“ජීවිතේ මේ වගෙයි.” – 10 කොටස

May 23, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below


අපේ කාලේ දියණියකගේ කථාවක් – 10 කොටස

තාරික නින්දෙන් ඇහැරුනේ දඩි බිඩි ගාන සද්දෙකින්. මොකද්ද මේ වෙලාවේ…..?

ඔහු වහාම නින්දෙන්ම සමුදිව අතගාල බැලුවා. ඇය ඇඳේ නැහැ. වහාම නැගිටලා බෙඩ් කබඩ් එකේ තිබ්බ ෆෝන් එක අරගෙන වෙලාව බැලුවා. තාම උදේ හතරයි දහයයි.

“බබී මෙච්චර උදෙන් නැගිට්ටද? නැත්නම් සනීප වත් නැද්ද?”

ඔහු වහාම සද්දේ ඇහෙන දිහාවට දිවුවා. පහල තට්ටුවේ කාමරේක තමයි ඔවුන්ගේ ව්‍යායාම කරන උපකරණ තිබ්බේ. මෙන්න සමුදී උදේ පාන්දරම දුවනවා.

“ ඇයි බබා මේ” තාරික පුදුමෙන් උනත් සැහැල්ලුවෙන් ඇහුවා.

“ ආ තාත්තිත් ආවද ? එන්න තාත්ති ඇඳුම් ඇඳගෙන. අපි දෙන්නම කරමුකෝ. “

තාරික කොහොමත් හොරා. “ අනේ බැහැ” කියල ඉතුරු පැයත් නිදා ගන්න ඔහු කාමරේට ගියා.

දරුවෝ දෙන්නා හම්බ වෙන තුරුම සමුදී සතියට තුන් පාරක් විතර ඇවිදින්න යනවා. නිකන් පාරේ. කිලෝමීටර හතරක් පහක් ඇය සාමානයෙන් ඇවිදිනවා. නිමුන්නු වෙලත් ඇයට මේ දරුවෝ ඉපදුනේ ස්වාභාවිකවම. මොකද ඇය ඉතාම හොඳින් ව්‍යායාම කරලා ශරීරය නිසි විදිහට තියාගෙන හිටපු නිසා.

සමුදිගේ අත්තම්මා ඇය කුඩා කාලේ සමුදී එක්ක හිටියා. දරුවෝ විශාල ගණනක් හිටපු ගෙවිලියක් වුන මේ අත්තම්මා අවුරුදු 90 ක් වෙලත් අදටත් නිරෝගියි. කඩිසරයි. අත්තම්මා කිවුවේ ඇගේ නිරෝගී කමේ රහස තමයි වෙහෙසිලා වැඩ කරපු එක කියලා.

දරුවෝ ගණනාවක් හිටපු ඇය උදේට ගොයම් කපලා දවල් දරුවා හම්බ වෙලා රාත්‍රියට ආහාර පිසිනවලු. මොකද නිරතුරුවම වැඩ කරන ඇයට දරු ප්‍රසූතිය කියන්නේ හරි පහසු දෙයක්.

සමුදී විවාහ වෙන්න කලින් දෙමාපියෝ එක්ක ඉද්දි සමුදිගේ ලොකු අයියා විවාහ වෙලා හිටියේ ඔවුන් එක්ක. සමුදිගේ ලොකු අයියගේ බිරිඳ ගර්භනී වුනේ අවුරුදු 24 ක් වගේ තරුණ කලෙක උනත් සීසර් සැත්කමක් මගින් දරුවා උපද්දවන්න සිදු වුනා.

ගෙදර හැමෝම තමා කෙරෙහි අවධානය යොමු කරවාගෙන ඇය කිසිම දෙයක් කලේ නැහැ. අඩුම ගානේ ගේ පුරා ඇවිදීමවත්. සමුදී, අයියා, අම්මා සහ තාත්තා දාසයෝ වගේ නෑනගේ වැඩ කලේ පළමු දරුවා ගැන හටගත් ආශාවෙන්.

නමුත් අත්තම්ම නිතරම කිවුවා “ ඔය දරුවාව කම්මැලි කරන්න එපා. මම කියන දේ උඹලට තව මාස කීපෙකින් පෙනෙයි කියල. “

කිවුවා වගේ අධික ආහාරය සහ ව්‍යායාම නැතිකම නිසා අක්කා එතරම් තරුණ වයසකදී ඉතාම ස්ථුල වුනා. ඇයට වයස කොතරම් අඩු වුනත් දරුවා ප්‍රසූත කරගන්න බැරි වුනා.

මේ අත්දැකීමෙන් බොහොම බයට පත් වුන සමුදී දරුවන් පිළිසිඳ ගත්තහම මවු පියන් ගාවට ගියේ නැහැ. සුපුරුදු විදිහට ගෙදර වැඩ කළා. කාර්යාලයේත් අන්තිම දවස වෙන තුරුම වැඩ කළා. බඩත් උස්සගෙන හවසට ඇවිද්දා. කිලෝ මීටර ගණනක්. ඇය මහත් වුනෙත් නැහැ. ශරීරය ශක්තිමත් වුනා.

කාර්යාලේදී ප්‍රසූත වේදනාව ඇවිත් රෝහල් ගත කරහම, තාරික සේරම වැඩ දාල රෝහලට දුවගෙන එද්දිත් නිමුන්නු දෙන්න හම්බ වෙලා. සමුදී කිරි පොවනවා. සමුදිගේ අම්මා ඇය ළඟ නැවතිලා හිටියේ මාසයයි. ඉන් පස්සේ සමුදී මේ දරුවෝ තනියම බලා ගත්තා.

රාත්‍රියට තාරික බලා ගත්තා. බාල සහෝදරයෙක්වත් නොසිටි තාරික පුදුම විදිහට දරුවන්ගේ වැඩ වලට කැප වුනා. වෙන එකක් තියා පුතාලට කියන්න සින්දු පවා ඔහු අලුතෙන්ම පාඩම් කරා.

සේරම වැඩ අස්සේ ඇය ව්‍යායාම වල නීති පතාම නිරත වෙන්න කොහොම හරි වෙලාවක් හොයා ගන්නවා. එම නිසා ඇගේ ශරීරය නැවත ඉක්මනින් යතා තත්වයට පත් වුනා. ඇය නැවත වැඩට යද්දී හැමෝම හිනා වුනා.

“ඔයා බොරු නේද කරේ? බබාලව ඉස්පිරිතාලෙන් නේද ගෙනාවේ?” අසමින් යාළුවො ඇයට විහිලු කරා.

ඉන් පසු තාරිකගේ උසස් අධ්‍යාපන කටයුතු කරන්න දෙන්නා තීරණය කලාට පස්සේ කාර්යාලයේ සහ දරුවන්ගේ වැඩ , ගෙදර වැඩ වලට ඔහුගේ සහයෝගය අඩුවුනා. ඒ එක්කම සමුදී මේ වසර තුනට ව්‍යායාම වල ඉස්සර වගේ නිරත වුනේ නැහැ.

වාසනාවට ඔන්න දැන් කන්ද නැගල ඉවරයි. තාරිකගේ MBA එක මේ ජූනි මාසෙන් ඉවර වෙන නිසා නැවත තමාගේ ව්‍යායාම පටන් ගන්න සමුදී කල්පනා කළා. ඒ අනුව පැයක් උදෙන් නැගිටලා තමයි ඇය අද මේ දුවන්න පටන් ගත්තේ.


යන්තම් වයස 35 ක් උනාට මොකද තාරිකගේ නම් බඩ හොඳටම ලොකුයි. විශ්ව විද්යාලේදී ක්‍රීඩා වල නිරත වුනාට එතනින් පස්සේ ඔහු සේරම නැවැත්තුවා. හොඳින් ආහාර ගන්න කැමති ඔහු කාර්යාලයේ වැඩ වල පීඩනේ එක්ක උදේට සහ දවල්ට කන්නේ ටිකයි. ඒකත් අල්ලලා රාත්‍රියේදී හොඳටම බඩ පිරෙන්න කනවා. කාල නිදනවා. ඔහුගේ ජීවිතේ තිබෙන අවිවේකයත් , දරුවෝ ඉන්න පියෙක් විදිහට ජීවිතේ උඩට ගන්න, දරුවන්ගේ ජීවිතේ යහපත් කරන්න ගන්න වෙහෙසත් ගැන දන්නා නිසා සමුදී ඔහුට බලපෑම් කරන්න ගියෙත් නැහැ. නමුත් ඔහු හරි මහතයි දැන්.

“කොහොම හරි තාත්තිගේ ඩිග්‍රී එක ඉවර වුන ගමන්ම ව්‍යායාම වලට පුරුදු කරවන්න ඕනේ. නැත්නම් ලෙඩ වෙන්න පුලුවන්. “ ඇය ගොඩක් බය වුනේ ඇයගේ කාර්යාලයේ ගොඩක් අයට තිස් ගණන් පහු වෙද්දීම දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝග හැදිලා නිසයි.

“ ඔවු ඉතින් හොඳට කනවා, හොඳට බොනවා. නිදියනවනේ. මේ ගොල්ල ලෙඩ වෙන්නේ විහින්” ඇය නොරිස්සුමෙන් කල්පනා කළා. දන්නෙම නැතුව වෙලාව උදේ පහ වෙලා.

ඒ සමගම දාඩිය දාගෙනම ඇය කුස්සිය වෙත ගියේ ආහාර පිළියෙළ කරන්න. තවත් දවසක්. කරන්නට කොච්චර නම් වැඩද?

Share Now

Related Article