“ජීවිතේ මේ වගෙයි.” – 06 කොටස

Apr 21, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below

සෙනසුරාදා කියන්නේ මේ පොඩි පවුලට හරිම හොඳ දවසක්. සමුදී සහ තාරික එදාට තමයි ටිකක් වැඩියෙන් නිදා ගන්නේ. සාමාන්‍යයෙන් විහස් සහ විමාශ උදේම කන දරුවෝ දෙන්නෙක්. සතියේ දවස් වල දෙන්නටම උදේට කිරි බොන්න නොදී බත් දෙන නිසා තමයි මෙහෙම උදේම බඩගිනි වෙන්නේ. දවසේ හොඳටම ගන්න ඕනේ ආහාර වේල උදේ ආහාරය කියලා සමුදිගේ අත්තම්මා නිතරම කිවුවා. ආයුර්වේද පොත් පත් වල පවා තියෙන්නේ එහෙමයි.

ඉතින් උදේ හය හමාරට දෙමාපියෝ නිදි නිසා පොඩ්ඩෝ දෙන්නා හෙමීට කුස්සියට ගිහින් ෆ්‍රිජ් එක ඇරලා කෝන් ෆ්ලේක්ස් කිරි වලට දාගෙන රහට කනවා. කාල කෝප්ප දෙක සහ හැඳි දෙක සින්ක් එක උඩින් පරිස්සමට තියල වතුර බීල ඇවිත් නැවත ඇඳට වෙලා සෙල්ලම් කරනවා.

අටට විතර දෙන්නම කරන්නේ සමුදිත්, තාරිකත් නිදාගෙන ඉන්න කාමරේට පනින එක තමයි. එතකොට ඉතින් එකම සතුටු රාජධානියයි. තාරිකගේ කරේ නැගල දෙන්නම එකට අස්සයෝ පදිනවා. නැත්නම් සමුදිගේ දෙපැත්ත බෙදා ගන්න රණ්ඩුවක්. ඔන්න අම්මගේ දකුණු පැත්තට විහස් ආවොත්..විමාශ හිතනවා දකුණු පැත්ත වැඩිය හොඳයි කියලා . එයාටත් දකුණට එන්න ඕනේ කියල රණ්ඩු වෙනවා.

හැබැයි අද නම් ආච්චි ඉන්න නිසා ආච්චි උදේම නැගිටලා දෙන්නට රහට කන්න හදලා කැඳක් හදලා. දෙන්නා ආවේ නැති හින්ද කුතුහලයෙන් තාරික සහ සමුදී පහලට යද්දී ආච්චි හදපු කැඳ හකුරු එක්ක බොනවා.

“රසයි ආච්චි. මට තව ඕනේ” විමාශ කියනවා.

“ආච්චි ඇවිත් නිසා දෙන්නට වාසියි. “ සමුදිත් එකතු වෙන්නේ නැන්දම්මට කරන ඇගයීමක් ලෙසින්.

තාරිකගේ අම්මා වහාම තාරිකට කැඳ බෝල් එකක් දෙනවා. හැන්ද ගන්න තාරික “ එන්න බබා” කියල ලඟට කතා කරලා කැඳ ඉස්සෙල්ලම සමුදිට පොවනවා.

නැන්දම්මා වහාම තව භාජනයක් මෙසේ තියලා “මෙන්න දුවේ” කියල සමුදිට කියනවා.

හරිම ශෝක් කැඳ ටික නේද තාරික සමුදී කියනව. නැන්දම්මාගේ මූනේ ලස්සන හිනාවක් මතු වෙනවා.

තාරික හොරෙන් සමුදිගේ වැලමිට කොනිත්තනවා.

පවුලේ හැමෝම අද එකට උදේ අහාරය ගන්නවා. ගන්න අතරේ ඔවුන් කොළඹින් ටිකක් එලියට නාන්න යමු කියල කතා වෙනවා. තාරිකලගේ අම්ම ඉන්න නිසා කැළණි විහාරේ වඳින්න යන්න සමුදී කතා වෙනවා.

“දවසම එලියට ගිහාම වැඩ පාඩු වෙන්නේ නැද්ද පුතේ “ නැන්දම්මා අහනවා.

නැහැ අම්මේ. සෙනසුරාදා අපි වැඩ මුකුත් කරන්නේ නැහැ. අපි හතර දෙනා දවසම කොහේ හරි ගිහින් විනෝද වෙනවා. හරි මහන්සියි ඇඟට වඩා හිතට අපේ වැඩ දන්නේ නැද්ද ඉතින්. අපි ඒකනේ සිකුරාදා ඔක්කොම වැඩ ඉවර කරන්නේ. එතකොට හිත නිදහස් අම්මේ. කරුවල වැටිලා තමයි ගෙදර එන්නේ”

මේක නම් හොඳයි කියල නැන්දම්මා හිතනවා.
ඇය හොඳම සාරියක් ඇඳගෙන යන්න ලැහැස්ති වෙනවා. මුණුබුරෝ දෙන්නව දෙපැත්තේ තියාගෙන හුරතල් කරමින් යන ගමන ගැන අගේ හිත මහා ඉහලින් ඉපිල්ලෙනවා.

හතර දෙනාම මුහුදු වෙරළට ගිහින් ළඟ හෝටලයකට වෙලා හොඳට නාල දිවා ආහාරය සරුවට ගන්නවා. තාරිකගේ අම්මා මුහුදේ නාන්නේ නැහැ. නමුත් ඇය ගොඩක් සතුටු වෙනවා පොඩි දරුවෝ දෙන්නව තමන්ගේ ගේ ලේලි හදන පිළිවෙල ගැන. පොඩි වුනාට දෙන්න කරදර කරන්නේ නැහැ. හරිම සන්තෝසෙන් ඉන්න දරුවෝ දෙන්නෙක්. කාල අත් හෝදන්න , පිහාගන්න වගේ පොඩි දේවල් ඔක්කොම හොඳින් කරනවා.

තාරික නම් අඩුම ගානේ අවුරුදු 18 දි වත් තනියම බත් කෑවේ නැහැ නේද කියල ඇය සිහි කරනවා. මොකද ඔහුට හැමදාම ලොකු හාමිනේ අතින්ම කවනවා. මේ නිසා විශ්ව විද්‍යාලේ ගිය අලුත ඔහු කන්න බැරිව ගොඩක් කෙට්ටු වුනා. තමාගේ ක්‍රමය හරි නැහැ නේද කියල ලොකු ඉස්කෝලේ හාමිනේ නිකමට හිතනවා.

නාල හවස අවුව බැස්සහම ඔවුන් කැළණි පන්සලට පිටත් වෙනවා. වන්දනා කරලා සේරම කට්ටිය කඩෙන් රාත්‍රී ආහාරත් අරගෙන තමයි ගෙදර එන්නේ. නැන්දම්මා සතුටින් ඉන්න නිසා සමුදිටත් හරිම සතුටුයි.

පුතාලව හෝදලා තාරික ඇඳට දානවා. සමුදී ලඟට ගිහින් කතාවක් කියනවා. තාරික අත් දෙකෙන් දෙන්නගෙම ඔලු අත ගානවා. නින්දට වැටුන විමාශ මොනවද නින්දෙන්ම කියවනවා.

අවසාන වතාවටත් ඔවුන් සිඹින තාරික සහ සමුදී හෙමින් දොර අඩවල් කරලා එලියට එනවා.

මගේ දරුවෝ දෙන්නා නිරෝගියි. හොඳයි. මම ආදරේ කරපු මගේ පෙම්වතා සමග විවාහ වෙන්න පුළුවන් වුනා. අපිට හොඳ රැකියා තියනවා. අපි හතර දෙනා පන වගේ ආදරෙයි. මේ වගේ සතුටක් ජීවිතේ ලබන්න මම කොච්චර පින් කරලද?

ඇය තාරික දෙස බලාගෙන ඉන්නවා. අගේ නෙත් කඳුලින් පිරෙනවා.

“තාත්ති මා ගාවට එන්නකෝ”

ඇය තාරිකට කියනවා. යන්තම් දිග හැරපු ටැබ් එක අකුලන ඔහු කැමැත්තෙන්ම බිරිද වෙත එනවා.

Fb එක නොබැලුවට මොකද? මගේ නෝනා එක්ක ගෙවෙන මොහොතත් මට ලෝකේ ලොකුම සතුට නෙවෙයිද? ඔහු හිතනවා.

ඉතිරි කොටස ලබන සතියේ

Share Now

Related Article