බිහිසුණු සුන්දරිය “මැඩම් ලලාවුරී.”

Jun 17, 2020

ඇය ඉතිහාසයේ උන් බිහිසුණුම ගැහැණුන් අතරින් කෙනෙකි. ඩෙල්ෆයින් ලලාවුරී නම් ඇය ඉපදුණේ 1780 දී ඇමරිකාවේ නිව් ඕර්ලීන්ස්හි “ෆ්රෙන්ච් ක්වාටර්” නම් ජනපදයේය.

Continue Reading Below

ඇගේ පියා ඇමරිකාවට සංක්රමණය වී නිව් ඕර්ලින්ස්හි පදිංචියට පැමිණි අයිරිෂ් ජාතික වංශවතෙකි. මව ධනවත් ප්රංශ පවුලක දියණියකි. ඒ නිසා ඩෙල්ෆයින් ඉපදෙන්නට පෙරම යස ඉසුරින් පිරි අනාගතයකට උරුමකම් කීවාය. ඇගේ පවුල නිව් ඕර්ලින්ස් හි ප්රභූ පෙලැන්තිය ලෙසින් සැලකුණු පිරිසට අයත් වුණු අතර ඒ සමාජයට ගැලපෙන අයුරින් ඩෙල්ෆයින්ට හොද අධ්යාපනයක්ද ලැබිණ. එමෙන්ම ඒ උසස් සමාජයේ කාන්තාවක් හැසිරිය යුතු අන්දමට හොද සිරිත් විරිත් හා සුන්දර පැවතුම් ඇයට උගන්වන්නට ඇගේ දෙමාපියන් විසින් වෙනමම ගුරුවරියක්ද යොදවා තිබිණ.

ඉතින්, තරුණ වියට එළඹෙන විට ඩෙල්ෆයින් සැබෑම රූමතියක් වූවාය. වරක් නොව තුන්වරක්ම විවාහයන්ද කරගත්තාය. ඇගේ පළමු සැමියා වූයේ ස්පාඤ්ඤයේ රාජකීය නිලධාරියෙකි. ඒ සැමියා මියගිය පසුව දෙවනුවට ඇය විවාහ වූයේ වැදගත් බැංකු හිමිකරුවෙකු සමගය. දෙවැනි විවාහයෙන්ද කනවැන්දුම් වූ පසු තුන්වෙනි වරට ඇය විශේෂඥ වෛද්යවරයෙකු සමග විවාහ වූවාය. මේ විවාහ තුනෙන් ඇයට දරුවන් සය දෙනෙකු විය. ඇගේ අවසන් විවාහය සිදුවෙන්නට කලියෙන් ඇය හදුනන වෛද්යවරයෙකු විසින් ඇයටම ගැලපෙන නමක් පටබැන්දේය. ඒ අලුත් නම “මැඩම් ලලාවුරීී” ඉක්මනින්ම පලාතේම මිනිසුන් අතර ප්රචලිතව ගිය අතර එයින් පසුව ඇයව බොහෝ දෙනා හැදින්වූයේ ඒ නමිනි.

අතිශය සුන්දර මැඩම් ලලාවුරී ඇතුලාන්තයෙන් නම් කිසිසේත්ම සුන්දර කාන්තාවක් නොවූවාය. ඒ අසුන්දර බව හොදින්ම දුටුවේ ඇගේ නිවසේ උන් වහලුන්ය.

ඉතා ධනවත් කාන්තාවක් වූ ඩෙල්ෆයින්ට පවුලෙන්ම උරුම වුණු විශාල මන්දිරයක් මෙන්ම ඒ මන්දිරයේ සේවය කරන්නට අති විශාල සේවක සංඛ්යාවක්ද සිටියහ. එවකට ඇමරිකාවේ වහල් සේවය තහනම්ව නොතිබුණු අතර, ඩෙල්ෆයින්ගේ නිවසේ උන් සේවකයින් සියල්ලම වාගේ ඔවුන්ගේ පවුල වෙනුවෙන් මිලදීගෙන තිබුණු වහලුන් විය.

ඇය සමග ජීවත් වූයේ ඇයගේ දියණියන් දෙදෙනෙකු පමණකි. දඩබ්බර කාන්තාවක් වූ ඩෙල්ෆයින්ට තනිව තම ජීවිතය තමන්ට ඕනෑ හැටියට ගෙවා ගන්නට සැමියාද ඉඩ දී තිබිණ.

විවාහ දෙකකින් වැන්දඹු වී උන් ඩෙල්ෆයින්ට ඒ සැමියන් දෙදෙනාගේම වියෝවෙන් පසු උරුම වුණු විශාල ධනස්කන්ධයක් තිබිණ. එමෙන්ම පවුලෙන් උරුම වුණු ධනයත් එයටම එක් වූ කල ඇය සිටුවරියක් තරමටම ධනවත් තැනැත්තියක් වූවාය. නිව් ඕර්ලීන්ස්හි රෝයල් වීදිය එවැනි ධනවතුන්ට වෙන්වුණු වීදියකි. ඩෙල්ෆයිරී රෝයල් වීදියේ හොදම තැනකින් මන්දිරයකට ඉඩමක් මිලදී ගත්තේ ඩොලර් තිස් තුන් දහසකටය. 1831 දී ඩොලර් තිස් තුන් දහසක් යනු අති විශාල ධනස්කන්ධයකි. ඉඩම මිලදී ගත් පසු ඩෙල්ෆයිරී එහි විශාල දෙමහල් මන්දිරයක් තැනවූවාය. ඒ මන්දිරයට යාබදව ඇගේ වහලුන්ට නිල නිවසක්ද ඉදි කරවූවාය. ඩෙල්ෆයින්ගේ මේ මන්දිරය එවකට ෆ්රෙන්ච් ක්වාටර් පෙදෙසටම තිබුණු උසම සහ විශාලම ගොඩනැගිල්ල වීය.

ඩෙල්ෆයින් එතෙක් කල් තම වහලුන්ට කළ වධ හිංසාවන් එළිදරව් වෙන්නට වූයේ ඇය මේ මන්දිරයේ පදිංචියට ආවායින් පසුවය. ඒ එක් සිද්ධියකින් පසුවය.

ඩෙල්ෆයින්ගේ මන්දිරයේ සේවය කළ ලියා නම් වූ එක් ලාබාල වහලියක් දිනක් තම ස්වාමිිදුවගේ කෙස්වැටිය පීරමින් උන්නාය. ගැට ගැසුණු කෙස් කැරැල්ලක් පනාවට හසු වීම නිසා එයින් ස්වාමිදුවට රිදුමක් ඇති විය. ලියා කොතරම් බය වූවාද යත් පනාව ඇය අතින් අත්හැරුණි. ස්වාමිදුවගේ සැබෑ ස්වරූපය ගැන දත් ලියා බිය වීි දුවන්නට පටන් ගත්තාය. කුරිරු ස්වාමිදුව, ඩෙල්ෆයින් කසයක්ද අතින් ගෙන ලියා පසුපස එලවාගෙන ගියාය. ලියා දිව්වේ උඩු මහලටය. ස්වාමි දුව තවමත් තම පසුපසින් එනු දුටු ලිියා එතැනින් සොල්දරයටද, සොල්දරයෙන් මන්දිිරයේ වහල මතටද නැගුණාය. ලිියා වහලෙන් පහලට ලිස්සා ගියාද, නැතිනම් ඇයව තල්ලුු කලාදැයි කවුරුවත් දන්නේ නැත. එහෙත් ලියාගේ සිරුර මන්දිරයේ මිදුලේ බිම වැටී බිදී තිබෙන අයුරුත්, ඩෙල්ෆයින් රෑ බෝවුණු පසුව, අනෙක් වහලුන් ලවා ඒ සිරුර මිදුලේම වලක් හාරවා මිහිදන් කරවූ බව ඇගේ අසල්වැසියෙක් දැක තිබිණ.

ඒ සිදුවීම ගැන අසල්වාසීන් විසින් පොලිසියට පැමිණිළි කරනු ලැබිණ. එයින් ඇරඹුණු පොලිස් පරීක්ෂණ වලින් ඩෙල්ෆයින්, වහලුන් නව දෙනෙකුගේ මරණ වලට වගකිවයුතු බව හෙලිදරව් විය. එයට දඩුවමක් ලෙස ඇයට නියම වූයේ දඩයකුත්, ඇගේ භාරයෙන් වහලුන් ඉවත් කිරීමත් පමණකි.

එහෙත් බෙහෙවින් කපටි ගැහැණියක වූ ඩෙල්ෆයින් තම නෑදෑ හිත මිතුරන් යොදවා ඒ වහලුන් වහලියන්ව නැවතත් මිලදී ගත්තාය. දෙවන වරට මිලදී ගත් පසුව ඇය ඒ වහලුන්ව තම මන්දිරයට ගෙන ආවේ ඔවුන්ට පාඩමක් ඉගැන්වීමේ අදිටනද පෙරදැරි කරගෙනය.

ඩෙල්ෆයින්ගේ සුවිසල් මන්දිරය තුල නැවතත් වතාවක් ලෝකයට රහසින් කෙරෙන දුෂ්ඨ වහල් හිංසනය ඇරඹිණ.

තවත් මාස කිහිපයකට පසු එළඹුණු දිනෙක, ඩෙල්ෆයින් තම අරක්කැමි වහලියව අල්ලා ගත්තාය. ඒ අසරණ ගැහැණිය දවස ගානේම ඩෙල්ෆයින්ට රසමසවුලු පිස දුන් උදුන ලගම ඩෙල්ෆයින් ඒ ගැහැණියව දම්වැල් වලින් බැද දැමුවාය. උදුනෙහි ගිනි රස්නය ඉවසාගෙන බාගෙට පිච්චෙමින් වතුර පොදක්වත් නොලබා දවසම ඒ ඉරියව්වෙන්ම එතැන සිටින්නට අසරණ අරක්කැමි ගැහැණියට සිදුවිය. මේ තමාගේ බිහිසුනු අවාසනාවේ ආරම්භය පමණක් බව අරක්කැමි ස්ත්රිය දැන උන්නාය. මෙතැනින් එහාට විදින්නට සිදුවෙන වධ හිංසා මරණයටත් අන්ත විය හැකිය. ඒ නිසා කලින්ම මරණය තෝරාගන්නට ඒ අසරණිය තීරණය කලාය. ඇය සියදිවි නසාගන්නට සිතා තම සිරුරට ගිනි තබා ගත්තාය. සිතුවාට වඩා ඉක්මනට ඇගේ සිරුරට ගිනි ඇවිලිණ. ඇගේ සිරුරට ඇවිලුණු ගිනිදැල් කුස්සියේ තිබුණු ගෘහභාණ්ඩ වලටද, එතැනින් නිවසේ අනෙක් කොටස් වලටද වේගයෙන් පැතිරී යන්නට විය.

මන්දිරයේ ගින්න මැඩ පවත්වන්නට ප්රදේශයේ පොලිසිය හා ගිනි නිවන හමුදාව පැමිණෙන විට, ඩෙල්ෆයින් තම වටිනා ගෘහභාණ්ඩ ගින්නෙන් ආරක්ෂා කරගන්නට පොරබදමින් උන්නාය. ගිනි නිවන සෙබලුන් ගින්න නිවා දමන විට ඔවුන්ට හමු වූයේ ගිනි උදුන ලග යකඩ දම්වැල් වලින් ගැටගසා දමා තිබුණු වහල් ගැහැණියයි. වාසනාවකට හෝ අවාසනාවකට ඇය මියගොස් තිබුණේ නැත. පොලිසියෙන් පැමිණ ඇයව මුදාගත් පසුව, මේ ගින්නට හේතුව තමා යැයි ඇය පාපොච්චාරණය කළාය. එසේම තමා ගිනි තබාගන්නට තීරණය කළේ තම ස්වාමි දුවගේ වධ හිංසා ඉවසන්නට බැරිම තැන බවත්, ස්වාමි දුව වරින් වර අසරණ සේවක සේවිකාවන්ව ඉහළ මහලට රැගෙන යන බවත්, ඒ යන කිසි කෙනෙක් ආපසු නොආ බවත් ඇය හෙලිදරව් කලාය.

මෙවර නම් ඩෙල්ෆයින්ට වැඩ වැරදිණ. අරක්කැමි ගැහැණියගේ සාක්ෂියෙන් පසුව පොලිසියෙන් ඒ ගැන සොයන්නට පටන් ගත්තේය.

1834 අප්රේල් එකොලොස් වෙනි දින පොලිස් කණ්ඩායමක් ඩෙල්ෆයින්ගේ මන්දිරයට පැමිණියහ. පොලිස් නිලධාරීන් ඩෙල්ෆයින්ගෙන් වහල් නිල නිවාස වල යතුරු ඉල්ලා සිටියත් ඇය එය දීම තදින් ප්රතික්ෂේප කළාය. අවසන වහල් නිවාසයේ දොර කඩා ඇතුලු වෙන්නට පොලිසියට සිදුවිය.

එතුළ දුටු දසුනින් පොලිස් නිලධාරීන් පවා භීතියෙන් ඇලලී ගියහ. වහලුන් සත් දෙනෙකුගේ අත පය කපා දමා බෙල්ලෙන් එල්ලා තිබිණ. තවත් වහලෙකු මරා එල්ලා තිබුණු අතර ඒ මළමිණියේ හිසේ විශාල සිදුරක් තිබිණ. තවත් වහලුන් කිහිප දෙනෙකුම ඒ මලමිනීී අතර පණ පිටින්ම දම්වැල් වලින් බැද දමා, ඔවුන්ගේ ශරීර වලට අනේක විධ වධ බන්ධන පමුණුවා තිබිණ.

තවත් එක් කාමරයක වහලුුන් නව දෙනෙක් පොළවට තබා යදම් වලින් ගැටගසා තිබුණි. ඒ වහලුන් මිනිසුන්දැයි හදුනා ගන්නටත් නොහැකි තරමට කෘෂවී ඇටකටු පෑදී තිබිණ. සාගතයකටත් වඩා දරුනු වූ කාලයක් ගෙවූ බවට සාක්ෂි ඔවුන්ගේ මුහුණු වල තිබිණ. ගැට ගසා තිබුණු බොහෝ සිරකරුවන්ට හෙලවෙන්නටවත් නොහැකි පරිද්දෙන් ඔවුන්ගේ සිරුරු වටකොට උල් යකඩ කටු යොදා තිබිණ. මේ අයුරින් හිංසනයට ලක්ව වහල් නිවාසයේ සිරව උන් වහලුන් සංඛ්යාව සියයකට අධික විය. තවත් සිය ගණනක් සොල්දරයේද උන් අතර එයින් වැඩිහරියක් අපා දුකක් විදිමින් ජීවතුන් අතර සිටිනු පොලිස් නිලධාරීන්ට දැකගන්නට හැකි විය.

මන්දිරයේ පැතිරුණු ගින්න ගැන ආරංචියටත් වඩා වේගයෙන් මේ අමානුෂික වහල් නිවාසය ගැන ආරංචිය ප්රදේශය පුරා පැතිර යන්නට විය. ප්රදේශවාසීන් කෝපයට පත් වූහ. ඩෙල්ෆයින්ව වටලන්නට සිතා සිය දහස් ගණන් මිනිස්සු මේ මන්දිරය වෙත පැමිණෙන්නට වූහ.

එන පොට හොදනැති බව දැනුණු ඩෙල්ෆයින් තම දියණියන් දෙදෙනාවද අත්හැර රියැදුරු සමග නගරයෙන් පැන ගියාය. වෙස් වලාගෙන ප්රංශයට පලා ගිය ඩෙල්ෆයින් ව්යාජ නමකින් එහි ජීවත් වූවාය. පසුකාලීනව ඇය මිය ගිය පසුව, ඇගේ ඥාතීන් විසින් ඇගේ භෂ්මාවශේෂ නැවතත් නිව් ඕර්ලීන්ස් වෙත ගෙනවිත් සාන්ත ලුවිස් සුසාන භූමියේ තැන්පත් කළ බව නිව් ඔර්ලින්ස් වැසියෝ කියති.

එදා ඇය අතැර ගිය ඇගේ දියණියන් දෙදෙනා, මන්දිරයේ ජනේලයකින් පැන කෝපයට පත් නගරවැසියන්ගෙන් ගැලවී පලා ගිය බවත්, පසුව ඔවුන් ඉතාමත් දුගී කාන්තාවන් ලෙසින් ගම්බද පෙදෙසක අප්රකටව ජීවත් වුණු බවත් කියැවෙයි.

හාම්පුතුන් පලා ගියද, වධ හිංසනයට ලක්ව මිය ගිය වහලුන්ගේ අසරණ ආත්ම නම්, නිව් ඕර්ලීන්ස්හි රෝයල් වීදියේ අංක 1140 දරන ඩෙල්ෆයින්ගේ මන්දිරයේ අදටත් සැරිසරන බව ප්රදේශ වැසියෝ කියති. ඒ නිසාම අද වන තුරුත් ඒ මන්දිරය අද්භූත අත්දැකීම් ලබන්නට කැමති සංචාරකයින්ගේ වැඩිම ආකර්ශනය ලබන තැනක් ලෙසින් ඉතිරිව තිබේ.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article