දරුවන් අහිමි වීම නිසා බිරිඳ අතහැර ගිය මිනිසාගේ කතාව

Sep 28, 2020

අද දිනයේ මට මගේ පෙර භාර්යාව හමු විය. නීතා හමුවීම සිතට එක වරම සතුටක් ගෙනා නමුත් ඇගේ ජීවිතය සහ මගේ ජීවිතය මේ වන විට තිබෙන අන්ත දෙක දැකීමෙන් මම මහත්ම පීඩනයට ලක් වීමි. එබැවින් මගේ කතාව ඔබ හා බෙදා ගන්නේ ජීවිතයේ වෙන වැරදි අඩුපාඩු හදාගැනීමට ඔබට එය දායකත්වයක් වනු ඇතියි සිතමිනි.

Continue Reading Below

නීතා සහ මම විවාහ වන විට අපේ සම්බන්ධයට වසර 5 ක් ගතවී තිබුණි. නීතා යමක් කමක් ඇති පවුලක ගැහැණු ළමයෙක් වුන අතර ඇගේ නිවසින් අපේ විවාහයට කැමැත්තක් දැක්කුවේ නැත. එබැවින් ඇගේ පවුලට ගැලපෙන ලෙස මගේ ආර්ථික තත්වය වෙනස් කරවීමට අප දෙදෙනා වැඩපිළිවෙලක් යෙදුවෙමු. අප දෙදෙනා ආරම්භ කළ බතික් රෙදි නිෂ්පාදනය සාර්ථක විය. අප හට විවහා වෙන්නටද අවසර ලැබිණි. අප විවහා වන විට නීතා ගේ වයස 27 ක් නිසා දරු සුරතල් බැලීම අප දෙදෙනාගේ හීනයක් විය.

ඒ වන විට ව්යාපාරයේ විස්සක් පමණ සේවක පිරිසක් සිටි නිසා නීතා ගෙදරට වී පීඩනයෙන් තොරව ගෙවීම මගේ පැතුම විය. එමෙන්ම දරු පිළිසිඳ ගැනීමක් නොවන්නේ ඇයට මානසික පීඩනය අධික නිසා බව අපි සිතුවෙමු. අපිට ආර්ථික අතින් කොහෙත්ම අඩුපාඩු තිබුනේ නැත. වසරින් වසර ගෙවී ගිය නමුත් ගැබ් ගැනීමේ සලකුණක් හෝ නොවීය. අප වෛද්ය උපදෙස් සහ භාර හාර වුනෙමු. වෛද්ය වරයා කීවේ අපේ කිසිම ගැටළුවක් නොමැති බවයි. මගේ ලෝකය පාලු වෙන්නට පටන් ගත්තේ ටික ටිකය.

මම ආර්ථිකව ශක්තිමත්ය. මගේ බිරිඳ යහපත් ගැහැණියකි. නමුත් ඇයට මා හට දරු සම්පතක් දීමට තරම් වාසනාවක් නොමැත. අපේ අම්මාද ඉඩක් ලැබෙන හැම විටම මට කියන්නට ගත්තී නීතා වැනි වඳ ගැහැණියක් දික්කසාද කොට හැකි ඉක්මනින් වෙනත් කෙනෙකු හා සරණ යන ලෙසය.

“අම්මට පිස්සුද අම්මේ? මම දික්කසාද කරහම නීතා කොහේ යන්නද ? “ මා බුරා හැලුනෙමි.

“ කොහේ ගියාම අපේ මොකෝ ? වඳ වෙන්න නම් ගෑනියෙක් සෑහෙන්න පවු කරලා ඉහාත්ම වල. උඹ දන්නවනේ මට ලොකු අයියා ලැබුනේ බැඳලා මාස 9ක් යද්දීම…ඔය ගෑනි විතරද ලෝකේ ඉන්නේ මයේ පුතේ ?” කියමින් අම්මා ඔසරි පොටින් කඳුළු පිස දැමුවාය.

මාස කීපයකින් අපේ වැඩපොළට අළුත් විශ්ව විද්යාලයෙන් ඉවත් වුන designer කෙනෙක් සේවයට ආවාය. ශෝභා දක්ෂ නිර්මාණ කාරියකි. එමෙන්ම මට වඩා වසර 10 ක් පමණ ලාබාල සුන්දර තරුණියකි. මා ඇගේ දසුනින් සතුටු වෙන බව මට වැටහුණි. දිනක් අප දෙදෙනා කර්මාන්ත ප්රදර්ශනයකට ගියෙමු. එන විට මදක් රාත්රී වී තිබුන නිසා මා ඇය බැස්සවීමට භාර ගතිමි. එන මගදී මගේ සිතේද අමුතු උද්දාමයක් ඇති වෙමින් පැවතුණි. වාහනය නවතා අතරමග අප දෙදෙනා කතාවට වැටුන අතර ශෝභා මගේ අත අල්ලා කම්මුලක් සිප ගත්තීය.

මේ නොසිතු ප්රතිචාරයෙන් මම මත් වී ගියෙමි. අපේ කාලයේ මෙන් නොව දැන් හැදෙන ගැහැණු දරුවන් තරමක් ඉදිරිපත් වන බව දැක මම මහත් ආශ්වාදයට පත් වීමි. ඇගේ මේ නව්ය බව මම වෙනත් ගැහැණියකගෙන් කවදාවත් ලබා නොතිබුණු අතර මා දිවය ලෝකයක තනි වූවක් මෙන් දැනී ගියේය.

මගේ ගෙදර ජීවිතයද යහපත් විය. ශෝභා සහ මම කොහෙත්ම සම්බන්ධයක් ආදර නොපවත්වීමු. අප දෙදෙනා හුදු යහළුවන් වීමු. එකම දෙය ඉඩක් ලැබෙන විට අප දෙදෙනා කායික ඇසුරේ රහසින් බැඳුනෙමු. ඇගේ ගෙදර ආර්ථික ගැටළු වලට මම අත දිගහැර වියදම් කළෙමි. නීතාද ශෝභාට ප්රිය කළාය. නීතා සහ මා අතර කායික ඇසුර මග හැරී ගියේය. නීතා මේ ගැන වටින් ගොඩින් විමසන වෙලාවල් තිබුණේය.

“ අයියෝ ඉතින් නිසරු පොළවක වැපිරුවාට අස්වැන්නක් නැහැනේ “ යයි මා කීවේ කවට කමටය. නමුත් මෙයින් නීතා කඳුළු සලා හඬනු දුටු මම මහත්සේ පශ්චත්තාප වීමි. ඒ අමන කතාව කිවීම හැර කොයිම වෙලාවක වත් නීතාට වෙනසක්මක් කර හිත නොරිදවීම මට මහත්ම සහනයක් විය.

අප්රේල් අලුත් අවුරුද්දට කට උඩ තියා දවසක් අකුණු ගසමින් වහින්නට විය. නීතා අප දෙදෙනාට රාත්රී ආහාරයට කුකුලෙක් බේක් කර ඉතා රසවත් සූපයක් පිළියෙළ කළාය. අප දෙදෙනා සාලයේ සොඵාවට ගුලි වී චිත්රපටයක් බලමින් සිටියෙමු. මේ අවේලාවේ දොරේ සීනුව නාද වූයේ නොසිතු ලෙසය. කවුද යයි සිතමින් මා ගොසින් දොර හැරියෙමි. මගේ බලවත් පුදුමයට එහි වූයේ ශෝභාය. ඈ තර්ජනාත්මක විලසින් ගෙට ආවාය.

“ ඇයි ශෝභා මේ වෙලේ ඔයා මෙහෙ ආවේ ?” නීතා ඇසුවේ පුදුමයෙන් මෙන්ම නොරිස්සුමෙනි.

“ මම ආවේ මම යන්න ඕනේ තැනට. හැම දේම කියන්නයි මම ආවේ “

මේ මොන ගින්නක් පාත් වෙන්නේද නොදත් මම “ මේ ශෝභා දැන් මෙහෙන් යන්න” යයි ඇයට යාතිකා කරන්නට වීමි.

“ මට යන්න තැනක් නැහැ ලසන්ත… ඔයා මගේ බොස් තමා… හැබැයි ඔයා දැනගන්න දැන් ඔයා මගේ බඩේ ඉන්න ළමයාගේ තාත්තා “ බලාපොරොත්තු විරහිත අකුනින් මම එකවරම කම්පනයට මෙන්ම අධික ප්රීතියට පත් වීමි. ඉක්බිති ඕ නීතා දෙස බලා …

“ නීතා මැඩම් ලසන්ත මා එක්ක දැන් මාස කීපයක් පුරා සම්බන්ධයක් තිබුණා. ඒකට ඕනේ තරම් සාක්කි තියනවා. මටත් පවුල කඩල දාන්න ඕනේ වුනේ නැහැ . හැබැයි මට දැන් දරුවෙක් ලැබෙන්න. මම ඊයේ සහ අද දෙකේම ලසන්ත බොස්ට කතා කරා සිය පාරකටත් වඩා. නමුත් එයා ඔයා එක්ක ගෙදර ඉන්න දවසට ෆෝන් එක සයිලන්ට් දාගෙන ඉන්නේ …. ඉතින් මගේ අම්මලා මාව ගෙදරින් එලෙවුවා. මට යන්න තැනක් නැහැ. ඉතින් මම මෙහෙ ආවා. දරුවාගේ තාත්තාගේ ගෙදරට ආවා ‘ යයි කීවේ උමතුවෙන් මෙනි.

ඇය සාලයේ සිටියදී ඉකි බිඳින නීතා කැටිව මම කුස්සියට ගියෙමි. දන්නා හැම වචන වලින්ම ඇගෙන් සමාව ඉල්ලුවෙමි. නමුත් දරුවෙක් මට ලැබෙන්න ඉන්නේ කියන පණිවිඩය සමග ශෝභා නීතාව පරදා ඉදිරියට පැමිණ තිබුණි. මම අම්මාට කතා කළ අතර අම්මා සහ ලොකු මල්ලී රාත්රියේම අප නිවසට පැමිණි අතර නීතාගේ අයියා පැමිණ මට ගසන්නට කොලර් එක අල්ලා ගත්තේය. මම වහා ඔහුගෙන් මිදුනෙමි.

“උඹලගේ වඳ ගෑනි ගෙදර ගෙනියපල්ලා . මගේ කොල්ලට අනාගතයක් ඕනේ “ අපේ අම්මා ඔහුට බැන වැදුනාය.

“ තෝ දැන් කියන්නේ හොර අඹුව ගෙදර දාගෙන මගේ නංගිත් මෙහේ තියා ගන්නද ? ,මට මගේ නංගි වැඩි නැහැ. ඒකි තෝ වගේ හිඟන්නෙක් එක්ක එන්න වින්ද දුක දැකල මායි මේ කසාදෙට කැමැත්ත අරගෙන දුන්නේ . බල්ලා “ කියා මහා හඬින් බැන වැදුන අයියා නීතාව වැස්සේම කැටිව ගියේය.

නීතා යාම ගැන දුකක් මෙන්ම මා හට මේ ප්රශ්නය මේ අයුරින් විසඳීම ගැන හටගත්තේ මහත් සතුටකි. හදිස්සියේ මගේ ජීවිතයට වාසනාව පැමිණ ඇති. දික්කසාදය නීතා විසින් දැමුණු අතර දරුවන් නොමැති හෙයින් දේපොළ හෝ වන්දි මුදල් කිසිවක් අවශ්ය නැති බව නීතා තරයේ කියා තිබුණි. කොටින්ම කීවොත් නීතා උසාවියේදී වත් මගේ මුහුණ බැලුවේ නැත.

මම නීතා සමග එක්ව පටන් ගත් ව්යාපාරය දැන් ලොකුය. මම සෑහෙන ආදායමක් ඇති මිනිහෙකි. ඒ සියල්ලම මගේ තනි හිමිකමට වැටී ඇති. මගේ නව යොවුන් බිරිඳ සුන්දර කෙල්ලකි. නොබෝ දිනකින් අපිට දරුවෙක් උපදිනු ඇති. ශෝභා මලක් මෙන් බලා කියා ගැනීම මගේ රාජකාරි විය. ඊට අමතරව මම ඇගේ නංගි හට ඉගෙනීමට උපකාර කළෙමි. මල්ලිව රට යැවීමට මුදල් බැන්දෙමි. ශෝභා සිටියේ එතරම් සතුටින් නොවන බවත් ඇය යමක් මගෙන් සඟවනවා යන්නත් මට ඇතැම් විට සිතුණි.

අපිට වසරකින් ලැබුණේ පුතෙකි. ඔහු ඉතා සුන්දර දරුවෙකි. ඔහු ශෝභා ගේ හෝ මගේ රූප සොබා ඇත්තෙක් නොවීය. කුඩා දරුවන්ගේ පෙනුම සමාන කිරීම කුඩා කල මෝඩ වැඩකි. එබැවින් මම මගේ දරුවා ගැන ඉමහත් ප්රේමයෙන් බැදී ගියෙමි. නමුත් ශෝභා දිගින් දිගටම සිටියේ නොරුස්සනා සුළු බවකිනි. පුතා ඉපදී වසර එක හමාරකට පසු මම හවස ගෙදර එන විට දරුවා හෝ ශෝභා පෙනෙන්නට සිටියේ නැත. මම කාමරයෙන් කාමරයට ගියෙමි. අපගේ කාමරයේ කණ්ණාඩි මේසය මත ලිපියක් විය.

එහි සටහන් වූ දෙයින් මගේ ඉහ මොලය රත් වී ගියේය. අපගේ යයි මා සැලකු පුතා මට දාව උපන්නෙක් නොවීය. ශෝභා විශ්ව විද්යාලයේ සිටියදී සමබන්ධයක් පැවැත්වූ තරුණයා හොර මාර්ගයකින් ජපානයටගොස් සිටි අතර ඔහු මාස 10 කට හිරේ වැටී ඇත. ඇය සෙල්ලකාර තරුණියක් වූ නිසා මා සමග සාමන්ය සම්බන්ධයක් පවත්වා තිබුණි. ඔහුට හොරෙන් මා සමග කායික සම්බන්ධකම් පැවත්වූයේ ගෙදරට මගෙන් මුදල් උපකාර ලබා ගැනීම පිණිසය. පෙම්වතා රට ගිය පසුව ඇයට ගර්භනී බව දැනගන්නට ලැබුණු අතර ඔහු හිරේ වැටීම නිසා කර කියා ගත හැකි දෙයක් නොවුණු ඇය අපේ ගෙදරට පැමිණ ඇත්තේ මාස 9 මෙහි ගත කර දරුවා අප හට පවරා පළා යන චේතනාවෙනි. නමුත් නොසිතු ලෙස නීතා ගෙදරින් යාමෙන් පසු සිදුවෙන කිසිවකට විරුද්ධ වීමට ඇයට නොහැකි වී ඇත. මෙවන් රහසක් සඟවා ඇය විසින් ආදරේ නොකරන මා සමග විසීම ඇයට අපායක් වී ඇත. ඉක්බිති හිරේ වැටුණු ඇගේ පෙම්වතා එයින් නිදහස් වී කැනඩාව කරා සංක්රමණය වී දරුවාද කැටිව එන මෙන් ඇයට යාඥා කර ඇත. කළ හැකි දෙයක් නොවුණු තැන ඇය සොර රහසේ ළදරුවාද කැටිව රටින් පැන කැනඩාව කරා ගොස් ඇති.

මා පිස්සෙක් මෙන් ඇය සොයා ගුවන් තොටට යන විට යානාව අහසට නැගී පැය 6 ක් ගත වී තිබුණි. කළ හැකි කිසිවක් නොවීය. මා සිදු වුන වේදනාව සහ ලැජ්ජාව නිසා ගෙදරින් එලියට පවා බැසීමට මට සිතක් නොවීය. ආයතනයේ හැමෝම නීතාට ප්රිය කළ අතර ඔවුන් මට නැති තැන සිනා සෙන බවද මා පිළිකුල් කරන බවද මට වැටහුණි. මා ගෙටම කොටු වීමි. මගේ ව්යාපාරය බිඳ වැටීමට ගත වූයේ මාස 4 ක් වැනි කෙටි කළකි.

දැන් අපි වර්තමාන කතාවට එමු. අද දින මට නීතා හමු වුන බව මම මුලදීම ඔබට කීවෙමි. මට ඇය හමු වූයේ ව්යායාමය පිණිස ඇවිදින මන්තීරුවකය. ඇය මාස 4 ක පමණ කුඩා උදරයක් දරාගෙන සිටීම මට විශ්මයක් මෙන්ම සතුටක් දනවන්නට විය. මම බයෙන් ඇය ඉස්සරහට ගිය අතර පුදුමයට මෙන් ඇය මා දැක සිනාසී නතර වූවාය. ඇය ගර්භනී වූයේ කෙසේද මට ගැටලුවකි.

“මගේ නෙවේ ලසන්ත ගැටලුව තිබිලා තියෙන්නේ. ඔයාගෙයි. ඉතින් ජෝන් එක්ක බැන්ද ගමන්ම අපිට දරුවෙක් ලැබෙන්න ආවා “ ඇය කීවේ සතුටිනි.

“ මට ළමයි හම්බ වෙන්නේ නැහැ කියල දැන දැනම තමා ජෝන් මාව බැන්දේ “ ඇය කීවේ සිනාවක් සමගය.

ඒ සමගම උස සුදු මහතෙක් අප වෙත පැමිණි අතර ඔහු මට අත දී ආචාර කරේ නීතාගේ පෙර සැමියා බව දැනගෙනය. විශාල සමාගමක ඉහළ රැකියාවක් කරන ඔහු ඇය හා හමු වී ඇත්තේ ඇගේ කුඩා බතික් වැඩපොළ වෙත පැමිණීමෙනි. දික්කසාදය ලැබීමට පෙරම ඇය හිතේ අමාරුව සංසිඳවා ගන්නට බතික් මෝස්තර කරන වැඩපොළක් පටන් ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා විවාහ වී දැන් උසස් මහල් නිවාස සංකීර්ණයක ජීවත් වන අතර ඔහුගේ මවු රටට අලුත්ම තාලයේ බතික් නිර්මාණ යවන ව්යාපාරයක් කරගෙන යයි.

ඔවුන් දෙදෙනා යන්නට ගිය අතර මම අමනයෙක් මෙන් නැවත ගෙදර කරා ආවෙමි. මට වැරදුනේ කොතනද කල්පනා කරන්නට උත්සහ දරන හැම විටම මගේ හිස තවත් අවුල් වේ.

Share Now

Related Article