“ජීවිතේ මේ වගෙයි.” – Part 33

Oct 25, 2017

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 38 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

Continue Reading Below

“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 33 කොටස

යෝශිතා දරුවන්ගේ කාමරේ ගුලි වෙලා නිදි. ඇයට වෙනම කාමරයක් දුන්නත් මල්ලිලා එක්ක කතා කරමින් ඉඳලා සමහර දවසට එතනම නින්ද යනවා. සමුදී මේ දේට එතරම් කැමති නැති වුනත් මේ දරුවෝ සතුටු වෙනවනේ කියල ඉවසුවා. යෝශිතා හැම වැඩක්ම පිළිවෙලට කළා. දුවලා නැති නිසා සමුදී ඇය කෙරෙහි දැක්කුවේ විශේෂ ඇල්මක්. සේවකයෙක් කියන දෙයින් එහාට ගිය තෙත් බවක් නිතරම තිබුනා.

ඒ අතරේ ලොකු හාමිනේගේ නමින් Casual Wear අලුතින් පටන් ගන්න සමුදී තීරණය කරලා තිබ්බේ. ඇය අලුතින්ම කාර්යාලයක් කුලියට ගත්තා. එහි දෙවෙනි මහල අලුත්ම කොටස දමන්න යෙදුනා. මෝස්‌තර නිර්මාණකරුවෝ තුන් දෙනෙක් උදේ සිට වැඩ කළා. ඔවුන් තුන් දෙනාම විශ්ව විද්‍යාලයෙන් අයින් වුන ගමන් ඉන්න තරුණ ගැහැණු ළමයි. ඔවුන්ගේ මෝස්‌තර ඉතාම සරලයි. ඒ වගේම විදේශ වෙළඳ පොලට ගැලපෙන විදිහට නවීනයි.

මේ අතරේ මේ රෙදි සපයන්න වෙළෙන්දන් විදේශ රට වලින් සොයා ගැනීම ලොකු ප්‍රශ්නයක් වුනා. සමුදී හැමදාම වගේ තීරණය කළේ පහසු ක්‍රමයක්. ඇමරිකාවේ විශාල සාප්පු වෙළඳසැල් ජාලයකට සම්බන්ධ වෙලා මේ රෙදි පිලි විකිණීම ඇගේ අරමුණ වුනා. පළමුවර යවපු සාම්පල් සේරම පිලිගෙන තිබුන බවට ඔවුන් e.Mail එකක් මගින් ඇයට දැන්නුවා. පළමු රෙදි තොගය එක්ක ඇයත් එහි යන්න තීරණය කළා.

දැන් ඉතින් ලොකුම වඩේ තාරික එක්කගෙන යාම. කාලෙකින් දෙන්නට සවාරියක් යන්න බැරි වුන නිසා ඔහුවත් අරගෙන යන්න ඇයට අවශය වුනා. නමුත් අවාසනාවට සමුදිගේ ජයග්‍රහණය තාරිකගේ හිතේ එතරම් සතුටක් ඇති කළේ නැහැ. ඔහු කොතරම් යහපත් සැමියෙක් වුනත් බිරිඳ තමාට වඩා ඉහලට යද්දී යටි සිතේ ඉරිසියාවක් සියුම්ව හටගත්තා.

දුකෙන් නමුත් දින 7 කට ඇය තනිවම ඇමරිකාව බලා පිටත් වුනා. එහිදී අලුත් ව්‍යාපාරික මිතුරන් දැන හඳුනා ගත්තා. එනකොට ඇය මුළු දිනකම වෙන් කළේ බඩු ගන්න. තාරිකට ඔරලෝසු, ඇඳුම්, සපත්තු, දරුවන්ට, යෝශිට, කුසුමට වගේම සුමනටත් බොහෝ දේවල් ගෙනාවා.

මේ තෑගී තාරික එතරම් ගණන් ගත්තේ නැහැ. ඔහු වෙනදට වඩා කාර්යාලයේ රෑ වෙන්න ගත්තා. තමනුත් වැඩ එක්ක හැප්පෙන නිසා සමුදිටත් ඒ වෙනස එතරම්ම තේරුනේ නැහැ. ව්‍යාපාරය කාර්ය බහුල ලෙස ගෙවී ගියා. එදිනෙදා ජීවිතේ ඇතිවෙන කුදු මහත් ගැටළු එක්ක ඇය වේගෙන් දිවුවා.

දවසක් හවස් වරුවේ බෙල් එක හයියෙන් ගහනවා.

“යෝශිතා…පුතේ බලන්න” සමුදී යෝශිතාට කීවා.

රෙජිස්ටර් තැපෑලෙන් ලිපියක්. බැංකුවකින් වෙන්න ඇති එකත් එකටම. කඩා බලද්දී දැක්ක පුවතින් ඇය ඉපිලුනා.

වසරේ හොඳම නැගී එන ව්‍යවසායිකාව ලෙස ඇය සම්මානයට පත්‍ර වෙලා. ලබන සතියේ ඇය උත්සවයට යා යුතුයි. ඇය අනික් පැත්තට තාරිකට කතා කලේ තමන් ලබපු ජයග්‍රහණයේ සතුට තම පෙම්බර සැමියා එක්ක බෙදා හදා ගන්නයි.

“ ඔහ්… සුබ පැතුම්. ඔයාට ඕනේ දේ ලැබුනානේ” ඔහුගේ කට හඬේ තිබුනේ සියුම් අමනාපයක්. නමුත් සමුදිට සතුට වැඩි කමට එය වැටහුනේ නැහැ. ඊළඟ සතිය දැනුනේ හෙමින් යනවා වගේ. ඇය සහ කුසුමා ඉස්තරම්ම වර්ගයේ සාරි ලැහැස්ති කර ගත්තා. තාරිකගේ ඇඳුම් ලොන්ඩරි දාලා ෆ්‍රෙෂ් කරේ සමුදීමයි.

ඇය මූනට කාලෙකින් පේෂල් එකකුත් දැම්මා. දැන් ඇය ඉස්සර වගේ රූපය ගැන වෙහෙසෙන්නේ නැහැ. ඒ කාර්ය බහුල වැඩිකම නිසා. නමුත් ඇය බොහොම ලස්සනට හිටියා.

“තාත්ති ඔයා ඔෆිස් එකෙන් එන්නේ කීයටද? “

“මම එද්දී වෙනදා වෙලාවම තමයි”. ඔහු සාන්තව උත්තර දුන්නා.

“ අනේ… අපි හය වෙද්දී එතන ඉන්න ඕනේ. ඔයා 3ට වත් ඔෆිස් එකෙන් එන්න. ඇඳගන්නත් වෙලා යනවනේ.”

“ මම එනවා කීවේ නැහැනේ. ඔයා කුසුමා එක්ක යන්න”

සමුදිගේ මූනේ අඳුරු වලාවක් මතු වුනා. ඇයට ඉකිය නවතා ගන්න බැරි වුනා.

“ ඇයි තාත්ති මට මෙහෙම කරන්නේ? “ අහමින් ඇය වැලපුනා.

නමුත් තාරික …ඉස්සර සමුදීගේ එක කඳුලට වහා වෙනස් වෙන තාරික ලොකුවට ගණන් ගත්තේ නැහැ.

“ ඇයි දැන් ඔයා මහ ලොකු ව්‍යවසායිකාවනේ. ඉතින් හැමතැනම තනියම යන එකේ ඕකටත් යන්නකෝ” ඔහුගේ ස්වරයේ වුනේ සම්ච්චලයක්.

සමුදී හඬමින් ඔහුගේ ඇඟේ එල්ලෙද්දීම ඔහු ඇය ගසා දමා වැඩට ගියා. පැය භාගයක් අඩමින් සිටිය ඇය නැගිට්ටේ බොහෝ කලකිරීමෙන්. ඇත්තටම යන්නේ නැතුව ඉන්න බැරිද මට. හැබැයි එහෙම වුනොත් හැමෝගෙම අප්‍රසාදයට ලක් වෙනවා. ඒත් මම යන්නේ කොහොමද?

ඇය අවන්කවම හිතුවේ තාරික අයගේ දිනුම ගැන සතුටින් ඉපිලෙන්න ඇති කියල. කැම්පස් එකේ බිත්තර රොටී දෙක කාල ප්ලේන්ටිය බීල ඒ දවස් වල ඔවුන් දෙන්නා ලකුණු වගේ පොඩි දේවල සතුට හැමවෙලේම මහ ඉහලින් සැමරුවා. නමුත් අද ජීවිතේට මෙතරම් ලොකු දිනුමක් ලබාගත්ත දවසේ ඔහු සතුටු නැහැ.

තමා කාන්තාරයක තනි වෙලා නේද කියල සමුදි කල්පනා කළා.

හිතට දිරි ගෙන ඇය ඇඳෙන් නැගිට්ටා. ජීවිතේ හැටි ඔහොම තමයි. වෙන දේ බලමුකෝ. දැන් මම හිත හදාගෙන මේ උත්සවයට යා යුතුයි. ඇය පුරුදු විදිහටම සාන්තව හැසිරුනත් පොඩි දෙයින් පවා ඇගේ හිත ගැස්සුනා. මුලින් නුහුරු ගතියක් දැනුණත් උත්සවයට ගිහාම ඇයට ලැබෙන පිළිගැනීම එක්ක සතුටු සාමිචි එක්ක හිතේ තිබුන බර ගොඩක් නිදහස් වුනා.

තාරික ඇත්තටම මෙහෙම හැසිරුනේ ඔහුගේ හිතේ ඇති අමනාපය නිසයි. සමුදී එන්න එන්නම තමා අභිභවා ලොකු වෙන සැටි ඔහුට දැනුණා. ඒ වගේම ඇය තමා සමග කාලය ගෙවන්නේ අඩුවෙන් කියන දේත් ඔහුට දැණුනා. ඒ එක්කම ඇය කෙරෙහි ඇති වුනේ තරහක්. ඔහු හිතුවේ සමුදී දැන් තමා තියාගෙන ඉන්නේ උත්සව වලට පෙන්වන්න ගෙනියන්න විතරයි කියල. සමුදී තනියම යවලා ඔහු කුරිරු සතුටක් ලැබුවා.

“ දැන් මම නැති නිසා ලෑජ්ජා හිතෙන්න ඇති. මම මොකටද මෙයාගේ සෙල්ලම් බඩුවක් වෙන්නේ” ඔහු ඉතාම් අසාධාරණව කල්පනා කළා. ඒ එක්කම මේ මානසිකත්වය තේරුම් අරගෙන පිළියම් යොදනු වෙනුවට සමුදී නිශ්ශබ්ද වුන නිසා ප්‍රශ්නය තව තව විශාල වුනා.

සම්මානය අරගෙන ඇය ගෙදර එද්දී රාත්‍රී එකත් පහු වෙලා. තාරික ඇඳේ නැහැ. ඔහු කොහෙද බලන්න ඇය සෙරෙප්පු දෙක ගලවලා සාරිය පිටින්ම පහත මාලයට ගියා. ඔහු ඉස්සරහ කාමරේ සැපට නිදි. සමුදිට කියා නිම කළ නොහැකි දුකක් දැණුනා.

“තාත්ති ..තාත්ති මම ආවා ..යමු කාමරේට” ඇය කීවේ නැගෙන ආත්ම අභිමානය යටපත් කරමින්. ඔහුට සම්මානය පෙන්වනන් සහ උත්සවයේ සියලු විස්තර ඔහුට කියන්න ඇයට ඕනේ වුනා.

“ඔයා ගිහින් නිදා ගන්න. හෙට කතා කරමු. මට මහන්සියි . “ කියල තාරික අනික් පැත්ත හැරුණා.
කාමරයට ගිය සමුදී සෙරප්පු දෙක අරගෙන බිත්තියට ගැහුවා. අත් දෙක බිත්තියට ගැහුවා. වියරුවෙන් වගේ හඬා වැලපුනා. ඇඳුම් ගලවලා මේකප් පිටින්ම අඬලා මහන්සියට නින්ද ගියා.

(ලබන සතියට)

Share Now

Related Article