බෙදී වෙන් වුන තරුණ යුවලකගේ කතාවක්

Aug 18, 2020

නුවන්ත පදවාගෙන ආව කාර් එක වැලි පාර්ක් එක පැත්තට හරවලා ගහක් මුලින් නතර කරේ ඔය කියන වෙබ් ආර්ටිකල් එකේ මොකද්ද තියෙන්නේ කියල බලන්නයි. මීට ටික වෙලාවකට කලින් ඔහු නුගේගොඩ ට්රැෆික් එකේ හිරවෙලා ඉද්දි ඔහු මේ දවස් වල රඟපාන මෙගා නාට්යයේ සහය අධ්යක්ෂක කතා කරා. ඔහු කියපු විදිහට ඔහුගේයි උමන්ගිගෙයි විවාහයේ බිඳුන තැන් අල්ලලා ඒක නුවන්ත සහ ඔහුගේ දැන් පෙම්වතිය නිසා වුන බවට පල වෙලා.

Continue Reading Below

ඔහු ෆෝන් එක අතට ගත්තේ සුසුමක් හෙලමින්.

“ ජනප්රිය නළුවා බිරිඳට සොනක්ෂි එක්ක එකතු වෙලා වංචා කරපු හැටි – බිරිඳ කඳුළු සලන වීඩියෝව” ලෙස සටහන් වී තිබුණා. ඒ ලිපිය නොකියවා ඔහු ගොසිප් සයිට් එකේ කමෙන්ට් වලට නිකමට ගිහින් බැලුවා.

“ ඕකාට හෙන ගහන්න ඕනේ අහිංසක ගෑනිට කරපු දේට”

“අර ඇටකටු ගොඩ නිසානේ ලස්සන පවුල කැඩුනේ “ එහෙම කියල තිබ්බේ තවත් ගැහැනියක්. ඔහුටත් ඔහුගේ දැන් පෙම්වතියටත් නොයෙක් මඩ ප්රහාර හැම අතින්ම එල්ල වෙලා තිබ්බා. දිගටම නොකියවා නුවන්ත ෆෝන් එක වහල දැම්මේ ඕව බැලුවහම වෙන්නේ හිත සවුත්තු වෙන එක විතරක් නිසා.

බත්තරමුල්ලට එන්නට කෝට්ටේ පාරට දැම්ම ඔහු එවෙලේම හිතුන සිතුවිල්ලකට කෝට්ටේ පන්සලට යන්න පිටත් වුණා.

අතීතයේ වේදනාබර කුණු ගොඩදාන්න ගොසිප් සයිට් වලට සහ පෙර බිරිඳට ඇති වුවමනාව මොකද්ද ඔහු කල්පනා කළා. තමන් කට නෑර ඇයට වැදගත්කම තියාගෙන පාඩුවේ යන්න දීමද කළ වරද ? ඔහු කල්පනා කළේ පසුතැවෙමින්.

ඔහු උමන්ගි එක්ක විවහා වෙන්න කලින් අවුරුදු දෙකක් ආදරේ කළා. ගොඩක් පොහොසත් පවුලක කෙල්ලෙක් වුන උමන්ගි ඇත්තටම ලස්සනයි. ඒ වගේම ඉගෙනීම අතිනුත් නුවන්තට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා. හැම දේකම අඩුවක් නැති තමන්ට වඩා ඉහලින් හිටපු ඇය නුවන්තට ලොකු සම්පතක් වුණා. ඔහු ඇයට ආදරේ කළේ රැජිනකට වගේ ආඩම්බරයකින්.

උමන්ගි පවුල් බලය නිසාම මුල සිටම ඔහු විෂයෙහි පෙන්නුවේ ආඩම්බර කමක්. ඒත් මේ ලස්සන තරුණ ජෝඩුව කළා ලෝකයේ හැමෝගෙම ආදරය දිනාගෙන බැබලුනා.ටික කාලෙකින් ඔහුට උමන්ගිගේ හැසිරීමේ වෙනසක් දැනුණා. ෆෝන් එක අරගෙන බාත්රූම් යනවා දැක්කා. රෑට ගමන් බිමන් වැඩි වුණා. උමන්ගි විවාහය තියෙද්දීම ඔහුගෙන් වෙන් වෙනවා ඔහුට දැනුණා. නමුත් ඔහු කරබාගෙන හිටියේ අමිහිරි ඇත්ත පිළිගැනීම ඔහුට අමාරු නිසා. උමන්ගි රංගනයෙන් දායක වුන නාට්යයක රඟපාන තරුණ පිරිමි ළමයෙක් මේ හැසිරීමට හේතු වුන බවට කටකතා පැතිරුණා.

ඒ කාලෙත් ඔහු කෝට්ටේ පන්සලට ඇවිත් තනියම කල්පනා කරලා යනවා. පිරිමියෙක් කඳුළු සලන එක ලංකාවේ ස්වභාවයට අනුව විහිළුවක් නිසා ඔහු නිහඩව දෙනෙතින් වැටෙන කඳුළු ඔහේ ගලා යන්න දුන්නා. ඔවුන් පදිංචි වෙලා හිටියේ උමන්ගිගේ දෙමාපියන් දුන්න ඉතා වටිනා නිවසක. ඔහු ඒ භයානක රාත්රිය මෙනෙහි කළා. එදා ඔහු ෂූටින් එකකට ගිහින් ගෙදර නොඑන්න සිටි දවසක්.

උමන්ගි පාඩම් කරලා මහන්සියට ෆෝන් එක ඔෆ්ෆ් කරලා නිදියන බව ඔහුට කියල තිබ්බේ. ඉතින් ඔහු ෂූටින් එක කැන්සල් වුන නිසා ගෙදර යද්දී රෑ 9 ට විතර ඇති. මොන සූරන වැස්සේ ඔහු ගෙදර දොරේ යතුරක් තිබෙන නිසා දොර ඇරගෙන ගෙට ගියා. උඩ තට්ටුවේ උමන්ගි නිදි නිසා බාධා නොවෙන්න ඔහු ගියේ සද්ද නොකරම. ඒත් කාමරය දෙසින් හිනා සද්දයක් ඇහෙනවා. ඒ වගේම පිරිමි කටහඬක් ඇහුන බව ඔහුට හිතුණා. ඔහු නිහඩව උඩු මහලට ගියා.

ඒ සිදුවීම කම්පනයකින් තොරව මෙනෙහි කරන්නට නුවන්ත අදටත් අපොහොසත්. සැමියෙක්ට දෑසින් දකින්න අමාරුම දේ ඔහුට දකින්න සිදු වුණා. ඔහුගේ අතින් කෝපයට බිත්ති වලට ගැහුව පාරට තවමත් ඔහුගේ අතේ අස්ථි බිඳිලා. ස්නායු පවා බලපෑමට ලක් වෙලා තිබුණා.

එදා ඔහු උමන්ගිගේ ගෙදරින් පිට වෙලා ගියා. තරුණ යුවල සදහටම වෙන් වුණා. නමුත් උමන්ගි ගැන හෝ පෙම්වතා ගැන ලෝකෙට කියන්න ඔහුගේ දිව නැමුණේ නැහැ. එසේ කිරීම වැරදි වැඩක් බව ඔහු සිතුවා. ඔවුන් දෙදෙනාට පාඩුවේ ඉන්න දීම කළ යුතු බව ඔහු කල්පනා කළා.

දෙපස දෙමාපියන් ඔවුන් එකතු කරන්න උත්සහ කරා. නමුත් ඒ සිදුවීම අමතක කරන්න නුවන්ගට බැරි වුණා. අවුරුද්දක් ගියා . දික්කසාදේ තීන්දුව හෙමින් ලැබුණා. දෙදෙනාම දෙදෙනාගේ මාර්ග වල ගියා. ඒ අතරේ පළමු විවාහයෙන් දික්කසාද වෙලා සිටි තවත් නිලියක් සමග ඔහු හිතවත් වුණා. ඇය උමන්ගා වගේ සල්ලි තියන පවුලක කෙනෙක් නෙවේ. ඇය ඔහුට ආදරෙන් සැලකුවා. ඔවුන් දෙදෙනා විවහා වෙන බව මාධ්යට පවා හෙළි කළා.

කාලය එක්ක උමන්ගිගේ පෙම්වතා ඇය අතහැරියා. ඔහුට විවිධ අනියම් සම්බන්ධකම් ඇති බවත් ඔහු උමන්ගි සමග යාලු වුනේ ඇගේ මිල මුදල් වලට බවත් අවබෝධ වෙද්දී ගොඩක් පරක්කුයි. ඒ අතරේ ඇය මාධ්ය වලින් දකින නුවන්ග ගේ ජීවිතේ එක්ක වෛර කරා. රටේ මිනිස්සු ලවා හෝ ඔහුට සහ අලුත් පෙම්වතියට අපහාස කරවීම සහ තමා ඉතා යහපත් කෙනෙක් බවට ප්රතිරූපයක් හදාගන්න ඇයට අවශ්ය වුණා.

සත්යය නම් ඇයට දාල ආව දේ ගැන සහ ඔවුන්ගේ අලුත් ජීවිතේ තියන සතුට දරාගන්න නොහැකි වීමයි. ආඩම්බරේ පැත්තක තියල ඇය විසින්ම ඔහුට කෝල් කරා. නැවත සමාව දීල එකතු වෙන්න කතා කළා. නමුත් නුවන්ග එක පයින්ම අකමැති වුණා. අතහැරලා ආව මඩ ගොහොර වෙත යන්න ඔහුට අවශ්ය වුනේ නැහැ.

ඔහුගේ විවාහය කිට්ටු වෙද්දී දැන් කලින් බිරිඳ මාධ්ය වෙත නොයෙක් දේ කියනවා. ඔහු දෙදෙනාගේම ගෞරවය තකා කට පියාගෙන සිටීමෙන් ලොකුම හානිය වුනේ ඔහුගේ දැන් පෙම්වතියට බව ඔහුට වැටහුණා. හැමෝම බැන්නේ දික්කසාදයෙන් පස්සේ ඔහු එක්ක හිතවත් වුන ඇය විසින් පවුල කැඩුවා කියල. ඔහුගේ දෙවෙනි පෙම්වතිය උමන්ගි තරම් ලස්සන නැති නිසා ඔවුන් දෙන්නගේ පෙනුම පවා සන්සන්ධනය කරමින් ඔවුන්ගේ ප්රේක්ෂකයෝම මඩ කමන්ට් දාද්දි ඇය නිහඩව වරදක් නොකර සියලුම දෙනාගේ බැනුම් ඉවසුවා.

නුවනග සෑහෙන්න වෙලාවක් කතා නොකළ නිසාත් උමන්ගිගේ අලුත්ම ගොසිප් වීඩියෝ එක ගැන ආරංචි වුන නිසාත් දැන් පෙමවතිය සොනක්ෂි ඔහුට කතා කළේ ඔහුගේ සුවදුක් අහන්න. සිදුවුණ දේ ගැන ඇය කීවේ එකම දෙයයි.

“ ඔය වගේ දේවල් වලදී පිට මිනිස්සු තීන්දු දෙන්නේ බොරු කාරයාට වාසි වෙන විදිහට. එයාලට මොනවගෙන් බේරුනත් හර්ද සාක්ෂියෙන් බේරෙන්න බැරි දවසක් එනවා නුවන්ග. මම පවුලක් කැඩුවේ නැහැ කියල මම දන්නවනේ. අනික උමන්ගි වගේ ලස්සන, උගත්, සල්ලි තියන කෙල්ලෙක් අතහැරලා මම වගේ කෙනෙක් එක්ක එන්න ඔයාට හේතුවක් නැහැ කියල කාටවත් කල්පනා වෙන්නේ නැහැ. මේ සමාජේ බොරු කාරයා බොරුවෙන් දිනනවා. හැබැයි බොරුවට වැඩිකල් ආයුෂ නැහැ. ඒ නිසා ඔය ගොසිප් කාරයෝ ඕනේ එකක් කියා ගත්දෙන් අපි අපේ පාඩුවේ ඉමු”

(මෙවැනි තවත් කතා කියවීමට කැමති නම් පහළ ඇති Tags වචනයට යටින් ඇති Motivational Story මත ක්ලික් කරන්න. එවැනි කතා සියල්ල ඔබට දැකිය හැකිය.)

Share Now

Related Article