ලොවම හඩවා වෙන්වුණු චීන යුවතිය

Jul 16, 2020

“ඩොක්ටර්, මට හුස්ම ගන්න අමාරුයි..”

Continue Reading Below

ඒ කුඩා දැරිය රෝහලට පැමිණ වෛද්යවරයාට කීවේ එසේය. බැලූ බැල්මට ඇයට තිබුණේ පාසැල් යන කුඩා දැරියකගේ පෙනුමය. ඇය බෙහෙවින්ම කෙසගය. උසත් අඩි හතරහමාරකටත් අඩු තරම්ය.

“අපි බලමු.. ඇයි දරුවෝ තනියම ආවේ.? අම්මා හරි තාත්තා හරි එක්ක එන්න එපැයි..”

“අම්මයි තාත්තයි දෙන්නම නෑ ඩොක්ටර්..” දැරිය කීවාය.

වෛද්යවරයා සුසුමක් හෙලා ඇයව පරික්ෂා කරන්නට පෙර ඇගේ නම වයස සටහන් කරගන්නට පටන් ගත්තේය.

“නම.?”

“වූ හුවායෑන්.”

“වයස..?”

“විසි හතරයි..”

වෛද්යවරයාගේ දෑස් විස්මයෙන් විසල් විය. අවුරුදු විසි හතරක තරුණියක්..? ඔව්. වූ හුවායෑන් වයස විසි හතරක විශ්ව විද්යාල ශිෂ්යාවකි. ඇය ඉගෙනුම ලබමින් උන්නේ Guizhou Forerunner College හි තුන්වන වසරේය.

වෛද්යවරයා මේ අසාමාන්ය කුඩා පෙනුමක් ඇති විශ්ව විද්යාල ශිෂ්යාව පරික්ෂා කළේය. ඇගේ හුස්ම ගැනීමේ අපහසුතාවය දැඩිය. ඉතින් ඇයට රෝහල් ගත වෙන්නට සිදු විය. රෝහලේදී ඇයව වැඩි දුරටත් පරික්ෂාවට ලක් කෙරිණ. ඇගේ හදවතේ හා වකුගඩු වල ක්රියාකාරිත්වය අඩපණ වී ඇති බව වෛද්යවරුන් විසින් සොයා ගන්නා ලදී. එයට හේතුව වී තිබුණේ මන්දපෝෂණයයි. වසර ගණනාවක් තිස්සේ ඇගේ සිරුරට පෝෂණීය යමක් වැටී නැති බව වෛද්යවරුන්ට වැටහිණ. වයස අවුරුදු විසි හතරක් වුවද වූ හුවායෑන්ගේ බර වූයේ කිලෝ විස්සකි. ඇගේ උස අඩි හතරයි අගල් පහකි. ඇගේ වැඩීම එතරම්ම බාල වී තිබිණ.

ලෝකයේම ඇස් චීනය දෙසට හරවන්නට සමත් වූ වූගේ කදුළු කතාව වෛද්යවරුන්ට අසන්නට ලැබුණේ ඉන් පසුවය.

වූ හුවායෑන් උපන්නේ චීනයේ ගුයිසෝවු පලාතේය. ගුයිසෝවු චීනයේ දුෂ්කරම හා දුප්පත්ම පලාතක් වීය. ඉතින් වූ ගේ ජීවිතයටත් දුප්පත්කම ආගන්තුක නොවීය. දුප්පත්කම නොඅඩුවම ලැබී තිබුණු වූගේ පවුලට, මදිපාඩුවට ලෙඩ රෝගත් දායාද වී තිබිණ.

ඒ නිසාම වූ ට අවුරුදු හතරක් වෙද්දීම ඇගේ අම්මා මිය ගියාය.

වූත් ඇගේ මල්ලීත් තාත්තාත් තවත් ටික කාලයක්, දුප්පත් කම සමග පොරබදමින්, ලෙඩ දුක් වලින් වධ විදිමින් ජීවත් වූහ. ඉන්පසුව පැමිණියේ තාත්තාගේ වාරයයි. තාත්තාද රෝගී වූයේය. එහෙත් තාත්තාව රෝහලකට ගෙන යන්නට තරම්වත් වූටත් මල්ලීටත් වත්කමක් තිබුණේ නැත. වූගේ ඇස් ඉදිරිපිට රෝගයෙන් දුක් විදි තාත්තාත් මෙලොව හැර ගියේය.

වූටත් මල්ලීටත් එතැන් සිට ජීවිතයට තනිව මුහුණ දෙන්නට සිදුවිය. යන්තම්වත් ඔවුන් ගැන බලන්නට ඉතිරිව උන්නේ අත්තම්මා පමණකි. එහෙත් අත්තම්මාද දුප්පත්ය. අත්තම්මාගෙන් ලැබුණු දුබල අත්වැලෙන් අසීරුවෙන් වූත් මල්ලීත් ළමා විය ගෙවා ගත්හ. තවත් ටික කලකදී අත්තම්මාද ලෙඩ වෙන්නට පටන් ගත්තාය. එයින් පසු අත්තම්මාට අත් වුණේද තාත්තාගේ ඉරණමමය.

දැන් වූ ට ඉතිරි ඇගේ මල්ලී පමණකි. මල්ලීද දැනටමත් රෝගියෙකි. කුඩා කල පටන් තිබුණු ඔහුගේ මානසික රෝගයකට ඒ වන විටත් ප්රතිකාර ගනිමින් තිබිණ.

එයින් පසුව මේ අනාථ දරුවන් දෙදෙනාට නෑයෙකුට කියන්නට උන්නේ දුරින් නැන්දා වන කෙනෙක් පමණකි. නැන්දාද දුප්පත්ය. එහෙත් ඒ නැන්දාත් මාමාත් මේ දුප්පත් දරුවන් දෙදෙනාට හැකි පමණට පිහිට වෙන්නට සිතූහ. මාසයකට යුවාන් තුන්සීයක් බැගින් ඔවුහු මේ දරුවන් දෙදෙනාට එවූහ. ඊට වැඩි යමක් එවන්නට තරම් වත්කමක් ඔවුන්ටද තිබුණේ නැත.

එහෙත් කිසිවක්ම නැති අනාථ දරු දෙදෙනාට යුවාන් තුන්සීයද මහමෙරක් විය.

යුවාන් තුන්සීය පිරිමසාගෙන මල්ලීවත් බලාගෙන ඉගෙන ගන්නට වූ මහන්සි ගත්තාය. කෙසේ හෝ ඉගෙන ගත්තා නම් රස්සාවක් හොයා ගන්නට පුළුවන. ඒ නිසා ඉගෙන ගන්නා එක නවත්තන්නට බැරිය. තාත්තාත් අත්තම්මාත් නැති විය. ඇයට දැන් ඉන්නේ මල්ලී විතරකි. මල්ලී නැති කරගන්නට නොහැකිය. ඒ නිසා මල්ලීගේ බේත් හේත් නවත්තන්නටත් නොහැකිය. ඒ නිසාම වූ අර යුවාන් තුන්සීයෙන් වැඩි කොටස බෙදා වෙන් කළේ මල්ලීගේ වියදමටත්, ඇගේ ඉගෙනීමටත්ය. අඩු කරන්නට තිබුණේ ඇගේ වියදමට යන කොටස පමණකි. එහි තවත් අඩු කරන්නට දෙයක් නැත. ඇය ඈ වෙනුවෙන් කියා විශේෂ වියදමක් කරන්නේ නැත. වියදම් කරනවා නම් යන්තමට බඩට මොනවා හෝ දමා ගන්නට පමණකි. ඉතින් ඇයට අඩු කරන්නට ඉතිරිව තිබුණේ ඇයගේ කෑම වියදම පමණකි.

“මං ඒක කරනවා මල්ලී.. තාත්තටයි අත්තම්මටයි වගේ බෙහෙත් නැතිව මැරෙන්න මං ඔයාට ඉඩ තියන්නේ නෑ…” වූ පුංචි මල්ලීට පොරොන්දු වූවාය.

ඉතින් වියදම අඩු කළ විට ඇගේ කෑම වෙනුවෙන් ඉතිරි වූයේ දවසකට යුවාන් දෙකක් පමණකි. ලංකාවේ මුදලින් නම් රුපියල් පනහක් පමණය. ඉතින් ඒ මුදලින් මොනවා කන්නද.?

වූට උදෑසන කෑම වේල අහිමි විය. හිස් වූ කුසින් යුතුව පාසැල් යන වූ පාසැල ඇරී ගෙදර එන්නේ හාමත්වය. අත ඇති මුදලින් ඇයට ගන්නට හැකි වෙන්නේ හාල් ස්වල්පයක් පමණකි. කුසින් අඩකට සෑහෙන්නට බත් ටිකක් තම්බා ගන්නා ඇයට එය කන්නට තවත් දෙයක් උයා ගන්නට මුදල් නැත. ඒ නිසා බත් ටික කන්නේ මිරිස් කුඩු ටිකක් ඉසගෙනය. ඉදහිට දවසක නොවේ. වූගේ ජීවිතයෙන් අවුරුදු ගණනාවක්ම ගෙවී ගියේ එලෙසය.

පෝෂණයක් නැති කමින් ඇගේ ශරීරයේ වැඩීම ඇණ හිටියේය. ඇය උස ගියේ නැත. සිරුර දර ඉපලක් තරමට කෘෂ විය. ඇහිබැමද, හිසකේ වලින් වැඩි හරියක්ද හැලී ගියේය.

එහෙත් වූ මල්ලීගේ බෙහෙත් ටික වැරැද්දුවේ නැත.

හරිහැටි කෑමක් බීමක් නොමැති වීම හේතුවෙන්ම වූ ද අසනීප වෙන්නට පටන් ගත්තාය. බෙහෙත් ගන්නට මුදල් නැතිකම නිසාම ඇය තමන්ගේ සිරුරට දැනෙන අපහසුතාවයන් නොතකා හැරියාය. අන්තිමේදී ඇය රෝහලට යන්නේ ඇවිදින්නට බැරි තරම් දෙපා ඉදිමී, හුස්ම ගන්නටත් අපහසු වූ පසුවය.

දිගු කාලයක් තිස්සේ ඇගේ හදවතේ ක්රියාකාරිත්වයට හානි සිදුවෙමින් තිබී ඇති බවත්, හදවතේ එක් නාලයක් සෑහෙන පමණකට විනාශ වී ඇති බවත් වෛද්යවරුන් විසින් සොයා ගනු ලැබිණ. ඒ සදහා කරන්නට සිදු වෙන හදවත් සැත්කමට යුවාන් 200,000 ක මුදලක් හෙවත් ඩොලර් 29,000 ක මුදලක් අවශ්ය බව තක්සේරු කෙරිණ.

වූ ගේ මේ හද කම්පා කරවන කතාව ප්රාදේශීය පුවත්පතක පල වෙන්නේත්, එයින් පසුව සියලු පුවත්පත්, විද්යුත් මාධ්ය හා සමාජ මාධ්ය වල ලැව් ගින්නක් මෙන් පැතිරී යන්නේත් ඉන් පසුවය. ඒ වන විට වූ ව රෝහල් ගත කොට හමාරය.

ඒ සමගම වූ වෙනුවෙන් දස දෙසින් ආධාර ගලා එන්නට විය. ඒ ආධාර එකතු කරන්නට වූයේ China Charities Aid Foundation for Children (CCAFC) නම් වූ රාජ්ය සංවිධානයක Charity 9958 නමැති ව්යාපෘතිය යටතේය. ඒ ව්යාපෘතියේ කොටස් දෙකකි. එකක් වූගේ හදවත් සැත්කමට උවමනා මුදල එකතු කිරීමය. අනෙක ඇයට මාසික දීමනාවක් සදහා වූ ආධාර සපයා ගැනීමය.

ඉතින් එයින් පසුව, වූ සුවපත් වූ බවත්, ඇයත් මල්ලීත් සතුටින් සැපෙන් ජීවත් වූ බවත් ලියා මේ කතාව හමාර කරන්නට හැකි නම් මා වාසනාවන්තය.

එහෙත් එය එසේ සිදු වූයේ නැත.

හදවත් සැත්කම කරන්නට උවමනා කරන ශරීර බර වූට ලැබුණේ නැත. මාස ගණනාවක් රෝහලේ ගත කළ වූ ගේ බර වැඩිවී තිබුණේ කිලෝ දහයකින් පමණකි. වූ වෙනුවෙන් ලෝකයේ කාරුණික හදවත් ඇත්තවුන් පරිත්යාග කළ මුදල් ඇයට ලැබුණේද නැත.

වූ හුවායෑන්, චීනය නම් ලෝක දැවැන්තයාගේ මුහුණ මත විසල් කළු පැල්ලමක් ඉතිරි කරමින් 2020 ජනවාරි 13 වන දින රෝහලේදීම මිය ගියාය.

ඇය වෙනුවෙන් එකතු කළ ආධාර වලට සිදුවූයේ කුමක්දැයි දැන් පරික්ෂණ කෙරෙන්නට පටන් ගෙන ඇත. ඒ ගැන යුක්තිය ඉටුවේද නොවේදැයි නොදනිමු. එහෙත් යුක්තියක්වත් පිහිටක්වත් උවමනා මලගිය වුන්ට නොවේ. ජීවත් වන්නන්ටය. වූ ජීවත්ව සිටියදී ඇයට ඒ් පිහිට ලැබුුණා නම් කොතරම් අගේද.?

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article