“ජීවිතේ මේ වගෙයි.” – 05 කොටස

Apr 10, 2017

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

Continue Reading Below

දුරකථනය සමහර වෙලාවට නාද වෙද්දී නම් මහම කරදරයක්. සමුදිට ගොඩක් වෙලාවට ගෙදරට කෝල් එකක් ආවොත් ඉතින් තාරිකගේ අම්මගෙන් තමයි. ඇයට ඉතින් තමන්ගේ එකම පුතා වුන තාරිකට දවසට පස් වතාවක් කතා කරත් මදි.

පුතේ , දවල්ට බත් කෑවද? පුතේ පන්ති ගියාද? පුතේ ඔයාට රසට කෑම හදල දුන්නද? ප්‍රශ්න ගොඩයි.

මුල් කාලේ මේ කෙළවරක් නැති පුද්ගලික ජීවිතේ ඇඟිලි ගැහිල්ලට සමුදිට ගොඩක් තරහා ගියා. පසුව ඇය තේරුම් ගත්තා මේ අම්මගේ ඇත්තම මානසික තත්වේ.

සමුදිගේ නැන්දම්මා විශ්‍රාමික ගුරුවරියක්. තාරික කුඩා කාලේ ඔහුගේ පියා මැරුනහම මේ අම්මා කොහොමත් තද හිතක් ඇති කෙනෙක් නිසා නැවත විවාහ වීම ප්‍රතික්ෂේප කරා. සමුදී නම් හිතන්නේ ඒක මෝඩ වැඩක් කියල. නමුත් තනියම දරුවෙක් එක්ක ජීවිතේට මුහුණ දුන්න ඇය, එකම පුතාව කෙළවරක් නැතුව හුරතල් කරා.
තාරිකට මේ ඇති මානසික ප්‍රශ්න වලට හේතුව සහ නිකරුනේ පොඩි දේටත් තරහ යන්නේ ඒක නිසා බව දැන් දැන් සමුදිට තේරෙනවා. ඇත්තටම මේ අම්මගේ අධික ආදරය සහ දඬුවම් නොකිරීම නිසා තාරික අතට පයට හැමදේම ඉල්ලන නැති වුනොත් තරහා යන කෙනෙක් වුනා.

විවාහ වුන කාලේ නම් ඔහුට කමිසයක්වත් මැද ගන්න බැහැ. පසුව සමුදී ඉවසිල්ලෙන් පියවරෙන් පියවර ඔහු නියමිත විදිහට යුතුකම් ඉටු කරන කෙනෙක් බවට පත් කරා. පොඩි පොඩි අවුල් නැතුව නෙවෙයි . නමුත් ඔහු දැන් හොඳයි.

මේ අම්මා නිතරම සමුදිලාගේ ගෙදර එනවා. ආවහම ඇයට හරිම දුකයි තාරික දරුවන්ගේ සහ සමුදිගේ වැඩ කරනවා දැක්කහම. ඉතින් බොහෝ වෙලාවට ඇනුම්පද වල කෙළවරක් නැහැ. සමුදිත් ඇහුනේ නැහැ වගේ ඉන්නවා.

මේ දවස් වල මේ අම්ම ගෙදර ඇවිත්. අවුරුදු නිවාඩුවට තාරික සහ දරුවෝ එක්ක කෙලින්ම ගමට යන්න. ඇය මුණුබුරෝ දෙන්නට හරිම ආදරෙයි.

සිකුරාදා රාත්‍රියේ සමුදී ගෙවල් අතුගාද්දී තාරික සතියෙම රෙදි මැදලා දාන්න පටන් ගත්තා. එතකොටත් රාත්‍රී දහයට විතර ඇති වෙලාව. වොෂින් මැෂින් එක සද්දෙන් ක්‍රියාත්මක වෙනවා. තාරික ඇඳුම් මදිමින් හිටපු තැනට අම්මා හෙමින්ම ගියා..


කියවන්න :-
ඔබේ නැන්දම්මත් ඔබට හතුරුද?

කම්මුලට අත තියාගෙන.

“ හනේ අම්මේ රෙදි ගොඩ. කොහොම හිටපු මගේ කොල්ලට වුන විපතකද?” කිවුවා.

තාරික හෙමින් වටපිට බලලා සමුදී ළඟ පාත නැති බව දැනගෙන සැනසුම් සුසුමක් හෙලුවා.

“ අනේ පුතේ උඹ මම කියන දේ අහන්නේ නැතුව මේ කොළඹ පැත්තේ නැට්ටියෙක් බැඳ ගත්ත නිසා තමයි සේරම. අනේ අම්මේ පිරිමියෙක් ලවා මෙහෙම වැඩ ගන්නවද? “

මේ අතරේ සමුදිගේ සාරියක් දැකපු ඇයගේ තරහා නිම හිම් නැහැ.

“ ගෑනිගේ අඳුමුත් මද්දවනවද? “ තරහෙන් ඔහුගෙන් ඇහුවා.

ඒ ගමන තාරික යන්තම් කට ඇරලා බිරිඳ වෙනුවෙන් කතා කළා.

“ අම්මේ එයා දවසම රස්සාවක් කරලනේ එන්නේ. එයාට තනියම ඔක්කොම කරන්න බැහැනේ” කිවුවා

මල කෝලම්. මට මේ ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ මොහොතක්. උඹටත් ඒකිගේ වරදක් පේන්නෙම නැහැ නේද?

තමන්ගේ අම්මා කොච්චර වැරදි වුනත් තාරික ඇයට බනින්නේ නැහැ. ඒ ඔහුගේ හැටි. අම්මගේ වයස ගැන සහ මානසික තත්වේ ගැන හිතලා සමුදී ගොඩක් ඉවසීමෙන් සහ අනුකම්පාවෙන් තමයි ඉන්නේ. ඇය හැම විටම උත්සහ කරන්නේ සමුදිගේ වරදක් පෙන්වන්න තාරිකට. නමුත් එළියේදී වෙන නෑයන් ඉදිරියේදී සමුදිගේ දක්ෂකම් ගැන මාර වර්ණනාවක්. මේ දේවල් තරිකට නම් තේරෙන්නේ නැහැ. අවසානයේ මහලු මව පුපුර පුපුරා කාමරේට ගිහින් නිදා ගන්නවා. තාරික සේරම ඇඳුම් මැදලා නැවත වරක් ඇඟ හෝදගෙන කුස්සියට යනවා.
සමුදී එතකොටත් වැඩ.

දෙන්නම එකතු වෙලා ගෙවල් මොප් කරන්න පටන් ගත්තා. වැඩ ඔක්කොම ඉවර වෙද්දී රෑ ඒකත් පහු වෙලා. මේ දෙන්නාට තියෙන්නේ පුදුම සිරිත්නේ. ඉතින් සිකුරාදා වැඩ ඉවර වෙලා එන මහන්සියෙන්ම ගෙදර වැඩ ඔක්කොම ඉවර කරනවා ඒ හුස්මටම.
ගෙවල් අතුගාල , මොප් කරලා. ලබන සතියට රෙදි මැදලා ඔක්කොම ඉවරයි දැන්.

සෙනසුරාදා දවසම කිසිම වැඩක් නොකර හතර දෙනාම කොහේ හරි යනවා. හිතේ බරක් නැතුව තමයි සමුදිට විනෝද වෙන්න ඕනේ. වීක් එන්ඩ් එක වැඩ කර කර ගෙවන්න ඇයට කිසිම වුවමනාවක් නැහැ. දෙන්නම ඇඟ හෝදගෙන නින්දට ගියා.

තාරිකගේ හිත තරමක් දුකෙන්. සමුදිට කියන්න ඕනේ අම්ම කියන දේවල්. නමුත් එයින් දෙන්නා විරසක වුනොත් එහෙම.

“ඔයා මොනවද කල්පනා කරන්නේ තාත්ති” සමුදී තාරිකගෙන් අහනවා.

“ නැහැ අප්පා මේ අපේ අම්ම වයසට යන්න යන්න නපුරු වෙනවා බබෝ”

“ ඇයි” සමුදී හිනා වෙනවා. කරුවලෙත් ඇගේ සුදු දත් ටික පේනවා කියල තාරිකට හිතෙනවා.

අදත් මට බැන්නද? සමුදී සැහැල්ලුවෙන් අහනවා. තාරික සද්ද නැතුව ඉන්නවා….

සුසුමක් හෙලන සමුදී තරිකගේ හිස අතගානවා.

“තාත්ති ඔයාගේ අම්ම දැන් වයසයි. තියන ලෙඩ වල හැටියට කොයි කාලයක් ජීවත් වෙයිද? ඔයා මොනවා කිවුවත් සද්ද නැතුව ඉන්න.”

ඊයේ මට ඇහුනා මගේ ඇඳුම් වලට බනිනවා. අම්මලා හැදුන පරිසරේට වඩා දැන් ලෝකේ වෙනස් තාත්ති. එයාලට ඒක වැටහෙන්නේ නැහැ. අවුරුද්ද පහු වෙනකන් ඉන්න එකනේ. ඔයා ඉවසන්න තාත්ති සමුදී තාරිකව අස් වසනවා.

මෙහෙම ගෑනියෙක් හම්බ වුන නිසා මම මිනිහෙක් වුනා. නැත්නම් මට මොනවා වෙයිද හිතන තාරික සුසුමක් හෙලලා සමුදිගේ උරහිස උඩින් අත දා ගන්නවා.

ඉතිරි කොටස ලබන සතියේ

Share Now

Related Article