මිනිසුන් විසින් පැහැරගත් බල්ලන්ගේ දරුවා

Sep 8, 2020

ඒ වන විට ඉවාන් මිෂුකොව්ට වයස අවුරුදු හතරකි. ඔහුට අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් සිටියේ නැත. අම්මාත් තාත්තාත් මියගියාද නැතිනම් ඔවුන් තමාව අත්හැර ගියාදැයි ඉවාන් දන්නේ නැත.

Continue Reading Below

මතක ඇති කාලයක පටන් ඉවාන්ට උන්නේ සීයා කෙනෙක් පමණකි. ඒ සීයාද බේබද්දෙකි. දවස පුරාම ඔහු කළේ මත් වතුර බීමය. සීයා කෑම ගන්නා වෙලාවට ඉවාන් පේන්නට හිටියොත් ඉවාන්ටත් කන්නට මොනවා හෝ ලැබෙයි. සීයා මත්පැන් බොන වෙලාවට ඉවාන් පේන්නට හිටියොත් සීයා ඉවාන්ට අතට අසු වුණු දෙයකින් පහර දෙයි..

හිටි ගමන් සීයා ගෙදරින් පිටවී කොහේදෝ යයි. සමහර වෙලාවට ඔහු ආපහු එන්නේ දවස් දෙක තුනකිනි. සීයා එනතෙක් ඉවාන් බඩගින්නේය. තනිවමය.

වරෙක එලෙසින් ගෙදරින් පිටව ගිය සීයා දවස් ගණනකින් ගෙදර ආවේ නැත. සීයා එනතුරු ඉවාන්ට බලා ඉන්නට හැකි වුවත්, බඩගින්න නම් එලෙසින් ඉවසීමෙන් බලා සිටියේ නැත. බඩගින්න දිගින් දිගටම ඉවාන්ට වද දුන්නේය. බඩගින්නේ වේදනාව දරා ගන්නටම බැරි තැන ඉවාන් ගෙදරින් පිටවී පාර දිගේ ඇවිද යන්නට පටන් ගත්තේය.

ඒ අයුරින් පාර දිගේ ඉබාගාතේ ඇවිද ගිය එකම ළමයා ඉවාන් පමණක් නොවීය. ඒ කාලයේ රුසියාවේ වීදි වල ඉවාන් වැනි දරුවෝ සෑහෙන සංඛ්යාවක් සිටියහ. 1990 දශකයේ සෝවියට් සමූහාණ්ඩුව බිද වැටුණායින් පසුව එයින් ඇතිවූ සමාජ ආර්ථික බලපෑම අතිමහත් විය. යන්තමින් එදා වේල සරි කරගත් පවුල් වලට කරකියාගන්නට දෙයක් නැති විය. 1990 දශකයේ මැද භාගය වන විට දරිද්රතාවය කෙමෙන් වැඩි වී යන එන මං අහිමි වූ පවුල් වල බොහෝ දරුවන් අනාථයින් බවට පත් විය. 1990 දශකයේ මැද භාගය වන විට, මොස්කව් හා සෙන්ට් පීටස්බර්ග් නගර වල පමණක්, කුඩාම හා නව යොවුන් වියේ දරුවන් 80,000ත් මිලියනයත් අතර ප්රමාණයක් නිවාස අහිමිව, අනාථව වීදි දරුවන් බවට පත්ව සිටියහ. ඒ ඉරණම අත් වූයේ දුගී පවුල් වල කුඩා දරුවන්ට පමණක් නොවේ. ඒ නිවෙස් වල ඇති කළ බල්ලන් බළලුන් පවා අනාථව ඉබාගාතේ යන තත්වයට වැටිණ.

මේ දරුවන්ගෙන් බහුතරයක්ම ජීවත් වූයේ භූගත දුම්රිය නැවතුම් පොළවල් වලය. කෑම බීම සොයා ගනු වස් ඔවුහු නගරයේ කුණු බාල්දි ඇවිස්සීමේ පටන්, සොරකම, සිගමන් යැදීම දක්වා වූ සියල්ලම කළහ.

ඉතින් පුංචි ඉවාන් මිෂුකොව්ද ඒ අනාථ වීදි දරුවන් අතරටම එක් වූයේය. පුංචිම දරුවෙකු වූ බැවින් ඒ වන විට ඉවාන්ට සිගමන් යදින්නට හෝ සොරකම් කරන්නට තරම් තේරුමක් තිබුණේ නැත. ඉතින් ඔහුට කෑම බීම සොයා ගන්නට නගරයේ කුණු බාල්දි ඇවිස්සීම හැරෙන්නට වෙනත් ක්රමයක් තිබුණේ නැත.

එදා ඉවාන්ට පාන් කැබැල්ලක් හොයා ගන්නට ලැබුණේ කුණු බාල්දි දෙක තුනක්ම ඇවිස්සීමෙන් පසුවය. කුණු බක්කියෙන් පාන් කෑල්ල අතට ගෙන යලිත් බිමට පය තැබූ ගමන්ම, තවත් කෙනෙකු තමන්ගේ පිටුපසින් සිටින අයුරු ඉවාන්ට දැනිණ. එතැන උන්නේ ඉබාගාතේ යන බල්ලෙකි. ඌ කුසගින්නෙන් නොඉවසිලිමත් වූ දෑසින් පාන් කැබැල්ල දෙසම බලාගෙන උන්නේය.

ඉවාන්ගේ සිත දුකින් පිරී ගියේය.

“පව්.. එයාටත් බඩගිනි ඇති..” ඔහු ඒ පාන් කැබැල්ලේ තැවරුණු දූවිලි පිසදා එය හරි මැදින් දෙකට කැඩුවේය. ඒ බෙදාගත් පාන් කැබලි දෙකෙන් බලු පැටියාත්, කොළු පැටියාත් දෙදෙනාම කුසගින්න නිවාගත්හ. එදා පටන් ඒ බල්ලාද ඉවාන් සමගම, ඔහු යන යන තැනට ආවේය. ඉවාන් ඌට “ජෙස්” යනුවෙන් නමක්ද තැබුවේය.

තවත් ටික කලක් යන විට “ගෝගා”, “මාෂා”, “ෂේවා” ආදී නම් වලින් හැදින්වුණු බලු රැලක්ම ඉවාන් වටා එකතු විය. එයින් පසුව ඉවාන්ට ලැබුණුු පුුංචිම කෑමක් වුවත් මේ බලු රැළම අතරේ සම සමව බෙදී ගියේය.

එපමණක් නොව, ඉදහිටක දවසක ඉවාන්ට කෑමක් හොයා ගන්නට නොහැකි වූ විට, මේ බලු යහළුවන් ඉවාන්ට කෑම සොයා ගෙනවුත් දුන්හ. පුංචි ඉවාන්ගෙන් බලු යාළුවන්ට ලැබුණු ආදරය නිසාම බල්ලන්ට ඉවාන් කෙරේ විශ්වාසයක් ගොඩ නැගී තිබිණ. ඒ විශ්වාසය කොතරම්දැයි කිවහොත්, බලු රැල තමන්ගේ නායකයා ලෙසින් සැලකුවේද ඉවාන්වය.

බලු රැළ නිිතරම උන්නේ ඉවාන්ව වට කරගෙනය. රුසියාවේ හිම මිදෙන කටුක සීත කාල වලදී පවා ඉවාන්ට සීතලේ නිිදාගන්නට සිදුවූයේ නැත. බලු යාළුවෝ ඉවාන් වටා ගුලි වෙමින් ඔහුට උණුුසුම සැදූහ. අන්ධකාරම රාත්රීන් වලදී පවා කිසිම කෙනෙකුට ඉවාන්ට ලං වෙන්නට නොදී ඔහුව ආරක්ෂා කළහ. බලු රැල ඉවාන්ට ආදරණීය පවුලක් වූහ.

මෙලෙසින් වීදියේ දෙවසරක් ගෙවී ගියේය. ඉවාන්ට දැන් අවුරුදු හයකි. ඒ් 1998 අවුරුද්දය. රුසියානු පොලිසිය විසින් වීදි දරුවන් එකතු කොට ඔවුන්ව අනාථ නිවාස වලට යොමු කර පුනරුත්ථාපනය කරන්නට පටන් ගෙන තිබිණ.

බලු රැල සමග ඉබාගාතේ ඇවිදිමින් උන් ඉවාන්වද අල්ලා ගන්නට පොලිසිය දෙතුන් වතාවක් උත්සාහ කළ මුත් ඒ වෑයම සාර්ථක වූයේ නැත. බලු යාලුවෝ කිසිවෙකුට ඉවාන්ට ලං වෙන්නටවත් දුන්නේ නැත.

පොලිස් නිලධාරීහු අලුත් උපායක් යෙදූහ.

කෑම දෙන්නට යැයි කියා රවටා ඔවුන් ඉවාන්ව බේකරියක් තුළට කැදවා ගත්හ. ඔහු පසුපසින් ආ බලු රැළට තවත් පසෙකට මස් කැබලි විසි කරන ලදී. බල්ලන්ගේ අවධානය ඒ වෙත යොමු වුණු වහාම ඔවුන් ඉවාන්ව ප්රයෝගයෙන් එතැනින් ඉවත් කරගත්හ.

කෙටියෙන් කිවහොත් මිනිස්සු බල්ලන්ගෙන් ඔවුන්ගේ ආදරණීය ස්වාමියා, සෙනෙහැති දරුවා පැහැරගත්හ.

ඉන්පසු බලධාරීහු ඉවාන්ව මොස්කව් නගරයේ අදුරු දුක්බර පෙනුමැති අනාථ නිවාසයකට ගෙන ගොස් දැමූහ. බලු මිතුරන් නොමැති සොවින් ඉවාන් නිමක් නැතිව හඩා වැලපුණේය.

තම සෙනෙහැති මිතුරාගේ ඉව ඔස්සේ ඔහු ඉන්නා තැන සොයා ආ බලු මිතුරෝ, අනාථ නිවාසයේ ගේට්ටුව ලග දවස තිස්සේ බලා ඉන්නට වූහ.

මේ බලු රැල මහත් කරදරයක් කොට තැකූ අනාථ නිවාසයේ පාලකයෝ අදාල අංශ දැනුවත් කොට, බල්ලන්ව වෙඩි තබා මරන්නට සැලැස්වූහ.

තවත් කල් ගතවන විට ටටියානා බබනිනා නම් කැපකරු මවක් විසින් ඉවාන්ව ළමා නිවාසයෙන් දරුකමට හදා ගන්නට ගත්තාය. තම බලු මිතුරන් අහිමි වීම නිසා දැඩි ශෝකයෙන් උන් ඉවාන්ට හිත හදාගන්නට උදව් දුන්නේ ටටියානා අම්මාගේ සෙනෙහසය. හොදින් අධ්යාපනය හැදෑරූ ඉවාන්, සුප්රසිද්ධ ක්රොන්ෂ්ටැඩ්ට් නාවුක කැඩෙට් පාසලේ ඉගෙනුම ලබන්නට සුදුසුකම් ලැබූවේය. ඔහු අද තම රටට බරක් නොවන වැඩදායී මිනිසෙකි.

ඉවාන්ගේ මිෂුකොව්ගේ ජීවිත කතාව ඇසුරින් සුප්රසිද්ධ නවකතා හා ගීත කීපයක්ම ලියැවී ඇත. ඒ සියල්ල තුලින් “රුසියාවේ බලු කොල්ලා” ලෙසින් ලොව ප්රකට වූ ඉවාන්, අදටත් තම ආදරණීය බලු මිතුරන් සිහි කරන්නේ ශෝකයත් භක්තියත් පිරි සිතිනි.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article