“අවලස්සන තාරා පැටියා”ගේ අලුත් කතාව

Jun 3, 2020

එක පන්තියේ එකට ඉගෙන ගත් අනෙක් ළමුන් ඇයට “අලි කෙල්ල” කියා නමක් පටබැද තිබිණ.

“තාර බැරල් එක”, “පිටි මුට්ටෙ”, “බතලි” කියා ඇයට උසුළු විසුළු කළ ළමුන්ද පාසලේ හිග නොවීය. කොහොමත් ඇය පන්තියේ උන් “කැතම”, “කලුම”, “මහතම” දැරිය වූවාය. ඒ නිසාම ජොආනා නිතරම පාසලේ අනෙක් ළමුන්ගේ උසුළු විසුළු වලටත්, හිරිහැර වලටත් ලක් වූවාය.

Continue Reading Below

ජොආනා ජෝසප් පවුලේ එකම දරුවාය. නීරෝගීව ඉපදුණු මුත් කුඩා කාලයේ පටන්ම ඇයගේ මොකක් හෝ අසාමාන්යතාවයක්ද තිබිණ. ආදරණීය පවුලක එකම දරුවා වූ ඇයට කුඩා කාලයේ පටන්ම පෝෂ්යදායී ආහාරපාන ඕනෑවටත් වඩා ලැබිණ. ඇයත් තමාට ලබා දෙන ආහාර වලින් කිසිවක්ම ප්රතික්ෂේප නොකර කන්නට හුරු වූවාය. ඒ හුරුව කොතරම් දුරදිග ගියාද යත්, වයස අවුරුදු පහක් වන විටත්, ඇයට එක වේලකට බත් පිගන් පහක් හිස් කරන්නට පුලුවන්කම තිබිණ. ඒ අසාමාන්ය කෑමේ ප්රතිඵලය වූයේ වයස අවුරුදු හත වන විටම ඇයගේ බර කිලෝ හැටක් ඉක්මවා තිබීමයි. ඒ වන විට ඇගේ පාසැලේ ප්රාථමික පන්ති වල උන් මහතම දැරිය ඇය වූවාය.

ජොආනාට ළමුන් උපහාසයෙන් විහිළු කරන්නට වූයේත්, හිරිහැර කරන්නට වූයේත් ඒ පුංචිම පන්ති වලදී පටන්මය. අනෙක් ළමුන් ඇයට “බතලි” කියමින් සිනාසෙන නිසා ඇය පුංචි කාලයේ පටන්ම අනෙක් අයගෙන් ඈත්ව තනිව සිටින්නට පුරුදු වූවාය. නිරන්තරවම උසුළු විසුළු වලට ලක් වන විට ඇය කළේ පසෙකට වී හැඩීමය.

ඇය වයසින් වැඩෙත්ම තත්වය එන්න එන්නටම නරක අතට හැරෙන්නට විය. වයස අවුරුදු දහතුනක් වන විට ජොආනාගේ බර කිලෝ 103 ක් වී තිබිණ. සැබවින්ම ඒ වයසේ දරුවෙකුට එය අසාමාන්ය මහතකි. අධික මහත නිසාම ඇය පැහැයෙන්ද කළු වූවාය.

“තාර බැරල් එක”, “අලි කෙල්ල” කියමින් ජොආනාට විහිළු කළ සම වයසේ ළමයි ඇයව පන්තියේදී කොන් කර තැබූහ. පාසලේ ළමුන් පමණක් නොව, ඇතැම් විටෙකදී ගුරුවරුන්ද, ඇගේම ඥාතීන්ද, අසල්වැසියන්ද, මේ කැත මහත කෙල්ලට සිත රිදෙන දේ කියූහ. ජොආනා කළේ ඒ සියල්ලන්ගෙන්ම හැකිතාක් ඈත් වී ඉන්නට උත්සාහ කිරීමය. බෙහෙවින් හුදෙකලා වූ ජොආනා තමන්ට සිදුවෙන හිරිහැර දරාගන්නට බැරිව මානසික ආතතියට ලක්ව උන්නාය. ජොආනා තම දුක කීවේ තමන්ගේ දිනපොතට පමණකි.

ඇගේ ජීවිතය බිද වැටෙමිින් පැවතිණ. පාසැල් යාම ඇයට මහත් වධයක් සේ දැනෙන්නට විය. ඉගෙන ගන්නට තිබුණු උනන්දුවද ටිකෙන් ටික අඩු වී ගියේය. ජොආනා තමන්ගේ කාමරයට කොටුවෙමින් දින පොත ලියන්නටත්, ඉදහිටක සංගීතය හා තනිවෙන්නටත් පටන් ගත්තාය.

තවත් දෑවුරුද්දක් එලෙසින් ගෙවී ගියේය.

මෙලෙසින් පාසැලේදී අනෙක් දරුවන්ගේ අපහාස උපහාස වලට ලක් වන බොහෝ දරුවන්ගේ ජීවිත අවුුල් වෙයි. ඇතැමුන් කරන්නේ සියදිවි නසාගැනීමය. තමන්ට සිිදුුවන හිරිහැර දරාගන්නට බැරිම තැන බොහෝ දරුවෝ තමන්ට තේරෙන හැටියට ජීවිතය ගැන තීරණ ගනිති.

ජොආනාද වයස අවුරුදු පහලොවේදී එවන් තීරණයක් ගත්තාය. එහෙත් ජොආනා ගත් තීරණය වෙනස් එකකි.

“මං හැමදාමත් මහත, කළු, කැත කෙල්ලක් වෙලා ඉන්නෙ නෑ. මං වෙනස් වෙනවා.. මට හැමදාමත් මේ අපහාස ඉවසන්න බෑ..” ඇය දැඩිව අධිෂ්ඨාන කරගත්තාය.

මුලින්ම ඇය කළේ තමා ගන්නා ආහාර වර්ග වල ලැයිස්තුවක් හදා ගැනීමය. අනතුරුව ඒ ලැයිස්තුව උවමනාවෙන් පරික්ෂා කළ ඇය, එහි වූ සමහර ආහාර ද්රව්ය කපා හැරියාය. ඒවා අතර ඇය කැමතිම කෑම වර්ගද විය. එහෙත් ඒ ගැන දෙවරක් නොසිතන්නට ඇය අධිෂ්ඨාන කරගෙන උන්නාය. එලෙසින් කපා දැමූ කෑම වර්ග වෙනුවට ඇය ඒ තැන් වලට එළවලු හා පළතුරු ආදේශ කරගත්තාය.

දැන් ඉතින් දෙවැනි අදියරය. ඇය පාන්දරම අවදි වී දිනකට පැය දෙකක් ව්යායාම කරන්නට පටන් ගත්තාය. ඇයගේ හැන්දෑ වරුව ගෙවුණේ ඇගේ නිවස අසල ඇති පිට්ටනියේ දුවන්නටය.

ඇගේ වෑයම සාර්ථක වෙමින් පැවතිණ. ඇයගේ බර රාත්තල් 116 ක් හෙවත් කිලෝ 56 කට අඩුවී තිබිණ. එහෙත් ඇයට කෙරුණු අපහාසත් හිරිහැරත් නම් නැවතුණේම නැත. ඒවාට අලුත් මුහුණුවරක් ලැබී තිබිණ.

“කැත කෙල්ල දැන් කුඩු ගහන්න පටන් අරන් වගේ.. ඒක තමයි ඔච්චර කෙට්ටු වෙන්නේ..” කලින් ඇයට තාර බැරල් එක කී අයම කියන්නට වූහ. “ජොආනා මත්ද්රව්ය වලට ඇබ්බැහි වෙලා..” බොහෝ අය කියන්නට වූහ.

ඒ වන විට ජොආනා උන්නේ අනෙක් අයගේ අදහස් ගැන තව දුරටත් කරදර වෙන මනසකින් නොවේ. ඇයට ඇගේම අරමුණක් තිබිණ. ඇය ඒ අරමුණ කරා යන ගමනේ බොහෝ දුරක් ගෙවා ඇවිදින්ද තිබිණ. “අවලස්සන තාරා පැටියා” ව උන් ඇය දැන් සුන්දර හංසයෙකු බවට පත් වෙමින් උන්නාය.

එහි අවසන් ප්රතිඵලය වූයේ 2016 වසරේදී ඇය සේලන්ගර් හි රූ රැජින ලෙස කිරුළු පලදන්නට ලැබීමය. 2018 වසරේදී ඇය Miss India Worldwide කිරුළද දිනාගත්තාය.

ඉන්පසුව ඇය තමන්ගේ ජයග්රහණයේ කතාව ෆේස්බුක් සමාජ මාධ්ය අඩවියේ සටහන් කළාය. ඒ කතාවට මුලු ලෝකයෙන්ම නොසිතූ තරම් අවධානයක් ලැබිණ.

“මහත කළු කෙල්ල” ව උන් අවදියේ ඇය යන යන තැන අය ඇයව වටකොට ගත්තේ ඇගේ පෙනුමට අපහාස කරමින් උසුළු විසුළු කරන්නටය. එහෙත් දැන් මිනිසුන් ඇයව පිරිවරාගන්නේ ඇයගෙන් සමරු අත්සන ලබා ගන්නටය. ඇය තමන්ගේ අරමුණ උපරිමයෙන් දිනාගෙන හමාරය.

රූ රැජිනක ලෙසින් ඇය දැන් කරන්නේ පාසලේදී හෝ සමාජයේදී, හිංසනයට හා උසුළු විසුලු වලට ලක් වෙමින් ජීවිතය විදවන දරුවන්ට එයින් හිස ඔසවා නැගී සිටින්නට ධෛර්යය දීමය.

“මට ධෛර්යය ලැබුණේ මට වෛර කළ මිනිසුන්ගෙන්. මමත් මගේ පෙනුමට, මගේ පුරුදු වලට, කොටින්ම කිව්වොත් මම මටම වෛර කරගත්ත කාලයක් තිබුණා. ඒත් ඒ වෛර කිරීමෙන් කිසිම දෙයක් වෙනස් වුණේ නෑ. මම මටම ආදරය කරන්න පටන් ගත්තාට පස්සේ හැම දේම වෙනස් වුණා. මම මං වෙනුවෙන් හැම දෙයක්ම වෙනස් කරගත්තා. ඔබටත් පුලුවන්.. ලෝකයම ඔබට වෛර කළත්, ඔබ ඔබට ආදරය කරන්න. ජීවිතය වෙනස් වේවි..” ඇය කියන්නීය.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article