සේ වැඩට ආව ගෑනි හොර මිනිහව ගෙට දාගෙන අම්ම තව ටිකෙන් මැරුම් කනවා ඒ ගංජා කාරයාගෙන් .

“මට ජොබ් එකෙත් ප්රශ්න ආවා..ඒ ගමන තමා මම තීරණය කළේ අම්මව සල්ලි මාසෙකට 50,000 ක් ගෙවල අම්මලා වගේ ඩිමෙන්ශියා ලෙඩ්ඩු වගකීමෙන් බලන තැනක් හොයා ගන්න. මට ඒ තීරනේ ගනිද්දී නෑදෑයෝ හැමෝම බැන්නා. හැබැයි ඒ කවුරුත් නිකමට වත් ඇවිත් අම්මව බලාගන්න කැමති නැහැ. ජොබ් එක නැති වුනොත් අපි දෙන්නම කොට උඩ නිසා තමා අම්මව යැවුවේ. ඒ වුනත් ඒ නිසා දැන් මගේ ඔලුවේ කැක්කුම අඩුයි විතරක් නෙවේ අම්මත් හොඳින් ඉන්නවා. මම හැමදාම හවසට එහෙ ගිහින් ගෙදර එන්නේ. අර ඔයා කියල තිබ්බේ හසිත එක්ක මම හැමදාම රෑ වෙනවා ගෙදර එන්නේ කියල. ඔවු මම රෑ වෙනවා මොකද අම්ම එක්ක පැය දෙකක් ඉඳල මම එන්නේ. ඒ සල්ලි හම්බ කරන්න මම දැන් US Company එකකට පාර්ට් ටයිම් වැඩ කරනවා. මොකද ඒ වගේ ගානක් දරන්න අමාරු වුනත් අම්මට සනීපෙන් ඉන්න ලැබෙන නිසා.”

“ඔයාල ඔහොම කියන්නේ ඔයාලගේ අම්මලා හොඳින් ඉන්න නිසා. උදේට ඔයාට සහ මහත්තයට බත් උයල , බත් මුල අතටම දීල දරුවෝ බලල , ඔයාගේ සාරිය පවා මැදල දෙන අම්මෙක්ව කොහේ වත් ගෙනියන්න ඔයාට ඕනෙම නැහැ තමයි. හැබැයි මගේ අම්ම එහෙම කෙනෙක් නෙවේ. මගේ අම්ම ලෙඩෙක්. සිහි කල්පනාව නැති ලෙඩෙක්…..“

“අම්මෝ ඔයා අම්ම ලවා වැඩ ගන්න විදිහ දකිද්දී මගේ ඇඟ හිරි වැටෙනවා. මම නම් කවදාවත් අම්ම ලවා ඔය විදිහට මරවලා වැඩ ගන්නේ නැහැ.

ආ තිසුරි ඔයත් අම්මගේ පැන්ෂන් එක උදුරාගන්නවා කියන එක මේ ගමේ හැමෝම දන්නා දෙයක්නේ. එහෙම ඔයාල එන්න එපා මගේ සදාචාරේ හොයන්න. ඉස්සෙල්ල තමන්ගේ දෙමාපියන්ට සලකන්න ඉගෙන ගන්න “ කියමින් ශසිකලා නැගිට්ටේ පුටුව වේගයෙන් පස්සට තල්ලු කරමින්. ආයේ ඔවුන් දෙදෙනා එදා සිට ශශිකලාගේ මූණ වත් බැලුවේ නැහැ.

Share Now

Related Article