කදුලක් ඉතිරි කළ පුංචි සුරගන

Aug 13, 2020

හරියටම කියනවා නම් ඇය “පුංචි සුරංගනාව”කි. ඇය එතරම්ම සුන්දරය. කැරලි ගැසුණු රන් පැහැති හිසකෙසුත්, නිල් පැහැති දෑසත් ඇයට ගෙන ආවේ පුදුමාකාර ලස්සනකි. ජොන්බෙනට් පැට්‍රීෂියා රැම්සේගේ මේ අසාමාන්‍ය සුන්දරත්වය නිසා ඇගේ අම්මා පැට්සි රැම්සේ ඇයව ළමා රූ රැජන තරග වලටත්, ළමා නිරූපිකා තරග වලටත් නිතරම ඉදිරිපත් කළාය. ඉදිරිපත් වන හැම තරගයකින්ම වාගේ ජයග්‍රහණ ලබා ගත් පුංචි ජොන් බෙනට් රැම්සේ අවසන “ඇමරිකානු ළමා රූ රැජින” කිරුළද ලබා ගත්තාය

Continue Reading Below

ඉතින් මේ සියලු දිනුම් ලබා ගන්නා විටත් පුංචි ජොන්බෙනට්ගේ වයස යන්තම් අවුරුදු හයක් පිරුණා පමණකි. එහෙත් ඇයට ලැබී තිබුණු ප්‍රසිද්ධිය නම් අති මහත් විය. බොහෝ විට ඇයට කාලය ගෙවන්නට වූයේ රූ රැජින තරගයකය. නැතිනම් සගරාවකට, රූපවාහිනී වැඩසටහනකට කැමරාවක් ඉදිරිපිටය.

ඉතින් 1996 අවුරුද්දේ නත්තලත් එළඹිණ. පුංචි ජොන්බෙනට් නත්තල් සීයාගෙන් ඉල්ලූ පුංචි බයිසිකලය ඇයට ලැබී තිබිණ. ජොන්බෙනට්ගේ සතුට නිම්හිම් නැති විය. තෑගි ලැබුණු බයිසිකලයෙන් රවුමක් පැද ගිය ඇය බයිසිකලයත් සමග සෙල්ලම් කිරීම හෙටට කල් තැබුවාය. ඒ ඇයට ඇගේ අම්මාත් තාත්තාත් අයියාත් සමග පවුලේ හිතවතෙකුගේ නිවසේ සාදයකට යන්නට තිබුණු නිසාය.

සාදය නිමවී රැම්සේ පවුලේ අය ආපසු නිවසට පැමිණෙන විට රෑ බෝවී තිබිණ. ජෝන්, ජොන්බෙනට්ගේ තාත්තා, ඇයව ඇගේ නිදනකාමරයට ගෙන ගොස් නිදිකරවූයේය.

ඒ ඔවුන් පුංචි ජොන්බෙනට්ගේ සජීවී මුහුණ දුටු අවසන් වතාවය.

පසුදා උදෑසන වන විට පුංචි ජොන්බෙනට් අතුරුදන්ව උන්නාය.

රැම්සේ පවුලේ අයද, පොලිසියද, පැය ගණනක් තිස්සේ ජොන්බෙනට්ව සෙවූහ. අන්තිමේදී පැය අටකට පසු ඔවුන්ට ඇයව හමුවිය. නැත. ඔවුන්ට හමුවූයේ ඇගේ පණ සුන් මළසිරුරය. ඔවුන්ට එය හමුවූයේ කොලරාඩෝවේ ඔවුන්ගේ නිවසේ භූගත මහලේ තිබීය.

ඇගේ පුංචි සිරුර සුදු නයිලෝන් රෙද්දකින් වසා තිබිණ. ඇගේ ගෙල සිරකර තිබුණේද නයිලෝන් රැහැණකිනි. ඇගේ දෑත් හිස පසුපසට එකතු කොට බැද දමා, ඇගේ කටද ප්ලාස්ටරයකින් වසා දමා තිබිණ.

ජොන් බෙනට්ගේ මළ සිරුර හමුවන්නේ ඇගේම නිවසේ බිම් ගබඩාවේ තිබියදීය. ඇගේ මරණය සිදුවී ඇත්තේද නිවසේ සාමාජිකයින් සියලු දෙනා නිවසේ සිටියදීය. ඉතින් පොලිසියේ පළමු සැකය යොමු වූයේද රැම්සේ පවුලේ සාමාජිකයින් වෙතටමය.

ඒ සැකයට තවත් ගිනි පුපුරු එකතු කරමින් රැම්සේ නිවසේ තිබී කප්පම් ලිපියක්ද හමුවිය.

“රැම්සේ මහතාට,

පරිස්සමින් අහගන්න. අපි බලවත් කණ්ඩායමක්. අපි ඔබතුමාගේ ව්‍යාපාරයට ගරු කරනවා. ඒත් ඒකේ සේවය ලබන රටට නම් අපේ ගරුසරුවක් ඇත්තෙ නෑ.

ඒ කොහොම වුණත් දැන් ඔබතුමාගේ දුව ඉන්නෙ අපේ ලග. එයාට අනතුරක් නොවී 1997 අවුරුද්දෙත් එයාව පණ පිටින් දැකගන්න ඔබතුමා කැමතිනම්,

කරන්න ඕන මේකයි,

ඔබතුමාගේ බැංකු ගිණුමෙන් ඩොලර් 118,000 ක් අරගන්න. ඒ ගාණෙන් ඩොලර් ලක්ෂයක් ඩොලර් සීයේ නෝට්ටු වලිනුත් ඉතිරිය ඩොලර් විස්සේ නෝට්ටු වලිනුත් ගන්න මතක තියාගන්න. ඒ මුදල බ්‍රවුන් පේපර් බෑගයක අහුරන්න. ඒක අපට ලබා දෙන්න ඕන විදිහ හෙට උදේ අටත් එකොලහත් අතර මං ඔබතුමාට කෝල් කරලා කියන්නම්.

ඔබතුමා අපේ උපදෙස් පිළිපදින්නේ නැතිව පොලිසියට කතා කරන්න උත්සාහ කළොත්, ඔබේ දුවගෙ හිස ගසා දාන්න අපි දෙවරක් හිතන්නේ නෑ…”

කප්පම් ලිපිය ඒ අයුරින් ලියන ලද දීර්ඝ ලිපියක් විය. එහෙත් සැක කරන්නට කාරණා තිබිණ.

කප්පම් ඉල්ලන්නා සදහන් කරන ඩොලර් 118,000ක මුදල ජොන්බෙනට්ගේ පියා ජෝන් රැම්සේගේ වාර්ෂික පාරිතෝෂික මුදලට හරියටම සමාන විය. ඒ මදිවාට ලියුම ලියා තිබුණේත් පැට්සි රැම්සේ යම් යම් සටහන් ලියන්නට භාවිතා කළ සටහන් පොතකිනි.

ඉතින් පොලිසියේ සෘජු සැකය එල්ල වූයේ ජොන් බෙනට්ගේ අම්මා පැට්සි රැම්සේ වෙතටය. ඇයව පොලිස් අත් අඩංගුවට ගැනිණ.

එහෙත් දැරියගේ අම්මාට පමණක් චෝදනා එල්ල කරන්නට බැරි තවත් කාරණාවක් තිබිණ. ඒ මියගිය දැරියගේ සිරුරේ තැවරී තිබුණු ශ්‍රාවයන්ය. ඒ ශ්‍රාවයන් වල තිබුණේ පිරිමි අයෙකුගේ ඩී. එන්. ඒ වන අතර එම ඩී එන් ඒ පවුලේ කිසිවෙකුගේ ඩී එන් ඒ වලට ගැලපුණේ නැත.

එයින් පසුව අත් අඩංගුවට ගැනුණේ ජොන් බෙනට්ගේ අයියා බෘක්වය. නව හැවිරිදිි බෘක්ව අත්අඩංගුවට ගත්තේ අත්වැරදීමකින් තමන්ගේ සොයුරිය ඝාතනය කළ බවට සැක පිිටය.

පුංචි ජොන්බෙනට් මිය ගිය ශෝකය මදිවාට, පොලිසිියෙන්ද, මාධ්‍ය වලින්ද රැම්සේ පවුලට වසර ගණනාවක් තිිස්සේ අත් විදින්නට වුණුු පීඩනය සුළුපටු නොවීය. වසර ගණනාවකින් පසුව, ජොනබෙනට් මරා දැමීමට ඇගේ පවුලේ අයගේ සම්බන්ධයක් නොමැති බව තහවුරු විය. පොලිසියත් නීතිි අංශත් රැම්සේ පවුලට වුණු අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කරමින් ඔවුුන්ව නිදොස් කොට නිදහස් කළහ. කෙසේ වුුවත් ජොන්බෙනට්ගේ මිනීමරුවා හමුවූයේ නම් නැත.

ජොන්බෙනට්ගේ මරණයෙන් අවුරුදු දහයකට පසු, එනම් 2006 වසරේදී නැවතත් ඒ ගැන කතා බහක් මතුවිය. ඒ තායිලන්තයේදී අත්අඩංගුවට ගැනුණු 41 හැවිරිදි ජෝන් මාක් කාර් නැමැත්තෙකු, ජොන්බෙනට්ව ඝාතනය කලේ තමන් යැයි පාපොච්චාරණය කිරීමත් සමගය. එහෙත් ඒ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් නැති බව පසුකාලීන පාපොච්චාරණ වලදී හෙළි විය.

ජොන්බෙනට්ගේ මරණයෙන් අවුරුදු විසි තුනකට පසුුව දැන් ජොන්බෙනට්ගේ මරණයේ සැකය තවත් අතකට යොමු වී තිබේ. ඒ ළමා රූ රැජන තරග වලදී පුුංචි ජොන්බෙනට්ගේ ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියා වෙතටය. මේ වන විට ඔහු පසුවන්නේ අසැබි ළමා ඡායාරූප ගැනිම සම්බන්ධයෙන් සිරගතවය. රූ රැජන තරග වලට ඉදිරිපත් කිිරීම සදහා ජොන්බෙනට්ගේ ඡායාරූප ගැනීමට නිරන්තරව රැම්සේ නිවසට ආ ගිය ඔහුගේ ඡායාරූප ශිල්පී වෘත්තිය ජොන්බෙනට්ගේ මරණයෙන් පසුව අවුල් සහගත තත්වයකට පත්ව ඇත. එපමණක් නොව ජොන්බෙනට්ගේ ගෙල සිරකර තිබූ නයිලෝන් ලණුව මේ ඡායාරූප ශිල්පියාගේ නිිවසේ තිබුණු එකක් බවටද සැක කෙරෙයිි. කෙසේ වතුදු තීන්දුව තවමත් ලැබී නැත.

තීන්දුව කවරාකාරයෙන් ලැබුණද, පුංචි ජොන්බෙනට් ලෝකයේම මව්වරුන්ට පිියවරුන්ට තම දරුවන්ගේ ආරක්ෂාව හිතන්නට නම් කාරණාවක් ඉතිරි කළාය.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article