“ජීවිතේ මේ වගෙයි.” – Part 60

May 2, 2018

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්.
ඇගේ ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ පවුලේ කතාව තමයි
“ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

Continue Reading Below

“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 60 කොටස

සති දෙකකට බඩු මුට්ටු එකතු කිරීමට සමුදී යුහුසුළු වුනා. කොයිතරම් නම් දේවල් ගැහැණියක් පාවිච්චි කරනවද කියා ඇය උපහාසයෙන් ඇගෙන්ම ඇහුවා. ජීවිතේ මීට වඩා සරල නම් කොතරම් අපූරුද ? අවසානයේ ඇය විශාල බෑග් දෙකක බඩු අසුරලා ඇගේ ලිපි ලේඛන අඩංගු ෆයිල් එක අත් බෑග් එකට දැම්මා. පහළින් බෙල් එකක සද්දයක් ඇහෙනවා. වෙලාව හවස 7 ට විතර ඇති.

“ සුමනා …මේ කුණුගොඩ පස්සේ අයින් කරන්න. දැන් ගිහින් කවුද බලන්න” කියා ඇය බැංකුවෙන් ගෙනා ඩොලර් මුදල් ටික ඉල්ලගන්න යෝශිගේ කාමෙරේට ගියා. සමුදිට දුරකථනය බලන්න ගොඩ වෙලාවකින් බැරි වුනා. මේ වෙලේ තාරික කෝපයෙන් පිපිරෙමින් 5 වතාවක් පමණ කතා කළා. සමුදී ෆෝන් එක ගත්තේ නැති නිසා ඔහුගේ කෝපය තව වැඩි වුනා. ඔහු හිතුවේ තමාට මුහුණ දෙන්න බයට සමුදී ෆෝන් එක නොගෙන ඉන්නවා කියලයි. ඒ නිසා පිස්සෙක් වගේ පුපුරමින් ඔහු සමුදිගේ ගෙදරට පිට වුනා.

ඒ වෙලේ දොර ඇරපු සුමනා පුදුමෙන් වගේ ඔහු දිහා බලද්දී ඒ බැල්මත් නොතකා ඔහු දුවගෙන උඩු මහලට ගියා. පෙර ඔවුනගේ නිදන කාමරය වුන ඒ කාමරේට පුරුද්දට කෙලින්ම ගියා. එහි සමුදී නැති තැන ඔහු ආපසු හැරෙද්දී අඩි සද්දේ අහපු සමුදී ඒ වෙතට ආවා. ඇගේ පිටුපසින් දුවගෙන ආව යෝශිතා තාරික දැකල දොර ළඟ නැවතුනා.

“ තමුසේ ළමයි දෙන්න දාල මොකා පස්සෙද යන්නේ ? “ ඔහු ඇහුවේ දත් කූරු සපමින්.

මේ මොන විගඩමක් ද කියා කල්පනා කරන අතරේ සමුදී විනාඩි කීපයකට නිහඩ වුනේ වික්ෂිප්ත භාවය නිසයි. ඇය කොහෙත්ම මේ වගේ විකාර ගමනක් අපේක්ෂා කලේ නැහැ.

“ කතා කරන්න දෙයක් ඇත්නම් හෙමින් කතා කරමු. පහලට ගිහින්. “ කියා ඇය කීවේ සෙමෙන්.

ටීනා ඉදිරියේ නිවටයෙක් වගේ බැනුම් ඇහුවත් ඔහු සමුදිට බනින්න කවදාවත් මැලි වුනේ නැහැ. ඉස්සර තබා දැන්වත්. සමුදිට කට ගහන්න හැකියාවක් නොමැති බව ඔහු දන්නවා. ඒ නිසා නිදහසේ ඔහුගේ පීඩනය සමුදී පිටින් යැවීමට තාරික හුරු වෙලා හිටියා.

“ මොනවටද පහළට යන්නේ ? මට කියන්න ඕනේ දේ මම කියනවා. මොකද බොරු නෙවේනේ. තමුසේ මහා වල් ගෑනියෙක්. තමුසේ ළමයි දෙන්නව සති දෙකකට තනියම දාල මොකා එක්කද ….. යන්න හදන්නේ ? “

සමුදී නිහඩව අහගෙන ඉද්දි ඔහුගේ එඩි බලය තවත් වැඩි වුනා.

“උඹ දැන ගනින් සමුදී මම ළමයි දෙන්නව ගන්නවා. උඹ ළමයි හරියට බලන්නේ නැහැ කියල උසාවි යනවා. ඔය ගමන ගියොත් වෙන දේ බලා ගනින්….මම නරකයි කියන්න එපා.”

ඔහු ඇඟිල්ල දිගු කරමින් තර්ජනය කළා. එළියේ ඉන්න යෝශිතාට ඇතිවුනේ තරහක් වගේම සමුදී ගැන කලකිරීමක්. ඇගේ දත් සැපුනා. නමුත් මේ දෙන්න කතා කරන තැනට පනින්න බැහැනේ.

“ළමයිව හරියට බලාගන්න බැරි නම් මොකටද ගත්තේ ? “ ඔහු ඇහුවේ සමුදිගෙන් වචනයක් ගැනීමට.

“ මගේ ටීනා උඹ වගේ ගෑනියෙක් නෙවේ. එයා කවදාවත් දරුවයි මාවයි දාල කොහෙවත් යන්නේ නැහැ. එයා කියන කතා හරි. උඹ ඕකා පස්සේ ගිහින් තමා මට යන්න සැලැස්සුවේ. බැල්ලි. උඹ යන එක නැවැත්තුවේ නැත්තන් එද්දී ළමයි දෙන්න මම ගන්නවා. “ ඔහු ආවේගෙන් කියාගෙන ගියා.

අන්දුන් කුන්දුන් වුන සමුදී ජනේලය දෙසට හැරී සිටි නිසා අගේ මුහුණ තාරිකට පෙනුනේ නැහැ. ඇය හෙමින් ශාන්තව අනික් පැත්ත හැරුණා. ඇස් දෙකින් ගිනි වගේ තරහා පිට වුනත් පිටින් පෙනුනේ සමුදී ඉතාම කලබල නැති ශාන්ත විලාසෙකින් ඉන්නවා වගේ. මේ සන්සුන් ගණන් නොගන්නා පිළිවෙල තාරිකගේ කෝපය දෙගුණ කළා. ඔහු බලාපොරොත්තු වුනේ ඇය දනින් වැටිලා දරුවෝ දෙන්න ගන්න එපා. මම දැන්ම නවතිනවා කියා කියාවි කියලයි.

“ කියන්න තියෙන්නේ ඔච්ච්රද ? තව තියනවද ? “ සමුදී ඇහුවේ කට කොනකින් හිනා වෙමින්. මෙවර තාරික කල්පනා කලේ මොකද්ද ඇගේ ප්‍රතිචාරය කියලයි.

“ යෝෂි මල්ලිලා දෙන්නට එන්න කියන්න. ඇය හයියෙන් කීවා.”

දරුවෝ දෙන්න තාත්ති මේ වෙලේ දැකල පුදුම වුණා. කෝපයෙන් දැවෙමින් තාරික සිටියත් ඔවුන් තාත්තිට හායි 5 එකක් දැම්මා. ඒ ඔවුන් කුඩා කල සිටම තාත්තිට ආචාර කරපු පිළිවෙලයි.

ඔවුන් දෙස බලපු සමුදී සන්සුන්ව …

“මගේ පුතාල දැන් බඩු ටිකක් ලැහැසති කර ගන්න. තාත්ති ඇවිත් තියෙන්නේ ඔය දෙන්නව ගෙනයන්න. අම්මි කුසුමා ඇන්ටිට එන්න එපා කියල කෝල් එකක් දෙන්නම්. අම්මි ඇවිත් අනික් ඇඳුම් ඔක්කොම පැක් කරලා එවන්නම්. හෙට සිට පුතාල තාත්ති එක්ක ඉන්න. හැමදාම “ කියා ආදරෙන් කීවා. ඔවුන් දෙන්නා අකමැත්තෙන් වුනත් ඇඳුම් සූදානම් කරන්න කාමරේට ගියා.

තාරික පැත්ත හැරුන සමුදී ..” දැන් හරිනේ…යන ගමන් පොලිසියේ පැමිණිල්ලක් දාගන යමු. අද ඉඳල කස්ටඩි එක ඔයාට දෙනවා කියා මම ලියන්නම්. “ ඇය කියද්දී තාරිකට මෙය විහිළුවක් නොවෙන බව වැටහුණා.

ඔහු වැටුනේ විශාල උගුලක බව තේරෙද්දී පරක්කුයි. ළමයි දෙන්න ගෙනාවොත් ටීනා මිනී මරා ගන්නා බව ඔහු දන්නවා. දැන් මොකද කරන්නේ. ඔහුගේ කකුල් දෙක ගැහෙන්න ගත්තා. දරුවෝ දෙන්නට කන්න බොන්න, ඔවුන්ගේ ජීවිතේ ඉගෙනීම, පිළිවෙල සියල්ල නැති වෙනවා නේද කියා ඔහුගේ ඔලුවේ වේගයෙන් භ්‍රමණය වෙන්න පටන් ගත්තා.

“ දැන් ගේට්ටුවෙන් එලියට ගිහින් වාහනේට වෙලා ඉන්න. මට වැඩ” කියා ඉතාම මහේශාක්‍ය ලීලාවෙන් කීව ඇය යලිත් හැරිලා අමතක වුන දෙයක් කීවා.

“ මේ ගෙදර මගේ බඩු ඔක්කොම අයින් කර ගත්තට පස්සේ ඔයාලට ඇවිත් පදිංචි වෙන්න පුළුවන්. ටීනා හැමදාම පලි ගහන්නේ මේ ගේ ගැන කියලනේ. “ කියා සැහැල්ලුවෙන් කීවා.

“ සමුදී ..ඔයාට තේරෙනවනේ ..මට… මට..මේ දෙන්න දැන් ගෙනියන්න බැහැ. “ ඔහු ගොත ගසමින් ඇය වෙත ලං වුනා.

“ නැහැ ..නැහැ දැන් ඔයා කීවනේ මම එන්න කලින් ගෙනියනවා කියල. ගෙනියන්න.” ඇය සාන්තව කීවා.

තාරික හිතුවේ දරුවෝ දෙන්න ගන්නවා කීවහම සමුදිව බ්ලැක් මේල් කරන්න හැකි තුරුම්පුවක් වේවි කියා. නමුත් දක්ෂ ව්‍යාපාරිකාවක් වුන ඇය එයට ප්‍රතිචාර දැක්කුවේ ඔහුව එක පාරින් දන බිම වැටෙන විදිහට.

කරන්න දෙයක් නැති තැන “ මම යනවා සමුදී ..මට ඒක මේ වෙලේ කරන්න බැහැ කියා ඔහු පිට වෙන්න හැදුවා “

මග අහුරගෙන ඔහු ඉදිරියෙන් සිටගත් ඇය ඔහුට වාඩි වෙන්න කියා බොහොම තදින් කීවා.

“ තාරික මම අද වෙනකන් ඔයා එක්කවත් ටීනා එක්කවත් රන්ඩු වෙලා නැත්තේ බයකට කියල හිතන්න එපා. ඒ මගේ ක්ලාස් එක. තර්ඩ් ක්ලාස් මිනිස්සු එක්ක රන්ඩු වෙද්දී අපිත් ඒ තත්වෙට වැටෙනවා. හැබයි මේක හොඳට අහගන්නවා දැන්. “ කියා ඔහුගේ ඇඟේ ලේ උණු වෙන්න රවා අසල පුටුවකින් වාඩි වුනා.

“ මම ඔහේව බැන්ද දවසේ ඉඳල ජීවිතේ මිනිහෙක්ට කියල කරන්න පුළුවන් හැම කැප වීමක්ම මගේ උපරිමෙන් උනා. තමුන් මාව දාල යද්දී, ඩිවෝස් එක නොදී අදින්න තිබ්බත් මම ඒකත් දුන්නා දරුවෙක් ලැබෙන්න කියා හිතල. තමුන්ගේ ගෑනි.. අර තමුන් ඉස්සෙල්ල කියපු රත්තරන් භාර්යාව නිකරුනේ පොලිසි ගෙනියද්දි දෙන්නම අපහාස නඩු දාල උසාවි ගෙනිච්චේ නැහැ. දරුවෝ දෙන්නව මම ඉල්ලලා ගත්තේ නැහැ තාරික. ඔහේ දරුවෝ ඉල්ලුවෙත් නැහැ. උන් දෙන්නව දාල ගියා. ඒත් මම තමුන්ට කරදර කරේ නැහැ. දරුවන්ගේ වගකීම් ඔක්කොම තනියම කරා.. අන්තිමට ඔහේගේ ගෑනි මගේ කසාදෙ තියෙද්දී ඔහෙත් එක්ක වදපු ලමයව මගේ ගෙදර ගෙන්න ගත්තා”

වෙහෙසට ඇය මොහොතක් නැවතිලා සුසුම් හෙලුවා.

“මගේ ජීවිතේ විනාස වුන බව තොපි එකෙක්ටවත් තේරුම් ගන්න බැරි වුනා. ඒ දරුවෝ දෙන්නා උඹ වගේ මිනිහෙක් එක්ක වදපු එක ගැන මට මම ගැන පිළිකුල්. ඒත් මම ඒ දරුවෝ දෙන්නා උඹල කාටවත් කතාවක් නොකියන්න ලොකු කරා. තව අවුරුදු දෙකකින් කස්ටඩි නැහැ. ඒ දෙන්න වැඩිහිටියෝ. මම එයාලව හැදුවේ මම හෙට මලත් අසරණ නොවෙන විදිහට. ඔහේගේ අම්ම ඔහේව හැදුව ආත්මාර්ථකාමී ජරා තාලෙට මම දරුවෝ හැදුවේ නැහැ. එයාලට ඔහේගේ ඔය ටීනා උදේ හවස සාප කරන සල්ලි ඕනේ නැහැ. ඒ දෙන්නට මම හම්බ කළා.”

“මම දන්නවනේ හම්බ කළ හැටි “ තාරික කීවේ ඒ ඇනුම් පදෙන් ඇගේ හිත රිදවන්න.

එයින් සමුදිගේ කෝපය තව වැඩි වුණා.

“මම ඔය උඹේ ටීනා කරන විදිහට බල්ලෙක් වගේ මිනිහා පස්සේ ඉව කර කරා ඉන්නේ නැහැ තමා. හැබැයි මගේ දරුවෝ දන්නවා මම කවුද කියල. මට තොපි දෙන්නගේ චරිත සහතික වලින් වැඩක් නැහැ. වැලි කැටේ, කැටේ ගානේ මම එකතු කලේ කොහොමද කියා මගේ හර්ද සාක්ෂිය දන්නවා. මම ගොඩනැගෙද්දී උඹට ඉරිසියාව දරා ගන්න බැරි වුණා. ඒකනේ මට හදන්න පුළුවන් හැම ජරා කතාවක්ම හැදුවේ. “ ඇය කඳුළු වැටෙන්න ආසන්න වෙලා හිටියේ

“මම දරුවෝ උඹේ වැරදි කියල උඹත් එක්ක තරහා කරේ නැහැ. කවදාවත්. හැබැයි උඹ ටීනා එක්ක එකතු වෙලා ඒකත් කළා. තාරික මිනිහෙක්ව බිත්තියට හේත්තු කරන්න එපා. මම දැන් ඉස්සර හිටපු සමුදී නෙවෙයි. මගේ පාඩුවේ මම ඉන්නේ. ඒ එක්කම නිකන් රඟපාන්න ආවොත් නතර වෙන තැන මොකද්ද කියා මමත් දන්නේ නැහැ. “

“ ඇයි තමුසේ මට මොනා කරන්නද “ ඔහු ඇහුවේ ඇයට ඉඩ දීම මදිකමක් නිසයි.

මේ වෙලේම ටීනා කතා කළා. තාරික මොකද පරක්කු බලන්න. ඔහු බයෙන් වහාම දුරකථනය ඉස්සුවා. “මොනාද කරන්නේ ? කොහෙද ඉන්නේ ? අරකි එක්ක මොනාද ඔච්චර කතාව ? “ කියමින් තරහෙන් ටීනා ප්‍රශ්න කරන හැටි සහ තාරික බයෙන් උත්තර දෙන හැටි දැකල සමුදිට හිනා යන්න ආවා.

“දැන් ඉතින් ගිහින් ඔයාගේ සුවච කීකරු නෝනා මහත්තයා කීව විදිහට හිටියොත් හොඳයි. මින් පස්සේ දැනුම්දීමක් නැතුව මේ ගෙදර ඇවිත් ෂෝ දාන්න ගිහින් නිකන් පොලිසි යන්න එපා. දැන් නම්බු පිටින් යනවා. Get Out …. කියා ඇය යටි ගිරියෙන් කෑ ගැසුවා.

බෑග් දෙක උස්සන් පහල උන්න ළමයි දෙන්නත් නොසලකා තාරික වාහනේට ගියේ හෙන පාරක් වැදුන මිනිහෙක් වගේ.

හදිස්සි කඩා වැදීම නිසා ඇගේ වැඩ පාඩු වුනා. යෝශිතා ඇවිත් සමුදිව බදා ගත්තේ සතුටින්.

“ අන්න එහෙම තමා ඉන්න ඕනේ අම්මි. ගෑනියෙක් ඕනෙවට වඩා අහිංසක වුනාම මිනිස්සු ඔලුවට පිටිපස්ස හෝදන්න එනවා” යෝශිතා කීවේ මහ ගෑනියක් වගේ.

“මාත් මාර පවක් කරලා පුතේ “ කියා සුසුමක් හෙලු ඇය නැගිට්ටා.

වේදනාව සාමාන්‍ය වෙනකන් නාන කාමරයට ගිහින් හොඳ බබල් බාත් එකක් අරගෙන ඇය හෙට ගැන හිතන්න ගත්තා. ඇල්බට් කොනලි මැතිතුමා ගැන හිතද්දී, ඉදිරි සති දෙක ගැන හිතද්දී ඇගේ සිත ප්‍රීතියෙන් බර වුනා.

“මම හැමෝ ගැනම හිතුවා. නමුත් කවුරුත් මා ගැන හිතුවේ නැහැ. දැන් මම, මම වෙනුවෙන් නැගී ඉන්න ඕනේ. නැත්නම් වෙන කෙනෙක් ඇවිත් මගේ අයිතිවාසිකම් දෙන්නේ නැහැ. “ ඇය ප්‍රමුදිත සිතෙන් දෙනෙත් පියා ගත්තේ තාරිකට හිත පුරා බැනපු එකේ සැහැල්ලුවත් එක්කමයි.

( ලබන සතියට )

Share Now

Related Article