“අම්මා”ගේ මහිමය පෙන්වූ ගණිකාව

Sep 2, 2020

“නිලූ”, ඇගේ නම එපමණකි. වාසගමක් ගැන ඇය දන්නේ නැත. ඇයට ගෙයක් දොරක් ගැන මතකයක් නැත. මතක ඇති කාලයක පටන් ඇය ජීවත් වූයේ කෝවිලකය. අම්මෙක් හෝ තාත්තෙක් ගැනත් නිලූට මතකයක් නැත.

Continue Reading Below

“උඹ ඉපදුනාට පස්සෙ උඹේ අම්මා මැරිලා ගියා.. කෝවිල ලග ඉන්න හිගන මිනිස්සු අතේ තමයි උඹ හැදුනෙ..” කෝවිලේ උන් පූජකයෙකු ඇයට කියා තිබිණ.

ඉතින් ඇයට කාත් කවුරුවත් නැත. පුංචි කාලේ පටන්ම ඇය කෝවිල ලග සිටින යාචකයින් අතර තනිව ජීවත් වූවාය. කුසගිනි ඇතිවූ විට කෝවිලට එන බැතිමතුන්ගෙන් සිගාකෑවාය. නැතිනම් කෝවිලෙන් ලැබෙන දෙයක් කෑවාය. රැය එළඹෙන විට කෝවිල ලග අගුපිලක වැටී නිදාගත්තාය. ඇගේ පුංචිකාලය ගෙවී ගියේ එහෙමය.

එහෙත් දැරියකට හැමදාමත් එහෙම ඉන්නට ඉඩක් ලැබෙන්නේ නැත. යොවුන් විය නිලූ වෙතත් එළඹියේය. ඇය වැනි හුදෙකලා දැරියකට යොවුන් විය කොතරම් බියකරුදැයි නිලූ දැන උන්නේ නැත. එහෙත් ඉක්මනින්ම සමාජය විසින්ම එය ඇයට ඔප්පු කර පෙන්වූයේය.

ආරක්ෂක අංශයක නිල ඇදුමක් හැදගත් මිනිසෙකු විසින් රැයේ අදුරට මුවාවී නිලූව දූෂණය කළේය.

එතැන් පටන් දෛනිකව ඔහුගේ ගොදුරක් වන්නට නිලූට සිදුවිය. තවත් ටිික දිනක් යද්දී නිලූගේ සිිරුරේ වෙනස් කම් සිදුවෙන්නට පටන් ගති. 15 හැවිරිදි නිලූ ගැබිණියක බවට පත්වී උන්නාය. ඒ බව දැනගත් නිලූ ඒ බව රැයේදී ඇගේ පහස සොයා එන ආරක්ෂක නිල ඇදුම් හැදි මිනිසාට කීවාය. නිලූගේ කුසේ වැඩෙන්නේ තමාගේ දරුවෙකු බව තේරුම් ගත් නිල ඇදුම් හැදි මිනිසා එදා පටන් අතුරුදහන් වූවේය.

නිලූ පුරුදු පරිදිම කෝවිල ලග සිගමන් යදිමින් ජීවත් වූවාය. කාත් කවුරුවත් නැති හිගන කෙල්ලකට කාගෙන් හෝ බලහත්කාර කමක් සිදුවී තිබීමවත්, එයින් ඇයට දරුවෙකු ලැබෙන්නට සිටීමවත් මහ ලොකු වරදක් ලෙසින් ඇය උන් පරිසරයේ කිසිවෙකුට පෙනුණේ නැත.

ඇයට දරුවා ලැබිණ. ඒ ගැහැණු දරුවෙකි. නිලූ ඒ දරුවාව කසලගොඩකට විසි කර දැම්මේ නැත. දරුවා දුටු මුල් මොහොතේම නිලූ ඒ දියණියට ආදරය කරන්නට පටන් ගත්තාය. තමන්ගේ දියණිය දුකක් නොදී හදා ගන්නට නිලූට උවමනා විය. මුලින් ඇය සිගමන් යදිමින් දරුවාට උවමනා කරන දේවල් සපයා ගත්තාය. දරුවෙකුත් අතැතිව මේ ලාබාල මව අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් විදින දුක දුටු කෝවිලේ පූජකයෝ ඇයට අනුකම්පා කළහ. ඔවුහු කෝවිලේ මුලුතැන් ගෙයි ඉවුම් පිහුම් වලට අත් උදව් දෙන රැකියාව ඇයට ලබා දුන්හ.

ඇයට අලුත් අමුත්තාව මුණ ගැසුණේ එසේ කෝවිලේ මුලුතැන්ගෙයි වැඩ කරන කාලයේය. ඔහු පිරිසිදු සුදු ඇදුමින් සැරසී, දිනපතාම කෝවිලට පැමිණ වැදුම් පිදුම් කරන අයෙකි. දිනක් ඔහු කෝවිලට එන විට, කෝවිලේ පූජාවට ආහාර පිසිමින් උන් නිලූව දුටුවේය.

“උඹ කැමති නැද්ද වෙන රස්සාවකට යන්ඩ..?” ඔහු නිලූගෙන් ඇසුවේය. “රස්සාව තියෙන්නෙ මගේ සහෝදරීගෙ ගෙදර.. ඒ ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්ඩ තමයි තියෙන්නෙ.. උඹට නවතින්ඩ තැනකුත් ලැබෙයි.. හොද පඩියකුත් හම්බ වෙයි..”

නිලූට ඒ අමුත්තා පෙනුණේ දෙවියන් විසින් එවූ කෙනෙකු ලෙසය. හදිසියේම තමාටත් දියණියටත් ඉන්න හිටින්නට තැනක් ලැබෙන්නට යයි. හොද රස්සාවක්ද ඒ සමගම ලැබෙයි. ඉතින් අකමැති වෙන්නේ ඇයි.? නිලූ ඒ යෝජනාවට එක පයින් කැමති වූවාය.

අමුත්තා කියූ පරිදිම ඇයව පූනේ වෙත කැදවාගෙන ගියේය. එහෙත් ඔහු තමාව මේ කැදවාගෙන යන්නේ ගෙදරක වැඩකාරකමකට නොවන බව ඇයට තේරුණේ එහි ගිය පසුවය. ඔහු කී ඔහුගේ “සහෝදරිය” ගණිකා නිවාසයක පාලකයෙකිි. ඔහු රුපියල් ලක්ෂයක මුදලකට නිලූව ඒ ගණිකා නිවාස පාලකයාට විකුණා දැම්මේය.

නිලූ ඒ “රැකියාව”ට කැමති වූයේ නැත. එහි උන් මාස පහක කාලය පුරාවටම නිලූ ඇඩුුවාය. වැලපුණාය. වරින් වර පැනයන්නටද උත්සාහ කළාය. ගණුදෙනු කරුවෙකු සමග යහන්ගත වෙන්නට බැහැයි කියන හැම මොහොතකදීම ගණිකා නිවාස පාලකයා ඇයට දරුණු ලෙස පහර දුන්නේය. එපමණකින් නොනැවතී ඔහුද වරින් වර ඇයව දූෂණය කළේය.
තවත් ටික කලකදී, ගණිකා නිවාස පාලකයා විසින් ඇයව බොම්බායේ උන් පොහොසත් මිනිසෙකුට රුපියල් හැටදාහකට විකුණා දැම්මේය. ඒ පොහොසත් මිනිසා ඇයට කරුණාවෙන් සැලකුවේය. එහෙත් ඔහු ඇයව යෙදවූයේද පෙර කී රැකියාවටමය.

බොම්බායට පැමිණි පසුව නිලූ වෙනස් වූවාය. පූනේ හිිදී ප්රතික්ෂේප කළ රැකියාවට නිලූ බොම්බායේදීී කැමැත්තෙන්ම ගියාය. ඒ ඇයට ජීවත් වෙන්නට වෙනත් ක්රමයක් නොතිබුණු බැවිනි. ඊටත් වඩා, දරුවාව ජීවත් කරගන්නට වෙනත් විදිහක් නොතිබුණු බැවිනිි.

ගණිකාවක් ලෙස රැකියාව කරන්නට පටන්ගත් පසුව ඇය තමන්ගේ දරුවාව තමන් ලග තියාගන්නට කැමති වූයේ නැත. ඇය දරුවා නවත්වන්නට තැනක් හොයා ගත්තාය. ඒ අසල්වැසි වියපත් කාන්තාවක ලගය. නිලූට උවමනා වූයේ දරුවාව හොද පරිසරයක හැදෙන්නට සලස්වා, දරුවාට උගන්වන්නටය. ඒ වෙනුවෙන් නිලූ ඒ මහළු කාන්තාවට මසකට රුපියල් 4000 ක මුදලක් ගෙව්වාය.

එහෙත් ඒ වන විටත් නිලූගේ ජීවිතය විනාශ වී ගොස් හමාරය. ඒ වන විටත් ඇය HIV ආසාදිතයෙකු බවට පත්ව උන්නාය. එපමණක් නොව ඇයට ක්ෂය රෝගයද වැලදී තිබිණ.

ඒ වන විට ඇය බොම්බායේ ගණිකා නිවාසයක අවුරුදු නවයක්ම දුක් විද තිබිණ. ගණිකා නිවාස පාලකයින්ගේ තාඩන පීඩන, මත්ද්රව්ය ඇබ්බැහියෙන් ලද අප්රසන්න අත්දැකීම්, බීමත් ගණුදෙනුකරුවන්ගෙන් ලැබෙන වචනයෙන් විස්තර කළ නොහැකි හිංසාවන්, දුප්පත්කමින් විදින අනන්ත දුක් කන්දරාව… මේ සියල්ලෙන් මිදී අලුත් ජීවිතයක් පටන් ගන්නට නිලූට උවමනා වී තිබිණ.

ඇයට පර්නාටා සංවිධානය පිහිට වෙන්නේ ඒ අපාගත ජීවිතයෙන් මිදෙන්නට මගක් සොයමින් සිටියදීය. “පර්නාටා” යනු නිලූ වැනි අසරණ කාන්තාවන් පුනරුත්ථාපනය කරන්නටද, ඔවුන්ගේ දරුවන්ට වඩා යහපත් අනාගතයක් තනන්නටද ක්රියා කරන බොම්බායේ රාජ්ය නොවන සංවිධානයකි.

ඉතින් දැන් නිලූගේ ජීවිතයට බලාපොරොත්තුවක් ඇත. ඇගේ දියණිය කාන්තා පාසැලක නේවාසිකව ඉගෙන ගන්නීය. නිලූ “පර්නාටා” වෙතින් ලැබෙන ස්වයං රැකියා පුහුණුවක යෙදෙන්නීය.

“මේ පුහුණුව ඉවර වුණාම මං දුර පලාතකට ගිහින් මගේ ව්යාපාරයක් පටන් ගන්නවා.. මං තව කොච්චර කාලයක් ජීවත් වෙයිද කියන්න දන්නෙ නෑ.. ඒත් මගේ දරුවා හොදින් ජීවත් වෙන්න ඕන.. මගේ ජීවිතේ කාලකණ්ණි වුණා.. ඒත් මගේ දරුවාගේ ජීවිතේ මං වාසනාවන්ත කරනවා.. මං ගොඩක් දුක් විදපු පහුගිය කාලේ, මට ජීවත් වෙන්න තිබුණේ එකම එක හේතුවයි.. ඒ මම අම්මා කෙනෙක් වෙච්ච එක.. ඉතින් “අම්මා” කෙනෙක් කියන්නේ සටන් කරන කෙනෙක් මිසක් ලේසියෙන් පැරදෙන කෙනෙක් නෙවෙයිනෙ..” Humans of Bombay වෙත කියූු තම කතාව අවසන් කරමින් නිලූ එසේ කීවාය.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article