අසුන්දර සුන්දරිය

Aug 17, 2020

"මට උඹට ඇඳුම් මහන්න ගියාම එපා වෙනවා. මොකක්ද මේ ඇගේ හැටි? ගෑනු කෙනෙක්ගේ ඇඟ වගේ නෙවෙයි මේ ඇඟ." අම්මා කරදරෙන් වගේ කියද්දි 14 හැවිරිදි දීපිකා බලාගෙන හිටියේ කියන්න කිසිම උත්තරයක් හිතට ආවේ නැති නිසයි.

Continue Reading Below

“ගෑණියෙක්ගේ උරහිස් උකුල එක සමාන වෙන්න ඕනේ. ඉණ හීනි වෙන්න ඕනේ. මේ උරහිස් උකුලට වඩා පොඩි වැඩියි.”
දිගටම ඇය කියවගෙන යද්දි දීපිකා නිකම්ම බලාගෙන හිටියා.

“මම කැත ඇති. අම්මා දන්න නිසා නේ කියන්නේ.” එහෙම හිතපු දීපිකා පැත්තකින් ගිහින් වාඩි වුණා.

දීපිකා හැමදාම හිටියේ ඇය ගැන අඩු ආත්ම විශ්වාසයකින්. ඇගේ සිරුර කැත බව ඇය තදින්ම විශ්වාස කළා. ඇය ඇගේ කැත සිරුර වහගන්න හැමදාම ඇන්දේ ඇගේ ඇඟට වඩා ගොඩක් ලොකු ඇඳුම්.

ෆැශන් ගැන කිසිම අයිඩියා එකක් ඇයට තිබුණෙ නැහැ. හැබැයි ඇගේ ජීවිතේ ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තේ ඇයට අවුරුදු විසි අටක් වුණාට පස්සෙයි. ඇයටත් වඩා මහත අය ලස්සනට අඳිනවා දකිද්දී ඇයට හිතුණා තමන් මෙච්චර කල් තමා කැතයි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ වැරදීමකින්ද කියලා.

ඊට පස්සේ තමයි ඇය ඉන්ටනෙට් එකේ ෆැශන් ගැන හොයන්න පටන් ගත්තේ. එදා තමයි ඇය තේරුම් ගත්තේ සිරුරේ හැඩ කීප වර්ගයක්ම තිබෙන බව.

අම්මා හැමදාම කියපු උරහිස් සහ උකුල එක සමාන වන සිරුරේ හැඩය hourglass හැඩය. ඒ හැඩය අම්මට ලැබිලා තියෙන නිසා අම්මා හිතලා තියෙන්නේ ඒ හැඩය තමයි හැම කාන්තාවකගේම හැඩය වියයුත්තේ කියලා දීපිකා තේරුම් ගත්තා.

ඒ වගේම දැන් ඇය දන්නවා සිරුරේ තවත් හැඩ ඕනතරම් තියෙනවා කියලා.

උරහිස් වලට සාපේක්ෂව පුලුල් උකුලක් හිමි ඇගේ සිරුරේ හැඩය පෙයාර්ස් හැඩය. ඒ හැඩයට ගැලපෙන අඳින හැටි දැන් ඇය දන්නවා.

—————————————————-

අපි එකිනෙකා විවිධයි. එකිනෙකාගේ සිරුරේ හැඩය එකිනෙකාගෙන් වෙනස්. අපි කවුරුත්ම කැත නැහැ. අපේ සිරුරේ හැඩය අඳුනගෙන ඒකට ගැලපෙන විදියට අඳින එක තමයි අපි කරන්න ඕනේ.

එහෙම නැතුව අපි කැතයි කියල අපි හිතාගෙන ඉන්නවනම් අපේ ජීවිතයම පැරදුම්. ඒ වගේම තමයි පුංචි කාලෙදි දරුවෙක්ගේ හිතට යම් සෘණාත්මක අදහසක් කා වැදුණත් ඒ අදහස ඒ දරුවගේ අනාගතය ම නාස්ති කරලා දාන්න පුළුවන්.

” ඔයා කැතයි. ඔයා කලුයි. ඔයා මහත වැඩි. ඔයා කෙට්ටු වැඩි.” වගේ නරක කමෙන්ට්ස් කවදාවත් පුංචි දරුවෙක්ට දෙන්න එපා.

ඒ දරුවා මුළු ජීවිත කාලය ම තමන් කැතයි කියලා හිතාගෙන දුක් විඳීවි. තමන්ගෙ වයසෙ අනිත් ළමයි ලස්සනට ෆැශන් කරද්දි මේ අය ලෝගු වගේ තමන්ගේ සිරුරටත් වඩා විශාල, කිසිම ගැලපීමක් නැති ඇඳුම් වලින් තමන්ගේ කැතයි කියලා හිතාගෙන ඉන්න සිරුර වහගෙන ඉන්න උත්සාහ කරාවි.

සමාධි ඩයස් මෙනවියගේ Facebook ගිණුමේ සටහනක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී. ඇයට ස්තුතිය පල කර සිටිමු.

Share Now

Related Article