පරපෝෂිත සැමියෙකු ගැන කතාවක්

Oct 1, 2020

මා උපන්නේ කළුතර පළාතේය. අප පවුල යමක් කමක් ඇති පරම්පරාවෙන් දේපොළ සහිත වැදගත් පවුලකි. මට අවුරුදු 12 දී අම්මා මිය යාම මහත් දුකක් විය. අප්පච්චි නැවත විවහා වුනේද නැත. ඔහු වතු වල වැඩ බලා කියා ගනිමින් හුදෙකලාව විසුවේය. පෝය දවසට අප දෙදෙනා සිල් සමාදන් වීමු.

Continue Reading Below

මා ලොකු වන විට තාත්තාගේ හීනය වූයේ හොඳින් අධ්යාපනය හදාරා වැදගත් මිනිහෙක් සමග සරණ බන්ධනයට ඇතුල් කර දී ඔහු පැවිදි වීම බව මට කීවේය. මමද උනන්දුවෙන් ගේ දොර සහ පියා බලා කියා ගැනීමට අමතරව ව්යාපාරික වැඩද උගත්තෙමි. තාත්තාට වුවමනා කළේ ගෙදරටම බින්න බහින්න සූදානම් කෙනෙක් මා හට විවහා කර දීමයි. නමුත් තාත්තාගේ හීනය ඉටු වීමට පෙරම හදිස්සියේ හටගත් හදවත් ආබාධයකින් තාත්තා මිය ගියේය.

තාත්තාගේ මරණය සමග මා හුදෙකලා විය. මගේ දුරින් ඥාති වන කාන්තාවක් මා සමග නැවතීමට ආවාය. මාත් දුක දරාගෙන නමුත් වතු වල පාලන කටයුතු වලට බැස්සෙමි. අපගේ තේ, රබර් වතු වලට එන ආදායම දිනෙන් දින අඩු වේ. මා තීරණය කළේ ඒවා හෙමින් කුරුදු වගාවට මාරු කිරීමටය. කුරුඳු දැඩි වෙහෙසක් සහ කාලයක් යන භෝගයකි. නමුත් මට අවශ්ය වුනේ ලෝක වෙළඳපොලේ ලංකාවට ආදේශක නැති වගාවකට යොමු වීමයි. මේ කාලයේදී මම අධිකව කාර්ය බහුල වීමි. ඒ වන විට මගේ වයස ගත වුනු බව මට නොවැටහුනේය. දිනක් ඥාති කෙනෙක්ගේ බන ගෙදරකට ගිය විට මට හමු වූයේ සියුමැලි , මට වඩා ලාබාල තරුණයෙකි. ඔහු විශ්ව විද්යාලයට ගියද තවම රැකියාවක් නොකරන තරුණයෙකි. ඔහුගේ නම දිනේෂ් කියමු. ඔහු අඳුනන කෙනෙක් බව දැන ගන්නා ලදී. දවස පුරාම ලිවීම් , කියවීම් වල යෙදෙන ඔහු වැදගත් ඉලන්දාරියෙක් බව හැමෝම කිවුහ.

ඔහු හා මගේ පෙනුම හෝ වයස එතරම් ගැලපුනේ නැත. ඔහු මා මෙන් විශාල කෙනෙක් නොවේ. හිටගෙන සිටින විට අප දෙදෙනා එක උස උනත් ඔහු කෙට්ටු සහ කඩවසම් නිසා මා විශාල බව පෙනුණි. වයසින් ඔහු මට වඩා වසර 4 ක් ලාබාල විය. එබැවින් මා ඔහු ගැන ලොකු උනන්දුවක් නොදැක්වීමි. එක් සෙනසුරාදාවක මගේ ගෙදර බෙල් එක නාද වුනු අතර ගෙදර වැඩට සිටින මුරකරු ඇවිත් කීවේ නෝනගේ හිතවත් මහත්තයෙක් ඇවිත් කියාය. දිනේෂ් එදා අපේ ගෙදර පැමිණ තිබුණේය. මම පුදුමයට මෙන්ම සතුටට පත් වීමි. ඔහුත් මාත් නොයෙක් දේ කතා කරමින් සිටි අතර ඔහු ගෙදර ගියේ රාත්රී ආහාරයෙන්ද පසුවය.

මේ ලෙස මාසයක් පමණ වුනු අතර දිනේෂ් සහ මා අතර කායික සම්බන්ධයක් හටගත්තේ දිනේෂ්ගේ දැඩි පෙළඹවීම මතය. ඉන් පසු මට ඔහු කෙරෙහි දැඩි ආදරයක් ඇති විය. ඔහුගේ ගෙදර උදවිය මා සමග විවහා වෙනවාට තදින් අකමැති බව දිනේෂ් මට හඟවා සිටියේය. මට එය ලොකු දුකක් විය. මා ගැහැනියක් ලෙස වැරදි බව ඔබ සිතනු ඇත. නමුත් කාත් කවුරුත් නැති හුදෙකලා මට , මැෂිමක් මෙන් දවසම මුදල් ඉපයීමට වෙහෙසෙන මට දිනේෂ් යනු දෙවු ලොවක් විය. ආදරය ඉදිරියේ මිනිසුන් අන්ධ වෙනවා කියන්නේ ඕකටය. මම ඔහුගේ දෙමාපියන්ට , කනවැන්දුම් සොයුරියට, සොයුරියගේ දරුවන්ට හැමෝටම මුදල් හදල් වලින් උපකාර කළෙමි. ඔවුන් පෙරලා මට ඇනුම්පද වලින් හැර වෙන කිසිම ක්රමයකින් සංග්රහ නොකළහ. අවසානයේ කුණු මාළු කැබැල්ලක් විසික් කරන්න බැරි කමට කනවාක් මෙන් ඔවුන් දැඩි අකමැත්තෙන් මා හා දිනේෂ් විවහා වීම ඉවසන බව පැවසූහ.

බිඳුණු සිතින් වුවද දිනේෂ් ලැබුන හෙයින් මම සතුටු වීමි. ඔහු අපේ නිවසේ පදිංචියට ආවේය. අලුත ගෙනා මනාලියකට මෙන් මා හට විවේකෙන් සතුටින් සිටීමට නොහැකි වූයේ ව්යාපාර නිසාය. මේවා වල වැඩ කරන මෙන් නොයෙක් වර මම දිනේෂ්ට ආයාචානා කළෙමි. නමුත් ඔහු මොකක් හෝ කියා මගහැරියේය. දවසම මා නැති අතර ඔහු කළේ සිනමා පට බලමින් සිටීම සහ පොත් ලියනවා කියා යමක් කුරුටු ගෑමයි. උපාධිධාරියෙක් වුන ඔහු ගැන මම ආඩම්බර වීමි. ඔහු ගත් කතුවරයෙකු කිරීමට මානසිකව සැහැල්ලු වීම අවශ්ය නිසා දරුවෙක් හැදීම පවා කල් දැමීමි. ඔහුට අවශ්ය තරම් මුදල් දුන්නේ ඔහුගේ වියදම් වලට මෙන්ම පවුලේ වියදම් සඳහාය.

දිනේෂ් හට රැකියාවකට යාමට උනන්දුවක් නොමැති වූයේ ඔහු ශේෂ්ට ලේඛකයෙක් වීමට හීන දකින නිසා යයි මම සිතුවෙමි. මේ ලෙස වසර කීපයක් ගෙවී ගියේය. අවසන මම ඔහුට කීවේ දරුවෙක් හදා ගැනීමට මගේ වයස නිසා තව දුරටත් පමා කිරීමට නොහැකි බවයි. හැන්දෑවේ ඔහුගේ උකුල මත හිස තබාගෙන ව්යාපාර වලින් මට ලැබෙන පීඩන ගැන මම ඔහුට කීවෙමි. ඔහු හැම විටම මා අස්වැසුවේය. නිවසේ රියදුරෙක් , මුරකාරයෙක් සහ සේවිකාවක් සිටි හෙයින් දිනේෂ් හට අමුතුවෙන් කිරීමට වැඩක්ද තිබුනේ නැත. ඔහුට මගෙන් ඇති තරම් මුදල්ද ලැබේ. හැම විටම ඔහු මගෙන් මුදල් ඉල්ලා ගන්නේ අක්කාට හෝ ළමයෙක්ට කියා ඉල්ලීමෙනි.

“ සරෝජා මට මාස කීපයක් දෙන්න . මම හැම දේම පිළිවෙලක් කරන්නම් “ ඔහු මගෙන් ඉල්ලා සිටී.

හැමදාම මෙන්ම මම ඔහුව විශ්වාස කළෙමි. නමුත් හැමෝම තාම නැද්ද කියා අසන විට මට මහත් අසරණ කමක් දැනේ. ඔහුගේ අම්මාගේ කතා විලාසය මට අප්රිය නිසා මා ඔවුන්ගේ ගෙදර යාම නතර කළ අතර දිනේෂ් මට දන්වා සතියට දින දෙකක් පමණ එහි යන බව පවසා යන්නට හුරු විය. අම්මා මියගිය මම ඔහුගේ සහ අම්මාගේ ආදරය බිඳ දැමීමට කොහෙත්ම නොසිතුවෙමි.

මගේ අදූරදර්ශී මෝඩ ලෝකය දෙදරා ගිය දිනය අදටත් මට කඳුළු නොසලා මතක් කර ගත නොහැකිය. මම හැන්දෑවේ කාර්යාලයෙන් පිට වීමට ආසන්න වී සිටියෙමි. ගැහැණියක් සහ වයස අවුරුදු දෙකක පමණ සුරතල් ලස්සන පුතෙක් මගේ කාර්යාලය වෙත පැමිණ තිබුණි. මම ඔවුන්ගෙන් ඇසුවේ ඔවුන් කා හමු වීමට ආවාද යන පුවතයි.

“සරෝජා ගොඩහේවා කියන්නේ ඔයාද ?” ඇය අසන ස්වරයේ යම් ද්වේශයක් තිබුණි

.

“ ඔවු මම . ඇයි මොකද්ද වෙන්න ඕනේ”?” මාත් ඇසුවේ කෝපයෙනි.

“ ඔයා දිනේෂ්ගේ වයිෆ් වුනාට එයා ආදරේ මටයි. මේ ඉන්නේ එයාගේ දරුවා”

මේ කියන “දිනේෂ්ගේ අම්මා සහ ඔයා එකතු වෙලා බලෙන් නේද මේ කසාදය කළේ ? ඔයාට පවු වෙනවා සරෝජා. අහිංසක දරුවෙක්ට තාත්තෙක් නැති කරාට. ලබන ආත්මයෙත් ඔයාට කාත් කවුරුත් නැති වේවි..මම ඔයාට උදේ හවස සාප කරනවා “ මේ ගැහැණිය කියාගෙන යයි. විකාර කතාවෙන් මම පුදුම වීමි. මේ මොන උමතු කතාවක්ද ? නමුත් ඒ ගැහැණිය දිගටම කියාගෙන ගියාය.

“ මම දිනේෂ්ගේ අවුරුදු 5 ක වයිෆ් . අනික මේ ළමයා දිනේෂ්ගේ කියල ඔයා කියන්නේ කොහොමද ?”

“ පේන්නේ නැද්ද සරෝජා ඒ ළමයා දිනේෂ් වගේමයි. ඇරත් දිනේෂ් ඔයා එක්ක ඉන්නේ අනුකම්පාව නිසා . ඔයාට ළමයි හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් ඔයා අපේ ජීවිත ගිනි තියන්න එපා. මගේ දරුවට තාත්තා ඕනේ. “

“ මම දිනේෂ්ව බලෙන් තියාගෙන් නැහැ. එයාට ඕනේ කෙනාව තෝරා ගනීවිනේ. මාව ඕනේ නිසානේ මා එක්ක ඉන්නේ “ මම පරාජය භාර නොගෙන කීවෙමි.

“ නැහැ..ඔයා එයාගේ වතු වලින් එන ආදායම් හැම එකම ගන්නවා. එයාගේ බිස්නස් අයිති කරගෙන ඉන්නවා. දිනේෂ් ඔයාට කැමති නැහැ. නමුත් ඔයා අනුකම්පාව ගන්න අඬන නිසා එයාගේ මෝඩකමට ඔයාට රැවටිලා.” මේ කතාවට මට හිනා ගිය නමුත් මා නිහඩව සිටියෙමි.

“ එයා හැම සෙනසුරාදා, ඉරිදාම ඉන්නේ අපේ ගෙදර. ඔයාට ඒක බලාගන්න ඕනේ නම් එන්න. මම ආවේ දිනේෂ්ට හොරෙන් . මොකද මට ඔයාට ඇත්ත කියන්න ඕනේ වුණා. අනේ මගේ දරුවට තාත්තා නැති කරන්න එපා සරෝජා. ඔයාට ලබන ආත්මෙත් දෙමාපියෝ නැති වෙයි. ඔයා වගේ නාකි ගෑනියෙක් බලෙන් බන්දලා දුන්නට පවු මගේ දිනේෂ්. තීරණයක් ගන්න බැරිව එයා විඳවනවා. “

මේසයේ හිස ගසාගෙන මම කල්පනා කළෙමි. දෙමාපියන් නැතිව ජීවිතේ තනිව ගෙවන මට මිනිහෙක් අත්හැරීමේ අපහසුව කුමක්ද? මේ ගැහැණිය කියන කතාව හොයා බැලීමට සහ කලබල නොවීමට මම සිතුවෙමි. ලබන සෙනසුරාදා ගොස් අතටම අල්ලා ගනිමි යයි සිතා මම ඇගෙන් ලිපිනය සහ ගෙදරට යන හැටි අසා ගත්තෙමි. මෙය අතේ පැලවෙන බොරුවක් විය හැකිය. දිනේෂ් දවසම ගෙදරට වී ලිවීමේ යෙදේ. ඔහු මදකට හෝ එලියට යන්නේ දිවා අහාරයෙන් පසුවය. ඒ ගමේ ඇවිදීමටයි. සෙනසුරාදා සහ ඉරිදා ඔහු සිටින්නේ අම්මා සහ අක්කා සමගය.

කුමක් කරන්නද මම කල්පනා කලෙමි. සුරතල් කුඩා පුතණුවෝ සැබවින්ම දිනේෂ්ගේ හැඩහුරුකම ගත්තේ වත්ත පුරා දුව පැන ඇවිදින්නට විය. මගේ හිත මොලොක් වූවාක් මෙන්ම මට අහිමි වුන දේ ගැන මහත් ලෝබයක් හට ගත්තේය.

කුමක් වුනත් කල්පනාවෙන් හැසිරීම ඇඟට ගුණ හෙයින් මම මගේ නීතිඥ කසින් අයියා හමු වෙන්නට ගියෙමි. දිනේෂ්ට සැක නොසිතෙන ලෙස මා ඔහුට කීවේ අයියා සහ අක්කා අතර ගැටුමක් නිසා මා එහි යන බවත් එහි සිට හෙට වැඩට එන බවත්ය. මහත් සැහැල්ලුවෙන් දිනේෂ් කීවේ “ ඔයා එහෙනම් පරිස්සමෙන් යන්න සරෝජා … ගිහින් මට කෝල් එකක් දෙන්න” කියාය.

මම කුලරත්න අයියා හමුවී මේ රහස කිසිවෙක්ට නොකියන මෙන් ගිවිසවා ගතිමි. ඔහු කොහොමත් මට ලැදිය.

“ මට නම් ඔය ගෙවලයා දිරෙවුවේම නැහැ. හැබැයි ඌව විතරක් ඕනේ කියල උඹ අඬපු නිසා සද්ද නැතුව හිටියේ “ යයි කියා අප දෙදෙනා කළ යුතු පිළියම් නීතියට අනුකූල ලෙස කතා කළෙමු. මොකක් කරත් මගේ හිතේ වූයේ දෙගිඩියාවකි. සමහර විට මම අහිංසක දිනේෂ්ව සැක කරනවා විය හැකිය.

ඒ සතියේ සිකුරාදා සවස දිනේෂ් අක්කාගේ පුතාට කියා මගෙන් රුපියල් පනස් දාහක පමණ මුදලක් ඉල්ලා සිටි අතර මම ඒ මුදල දුන්නෙමි. සෙනසුරාදා වෙන තුරු නොසිට ඔහු සිකුරාදා රාත්රියේම එහි යාමට පිටත් වූයේ පුතාට උදේම ගමනක් යා යුතු බව කියමිනි. ඔහු ගිය පසුව මම ඔහුගේ කාමරයට ගියෙමි. සැක කටයුතු කිසිවක් තිබුනේ නැත. නමුත් වසර 5 ක් තිස්සේ ගෙදරට වී නිකන් කකා සිටීම ගැන මට ඔහු සමග හටගත්තේ මහත් පිළිකුලකි. ඔහුට ඒ ගැන ගානක් නොවුණු අතර ඔහු කම්මැලි බව මම ඒ වන විට දැන සිටියෙමි.

සෙනසුරාදා උදේම මම අයියා සමග අදාළ නිවසට ගොස් දොරට තට්ටු කළෙමි. මගේ පපුව ගැහෙන්නට විය. එය ඉතා කුඩා ඇනෙක්ස් වර්ගයේ නිවසකි. පර්චස් එකක පමණ කුඩා තණකොළ සහිත මිදුලක පොඩි එකාගේ සෙල්ලම් කරත්තයක් නවතා තිබුණේය. දොරට එයාහින් අඩි ශබ්දයක් ඇසුණු අතර “ පුතේ තාත්තා ඉක්මනට එනවා “ කියා දිනේෂ්ගේ හඬින් කියනු ඇසිනි. මම ගල් වී ගියෙමි.

සරමක් පමණක් ඇඳ දිනේෂ් දොර හැරියේය. ඔවුන් නිදාගෙන පිබිදී වැඩි වෙලාවක් නැති බව හඟවන ලෙස ඔහුගේ මුහුණේ කුණුකෙල පැල්ලම් සහ සහ අවුල් වුන කෙස් වැටිය විසිරී තිබුණි. දොර ළඟ අප දෙදෙනා මහා හඬින් බහින් බස් වන විට පොලිස් ජීප් රියේ සිටි OIC චානුක සහ පරිවාර නිලධාරීන් එතනට පැමිණියහ.

ඔහුගේ අනියම් බිරිඳ දුහුල් නයිටියක් ඇඳගෙන අප ඉදිරියට ආවාය. ඇගේ මුහුණේ වූයේ ජයග්රාහී හිනාවකි. මේ නිකමා, වන්චනිකයා ඇයටම තබා ගන්න කියා මම ගෙදර ආවේ හෙටම පොලිස් වාර්තාව සාක්කි කොට ගෙන සතයක වන්දියක් නොදී දික්කසාද නඩු දැමීමේ චේතනාවෙනි.වසර පහක විවාහය බිඳ වැටීම මට මහත් වේදනාවක් වුවද එය මගේ ආරක්ෂාවට හොඳ බව මට වැටහුණි. මම මගේ ඥාති සොයුරියක් සිටින එංගලන්තය බලා ගියේ සිතේ දුක තුනී කරගෙන නැවත පැමිණීමටයි. දික්කසාද වීමෙන් මාස කීපයකට පමණ පසු අර අනියම් බිරිඳ ( එවකට ඔහුගේ බිරිඳ ) මට කතා කළාය.

“සරෝජා මම ඉස්සර ඔයාට බැන්නා..සාප කරා ..ඒ හැම දෙයක්ම එහෙම වුනාට මට දැන් ඇත්ත තේරෙනවා “

“ ඒ මොකද ?” මම ඇසුවේ කුතුහලයෙනි.

“ ඔයාගෙන් අයින් වුනාට පස්සේ දිනේෂ්ට කිසිම රස්සාවක් හොයාගෙන දරුවයි , මාවයි ජීවත් කරන්න ඕනේ වුනේ නැහැ . දිනේෂ් කියපු හැම කතාවම බොරු බව මට වැටහුණා. ඉස්සර දිනේෂ් කීවේ එයාගේ වතු ඔයා බලෙන් අල්ලාගෙන ඉන්නවා කියල. දිනේෂ් අත දිගහැරලා වියදම් කරේ ඔයාගේ සල්ලි කියල මම දැන් දන්නවා. එයාගේ අම්ම ඔයාව බලෙන් බැන්දුවා කියල මට කීවේ . නමුත් දැන් සල්ලි නැති නිසා ජීවත් වෙන්න විදිහක් නැති නිසා මම ගාමන්ට් යන්න ගත්තා. එයාට ඔයා දුන්නා වගේ ජීවිතයක් දෙන්න මට බැහැනේ. ඉතින් එයා මගෙන් සල්ලි අරගෙන හැන්දෑවට බොනවා. බීල ළමයට සහ මට ගහනවා. “ ඇය ඉකි බිඳින්නට වූවාය.

ඔහු සමග සන්බන්ධ වූයේ කවදාද ? මම ඇගෙන් ඇසීමි.

පිළිතුරෙන් මම නිරුත්තර වී ගියෙමි. එදා මළගෙදරට පැමිණ මා හමු වන විටද ඔහු මේ අහිංසක ගැහැණු ළමයා සමග කතාවට වැටී ඇති. ඒ අතර මා විවහා කරගෙන බොරු චරිතයක් රඟපා තිබුනේ රැකියාවක් නොකර පහසුවෙන් ගෙදර විය හියදම් කිරීම පිණිසය. ඔහු සැබවින්ම ප්රිය කළ මේ ගැහැණු ළමයා බොරු දාහක් කියා කායික ඇසුරට නම්මවාගෙන මේ කුඩා ඇනෙකස් එකේ නවතා මගෙන් ගන්නා මුදලින් ඇයව නඩත්තු කර ඇති.

මා සමග ආල වඩමින් සිටින අතරතුර ඔහු කර ඇති වංචාව සක් සුදක් සේ පැහැදිළිය. ඔහු සැලසුම් කර මා විවහා කර ගත්තේ මූල්යමය කටයුතු වෙනුවෙන් බව මට හොඳින්ම වැටහුණි. මා වසර 5 ක් සහ විශාල මුදලක්, මගේ හොඳ නම මෙන්ම ගෞරවයද කෙලෙසා ගත්තේ ආදරයට වහල් වීමෙනි. මට මා ගැනම හටගත්තේ තරහකි.

අර මෝඩ ගැහැණිය මගේ ජීප් රථයෙන් සල්ලි ඇතිව ඔහු යන විට මේ සියල්ල ඔහුගේ කියා රැවටී මට මේ වංචාව හසු නොකරන්නට අදත් මම ඔවුන් වෙත යැපීමට මුදල් දෙන මීහරකෙක් ලෙස ජීවත් වෙමි. වසර පහකින් හෝ මා මේ අපායෙන් ගලවා ගැනීම ගැන මම ඒ ගැහැණියට හදවතින්ම ස්තුති කරමි.

මා ඒ වේදනාවෙන් මිදුනත් අදත් මා තනිකඩය. හැම විටම පිරිමියෙක් මා වෙත ආලය පෑමට එන විට මම පලා දුවමි. මට කිසිවෙක් විශ්වාස කිරීමට නොහැකිය.

Share Now

Related Article