දෙමාපියන්ගේ වරදින් ඇගේ ජීවිතය අඳුරු විය

Apr 22, 2020

යොහානා වයස 21 ක ලාබාල මවකි. ඇගේ පුතා ඇගේ ජීවිතයයි. කුඩා රැකියාවක් කර ඔවුන් තිදෙනාගේ බඩ වියත රකිනා සැමියා යෝහානාට සමවයසක වේ. අගහිඟකම් මැද තරුණ යුවල ආදරෙන් සිටිති. පුංචි ගේ දොරක් හදාගෙන සතුටින් ඉන්නට හීන දකිති. යොහානා ගේ කතාව මොහොතකට අසන්න. අතීතයේ එක දිනක් ආපස්සට ගොස් වෙනස් කරන්නට හැකි නම් යොහානා අද විශ්ව විද්යාල උපාධියක් කර ඉහළ පෙලේ රැකියාවක් කරන්නට සිටි ගැහැණු ළමයෙකි.

Continue Reading Below

නොසලකා හැරුණු ළමාවිය

යොහානා උපන්නේ ගුරු යුවලකට දාව මද්දුම ගැහැණු ළමයා ලෙසිනි. ඇගේ අක්කා සහ මල්ලි අතරමැද උපන් ඇය දෙමාපියන්ගෙන් ආදරය නොලබනම දරුවා බව ඇයට කුඩා කල සිට දැනුණි. යෝහානාගේ දෙමාපියෝ අතිශය වැදගත්කමෙන් හෙබි මිනිසුන් වූහ. අක්කා රසංගි කුඩා කල සිට නපුරු චරිතයක් ඇත්තියකි. හැම දේම උදුරා , රණ්ඩු කර ඉල්ලන ඇය ගේ අවශ්යතා පළමුව ඉටු කිරීම දෙමාපියන්ගේ වගකීමක් විය. අක්කාගේ නපුරුකම සහ අවධානය ඉල්ලීම නිසා යොහානා කුඩා කල සිට නිහඩ ඉවසන සුළු දැරියක් විය.

මල්ලි ෂෙනාල් ලාබාල නිසා මෙන්ම එකම පිරිමි දරුවා නිසා දෙමාපියෝ ඔහුට වැඩි සැලකිලි දැක්වූහ. මේ සියල්ල දකින යෝහානාගේ පුංචි හිත තැලුණු වාර අනන්ත විය. ඇයට හැම විටම ලැබුනේ අක්කා පාවිච්චි කළ ඇඳුම් වැනි දේ වුන අතර කොන්ඩ පටියක් බැන්දත් ඇයට ගැසීම නපුරු පැවතුමෙන් හෙබි රසංගි නිතර කළාය. රසන්ගිගේ තරහට බයෙන් දෙමාපියෝ වහාම අදාළ දෙය උදුරා රසංගි වෙත ලබාදීම කළහ. මේ දෙමාපියෝ දරුවන් තිදෙනාටම එකසේ ආදරය කළත් කුඩා දරුවෙක් කළ සිටම යෝහානාට දැනුණේ අක්කා සහ මල්ලි තමාට වඩා විශේෂ බවයි. එයින් ඇගේ කුඩා හිත තැලුන අතර දෙමාපියෝ තමාට ආදරේ නැති බව ඇයට දැනුණි.

යොවුන් ප්රේමයක මිහිර

යොහානා ඉගෙනීමෙන් අක්කට සහ මල්ලිට වඩා බෙහෙවින්ම දක්ෂ විය. ඇය රූමත්කමෙන්ද අනූන වූවාය. යොවුන් විය උදාවෙත්ම පාසලේ හැමෝම සිතුවේ ඇය ඉතා විශිෂ්ට ලෙස සාමාන්ය පෙළ විභාගය සමත් වනු ඇති කියාය. මීට වසරකට පෙර ඇගේ යොවුන් සිත ප්රේමයෙන් බැඳුනේ පාසලේ සිටිනා දුප්පත් ශිෂ්යයෙක් කෙරෙහිය. දෙමාපියන් මල ඔහු ගමේ වත්පොහොසත්කමෙන් අඩු පවුලක දරුවෙකි. ආත්තම්මා සමග හැදී වැඩුන ඔහු කීකරු විනීත දරුවෙකි. යොහානා සහ ශෂීන් දෙදෙනා තමන්ගේ පොදු ගැටළු කතා කළහ. ලියුම් හුවමාරු කළහ. කුඩා දරුවෝ අතර ඇතිවෙන සාමන්ය ආදර සම්බන්ධයක් ඔවුන් දෙදෙනා විසින් පවත්වන ලදී. යෝහානාට ගෙදරින් ලැබෙන පීඩනය ශෂීන් සමග බෙදාගෙන ඇය ඔහුගේද දුක , සැප ඇසුවාය. හොඳින් ඉගෙනගෙන දවසක විවාහ වීමට ඔවුන් අදිටන් කරගෙන සිටියහ.

ජීවිතය බිඳ වැටීම

එක දවසක මේ සියල්ලටම කන කොකා හැඬුවේය. නංගිගේ ලියුමක් හොරකම් කරගත් අක්කා රසංගි අම්මා වෙතට ගියාය. සියල්ලම හසු කර දී කිසිත් නොවූ ලෙස සිටියාය. කෝපයෙන් මුසපත් වුන අම්මා පන්ති ඇරී බස් හෝල්ට් එකේ එදින කතා කිරීමට නියමිත බව ලිපියේ සටහන් වුන නිසා එහි ගියාය. දෙදෙනා එකට කතා කරමින් සිටිනු දුටු ගුරුතුමියක් වූ අම්මා කෝපයෙන් මුසපත් කරවන්නට සමත් විය. පාසලේ විනය භාර ගුරුවරිය වුන තමාට ගැසූ කනේ පහරක් මෙන් අම්මට දැනුණි. විශේෂයෙන්ම ශෂීන් වැනි වැදගැම්මකට නැති පවුලක කොල්ලෙක් සමග….

එතනට ගිය අම්මා පිරිස ඉන්න බව පවා අමතක කර සියලුදෙනා ඉදිරියේ යෝහානාට පහර දුන්නාය.

“ උඹල වගේ එවුන් එක්ක අපේ පවුල් පැහෙන්නේ නැහැ. මට තේරෙනවා මෙයාගේ නැති වුන කරාඹු දෙකට මොකද වුනේ කියල” කියමින් කෑ ගැසුවාය.

එවකට පහළොස් හැවිරිදි දරුවෙක් වුන ශෂීන් මේ කතාවෙන් මහත් ලජ්ජාවට පත් විය. යෝහානාද හෙට දිනයේ පාසලට මුහුණ දෙන්නේ කෙසේද කියා කල්පනා කළාය. මග දිගට යෝහානාට ගසමින් පැමිණි ඉස්කෝලේ හාමිනේ දෙවැට ළඟදී ශෂීන් ගේ වයසක ආත්තමාටද හොද වචන වලින් බැන වැදුනාය.

ගෙදර පැමිනද යෝහානාට නැවත බැන වැදුන අම්මා තාත්තා සමගත් හයියෙන් බැන වැදුනාය. සාමකාමී මිනිසෙක් වූ පියා අම්මා පොඩි දේකට ඕනෙවට වඩා කලබල වී ඇති බව පෙනුනත් නිහඩව සිටියේය. හෙට වන විට ගෙදර සාමකාමී වනු ඇත. හෙට දියණියට කතා කළ යුතුය. ප්රශ්නය දුර ගොස් නම් නුවර ලොකු අම්මලාගේ ගෙදර ගෙන යා යුතුය. ඔහු තීරණය කළේය.

දරුණු ඉරණමක් කරා ගිය ගමන

පහුවෙනිදා පාසල් ගිය යොහානා යලි ගෙදර ආවේ නැත. ඇය ශෂීන් සමග ඔහුගේ ගෙදර ගොස් තිබුණි. දෙමාපියන් සොයා ගන්නා විට දවස් දෙකක් ගත වී තිබුනේ ඔවුන් දෙදෙනා හොරෙන්ම උදේ පාසල් නොයා ඥාති නිවසකට වහන් වී සිටි හෙයිනි. වයස 16 ට වැඩි නිසා දැරියගේ අකමැත්තෙන් ගෙදර ගෙන යාමට දෙමාපියන්ට නොහැකි විය. සිදුවුණ අවනම්බුව නිසා දියණිය ගෙදර ගෙන යාමටද නොහැකි වීමෙන් පියා තව අසරණ විය. විභාගය ඉවර වෙන තුරු නුවර ගෙන යාමට ඇහුවත් ශෂීන් හැර යාමට ඇය අකමැති වූයෙන් දෙමාපියන්ට හැරදමා ඒම හැර විකල්පයක් නොවීය.

එතැන් පටන් මේ ළමෝ නොයෙක් රැකියා වල යෙදෙමින් අඹු සැමියන් ලෙස ජීවිත සටනට උර දුන්හ. ගෙදර සිට ලියා ඇය සාමන්ය පෙළ විභාගය උසස් ලෙස සමත් වුනත් උසස් පෙළ කිරීමට නොහැකි විය.

ශෂීන් හිරේ දැමීමට අම්මා ගේ මල්ලිලා පොලිසියේ අඳුරන කෙනෙක් සමග එකතු වී කටයුතු කළ තැතක් හොයා ගත්තෙන් දෙදෙනා විවාහ වන වයස වෙන තුරු පරිස්සමෙන් සිටියහ. ඔවුන්ට දරුවෙක් උපන් අතර යොහානා ළමයා ලැබෙන්න සිටින අතරතුර සිල්ලර කඩයක් දැමුවාය.

ශෂීන් වෙළඳ සහායක රැකියාවක් සොයාගත්තේය. අධ්යාපනය දුර ගෙන යාමට නොහැකි වුන නිසා ඔවුන් දෙදෙනාට ජීවිතේ යා හැකි දුර කෙටි විය. දැන් ඔවුන් දෙදෙනා දියුණු වීමට වෙර දරති. එදා ගත් තීරණය වැරදි බව ඔවුනට වැටහේ. නමුත් දැන් ආපස්සට යා නොහැකි තරම් දේවල් සිදු වී තිබේ.

ඔබට දරුවෝ ඉන්නවා නම් ….

මේ කතාව රටේ දරුවන් ගොඩකගේ කතාවකි. යොවුන් වියේ දරුවන් පෙම් සම්බන්ධතා ඇති කර ගැනීම අරුමයක් නොවේ. මන්ද යත් ඔවුන්ගේ මේ වයස් වල ඇතිවෙන හෝර්මෝන වෙනස්කම් නිසා ප්රේමය වැනි සුන්දර භාවයන් කෙරෙහි කුතුහලයක් ඇති කර ගනිති. ඇතැම් දරුවෝ කාමාතුරයන්ගේ ගොදුරු බවට පත් වේ.

මේවා වලක්වා ගැනීමට නම් ඒ වයසේදී දෙමාපියන් වඩාත් ආදරණීය ලෙස කටයුතු කිරීම යහපත්ය. දරුවන් තේරුම් ගෙන යහළුවන් මෙන් කටයුතු කළ යුතුය. එක දරුවෙක් විශේෂ කරගෙන හැසිරීමේදී අනෙක් දරුවාට ඇතිවෙන හිත වේදනාව සහ මානසික පීඩනය විසින් ඔවුන් පිටස්තර ලෝකයෙන් ආදරය සොයා යාමට හේතුවක් සපයා දීමක් වේ.

ඔවුන්ගේ ආදර සම්බන්ධයක් හසු වුන විටද මොලයෙන් කටයුතු කිරීමෙන් ඔවුන්ගේ අනාගතය අඳුරු වීම වලක්වා ගත හැක. ඒවා කෙරෙහි අනවශ්ය ලෙස කිපී දඬුවම් කිරීම ඉතාම වැරදිය. පිරිස ඉදිරියේ නින්දා කිරීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය පලුදු වේ. ඒ නිසා තනිවම දරුවා සමග කතා කරන්න. ඔබ දරුවාට බෙහෙවින්ම ආදරය කරන බව තහවුරු කරවන්න. අවසාන වශයෙන් ඔබගේ යොවුන් විය සිහිපත් කරන්න.

අද ඔබ කලබලවී ඇති කරන හානිය නිසා ඔබේ දරුවාගේ ජීවිතයම අඳුරු විය හැකිය.

Share Now

Related Article