“ජීවිතේ මේ වගෙයි.” – Part 37

Nov 22, 2017

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 40 ක්. ඇගේ ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

Continue Reading Below

“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 37 කොටස

“ සඳුන් සිහින මණ්ඩපයේ ප්‍රර්ථනා පියා සලයි….. ප්‍රර්ථනා පියා සලයි “

තාරික මියුරු සංගීතය ඇහෙන්න රේඩියෝවේ හඬ වැඩි කළා. ඒ එක්කම කොළඹ පාරවල් අවහිර වීම ගැන ඔහුට තිබුනේ තරහක්. අද ඔහුගේ රියදුරාට එන්න එපා කියල කලින්ම තිබ්බේ ටීනාව රෝහලට එක්කන් යන්න. ඔහුට ඇය දකින තුරු ඉවසීමක් නැති වුනා. සමුදී කවදාවත් පැයෙන් පැය තාරිකට SMS කලේවත් කෝල් කලේවත් නැහැ. අඩුම ගානේ තරුණ කාලේදීවත්. අන්තිම කාලේ නම් ඇය ඔහු කතා කරත් උත්තර දුන්නේ නැහැ. එක්කෝ මීටිමක. එක්කෝ ෆැක්ටරියේ. නමුත් ටීනා දවසේ වැඩිම වෙලාවක් කලේ තාරික යන එන තැන ගැන අහපු බලපු එක. කෑවද බීවද අහපු එක. ඇයගේ ආදර මාලිගාවේ ඔහු කොටු වුනා. හදිස්සියේ ඇති වුන ආදරය ඔහුගේ ජීවිතයට අලුත් පණක් දුන්නා වගේ. ඔහු තව දුරටත් සමුදී ගැන සිතුවේ නැහැ. විහස් සහ විමාශ ගැන හිතද්දී නම් පොඩි වේදනාවක් ඔහුගේ පපුවට දැනුණා.

සමුදී සහ තාරික ඊයේ තමා ඔවුන්ගේ වෙන් වීම ගැන දරුවන්ට කීවේ. සාලයේ වාඩි වෙලා තාරික දන්නා හැම විදිහටම සාමාන්‍ය වෙන්න හදමින් ඔවුනට මේ ගැන කීවා.

“පුතේ තාත්ති ඔයාලට ඉන්නවා. හැම දේකදිම. වෙනදා වගේම ….. හැබැයි තාත්ති ඉක්මනින් මෙහෙන් යනවා. පුතාල අම්මි එක්ක ඉන්න. ඕනෙම වෙලාවක තාත්ති එනවා. අනික වීක් එන්ඩ් එකේදී පුතාලට තාත්ති එක්ක ඉන්න පුළුවන්. තාත්තිගේ ගෙදර”

“ බැහැ ..බැහැ ..මම තාත්ති එක්ක එනවා. විමාශ කීවා. විහසුත් එක පයින්ම එන බව කීව”

“යෝෂි අක්කිත් ගෙනියමුද තාත්ති?” මදක් කල්පනා කළ විහස් ඇහුවා.

“ නැහැ ඔය දෙන්නා ගියොත් මාත් නැතුව අම්මි බලා ගන්නේ කවුද? “

තාරික කරුණාවෙන් ඇහුවේ ඔහු තාමත් සමුදී එක්ක ඉතාම හිතවත් නිසා. මේ ප්‍රශ්නෙදි ඔවුන් දෙන්නා පොලු මුගුරු උස්සගෙන නැටුවේ නැහැ. සමුදී කවදත් එහෙමයි. මොන අමාරු වෙලාවේදී වුනත් බොහොම කල්පනාවෙන් වැඩ කළා.

“ අම්මි ගෙදර එද්දී අපි කොහොමත් නිදිනේ.. තාත්ති නැතුව අපිට නින්ද යන්නේ නැහැ… “

කියමින් විමාෂ බිම පෙරලෙන්න පටන් ගත්තා. ඒ විලාපෙට විහසුත් එක් වුනේ තරඟෙට වගේ. මේ අතරේ කුස්සියේ සිටි සුමනා චීත්තෙන් කඳුළු පිහදෑම්මා.

ඉවසීම හිඳිලා කෝපයට පැමිණි සමුදී “ එහෙනම් තුන්දෙනාම මෙහෙ ඉන්නවලා. ආන්ටිවත් මෙහෙ ගෙනත් තියා ගන්නවා. මම යන්නම් මෙහෙන් කියාගෙන බුම්මන් නැගිටින්න හැදුවා.

තාරික ඇගේ අත අල්ලාගත්තේ ඇයට යන්න නොදෙන්න. වෙන් වෙන අවස්ථාවේදී වුනත් සමුදියි තාරිකයි ඔවුන් දෙන්නා එකිනෙකා වෙනුවෙන් පෙනී සිටියා.

විවාහය තිබෙන කාලයේ තාරික සමුදී එක්ක අමනාපෙන් හිටියත් දැන්නම් ඔහුට ඇය ගැන ඇති වුනේ අනුකම්පාවක්. ඒ නිසා මේ සිදධියේදී ඇයට වාසිදායක දේ කරන්න ඔහු හැමවිටම මහන්සි වුනා. ඔහුගේ හිතේ තිබුනේ වැරදිකාර වගේම සොම්නස් හැගීමක මුසුවක්. දැන් ඒ සේරම ඉවරයි. සමුදී ජීවිතේ තමා වෙනුවෙන් කළ සියලු දේ ඔහු අගය කළා. ඒ වගේම කාලය එක්ක ඔවුන් දෙන්නා එකිනෙකාගෙන් වියෝ වුන බව ඔහු දැන සිටියා. හැමදේටම වඩා සමුදී අලුත උපදින්න ඉන්න දරුවා නිසා පහසුවෙන් දිකසාදය දෙන්න එකඟ වීම ගැන තාරිකට ඇති වුනේ පුදුම ගෞරවයක්. වෙන ගෑනියක් වුනා නම් පලි ගන්නම දික්කසාදෙ දෙන්නේ නැති වේවි. ඔහු හිතුවා.

ඒ අතරේ ටීනා ඔහුට ඉතාම ආදරෙයි. ඇය ලස්සනයි. වෛද්‍ය වරියක්. කාලෙකට පෙර පළමු විවාහයෙන් වෙන් වෙලා හිටියේ ඇයගේ සැමියා මේ බොළඳ හැසිරීම් වලට අකමැති නිසා කියල තාරික අහල තිබුනා. බෙහෙත් ගන්න ගිහින් ඔවුන් දෙදෙනා මුණ ගැසුන හැටි සහ ඇය තමාගේ ජීවිතේ වෙන් කළ නොහැකි කොටසක් වීම ඔහුට අදහන්න බැහැ. ඔහු හිටියේ සුන්දර සමනල් හීනෙක කොටු වෙලා. සමුදී වගේ ශක්තිමත් ගැහැණියක් ඔහුට ගැලපෙන්නේ නැහැ කියල හිතුනා. ටීනට තිබුනේ එකම හීනයයි. ඒ තාරික සහ ඔවුන් දෙන්නගේ ආදරේ. ටීන හැමදේම කලේ ඔහුට කියල. සමුදී වගේ හිතුමතේ එහෙ මෙහෙ යන්නේ නැහැ. ටීනට කිසිම දෙයක් තනියම කරගන්න බැහැ. පුංචි බබෙක් වගේ. උදේ රෝහලට ගිහින් බැස්සුවහම කන බත් එක පවා තාරික දවාලට අතටම ගිහින් දෙන්න ඕනේ. නැත්නම් ඇය කන්නේ නැහැ. හවස් වෙනකන්ම අඬනවා. දවස් දෙක තුනක් රණ්ඩු වෙනවා. මේ හැසිරීම තාරිකට නිකන් සුරංගනා ලෝකයක් වගේ.

ඒකට සමුදී තරුණ කාලෙත් උයාගෙන ඔහුට ගෙනත් දෙන තාලේ යකඩ ගැහැනියක්නේ.

“ එයාට මොකටද පිරිමියෙක්? එයා පිරිමියෙක් වගේනේ” ඔහු සුසුමක් හෙලා කල්පනා කළා.

ඒ එක්කම ටීනගේ ගෙදර ඔහු පදිංචියට යන්න තීරණය කළා. ඒ ගෙදර ලස්සනට හදවන්න ඕනේ. දුවෙක් උනොත් නියමයි අලුත් බබා. එතකොට මගේ පුතාල දෙන්න ලොකුයි ඒ දෙන්නත් නංගිට ගොඩක් ආදරේ වේවි. ඔහු තනිවම හිනා වුනා. මේ සේරම කරදර ඉක්මනින් විසදේවි ඔහු බලාපොරොත්තු වුනා.

ඈත තියා පුංචි මල් ගවුමක් ඇඳගෙන ටීනා බලාගෙන ඉන්නවා ඔහුට පෙනුනා. තාරිකගේ විශාල ජීප් එකට නගිද්දී ඇය ඔහුට පෙනුනේ බෝනික්කෙක් වගේ.

“ මොනවද ඔයාගේ මහ ලොකු ව්‍යවසායිකාව කීවේ?” මට බැන්නද? ඇය තාරිකගෙන් ඇහුවේ ඔලොක්කුවට. සමුදී ගැන නිකරුනේ ලොකු තරහක් ඇය මවාගෙන හිටියා, නමුත් තාරික හිනා වෙලා උත්තර දුන්නේ ඇගේ අත අරගෙන තමාගේ කකුල උඩින් තබාගෙන.

“නැහැ. එයා ඔයා ගැන ඇහුවේ නැහැ. සේරම කරදරයක් නැතුව කරමු කියල එයා කීවා. එයා බයෙන් ඉන්නේ කොල්ලෝ දෙන්නා කලබල වේවි කියල.”

“ මම කිවුවේ…. එයාට වෙන කෙනෙක් ඇති. ඔයාව ඩිවෝස් කරන්න බලාගෙන ඉන්න ඇත්තේ” ඇය කියද්දී තාරිකට මදක් කම්පාවක් ඇති වුනා. සමුදී දින තුනකට පෙර රාත්‍රියේ චෙක් පොත දික් කරද්දී තිබ්බ බැල්ම ඔහුට මතක් වුනා. ඇය කොතරම් වේදනාවට පත් වෙලාද කියල ඔහු දැනගෙන හිටියේ.

“ හරි හරි පැටියෝ…කොහොම හරි දැන් සේරම හරිනේ. අපිට බබා ලැබෙන්න කලින් මැරී කරන්න පුළුවන් දැන්” ඔහු ඇයගේ හිත වෙන අතක යොමු කරවන්න කීවේ.

(ලබන සතියට)

Share Now

Related Article