සමලිංගික දරුවා මානසික රෝගියෙක් ලෙස දුටු දෙමාපියන් ගැන කතාවක්

Sep 1, 2020

මාගේ ජීවිතයේ කතාව ඔබට කියන්නට අදහස් කලේ ඇයිද මම අදත් දන්නේ නැත. නමුත් ඒ පිළිබඳව කියවා බලා පමණක් මා හට ගල් මුල් ගැසීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම තමා දරුවා ගැන දෙමාපියන් පිළිපැදිය යුත්තේ කෙසේද යන අදහසක් මා හට නැත. මෙතැන් සිට දිගහැරෙන්නේ මගේ කඳුළු කතාවයි.

Continue Reading Below

මගේ අම්මාට මා ඉපදෙන විට වැඩිමල් අක්කලා දෙදෙනෙක් ඉපදී තිබුණි. ඇය බලාපොරොත්තුව සිට ඇත්තේ පිරිමි දරුවෙකි. දහ අතේ විය පැහැදම් කිරීමෙන් , භාර හාර වීමෙන් පසු තුන් වන වතාවටද උපන්නේ දුවක් බව වටහා ගත් මගේ දෙමාපියෝ මහත් කණගාටුවට පත් වී ඇත.

“ තව කෙල්ලෙක් ..බලන්න යන්න වත් හිතෙන්නේ නැහැ “ කියා මගේ පියා රෝහලට නොගොසින් සිට ඇත්තේ අම්මා සමග අමනාපයෙනි. කෙසේ හෝ ඔවුන් දෙදෙනා නැවත සමාදාන වී මා ගෙදර කැන්දාගෙන ආ අතර කුඩා මා හට සූදානම් කර තිබු සියලුම දේවල් නිල් පැහැ ගත් බව හැම දෙනාම පවසති. අම්මා සහ තාත්තා සැබවින්ම මා හැදුවේ පිරිමි ළමයෙක් මෙනි. ගවුම් ආදිය අරුචිකර වුන මම කුඩා කල සිට කලිසම් කොටයකින් සැරසී ගස් මුදුන් වල ක්රීඩා කළෙමි. අපිට ආර්ථික කරදර තිබ්බේද නැත. මගේ කොන්ඩය කොටට කපා කොල්ලෙක් මෙන් සැරසීම අම්මා දිගටම කළාය.

කාලය හෙමින් ගෙවෙමින් තිබුන අතර පාසලේ මගේ යෙහෙළිය වූයේ නිරානිය. ස්වභාවයෙන් අහිංසක පැහැපත් දැරියක් වූ ඇය සහ දඟ මල්ලක් වූ මම හොඳම යෙහෙළියෝ වීමු. මම නිරානිට කතා කළේ පිංකි යන නමින් හෙයින් මෙතැන් සිට ඇය හඳුන්වන්නේ පිංකි නමිනි. පිංකිගේ දෙමාපියෝ දෙදෙනා දික්කසාද වී සිටියද ඇයට ඉතා ආදරේ කළ යහපත් මාපියන් වූහ. පිංකි හට ඕනෙම දෙයක් අරන් දීම පමණක් නොව ඕනෙම වෙලාවක සංවාදයේ යෙදීමට තරම් විශ්වවිද්යාල ආචාර්ය වරියක් වූ මව මෙන්ම වුර්තියෙන් වෛද්ය වරයෙක් වූ පියා කාරුණික විය. මා එහි යන වෙලාවට මව මා සමගද සාමිචි කතාවේ යෙදුණාය.

වයස 14 දී පමණ අපි දෙදෙනා වටහා ගත්තේ අපි දෙදෙනා තුළ එකිනෙකා කෙරෙහි සාමන්යය මිත්රත්වයෙන් එහාට ගිය බැඳීමක් ඇති බවය. නිතර එකිනෙකා පාඩම් කරන්නට හමු වීම සහ ගෙවල් වල යාම නිසා අපි දෙදෙනා හට හුදෙකලා වන්නට ඕනා තරම් කාලය තිබුණි. කෙසේ හෝ අපගේ සම්බන්ධය දුර දිග ගිය අතර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු විදේශ රටකට යාම අපේ අභිලාශය විය.

අපගේ සම්බන්ධයේ ස්වභාවය සමග අපේ වැනි රටක විවහා ජීවිතයක් කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි විය. උසස් පෙලින් පසු මා විදේශ ගත වීමට සූදානම් වන විට එක දිනක් දෙමාපියෝ ඒ ගැන මට තදින් දෝශාරෝපනය කරන්නට විය.

“ අක්කලා දෙන්නම පිටට දුන්නා..ඔයා රටවල් ගානේ ගිහින් කොහොමද? මේ තියන දේවල් බලාගෙන මෙහෙ ඉන්න “ අම්මගේ මතය විය.

තාත්තාගේ මතයද වූයේ එයයි. මට ඇවැසි නම් උසස් අධ්යාපනය ලංකාවේ සිට ලැබිය හැකි බවත් , ඉන් පසු විවහා වී සර්විස් ස්ටේෂන් එක ඇතුළු අපේ ව්යාපාර සැමියා සමග බලාගැනීම මගේ වගකීම බව තාත්තාගේ මතය විය.

ඔවුන් දෙදෙනා මගේ බලවත් කෝපයට හේතු වන ලෙස විවහා යෝජනා රැසක් ගෙන එන ලද අතර මේ මගුල් ගමන් මට මහා අප්රසන්න වූයේ එයින් කිසිවෙක් කෙරේ මගේ සිත නොබැඳුණ හෙයිනි. ඊට අමතරව පිංකි සහ මම ජීවිතයේ නොබිඳිය හැකි අංග වුන අතර අපේ අනාගතය කරා යාම අපේ අභිලාශය විය. එක දිනක විවාහයකට බලෙන් කැමැත්ත ඉල්ලා කළහ කරන විට මම දෙමාපියන්ට මගේ සහ පිංකිගේ තත්වය ගැන කීවෙමි.

එයින් නොසිතු විරු ලෙස දෙමාපියෝ කෝප වුන අතර රාත්රියේම පිංකි ගේ නිවසට ගිය ඔවුන් හැකි ඉක්මනින් පිංකි රටින් පිට කරන ලෙස ඇගේ මවට තර්ජනය කර තිබුණි. අපේ පියාගේ ව්යාපාර සහ දේශපාලන සම්බන්ධකම් ගැන හොඳින් දන්නා පිංකිගේ මව… “ මිස්ට සමරසේකර දැන් යන්න ..මම ඉස්සෙල්ලා ළමයා එක්ක කතා කරලා පිලියමක් දෙන්නම් “ කියා පියා සහ මව පිටත් කිරීමට කටයුතු සලසා ඇති බව මා දැනගත්තේ පසුවය.

පසු කලෙක පිංකි මට කියූ පරිදි එදා රෑ එළිවෙන තුරු මව සහ දුව සංවාදයේ යෙදී සිට ඇත. උදෑසනම ඒ වන විට වෙනත් විවාහයක් කරගෙන සිටි පියාද නිවසට පැමිණි අතර ඔවුන් තිදෙනාම කතා කර පිංකිට කරුණු පැහැදිලි කර දී ඇත. ඒ අනුව මා ඇයට සැබවින්ම ආදරේ නම් මා ඇය සොයා කෙසේ හෝ එනු ඇති බව පවසා ඔවුන් දෙදෙනා විදේශ රටකට යාමට ඇගේ කැමත්ත ගෙන ඇත. අපේ තාත්තා වැනි පුදගලයෙක් සමග හැපීමට ඔවුන්ට හැකියාවක් නොමැති හෙයින් පිංකිගේ ආරක්ෂාව තකා මේ පියවර ගන්නට ඇත. එමෙන්ම පිංකි සැබවින්ම සමලිංගික නම් ලංකාවේ ජීවත්වීමට වඩා පිට රටක ජීවිතය පහසු බව මෙන්ම නීත්යානුකූල බවද ඔවුන් ඇයට පැහැදිලි කර දී තිබුණි.

නමුත් එදා සිට මගේ ජීවිතය අපායක් විය. බැනුම්, ගැහුම්, තාඩන , පීඩන, රැවිලි , ගෙරවිලි මෙන්ම පවුල තුල මට හින්ට් ගැසීම් , කොන් කිරීම් සුලභ විය. ජීවිතය එපාම වුන මහත් පීඩාකාරී කාලයක් විය.

“ කාලකන්නි කෙල්ල..නපුංසකයා ..අපේ පවුලට ගහපු හෙනේ මේකයි “ වැනි වචන කියමින් අම්මා නිතරම මගේ හිත රිද්දුවාය. තාත්තා මුහුණ වත් බැලුවේ නැත.

මා කෙරෙහි ඇති එකම විසඳුම විවාහ කර දීම බවත් එයට අකමැති නම් පිස්සන් කොටුවට ගිහින් දමන බවත් කියමින් ඔවුන් නිතරම තර්ජනය කළහ. මම මහත් සේ භය වීමි. එමෙන්ම එවකට දහනම හැවිරිදි මා හට ගෙයින් එලියට යාම හෝ දුරකතනයෙන් කතා කිරීම තහනම් වීම මහත් ගැටළුවක් මෙන්ම පීඩාකාරී වුන බව අමුතුවෙන් කිව යුතු නැත. මාගේ වාසනාව හෝ අවාසනාවට ඊළඟ යෝජනාව පැමිණියේ පියාගේ ඈතින් ඥාති වන පවුලකිනි.

එංගලතයේ වසර ගණනක් සිටි ඔහු ලංකාවට පැමිණ තිබුනේද සිය වියපත් මව ගෙදර තනිව සිටින නිසාය. පරම්පරාගත දේපොලක් තිබුන ලහිරු අපේ නිවසට පැමිණීමෙන් පසු අම්මා මා හට අවසන් වතාවට තර්ජනය කළාය. ලහිරුගේ මුහුණ වත් නොබැලුවද මම ඔහු හා විවාහ වීමට කැමැත්ත දුන්නෙමි. අපේ දෙමාපියෝ ලහිරු සහ මට තනිවීමට ඉඩක් නොදුන්නේ ඉතා සූක්ෂම ලෙසිනි. අප දෙදෙනා හමු වීමට තිබුන එකම ස්ථානය අපේ ගෙදර වුන අතර එවිට පවා ලොකු අක්කා හෝ අම්මා අප අතර ගැවසෙමින් සිටියහ.

මුළු ජීවිතේම හළ මල එකියක මෙන් වේදනාවෙන් මම විවාහය කරා සූදානම් වීමි. මංගල උත්සවය ඉවර කර මධු සමය සඳහා නුවර එලියට යන තුරු කාරයේ මම නිශ්ශබ්දව සිටියෙමි. එදා රාත්රියේ ඔහු සමග සම්බන්ධයක් පැවැත්වීමට නියමව තිබුනත් මම සත්යය නොවලහා ලහිරුට කීවෙමි. පැය කීපයක් කල්පනාවේ නිමග්නව සිටි ඔහු පළමුව මගේ දෙමාපියන්ට දෝශාරෝපනය කළේය. ඉන් ඉක්බිති ඔහුට වඩා වසර 13ක් ලාබාල මගේ හිස අතගා සත්යය පැවසීම ගැන මා හට ස්තුති කළේය.

තමන් ගේ සත්යය තත්වය පිළිගැනීමට කිසිවෙක් බිය නොවිය යුතු බව ඔහුගේ මතය විය. ඉක්බිති පිංකි සිටින නිදහස් දේශය කරා යාමට ඔහු විසින් කටයුතු පිළිවෙල කරන ලදී. අධ්යාපන කටයුතු මා හට නැවත පටන් ගැනීමට විදේශයේදී ඉඩ ලැබෙන ලෙස ලහිරු ක්රියා කළේය. අප දෙදෙනා එක ගෙදර යහළුවන් දෙදෙනක් මෙන් මාස 5 ක් පමණ විසුවෙමු. ඒ කාලයේ ඔහුගෙන් ලද ආදරය, කරුණාව මා හට මහමෙරක් විය. ඔහු මා තුලින් වෙනස්ම ශක්තිමත් ගැහැනියක් ඉපිදවූයේය.

තමාගේ ආත්මාර්තකාමේ ආශාවන් වෙනුවෙන් දරුවන් භාවිතා කරන, දරුවන්ගේ ජීවිත ගැන අබමලක ආදරයක් නැති දෙමාපියන් සිටින මෙවන් දේශයක ඉපදීම අවාසනාවක් ලෙස මා සැලකුවෙමි. මාගේ සමලිංගිකත්වය කුළුගැන්වෙන්නට ඇත්තේ මව සහ පියා මගෙන් පිරිමි ළමයෙක් කුඩා කල සිට බලාපොරොත්තු වීම නිසා බව ලහිරුගේ මතය විය. දරුවෙක් ලෙස මා හට ඔවුන් දෙදෙනා පසු කාලීනව සැලකු අයුරු හතුරෙක්ට වත් නොවිය යුතු යයි මම සිතමි. මාස 5 කින් පසු ලහිරු සහ මම දික්කසාද වුන අතර ඔහු මා විශ්ව විද්යාලයට භාර දීමට මා සමග විදේශය කරා පැමිණියේය.

ඒ වන විට වසර දෙකක් පිංකිගේ සහ මගේ වෙන්වීමට ගත වී තිබුණි. තම සමලිංගික නැමියාව කුඩා කල පමණක් තිබුන තත්වයක් පමණක් බව වටහාගත් පිංකි ඒ වන විට පිරිමි ළමයෙක් සමග සම්බන්ධයක් පටන් ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා වසර කීපයකින් විවහා විය. දැන් මා සිටින ප්රාන්තයෙන් ඈතක වෙසේ.

මම සමලිංගිකත්වය ගැන වැඩි දුරටත් කියවා බැලුවෙමි. අතීතයේ එය රෝග තත්වයක් සහ අපරාධයක් ලෙස සැලකුවද වර්තමානයේ මනෝ වෛද්ය වරු එය ඉතා සාමාන්ය බව තහවුරු කරති. කෙනෙක්ගේ ලිංගික නැමියාව ජානමය සහ පාරිසරික සාධක මත ඇතැම් විට වෙනස් විය හැකිය. කුමක් වුවද එයට ගරු කිරීම සහ මා වැනි සමලිංගික ප්රජාව කෙරෙහි වෙනස්ව සැලකීමේ ආකල්පය ලෝකයෙන් දැන් තුරන් වෙමින් පවතී. නමුත් ශ්රී ලංකාවේ නීතියේ සමලිංගික සේවනය අපරාධමය වරදක් ලෙස තවමත් පිළිගැනෙන අතර සමාජයේ අප හට ලැබෙන තාඩන පීඩන අපමණය. අප රෝගීන් පිරිසක් නොව, ඔබ මෙන්ම සාමන්ය මිනිසුන් ලෙස පිළිගැනීම අපේක්ෂා කරමු. එතැන් සිට මගේ දෙමාපියන් සමග තිබුන සම්බන්ධය නතර වූයේ ඔවුන් දානයක් දී මා හට පින් අනුමෝදන් කර තිබු නිසාවෙනි.

මාගේ වාසනාවට ලහිරු වැනි යහපත් වැඩිහිටියෙක් මගේ ජීවිතේට අහම්බෙන් හෝ පැමිණි නිසා මගේ අධ්යාපනය නැවත පනගන්වා ජීවිතයට සාමන්ය ලෙස මුහුණ දීමේ හැකියාව මට ලැබිණි. ඔහු නොවන්නට මා මේ වන විට දෙමාපියන් කියූ කෙනෙක් සමග විවහා වී බොහෝ විට සියදිවි හානි කරගෙන සොහොන් කොතක් යට සැතපී සිටින්නට තිබුණි. නැතහොත් ලිංගික ශ්රමිකයෙක් ලෙස ජීවිතය ගෙවන්න තිබුණි. ඒ අනුව මට මනුෂ්යත්වයට ගරු කරන, අනිකා ජීවත් වීමේ අයිතියට ගරු කරන ලහිරු වැනි මිනිසුන් කෙරේ ඇත්තේ විශාල භක්තියකි.

Share Now

Related Article