සිය සොයුරා අතින් අපයෝජනයට ලක් වුන ගැහැණු ළමයෙක්ගේ කතාවක්

Jul 20, 2020

මගේ ළමා කාලය ගැන කියනවා නම් මහා ලොකු ආර්ථික කරදර අපිට තිබ්බේ නැහැ. මගේ දෙමවුපියෝ දෙන්නම හොඳ රැකියා කරා. මගේ අක්කා සහ අයියා මට වඩා වැඩිමල්. හැම වෙලාවකම අම්මා සහ තාත්තා අයියා කෙරෙහි විශේෂයෙන් ආදරය කරා. ඔහුට ඕනේ කියන හැම දෙයක්ම දුන්නා. ඔවුන් දෙදෙනා හැසිරුනේ හරියට අයියට බයෙන් වගේ.

Continue Reading Below

මම ලොකු ළමයෙක් වෙන්න කිට්ටුව දවසක් දවසක් ඉස්කෝලේ ඇරිලා ඇවිත් ගෙදර ඉද්දි අයියා මගේ කාමරයට ආවා. අක්කා ඒ වෙද්දී විශ්ව විද්යාලයට ගිහින්. ඔහු මාව නරක අයුරින් අතපත ගානවා කියල මට දැනුනා. එදා මම කෙලින්ම ගෙදරින් පැනල එලියට ගිහින් එහා ගෙදර අම්මලා හවස එනකම්ම හිටියා. මම නිදා ගත්තේ අම්මා එක්ක.

අම්මට මේ ගැන කීවට අම්ම අයියට මුකුත්ම කීවෙත් නැහැ. පියවරක් ගත්තෙත් නැහැ. එකම දේ මගේ කාමරේට ලොක් එකක් දැම්මා. අයියා දාන්න දාන්න ලොක් කඩන නිසා ගෙදර සිටීම මට කොහෙත්ම ආරක්ෂිත වුනේ නැහැ. දවසක් විශ්ව විද්යාලයේ ඉඳල අක්ක ගෙදර ආවහම මේක දැක්කා. එයා අම්මට තදින් කතා කරලා තිබ්බා. මොකද අක්කටත් අයියා නොයෙක් හිංසා කරලා තිබ්බ නිසා. අම්ම පිළිතුරු ලෙස දුන්නේ

“මේ ගැන තාත්තට කීවොත් තාත්තා අයියව එලවයි ගෙදරින්. උඹල කියන්නේ මගේ දරුවා ගෙදරින් එලවන්න කියලද ? “

ඒ වගේම මේ දේවල් ගැන තාත්තාට නොකියන ලෙස අම්මා අපිට තදින් බලපෑම් කළා.

ඉතින් මගේ මුළු ළමා කාලෙම ගෙවුනේ ඔය ප්රශ්නේ මැද. අයියා එක්ක මම එක මොහොතක් වත් ගෙදර හිටියේ නැහැ. ඉස්කෝලේ ඇරිලා කෙලින්ම ගියේ මගේ යාලුවෙක්ගෙ ගෙදරට. ගැටලුව දැනගත් මගේ යාලුවා ඒ ගෙදර මට හෙවන දුන්නා. මම පාසල් ගිහින් ඒ ගෙදර හිටියේ. අම්මා සල්ලි එවුවා. මගේ අධ්යාපනය විය යුතු මට්ටමට සාර්ථක වුනේ නැති වුනත් මම ගොඩක් දිරියෙන් පාඩම් කළා.

මගේ යාලුවා උසස්පෙළ පලවෙනි පාරට කරලා විදේශ ගත වුණා. ඒ කාලේ මම බෝඩිමක නැවතුණා. තාත්තා හදිස්සියේ අප අතහැර ගියා. මට නැවත දෙවන වතාවේ ප්රතිපල එනකම් ගෙදර ඉන්න වුණා. ඒ වෙද්දී ලොකු නිසා මම සෑහෙන්න පරිස්සමෙන් හිටියේ . අයියා නොයෙක් වතාවල මාව කොටු කරගන්න ආවා. මම හැම වෙලාවේම පරිස්සමෙන් හිටපු නිසා බේරුනා. මම විශ්ව විද්යාලයට තෙරුනහම ගෙදරින් එන්න හදද්දී අයියා රණ්ඩු වුණා “ කොහේ හරි ගියොත් කකුල් දෙකම කඩනවා “ කියල . නමුත් අම්ම එක්ක රාත්රියේ හොරෙන් ගෙදරින් පිට වෙලා මම කැම්පස් ආවා.

ඊට පස්සේ මම මගේ ආදර සම්බන්ධය පවත්වපු පුද්ගලයා සමග විවහා වුනා. දරුවෝ ලැබුවා. නමුත් අදටත් ඒ ජීවිතේ වෙලාගත් බය මතක් වෙද්දී මට මහා කම්පනයක් දැනෙනවා. මම අද ඉතා හොඳ වැටුපක් ගන්නා ඉහල රැකියාවක් කරන කෙනෙක්. එදා මම පුංචි ළමයෙක් ලෙස හරියට ක්රියා නොකලා නම් අද වෙද්දී මගේ කතාව ගොඩක් වෙනස් වෙන්න තිබුණා. ඒ වගේම මම ජීවත් නොවෙන්නත් තිබුණා.

අද මම මේවා මතක් වෙන හැම වතාවකම අම්මට බනිනවා. නමුත් කවර නම් ප්රයෝජනයක්ද? අම්මා දැන් ඉන්නේ මා එක්ක. මහ ගෙදර තනියම අයියා ඉන්නවා. එයාගේ පවුල ළමයත් අරගෙන ගෙදර ගිහින්. රස්සාවක් කරන්නේ නැහැ. අම්මා හැම මාසෙම පැන්ෂන් එක අරගෙන අයියට ගිහින් දීල එනවා. මට අදටත් තේරෙන්නේ නැහැ ඒ වගේ උගත් හොඳ රැකියාවක් කරපු කෙනෙක් වෙලත් අම්මා ඇයි මෙහෙම හැසිරුනේ කියල.

වෙබ් අඩවියේ සටහන :

මේ අවාසනාවන්ත කතාව යට සැඟවුන රහසක් ඇති බව පෙනෙනවා. නමුත් ඔබේ කටුක ළමාවිය හැරදා ඔබ යහපත් වර්තමානයකට පිය නැගීම ගැන අපගේ සුබපැතුම් පිරිනමනවා. මේ කතාව පල කළේ ගොඩක් දරුවෝ ගැහැණු සහ පිරිමි දෙගොල්ලම ලිංගික අතවර වලට මුහුණ දෙන්නේ බොහෝ විට පවුලේ සමීපතමයන් අතින්. ඔබ මවක් , පියෙක් නම් ඔබේ දරුවා ගැන හැම විටම කල්පනාවෙන් කාලය ගත කරන්න. වැඩිහිටියෙක් ලෙස ඉතා ගරු කටයුතු ලෙස හැසිරෙන ඇතැම් මිනිසුන් තුල පවා සැඟවුන තිරිසනුන් සිටිනවා.

දරුවෙක් කුඩා කල ලිංගික අතවරයකට ලක් වීම සුළුවෙන් තකන්නට බැහැ. එවැනි දෙයක් දන්නා හඳුනන කොතැනක හෝ සිදු වෙනවා නම් ඔබේ වගකීම තමයි 1929 දුරකථන අංකය හරහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැන්වීම. දරුවන්ගේ ආරක්ෂාව සැලසීම වැඩිහිටි අපගේ වගකීමක්.

මේ කතාවට පාදක වන අම්මා ගැන කියනවා නම් ඇය දරුවෝ දෙන්නටම වරද කළ මවක්. දියණිය ආරක්ෂා නොකිරීම වගේම පුතාගේ ඇති අස්වාභාවික මානසික මට්ටමට ප්රතිකාර නොකිරීම යන කරුණු දෙක නිසා මේ අම්මා වරද කරුවෙක් වෙනවා. ඇය නිසි පියවර ගත්තා නම් පුතා අද ගෙවන ජීවිතෙන් වෙනස් වෙලා රටට වැඩදායක පුරවැසියෙක් කරන්නට තිබුණා.

(මෙවැනි තවත් කතා කියවීමට කැමති නම් පහළ ඇති Tags වචනයට යටින් ඇති Motivational Story මත ක්ලික් කරන්න. එවැනි කතා සියල්ල ඔබට දැකිය හැකිය.)

Share Now

Related Article