ෆොටෝ ලීක් කරගත් ගැහැණියකගේ කතාවක්

Feb 28, 2020

ඒ සිදුවීම සිදු නොවුනා නම් මැනවයි මම සිතමි. අතීතයට ගොසින් ඒ වරද නැවත නිවැරදි කරන්නට තරම් හැකියාවක් ඇතිනම් මම එසේ කරමි. කනගාටුවට කරුණ යනු මුළු රටක් ඉදිරියේ එක රැයෙන් “බඩුවක්” වූ මමත් සුද්ධ වන්තියක් වූ ඔබත් කළ ක්රියාවේ වෙනසක් නොවීමයි. ඔබ කළ ක්රියාව වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරින්නට ඔබේ අතීතයේ සිටි කිසිවෙක් උත්සහ නොකළ අතර ඒ දේම කළ මම පවුකාරියක් කර දඬු කඳේ ගැසීමට ඔබ සමත් විය. මෙතැන් සිට දිගහරින්නේ මගේ කතාව මෙන්ම මා හට ඒසා දරුණු ඉරණමක් අත් කළ අමනයාගේ කතාවයි.

Continue Reading Below

මා උසස් පෙළ විභාගය දෙවන වරට පෙනී සිටීමට පන්ති යන විට මගේ වයස 20 කි. පළමු වරට මා ප්‍රේමයෙන් බැඳුනේ මගේ රසායන විද්‍යා ගුරුවරයා සමගය. ඔහු මගේ ජීවිතයම විය. මගේ දෙමාපියෝ මේ සම්බන්ධයට විරුද්ධ වුනේ ඔහුගේ වයස පරතරය නිසා වගේම ඔහු ගැන පැතිරී තිබුන ආරංචි නිසාය. මම ඒවා කනකට නොගත්තෙමි. පළමු වර විශ්වවිද්‍යාලයට වරම් ලැබුවත් යාමට ඔහු මට ඉඩක් නොදුන්නේ වෛද්‍ය විද්යාලයට යාමට තරම් මා දක්ෂ යයි කියමිනි. නමුත් දැන් මට වැටහෙන්නේ ඔහුගේ අරමුණ වූයේ මා ඔහුගේ දෙනෙත් මානයේ තබා ගැනීමයි.

පන්ති යන බව පවසා ඇතැම් දිනවල ගෙදරින් එලියට එන මා කැඳවා ගෙන ඔහු ලැගුම් හල් වෙත ගියේය. මාද ඔහු සමග විවාහ වීමට ඉති සිතින් සිතා සිටි හෙයින් කිසිඳු චකිතයකින් තොරව ආදර මිහිර වින්දෙමි. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම පාපයක් යයි ඔබ කියනු ඇති. නමුත් වයස 20 ක් සම්පූර්ණ නිරෝගී ගැහැණු ළමයෙක්ගේ ලිංගික අවශ්‍යතා එසේ බැඳ තබා දැමීම කෙසේ නම් කළ හැකිද? කවදා හෝ වයස 40 දී හෝ විවාහ වෙන තුරු අප ලිංගික ඇසුරේ නොයෙදී සිටිය යුතුද? ලංකාවේ ඇතැම් මිනිසුන් සිතන්නේ විවාහයක් යනු ජීවිතය බෙදා ගැනීම නොව ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අවසරයක් ලැබීම වැනි පටු දෙයක් ලෙසය.

ඔහු ඇතැම් විට මා නැති විට බැලීමට කියා ඔහුගේ කැමරාවෙන් මගේ චායාරූප ලබා ගන්නා ලදී. මමද ලජ්ජාවෙන් මුලින් ඉඩ දුන් නමුත් පසුව එම සේයා රූ ගැන තැකීමක් නොකලෙමි. මගේ හිරිමල් යෞවනයේ විනාසය එසේ සටහන් වන බව මා දන සිටියානම් කොතරම් අපූරුද?

උසස් පෙළ විභාගය දෙවන වරට කිරීමෙන් මම ඉහලින්ම සමත් වීමි.වෛද්ය විද්යාලයට ඇතුලත් වන විටද ඔහු මට සැහෙන්න උපකාර කළේය. විවාහ වෙන්න සිටින මිනිසාගෙන් උපකාර ලබා ගැනීම අරුමයක් නොවේ. විද්‍යාලයේ දෙවන වසරේදී මගේ පියාට පිළිකා රෝගය වැළඳුනි. ඔහු මිය යාමට පෙර විවාහ වන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. අපිට ආර්ථික අතින් කරදර නැති හෙයින් විවාහ වීමට බාධාවක් නැති නිසා හැකි ඉක්මනින් විවාහ වෙන්නත් ඉන් පසු අධ්‍යාපන කටයුතු කරන්නටත් මම තීරණය කළෙමි. නමුත් මගේ පෙම්වතා එයට කොහෙත්ම එකඟ වූයේ නැත. මෙයින් මම මහත්සේ අසරණ වීමි. ඔහු සමග කළහ කිරීම නිසා මෙන්ම පියාගේ රෝගය නිසා හටගත් වේදනාව මැද මම දෙවන වසර අවසාන විභාගය අසමත් වීමි. යාළුවො හැමෝම මට අනුකම්පා කළහ. දිනක් හවස අපි අතර රණ්ඩුව දිගටම ඇවිලෙන විට ……

“ ඇයි කසාද බඳින්න බැරි ? “ මම තදින් ඇසීමි. ඔහු දුන් පිළිතුරෙන් මගේ ලෝකයම කඩා වැටුණි.

“ මම ඔයාට නොකීවේ ඔයා මට නැති වෙයි කියන බයට. මම කසාද බැන්ද මිනිහෙක්. මට දරුවෝ ඉන්නවා. හැබැයි ඔයා නැතුව ඉන්නත් බැහැ. මගේ වයිෆ් වරදක් කළ කෙනෙක් නෙවේ. මට එයාව අතහරින්න බැහැ. “ යන වදන ඇසුනේ හීනෙන් දැයි මම සිතුවෙමි.

ඔහු මේ සම්බන්ධය ඉතාම රහසිගතව පැවැත්වුවේ මගේම ආරක්ෂාව වෙනුවෙන් යයි පුන පුනා කීවත් සත්‍ය ඊට හාත්පසින්ම වෙනස් බව අවබෝධ වන විට කල් ගොසිනි. මම ඔහුව අතහැර දැමුවෙමි. පියා වෙනුවෙන් කැප වීමි . ඔහු පස් මසක් අනන්ත දුක් විඳ මිය ගියේය. මම නැවත විභාගය කර සමත් වීමි. අර නරුමයා විටින් විට හඬමින්, තර්ජනය කරමින් මාස කීපයක් මට හිංසා කළ අතර පොලිසියට යන බවට මා විසින් දැන්වීමෙන් පසු නිහඩව සිටියේය.

ඒ අතර මට යහපත් සම්බන්ධයක් පටන් ගන්නට ඉඩ ලැබිණි. ඔහු අපේම විශ්ව විද්යාලයේ සිසුවෙකි. ජීවිතය අලුතින් පටන් ගන්නට අප හීන දකිමින් සිටියෙමු. ඔහුගේ පවුලෙන්ද මට ඉතාම කැමති විය. හදිස්සියේ මගේ නිරුවත් චායාරූප අන්තර්ජාලයේ සංසරණය වෙන බව දකින්නට ලැබුණි. මගේ මිතුරියෝ මාව පිළිකුල් කරන තත්වයට වැටුණි. හැමෝම “ බඩුව “ යන නම්බු නාමයෙන් ආමන්ත්රණය කරනු ලබා පාරේ යන ට්රීවිල් රියදුරන්ගෙන් පවා හිංසා වෙන තරමට රටේ ජනප්රිය වීමි.

“ වෛද්ය ශිෂ්යාව ලීක් කරගෙන / ලින්ක් බලන්න එන්න “ ආදී විවිධ මාතෘකා යටතේ ඔවුන් වෙබ් අඩවි නිරුවත විකුණාගෙන කෑහ. විශ්ව විද්යාලයට යාමට , මගේ පුරුදු පරිසරයට මුහුණ දීමට තරම් එදා මට ආත්ම ශක්තියක් නොවීය. පොලිසියේ පැමිණිලි කළද මා එතනදී ද නිලධාරීන් ඉදිරියේ මුදලට සිරුර විකුණන ලද ගණිකාවක් මෙන් උපහාසයට බඳුන් වීමි. අප රටේ මේවා යුක්තියේ සීමාවට හසු නොවේ. නීතියෙන් අර පාදඩයා අල්ලා ගත්තේ නැත. ඔහුගේ මුදල් හෝ නීතියේ ගැටළු නිසා එසේ වන්නට ඇත.

පියාගේ මරණයෙන් කම්පාව සිටි අම්මා ගේ සිහි කල්පනාව මේ සිදුවීම සමග වෙනස් විය. ගෙදර සිටීම පවා තර්ජනයක් වූයේ මා වෙත අයුතු යෝජනා කළ ඇතැමෙක් මූණටම “ අපිට නම් පත්තිනි වෙන්න යනවා. අම්මෝ අපි දැක්ක පත්ත්නි අම්මගේ තරම. “ කියමින් තර්ජනය කළ නිසාවෙනි. කොටින්ම කීවොත් කඩයකට පවා යාම මට අපහසු විය.

“ නංගි දැන් උඹට ඉතුරු වෙලා තියෙන්නේ එකම දෙයයි. බීපන් වහ “ යනුවෙන් අයියා දිනක් කීවේ ඔහුට කාර්යාලයේ මිතුරන්ගේ ඇනුම්පද දරා ගත නොහැකි වුන දිනකය. ඔහු වැඩිකල් නොයා කාර්යාලයෙන් ඉවත් වීමෙන් පසු අපිට ආදායම් මාර්ගයක් නොමැති විය. ඔහුගේ පෙම්වතිය මේ සිදුවීම නිසා ඔහුව හැර ගියෙන් අයියාගේ වෛරය නිතර මා වෙත එල්ල විය.

රෝගී අම්මා නොවෙන්නට මා ඒ නරක තීරණය අරගන්නට තිබුණි. මේ සිදුවීමෙන් පසු මම සියලුම සන්නිවේදන මාර්ග වලින් මගේ පෙම්වතා සමග සම්බන්ධ නොවී අතහැරියෙමි. ඔහුට මුහුණ දෙන්නට මට ලජ්ජා විය. මා සිතුවේ ඔහු මගේ මූනට කෙල ගසා පලා යනු ඇති බවය.

නමුත් ඔහු විශ්ව විද්යාල ලේඛන වලින් මගේ ලිපිනය සොයාගෙන මා සොයා ආවේය. මහමෙර සැලුනත් නොසැලුන ඒ ආදරය මම එදා ඔහුගේ දෙනෙතින් දුටුවෙමි. ඔහු අධ්යාපනය කරන අතරතුර මා ඔහුගේ නැන්දනිය වසන රටට යවන්නට ඔහු සමත් විය. එහිදී අධ්යාපන කටයුතු අලුතින් පටන් ගෙන මා හෙදියක් ලෙස රාජකාරියට සම්බන්ධ වීමි. මගේ උපන් රටත් , එහි මිනිසුනුත් පිළිකුල් කළ හෙයින් මම නැවත මෙහි නොඑන බවට අදිටන් කලෙමි. අම්මගේ වියදම් වෙනුවෙන් සහ අයියා ට නැවත රැකියාවක් ලැබෙන තුරු මම ඔහුට මාස් පතා වැඩ කිරීමෙන් මුදල් එවුවෙමි. ලංකාවේ මෙන් රැකියාවල උස් පහත් කමක් නැති මෙහි කාටත් එකසේ සලකති. අපගේ අතීතය කාටවත් වැඩක් නැති ඔවුන් ආගම් ඇදහීම් අතින් දුර්වල මිනිසුන් වුනත් මනුස්ස වටිනාකම් වලින් අපිට වඩා ගවු ගණනක් ඉදිරියෙනි.

සීමාවාසික පුහුණුව ඉවර කළ මගේ පෙම්වතා මෙහි එන විට මම වුර්තියෙන් ශක්තිමත්ව සිටියෙමි. ඔහුට මේ රටේ විභාග වලට මුහුණ දී වෛද්ය වරයෙක් ලෙස වැඩ කිරීමට තව වසරක් ගියේය. ඒ මුළු කාලය තුලම මම කුමාරයෙක් මෙන් ඔහුව පෝෂණය කලෙමි. ආදරය කලෙමි. රැක බලා ගත්තෙමි. අපි ජීවත් වුනේ එකම නිවසකය. වෛද්ය වුර්තිය මේ රටේ වැටුප් ඉතා අධික වුර්තියකි. ඔහු වෛද්ය වරයෙක් ලෙස සේවය පටන් ගැනීමෙන් පසු මම නැවත මගේ අධ්යන කටයුතු මුල සිට පටන් ගත යුතු බව මගේ සැමියා කීවේය. මමත් වෛද්ය වරියක් ලෙස දිවුරුම් දුන්නෙමි. අපිට දරුවන් දෙදෙනක් සිටී. එදා සිට එකම දිනක් වත් මම මගේ මවු රටට අඩිය නොතිබ්බෙමි. ආවත් මා හඳුනා ගන්නට නොහැකි තරම් මගේ පෙනුම දැන් වෙනස්ය.

මගේ කතාව මෙසේ ඉවර වේ….නමුත් ..

අර නරුමයා මා ලංකාවෙන් ගිහින් වසර දෙකකට පසුව තවත් සිසුවියකට අතවර කිරීමට උත්සහ දරා හමුදාවේ සෙබලෙක් වුන ඇගේ පෙම්වතා අතින් පිහි ඇනුම් පාරක් කා එයින් හටගත් අභ්යන්තර ගැටළුවක් නිසා වකුගඩු හානියකට ලක් වී වසර කීපයක් දුක් විඳිමින් සිට මිය ගියේය. මෙය ඇසු මා හට අර අහිංසක සෙබලා ගැන කණගාටුවක් ඉපදින. ඔහුට දඬුවම් දෙන්නට සොබාදහමට ඉඩ දුන්නා නම් ඔහු අද සිටින්නේ හිරගෙදර නොවේ.

මා සමාජ මාධ්ය වල සැරිසරන විට ෆේස් බුක් පේජයක අහම්බෙන් කමෙන්ට් එකක් දුටිමි…

“ කළුතර අක්කා ගේ ලීක් කරගත් ෆොටෝ බලල තමා අපි තාමත්…………..කියා හිනා මූණු රැසක් විය. එහි තවත් නිහීනයෝ පිරිසක් වසර 10 කට වඩා පැරණි ෆොටෝ කමෙන්ට් කරමින් මා හට ඉතාම අශෝභන දේවල් කියනු මම දුටුවෙමි.

“ කළුතර…බඩුව …ගොනා …. කෑල්ල “ යන ගෞරව නාම වලින් හඳුන්වන මම එදාද වරදක් නොකලෙමි. අදටත් නොකරමි. එසේ හැඳින්වීමට ඔබ විසින් නොකළ මා පමණක් කළ වරද කුමක්ද මගේ හිතින් අසමි.

මිනිහෙක්ට එක සිතින් ආදරේ කර විශ්වාසය පුදා සෙනෙහස බෙදා ගැනීම ද ?

Share Now

Related Article