මවට ද්රෝහී වීමට බැරි යයි විවාහ නොවුන තරුණයෙක්ගේ කතාවක්

Sep 14, 2020

මවට ද්රෝහී වීමට බැරි යයි විවාහ නොවුන තරුණයෙක්ගේ කතාවක්

Continue Reading Below

මේ කතාව ඇසීමට පෙර ඔබ මට දෝෂාරෝපණය කරනු ඇත. නමුත් මවක් සහ පුතෙක් වෙන් කිරීමට උත්සහ දැරූ දුෂ්ට ලේලිය යන වදනින් එහා ගිය මේ කතාව අසා තීරණයකට එන මෙන් කාරුණිකව ඉල්ලමි. ඒ අනුව පටන් ගන්නවා නම් මට ඔහුව හමු වුනේ කෙසේදැයි මුලින්ම මා ඔබට විස්තර කරන්නම්.

දිනේෂ් මට හමු වූයේ මගේ වයස 24 දීය. උසස් පෙළ පන්තියේදී තිබුන වැඩිදුර නොගිය කුඩා සම්බන්ධයක් හැර මට වෙනත් ප්රේම සම්බන්ධකම් නොතිබුන බව ඔබට කිව යුතුය. මා වුර්තීය අධ්යාපනය ලැබීමට යන විට පළමු රැකියාව පටන් ගෙන වසර කීපයක් ගෙවී තිබුණි. අප ආයතනයට අලුතින් පැමිණි මානව සම්පත් අංශයේ ප්රධානියා කඩවසම් බව සහ තවමත් අවිවාහක බව ආයතනය පුරා පැතිරුණ මාතෘකාවක් විය. මමත් ඔහු ගැන උනන්දුවක් නොදක්කුවා කීවොත් එය බොරුවකි.

දිනක ඔහු මට ලිෆ්ට් එකේදී හමු වුන අතර ඔහු ඉතා ප්රසන්න ලෙස මා හට සිනා සී සුබ උදෑසනක් පැතුවේය. ඔහු ගැන මම ටිකක් සොයා බැලුවෙමි. ඔහු ඉතා විනීත තරුණයෙකි. වැඩ ගැනද සියල්ලෝම කතා කළේ ඉතාම ධනාත්මක ලෙසය. ඒ වන විට ඔහුගේ වයස 36 කි. විවාහ වෙන වයස පහුකර මද දුරක් ගොස් සිටියේ ඇයිද කවුරුත් නොදත්හ. ඔහු දක්ෂ ක්රීඩකයෙකි . අපේ ආයතනයේ පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස පත් වූයේ මද කලකිනි. සෑහෙන බාහිර වැඩ කළ අතර පුද්ගලික විශ්ව විද්යාලයක බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය කිරීමද කළ ඔහු උගතෙකි.

ආයතනයේ බාහිර වැඩ සටහන් වලදී මම සහ දිනේෂ් හොඳ මිතුරන් වීමු. ඔහුගේත් මගේත් අතර ප්රේම සම්බන්ධයක් ඇති වෙතියි සිතු බොහෝ දෙනෙක් අපිට උසුළු විසිළු කළහ. මා උත්සව ආදිය ඉවර වී ගෙදර ගෙන යාම , මා සමග ෂොපින් යාම වැනි කටයුතු ඉතා සන්සුන්ව කරන දිනේෂ් දකින මා සිතේ මේ ආදරණීය මිනිසා සතු කර ගැනීමේ ආශාවක් හට ගත්තේය. ඔහු වැනි සුන්දර , දුසිරිතෙන් තොර, ඉහළ රැකියාවක් කරන යහපත් මිනිසෙක් සමග සරණ යාම සැබවින්ම වාසනාවකි.

දිනේෂ්ගේ අක්කලා දෙදෙනාම දිනේෂ්ට වඩා ගොඩක් වැඩිමහල් වුන අතර දෙමාපියන් දෙදෙනා ඉතාම මහලු වියේ පසු විය. ඔවුන්ට දිනේෂ් ඉපදී තිබුනේ ගැහැණු ළමයි දෙදෙනා ඉපදී සැහෙන කාලයකිනි. දිනක් දිනේෂ්ගේ විශ්ව විද්යාලයේ මිතුරන් සඳහා සාදයක් ගෙදර සූදානම් කර තිබුණු අතර ඒ වෙනුවෙන් සංග්රහ කටයුතු සංවිධානය කිරීමට මා හට එන මෙන් ඔහු ඉල්ලා සිටියේය. මගේ බොහෝ වැඩ මාගෙන් නියපොත්තක දෙයක් නොලබා කරන ඔහු වෙත මගේ උපකාරය ඇවැසි මොහොත හෙයින් අම්මලාට බොරුවක් කියා උදෑසනම මා එහි ගියෙමි. මාගේ මනාපය පරිදි මේස පුටු පිළිවෙල කිරීම , ආහාර වල මෙනු සැකසීම ආදිය ඔහු විසින් කළ අතර අප දෙදෙනා අඹු සැමියන් මෙන් කඩේ පවා ගියෙමු. මෙය මට මහත් ආශ්වාදයක් විය. නමුත් දිනේෂ් මගේ ඇඟිල්ලක් වත් ස්පර්ශ නොකිරීමට තරම් පරිස්සමෙන් ගෞරවයෙන් මට සැලකු බව මම දනිමි.

ඔහුගේ මහලු පියා “ අවසානයේ මේ ගෙදරට කෙල්ලෙක් නවතින්නම එන හැඩයි “ කියමින් සිය සැරයටිය සොලවමින් නටන්නට විය. ඔහුගේ අම්මා ඉතා වැදගත් නිහඩ කාන්තාවක් වුන අතර ඇය ඉතා සීලාචාර ලෙස මට සැලකුවාය. ගෙදර යන අතර මම දිනේෂ්ට පියා ඉතා යහපත් බව කීමි. ඔහු පිළිතුරු ලෙස උපහාසයෙන් සිනා සී….

“තරුණ කාලයේ යකෙක් වගේ. ඔයා එයාගේ හැටි දන්නේ නැහැ “ කියමින් කතාව වෙන අතකට ගෙන ගියේය.

අප දෙදෙනාගෙන් කිසිවෙක් ආදරය ප්රකාශ කිරීම නොකලද ඉබේම සම්බන්ධයක් ඇති විය. ඔවුන්ගේ අක්කලා මුල් වී අපේ ගදර පැමිණි අතර මගේ දෙමාපියෝ දිනේෂ් හට බෙහෙවින්ම කැමති විය.

“ ඒ වගේ කොල්ලෙක් ලබන්න ඔයා පින් කරලා “ අම්මා දිනේෂ් කෙරෙහි වශී වුන සිතින් කීවාය. මමද එසේ සිතුවෙමි. ඉතා ආරක්ෂිත ආර්ථික කරදර වලින් තොර විවාහ ජීවිතයකට යාමට මම හීන දැක්කෙමි. එකම ගැටළුවක් මගේ හිත කරදරයට පත් කළේය.

එනම් ඔහු මාගේ සියලුම කටයුතු ඕනෙවටත් වඩා හොඳින් කළ නමුත් කවදාවත් මා සමග කායික ඇසුරක් පැවැත්වීමේ උනන්දුවක් නොදැක්වීමයි. මගේ යෙහෙළියන්ට කියූ විට ඔවුන්ගේ පිළිතුර වූයේ…ඔහුගේ සීලාචාර කම එයට හේතුව බවත්. වැදගත් පිරිමි විවාහය දක්වා පුංචි හෝ කායික ඇසුරක් නොපතන බවත්ය. මේ ගැන මම කුතුහලයෙන් වුවත් එසේ විශ්වාස කළෙමි.

මේ අතර ඔහුගේ පියා මිය ගියේය. මව තනියම හෙයින් ඉක්මනින් විවහා වන මෙන් හැමෝම මා හට බල කරන්නට වූයෙන් මම දිනේෂ් හටද කීවේ අපේ විවාහය චාම්ව ඉක්මනින් කරමු කියාය. ඔහු එකඟ වුවත් කටයුතු කිසිවක් සම්පාදනය නොකළේය. මේ අයුරින් වසරක් ගෙවී ගිය අතර මගේ ඉවසීම හිදී යන්නට විය. ඒ ගැන දවසක් මා අසා රණ්ඩු වුන විට ඔහු කීවේ “ අම්මා කැමති නැහැ… “ කියාය.

මේ බොරු කතාව මම කොහෙත්ම විශ්වාස නොකළෙමි. ඔහුගේ අම්මා සාරි ඇඳගෙන මගුල් ගමන් ආවේ මන්ද ? මට කවදාවත් වචනයක් නොකියා සිටියේ මන්ද ? අනික අම්මාට අකමැති වෙන්නට මගේ ඇති වරද කුමක්ද?

මේ නොහොඳ නෝක්කාඩුව නිසා මම ඔහු සමග කතා කිරීම අත්හිට වීමි. සතියකින් පමණ දිනේෂ් මා අමතා කීවේ අම්මාට අසනීප නිසා ගෙදර ඇවිත් වැඩ ඇරී එන තුරු ඇයව බලා ගන්නා ලෙසයි. සතුටට පත් වුන මම එහි ගියෙමි. උදේ මා යන විටත් දිනේෂ් අත්යවශ්ය දෙයක් නිසා වැඩට ගොස් තිබුණි. ගෙදර සිටියේ අම්මා පමණකි.

ගෙදර වැඩ කරන කාන්තාව විසින් සෝදා දැමු රෙදි ඉස්සරහ රැක් එකක දමා තිබුණු අතර අම්මාට බෙහෙත් හේත් දී ඇයට නිදා ගන්නා ලෙස පැවසු මම රූපවාහිනිය මදක් බැලීමි. එකොළහට පමණ තේ බීමට අම්මා ඇඳෙන් නැගිට ආවාය.

අප දෙදෙනා තේ බොමින් වාඩි වී සිටියෙමු.

“ අම්මේ..වෙඩින් එක ගන්න දිනේෂ් කල් දානවා. අම්මත් තනියම නිසා මම හිතුවේ ඉක්මනට බැන්දොත් හොඳයි කියලා” මම කීවෙමි.

මේ ප්රකාශයට අම්මා බෙහෙවින්ම කෝප වූවාය.

“ මට මොන තනියක්ද ? මේ මගේ ගම. ඔය ළමයා මා ගැන කරදර වෙන්න එපා” මැහැල්ල කෝපයෙන් මෙන් කීවාය.

“අම්මේ දැන් දිනේෂ්ට වයස 38 ක් ..මගෙත් වයස යනවා . “මම නොයිවසිල්ලෙන් කීමි.

“ දිනේෂ්ට ගෑනු ඕනේ නැහැ. එයාව බලාගන්න මම ඉන්නවා. ඔය කසාදෙ වෙන්න ඉඩක් තියන්නේ නැහැ “ කියමින් එකවර ඒ අම්මා ආවේශයෙන් මෙන් බුරා හැලුනාය.

දිනේෂ්ගේ අම්මා නිහඩ අහිංසක ගැහැණියකි. නිතර පන්සල් යන ඇය දකින හැමෝම හමුවේ “ අනේ මේ පුතා ඉක්මනට බඳින්නේ නැහැ..පුදුම දුකක් මට..නිදහසේ මැරෙන්න වත් නැහැ…” ආදිය කියමින් දිනේෂ්ගේ විවාහය ගැන ගතු කියන බව මා දැනගෙන සිටියෙමි. නමුත් දැන් ඈ කියන්නේ හාත්පසින්ම වෙනස් කතාවකි.

“ මගේ පුතා මගේ විතරයි..වෙන ගෑනියෙක් ට මගේ පුතාව මම දෙන්නේ නැහැ…” මේ වචන නිසා මට මොහොතකට සිහි එලවා ගත නොහැකි විය.

“ උඹ හොර බැල්ලි වගේ කුරුමානම් අල්ලලා මගේ කොල්ලව රවට්ට ගත්තා..මම මැරිලා වත් උඹට යහතින් ඉන්න දෙන්නේ නැහැ. ඔය මේ ආත්මේ පුතා වුනාට දිනේෂ් මගේ ගිය ආත්මේ හස්බන්ඩ්…උඹට මම මගේ කොල්ලව අයිති කරගන්න දෙන්නේ නැහැ නිරාශා . “ ඕ පිස්සුවෙන් මෙන් දඟලන්නට පටන් ගත්තාය.

අවුල් වූ මනසින් මා වහාම කැබ් රියක නැගී ගෙදර ආවෙමි. හවස දිනේෂ් සමග කෝපි අවන්හලකට ගොඩ වැදුන මම සියල්ලම ඔහුට කීවෙමි. ඔහු මට කියූ ඇතැම් දේ හිත කලකිරවන සුළු විය.

ඔහුගේ පියාට වඩා මව අවුරුදු ගණනක් ලාබාල වුන අතර ඔහුගේ යෝජනාවට ඇය අකමැති වී ඇති නමුත් විවාහා වී ඇත. ඒ මව ජීවිත කාලයම ගෙදරටම කොටු වී සිටි ගැහැණියකි. අක්කලා දෙන්නට පසුව උපන් තමාට ඇය වැඩියෙන්ම ආදරේ කළ බව ඔහු කීවේ ආඩම්බරයෙනි. එමෙන්ම කුඩා දරුවෙක් ලෙස දිනේෂ් සිය පියා සමග බෙහෙවින්ම තරහෙන් සිටි අතර අම්මා පියා අතහැර නිදාගෙන තිබුනේද දිනේෂ් සමගය. දැනටත් අක්කල අම්මව ඔවුන්ගේ ගෙවල් වලට එක්කන් යාමට උත්සහ දැරුවත් ඉඩක් නොලැබෙන බවත් දින දෙක තුනකින් ඈ තමා සොයා පැමිණෙන බවත් දිනේෂ් පැවසුවේය.

“ඉස්සර මම ගෑනු ළමයෙක්ට හිත ගියත් මට මහා වදරකාරී හැගීමක් එනවා නිරාශා. ඒක නිකන් අම්මට ද්රෝහී වුනා වගේ දෙයක් “

“එහෙනම් ඇයි ඔයා මට කැමති වුනේ ? අම්මව බලාගෙන තනියම ඉන්න තිබුනානේ” මම කෝපයෙන් කීවෙමි.

“තාත්තා මරුනහම හැමෝම කීවා අම්මව බලාගන්න ඔයාව ගෙදර එක්කන් එන්න කියල. අම්මත් විරුධ්ධත්වයක් පෙන්නුවෙ නැහැ. මේ ගැන ගොඩක්ම උනන්දු වුනේ ලොකු අක්කා. සමහර විට අක්කට බයට අම්මා සද්ද නැතුව ඉන්න ඇති. ඒකයි මම ඔයාව බඳින්න තීරණය කළේ. “ කියාගෙන ගිය ඔහු ජීවිතේ වඩාම ගුජුප්සාජනක කතාව මට හෙළි කළේ ඉන් ඉක්බිතිවය.

එදා අපේ ගෙදර ගොසින් විවාහ තීන්දු කර ආ දවසේ අම්මාට රාත්රියේ ලෙඩ වුනා මට මතකය. ඔහු කියා තිබුනේ මහන්සියට හතිය හැදුන බව පමණකි. එදා ඇය ඇඳගෙන ආව ඇඳුම් වලම මළ මුත්රා පහ කරගෙන එළිවෙන තුරුම ඉකි බිඳිමින් හඬන ලද බව ඔහු කීවේය. ඉන් පසුව රෝහල් ගත කර ගෙදර පැමිණි පසු විටින් විට ඇගේ සිහි කල්පනාව වෙනස් වුන බවත් නිතරම දිනේෂ් හට බිරිඳක මෙන් හැසිරීමට උත්සහ දරන බවත් ඔහු මට හෙළි කළේය. අප දෙදෙනා ඔෆිස් එකේ උත්සවයකදී ගන්නා ලද චායාරූපය ලොකු කොට ඔහු විසින් මේසය මත තබාගෙන සිටි අතර ඇය එය මිටියකින් ගසා කුඩු කර ෆොටෝව ලිපේ දමා පුළුස්සන ලද බවද කීවේය.

අම්මා මානසික රෝහලට රැගෙන ගොස් ප්රතිකාර කල යුතු බව මම ඔහුට කීවෙමි.

“ ඔයා කියන්නේ මගේ අම්මට පිස්සු කියලද ? “ අසමින් ඔහු මට බැන වැදුනේය.

“මා සහ අම්ම අතර තියෙන්නේ සංසාරගත බැඳීමක් නිරාශා. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. මගේ ජීවිතේට වෙන ගැහැණියක් එන එක එයාට දරාගන්න බැහැ. මට වුනත් ඔයා එක්ක කිසිම කායික සම්බන්ධයක් පවත්වන්න හිත හදාගන්න බැරි ඒක අම්මට කරන වංචාවක් වගේ මට දැනෙන නිසා “ ඔහු මට කීවේය.

එදා දිනේෂ්ගෙන් සමු ගත් මම නැවත කවදාවත් ඔහු හමු නොවීමි. මේ කතාවෙන් ගත හැකි යමක් තිද මා නොදනිමි. නමුත් කතාව ඔබට කීමෙන් මගේ හිතේ බර සැහැල්ලු විය. අදටත් සමාජයේ මතයට අනුව මම අර රත්තරන් මිනිහා දමා පලාගිය නරක ගැහැණියකි.

Share Now

Related Article