“ජීවිතේ මේ වගෙයි.” – Part 32

Oct 18, 2017

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 38 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

Continue Reading Below

“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 32 කොටස

කුසුමා කියන්නේ ඉගෙන ගත්තේ නැති වුනාට ගොඩක් බුද්ධිමත් ගැහැණියක්. එක සමුදී දැනගෙන හිටියා. ඔවුන්ගේ ව්‍යාපාර මේ විදිහට උඩට එන්නත් කුසුමාගේ දක්ෂ පක්ෂකම් ලොකු හේතුවක්. ඇය කවදාවත් හැගීම් වලින් ව්‍යාපාරය මෙහෙයවූවේ නැහැ. වැඩ කලේ ඉතාම වුර්තීයමය ආකාරයකට. ඔවුන් දෙන්නා අතරේ උගත්කම අහසට පොලව වගේ උනාට තිබුනේ පුදුමාකාර බැඳීමක්. කුසුමා කොයිම වෙලාවකවත් අමතක කලේ නැහැ සමුදී තමාව උඩට ගෙනාවේ කොයි තරම් දුක්බර ලෝකෙකින් එහාටද කියල.

දියණිවරු දෙන්නෙක් එක්ක දැරුව මහ බර සැහැල්ලු වුනේ අහම්බෙන් දිනක් රෙදි විකුනන්න සමුදිගේ ගෙදරට ආව වෙලාවක. එදා සිට දෙන්නා දැන් වසර ගානක් ගහයි පොත්තයි වගේ එකට බැඳිලා කී දෙනෙක්ට රැකියා උත්පාදනය කළාද? කාමරේ දොර වහගෙන ඇතුල් වුන කුසුමා සමුදිගේ දෙපා මුල වැඳ වැටුනා.

ඇගේ එක අතක් ගෙන “ අනේ සමුදී මිස් මට සමාවෙන්න. හෙට ඉඳලා මම මේ සේරම දේවල් වලින් අයින් වෙනවා” කියද්දී සමුදී අන්දුන් කුන්දුන් වුනා.

“ඔයාට මොකද කුසුමා වෙලා තියෙන්නේ ? මේ සේරම අපි දෙන්නගෙම. 20% ක අයිතිකාරි ඔයානේ. ප්‍රශ්නයක් නම් අපි දෙන්න එකතු වෙලා විසඳන්න ඕනේ. නැතුව පැනල යන එක විසඳුමක් නෙවෙයි” සමුදී තදින් කියාගෙන ගියා.

කුසුමට අහු වෙලා තිබෙනවා සාරි මාරු වෙන පිළිවෙල. ඊයේ රාත්‍රියේ අන්තිම පොට පාදගද්දී තමා ඇය දැනගෙන තිබෙන්නේ මේ දේ කරන්නේ ඇගේ බාල දුව වත්සලා කියලා. වත්සලා සේරම සප්ලයිස් කරන අතරේ හොඳ සාරි හොරකම් කරලා බාල සාරි දම්මලා කුරියර් එකට යවනවා. එතනින් කවුරුත් බලන්නේ නැහැනේ. මේ සාරි ඇයට ඉන්දියාවෙන් ගෙනත් දීල තිබෙන්නේ ඇගේ පෙම්වතා උන සනෝජ්. සනෝජ් කියන්නේ තරමක් නරක පවුලක කොල්ලෙක්. නමුත් ඔහු හොඳ නිසා කුසුමා මේ විවාහයට අකමැති වුනේ නැහැ. ඉන් පස්සේ හොඳ සාරි සේරම සනෝජ් විසින් කොළඹ ලොකු කඩේකට හොරෙන් පැටවුවා. මේ ජාවාරම VVL වල කීර්ති නාමයට හානි කරමින් පහුගිය මාස හයම ක්‍රියාත්මක වෙලා.

මේක දැන ගත්ත ගමන් මාරාවේශ වුන කුසුමා නිදියගෙන හිටපු වත්සලාව ඇහැරවලා හොඳටම ගහලා.

“ තොපි දෙන්නා හිඟන පැටවූ වගේ කුණු පෙරාගෙන ඉස්කෝලේ යද්දී මනුස්සයෝ කරපු සමුදී මිස්ට වංචා කරන්න?… අදම බැහැපන් ගෙදරින් එලියට “ කියලා පහර පිට පහර දෙද්දී යන්තම් වසන්ති ඇවිත් බේරාගෙන තිබුනේ.

කොහොමත් සහෝදරියෝ වුනාට වසන්තිට තිබුන වටිනාකම් වත්සලාට තිබුනේ නැහැ. පෙම්වතාගේ කීමට මේ ජාවාරම කලේ ලාභ සේරම අම්මගේ අතට ගිහින් ඔවුනට වැටුපක් විතරක් ලැබෙන නිසා.

පිට කෙනෙක් මේක කරා නම් සමුදිට හිතේ අමාරුව අඩු වෙන්න තිබුනා. නමුත් දැන් සීරුවෙන් හානිය අවම වෙන විදිහට මේක විසඳන්න ඕනේ. ඒ අතරේ කුසුමා විසින් ඇයට ගහපු එකත් ලොකු ප්‍රශ්නයක්. ලැජ්ජාවට මේ දරුවා මොනවා හරි නරක තීරණයක් ගත්තොත්.

“ඔයාට තිබුනේ වත්සලාට ගහන්නේ නැතුව ඉන්නනෙ” සමුදී කීවේ තරහින්. සමුදිට වුනත් නැගෙන කෝපේ නිසා වත්සලාට ගහන්න තරම් ආවේගයක් එනවා. ඒත් ඉතින් වැඩිහිටියෝ ලෙස ගැටළු අවම වෙන විදිහට ව්‍යාපාරේ බේරා ගන්න ඕනේ කියන දේ සමුදිගේ හිතේ වැඩ කරා. ඇය වහාම වසන්තිට කතා කරලා නංගිව බලාගන්න අපි එනකම් කියලා දැඩි ලෙස අවධාරණය කළා. ඉන් පස්සේ අතට අහු වුන කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගෙන ඇය කුසුමා එක්ක ජීප් එකට නැග්ගා.

වත්සලාව ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට සහ මොකුත් නොවූන විදිහට හැසිරෙන්න ඇය තීරණය කළා. කුසුමා මේකට ප්‍රතිචාර දැක්කුව විදිහ නම් හරිම මෝඩ බව සමුදී හිතුවා. ඒ එක්කම තමන්ගේ ව්‍යාපාරයේ මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි යන අදහස ඇයට ඇති වුනා. ලංකාවේ කුඩා මාකට් එකට කොතරම් බඩු දැම්මත් වැඩි මිලක් ගන්නත් බැහැ. ලංකාවේ බහුතරයක් ගැහැණු අත් යන්ත්‍ර රෙදිපිළි වලට කැමති නැහැ. කොහොමහරි ව්‍යාපාරය විදේශ වෙළඳ පොලට ගෙන ගියොත් තමන්ට වැඩි මිලක් අය කළ හැකි බව සමුදිට කල්පනා වුනා.

මේ අතරේ ඔවුන් දොම්පේ හරියට ලඟා වෙද්දී 12 ත් පහු වෙලා. යන මග දිගට කුසුමා කඳුළු සැලුවා. ඇය ඇඳ සිටි වර්ණවත් සාරියේ පොටින් විටින් විට හොටු පිස දැමුවා.

“ මම මහ අවාසනාවන්ත ගෑනියෙක්. කනවැන්දුම් වුනා. දුක් විඳලා හදා ගත්තේ මේ වගේ ගුණ මකුවෝ නම්…හොරු නම් ඉතින් ඇති වඩේ මොකද්ද?” කියමින් ඇය විටින් විට වැලපුනා.

ගෙදර යද්දී වෙන්න ඕනේ දේ වෙලා. ලෑජ්ජාවට වත්සලා සනෝජ් එක්ක පැනලා ගිහින්. තමන්ට බැනුම් අහන්න වෙයි කියල වසන්තිත් බයෙන් හිටියේ.

සමුදී සහ කුසුමා ඔවුන් දෙන්නා හොයන්න ගියත් හම්බ වුනේ නැහැ. අන්තිමට පොලිසියෙන් ඔවුන්ට දැන්නුවා වත්සලා සනෝජ් එක්ක සනොජ්ගේ මහ ගෙදරට වෙලා කියල.

එහෙ යන්න කුසුමට කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ.

ඒ අතරේ ගෙදර පැමිණි තාරික සමුදිට කතා කළා. අයගේ දුරකථනයත් වැඩ නැහැ. ඔහු බය වුනා. ඒත් මේ ප්‍රශ්නය ගැන ඔහු දන්නෙත් නැහැනේ. සමුදීත් දැන් තරමක් ස්වාධීන කමින් වැඩි වෙලා. වයස සහ ඇයගේ වගකීම් වැඩිකම නිසා ඉබේම මේ දේ වුනේ.

හැබැයි තාරික මේ ගැන අමනාප වුනා. ඔහුට අවශය වුනේ ඔහු දුක් මහන්සියෙන් දැන් තැනකට ඇවිත් නිසා ජීවිතේ විඳින්න. සමුදිත් හැමදාම හිතුවා මේ රේස් එකෙන් නිදහස් වෙන්න ඕනේ කියල නමුත් අවාසනාවට ඇය තව තව මේ උගුලේ හිර වුනා.

ලේසි වෙන්න කරපු හැම දේකින්ම වුනේ ඇය තව තවත් හිර වීමයි. ඇය මේ ව්‍යාපාරයට වැටුනේ දයාන් කියන ඒ අධම මිනිහා ඇගේ රැකියාව නැති කළ නිසයි. දයාන්ට පේන්න ජීවිතේ ඉහලටම යනවා කියන පළිගැනීමේ චේතනාව සමුදිගේ හිතේ ඇති බව තාරික දන්නවා.

“අන්තිමට පලි ගැනෙන්නේ උගෙන් නෙවෙයි මගෙන්. මට මගේ වයිෆ්ගේ ආදරේ විඳින්න නැති වුනා. අපේ කාලය නැති වුනා. දරුවෙක් හදන්න බැරි වුනා. ….වීදුරුවට විස්කි අඩියක් දාගෙන තාරික හුදෙකලාව කල්පනා කරමින් සැටියට වෙලා හිටියා.

වෙලාව 9ත් පහු වෙලා තාම සමුදී නැහැ. පුතුන් දෙන්නා කාමර වල. ගෙදරම නිහඩයි. සේරම හරි ලස්සනයි. අම්මි මොන තරම් මහන්සි වෙලාද මේ හැමදේම කළේ? විස්කි මත එක්ක තාරික සමුදී ගැන කල්පනා කළා.

මට ඒ දවස් වල දැන් වගේ සල්ලි තිබ්බේ නැහැ. ඒ නිසා එයා වැඩ කළා. දැන් මට සල්ලි තියනවා. ඒත් එයා නැහැ. ඔය වගේ වේදනාවක හුදෙකලාව තාරික වේලිලා ඉද්දි සමුදී ආවා.

සමුදී දන්නේ නැහැ ඔහු අද වේලාසන ගෙදර එනවා කියල. ඇය වහාම සෙරෙප්පු දෙක ගලවලා ඔහු වෙතට දිවුවේ තමන් මුළු දවසම ඔහුට කතා කරේ නැති බව මතක් වුන නිසා. තරහා මූණක් පෙන්වන් හිටය තාරික ළඟ වාඩි වෙලා ඇය වහාම ඇගේ කකුල් දෙක ඔහුගේ ඔඩොක්කුවෙන් තිබ්බා.

තාරිකත් තරහා අමතක කරලා දවසම වෙහෙසුන ඇගේ දෙපා මසාජ් කරන්න පටන් ගත්තා.

“අනේ තාත්ති මගේ මුළු ඇඟම රිදෙනවා. මට මසාජ් එකක් දෙන්න. ඔයාට කියන්න ලොකු කතාවක් තියනවා. අපි යමු කාමරේට කියල ඇය කීවා. ඔවුන් දෙන්නාම උඩු මහලට ගියේ හිතේ ලොකු බරක් තියාගෙන.

(ලබන සතියට)

Share Now

Related Article