“ජීවිතේ මේ වගෙයි.” – 20 කොටස

Jul 19, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below

“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 20 කොටස

පත්තරෙන් දැක්ක ගිනි ගොඩ නිසා තාරික ගොඩක් බය වුනා. ඒ සමුදී තවත් මානසිකව වැටෙන නිසයි. අද ලොකු වැඩක් ඇති දවසක්. ගෙදර ඉන්නත් කොහෙත්ම බැහැ. ඇයව දාල යන්නත් බැහැ. සමුදිගේ අම්මට වැඳලා ඔහු කීවේ “ අනේ අම්ම මොහොතක්වත් මෙයාව තනියම තියන්න එපා” කියල.

තාරිකව වාහනේ ගාවට එක්ක ගිය සමුදිගේ පියා යෝධයෙක් වගේ උස තාරිකගේ ඔලුව අතගෑවේ අත ඔසවලා.

“පුතේ මේකේ කෙළවරක් තියෙන්න එපාය. මමත් ගෙදරනේ. අපි දෙන්න දුවව බලා ගන්නම්”

“අනික පුතා ඉද්දි මෙයාගේ හුරතලේ වැඩි වෙනවා” ඔහු සිනා සෙමින් කීවේ තාරිකව අස්වසන්න එක්ක.

මොන ගින්දර ගෙදර තිබ්බත් තමන් පියෙක් හැටියට රාජකාරියට යන්න ඕනේ. දැන් සමුදිටත් රැකියාවක් නැහැ. දරුවෝ දෙන්නා පාසල් යවන්න ඕනේ. තාරිකගේ හිතේ දැන් වගකීම ගොඩක් වැඩියි. ඒ වගේම ඔහු ඇත්තටම මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්.

සමුදී දවස් තුනක්ම නිකන් නින්දෙන් ඇහැරිලා වගේ කාමරෙන් කාමරේට පාවෙමින් ජීවත් වුනේ සිද්ධ වුන දේ කම්පනය දරා ගන්න බැරිවයි. අද උදේ දැක්ක දෙයින් ඇය ගොඩක් වේදනාවට පත් වුනා. ඒ එක්කම ඇයට වැටහුනා දැන් රාජකාරිය වශයෙන් තමාට නැති වෙන්න කිසිම දෙයක් නැති බව. වෙන කිසිම ආයතනයකට ඇයව නැවත ගන්නේ නැහැ. දයාන් කියන්නේ කොයි තරම් සර්පයෙක්ද කියන එකේ වපසරිය හැමෝම තේරුම් ගත්තේ අදයි.

දයාන් කිසියම් නීති උගුලක සමුදිව හිර කරොත් කියන කාරනාව මත සමුදිගේ පියා දක්ෂ නීතිඥයෝ කීප දෙනෙක්ට කතා කරා. වීඩියෝ පටය ගැන දයාන් නොදන්නා නිසා ඔහු මේ තරම් දඟලන බව හැමෝටම පැහැදිලියි. මේ ගැන පැතිරුනොත් සමුදිගේ කීර්ති නාමයට හානි වෙනවා කියන බය සමුදිගේ අම්මා සහ තාත්තා ගේ හිතේ නිතරම හොල්මන් කළා.

දැඩිව නැගෙන කෝපයත් එක්ක සමුදිගේ හිතේ තිබුන වේදනාව පහව ගියා. ඒ සමුදිගේ හැටි. රිදුනහම ඇය හරිම සාහසිකයි. විශ්ව විද්‍යාලේ ඉගෙන ගනිද්දී වරක් ඇයගේ කණ්ඩායමේ කෙනෙක් කිසියම් දේකට සමුදිගේ හිත රිද්දුවා. ඔහු කියා තුබුණා සමුදිව පහු කරලා ලකුණු ගන්නවා කියල. ඒ පාර සමුදී දින පහක් පමණ නිදි මරලා කොහොම හරි ඔහුව පැරද්දුවා. සාමාන්‍යයෙන් පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ඇය, කවදාවත් අකටයුතුකම් ඉදිරියේ නම් නැවුනේ නැහැ

තාරික ගිහින් පැයකට පස්සේ ඇය අම්මට කතා කරලා කීවා දැන් තමා හොඳින් කියල. ඒ වගේම හවස ඕනේ නම් ගෙදර යන්න කියලත් කීව. තමන්ට කන්න වැලිතලප හදා දෙන්න කියලත් ඉල්ලුවා. සමුදිගේ ඇත්ත ස්වරූපේ දන්නා අම්මට මේ හැසිරීමේ කිසිම පුදුමයක් නැහැ.

සාමාන්‍යයෙන් යමක් හිතට ගත්තහම ඇය එහෙමයි. හරිම ප්‍රබෝධමත් වෙනවා. මේ වැටිලා අඩමින් ඉන්නවා. ඊලග තප්පරේ තමාව කෙලින් කරගෙන නැගිටිනවා. සමුදීගේ වෙනස අම්මා තාත්තටත් කිවුවා. මුහුණට මදහසක් නගා ගත්ත ඔහු “එහෙනම් නෝනා අපි හෙට දිහාට විතර යමු” කියල ඇයට කීව.

සමුදිගේ අම්මටත් විශාල සතුටක් දැනුණේ. දුවගේ ළඟ වුනත් පිට ගෙදරක ඉන්න ඇය එතරම් කැමති වුනේ නැහැ. තමන්ගේ පුරුදු පරිසරයෙන් වෙන්වීම වයසක මිනිස්සුන්ට ලොකු අසහනයක් ඇති කරනවා.

සමුදී නාන කාමරයට වැදිලා හොඳට උණු වතුර නෑවා. එලියට ඇවිත් උණු තේ කෝප්ප දෙකක්ම හිස් කරපු ඇය කල්පනාවට වැටුනා.

“ දැන් මම කොතනද ඉන්නේ? මම ඉන්නේ බින්දුවේ. ලබන මාසේ ඉඳල මගේ ගිණුමට සතයක් වත් එන්නේ නැහැ. තියන සල්ලි නම් ඉක්මනින් වියදම් වේවි. ……”

හ්ම්ම්ම්………….. ඇය සියුම් හඬින් ගීතයක් විසිල් ගැසුවා.

කොලයක් අරගෙන ගිණුමේ ඇති මුදල් සේරම ගණනය කළා. ඔවු තියෙන්නේ මෙච්චරයි තමයි. මම විශ්ව විද්‍යාලෙන් එලියට ඇවිත් පටන් ගත්ත දවසේ නම් මට කීර්ති නාමයක් තිබ්බා. අද ඒකත් නැහැ. මට දැන් ඉතින් කිසිම තැනකින් වැඩට ගන්නේ නැහැ. කොතරම් දුකක් වුනත් ඇත්ත මේකයි….. ඇය අත් දෙකින්ම මේසෙට තට්ටු කරා.

එහෙනම් දැන් මේ මොහොතේ ඉඳලා ජීවිතේ අලුතින්ම පටන් ගන්න හොඳ වෙලාවක්. හැබැයි මට දැන් එදාට වඩා ලොකු දැනුමක් තියනවා. බුද්ධියක් තියනවා. අවබෝධයක් තියනවා. මට පන වගේ ආදරය කරන පවුලක් ඉන්නවා. තාරික වගේ සැමියෙක් ඉන්නවා.

අර බුරුවාට මගේ මොලේ හාරලා මගේ දැනුම ගන්න බැරි උනා. ඇත්තයි. නමුත් මේ සෙල්ලම තවත් දුර යා යුතු නැහැ. මගේ දරුවෝ දෙන්නා පාරේ බැස යා යුතුයි. දැන්ම මේක නවත්වනවා. ඔවු මම නවත්වනවා….

ඉන් පස්සේ තමන්ගේ සමාගමේ මවු සමාගමට E.Mail එකක් හොඳට හිතලා ලිවුවා. තමන්ට වුන අසාධාරණය, එය ඔප්පු කිරීමට තමා ළඟ ඇති සාක්ෂිය සහ මෙයින් වුන අගතිය වෙනුවෙන් තමා සමාගමට විරුද්ධව අධිකරණයට යන බවත් එසේ නොකිරීමට නම් තමාගේ වසර දෙකක වැටුප තමාට එකවර ලබා දීම සහ පුවත්පත් දැන්වීමක් මගින් ඇගෙන් සමාව ගැනීමත් කළ යුතු බවට එහි සදහන් කළා. වෘත්තියෙන් බැරිස්ටර් වරයෙක් වුන ඇගේ පියා ලිපිය ලියන්න ඇයට උදවු වුනා. ඉන් පස්සේ හවස තාරික එනතුරු එය යවන්නේ නැතුව තියා ගත්තා. තමාට වුන අසාධාරණය වෙනුවෙන් නීතිය ඉදිරියට යා යුතු බව ඇගේ අදහස වුනා.

( ලබන සතියට)

Share Now

Related Article