කම්මැලි ගෑනු

Apr 13, 2020

විනිතා ගෙදරින් එලියට බැස්සේ මද්දහනේ. ගාමිණී ගෙදර හිටියට උදේ ඉඳලම TV එක ඉස්සරහට වෙලා මැච් එකක් බලනවා. ඉඳහිට “ ඒයි තේ එකක් බොමු “ කියනවා හැර වෙන සන්නිවේදනයක් දෙන්නගෙම තිබ්බේ නැහැ. විනීතාගේ ළමයි දෙන්නා දහම් පාසල් ගිහින් . එද්දී කන්න උයන්න ඕනේ නිසා විනීතා කුස්සියට යද්දිත් වෙලාව 12 වෙලා තිබුණේ.

Continue Reading Below

එහා ගෙදර නෝනා අක්ක එක්ක පොඩි කයියක් දාල එහෙ තිබ්බ අලුවා ටිකකුත් ඔතාගෙන එද්දී ඉබේම වෙලාව යනවා දැනුණේ නැහැ.

මිදුල දවස් කීපෙකින් අතුගාල නැහැ. දවස් දෙක තුනක වලන් ගොඩේ හමාපු ඉඳුල් ගඳ නිසා මැස්සෝ රූන් රූන් ගගා එහෙ මෙහෙ යනවා. නෝනා අක්කගේ දිහත් මෙහෙමයි. සාලේ මැදින් එද්දී හෝදලා ගෙනත් දැම්ම රෙදි ගොඩ සාලේ පුටු උඩ දාල තිබ්බා.

“ තමුසේ උදේ පාන්දර ඉඳල ඕකටම එබීගෙන ඉන්නේ .. අර වහලේ රොඩු එකතු වෙලා. ඩෙංගු වලට නඩු දානවා කියල PHI මහත්තයා කීවා “ කියමින් ගාමිණීට බුරා හැලුනාය.

“ මේ ගෙදර එන්න මම කැමති නැත්තේ ඕකයි..ගෙදර ආවොත් තමුසෙගෙ පච පච ගෑම..යකෝ වැඩ කරලා එක දවසක් නිදහසේ ඉන්න බැරි හැටි” ගාමිණී TV එක ඔෆ් කරලා රිමෝට් එක වේගයෙන් මේසේ උඩට දැම්මා.

උයන්න ගත්තා විතරයි ඇයට දෙවියෝ සිහි වුනේ එතකොට… කහ බෝතලේ කහ බින්දුවක් වත් නැහැ. උදේ එහා ගෙදර නෝනා අක්කාගෙන් දෙහි ඉල්ලගත්තු නිසා එයාගෙන්ම කහ ඉල්ලන්න විනිතට මදිකමක් හිතුණා. ගාමිණීට කඩේ යන්න කීවොත් ඔහු දැන් බනිනවා.

“ මොන කරුමයක්ද ඉවර වෙන එවුවා එකවර ලියල දෙන්න බැරිද ?” කියල ඊයේ හවසත් බැන්නා.

“ අඩුම ගානේ සතියකට ඕනේ බඩු එකවර ලියල දෙනවකො. කඩේ ගිහින්ම හොඳ පන යනවා. “ ඔහු ඊයේ ඇයට බැන්නා. වරද තමන්ගේ වුනත් ඊළඟ පාර එහෙම කරනවා කියල දස දහස් වන වාරයටත් හිතපු විනීතා වරද පිළිගන්න එක මදිකමක් නිසා ගාමිණීට එවෙලෙට කට ගැහුවා.

“අම්මේ ඉතින් මගේ කට… මම කීවහම තමා තමුසෙට ගමනක් යන්න බැරි ඔන්න අම්මණ්ඩි කීවා නම් යසට යයි දහ පාරක් හරි” ඇය එක්ක තර්ක කරන්න බැරිකමට ගාමිණී කට වහගෙන කඩේට ගියා.

දැන් ඉතින් කහ කොහෙන්ද හොයන්නේ. ගෙවල් දෙකකට එහා ගෙදර නෙහාරා ඉන්නවා. එයාගෙන් අරගෙන එන්න ඕනේ. හිතල ඇය පස්සේ දොරෙන්ම ගිනි මද්දහනේ පිට වුනා. කඩුල්ල පනිද්දීම දැක්කේ නෙහාරගේ සැමියා චාමින්ද. ශෝටක් ඇඳගෙන චාමින්ද එළියේ රැක් එකක රෙදි වනනවා. නෙහාරගේ සාරි, යට ඇඳුම් පවා එතන තිබෙන බව විනීතාගේ රබර් ඇහැට වැටුනා.

“මිනිහා ලවා රෙදි හෝදවනවා. අම්මපා මුනුත් ගෑනුද?.” හිතමින් විනීතා චාමින්දට කතා කරා.

“ විනීතා අක්කේ නෙහාරා උයනවා. කුස්සියේ ඉන්නේ “ කියල ඔහු කීවේ හිත යට පොඩි බයක් තියාගෙන. එදා ගෙදර ඇවිත් ඉන්න අම්ම ඉස්සරහම මේ ගෑනි හැමදාම වගේ ළමයි හදන්න කාලේ හරි කීවොත් තමා අවුල. ඔහු කල්පනා කළා.

විනීතට ගේ ඇතුලට යද්දී ලොකු සහනයක් දැනුණා. හැම තැනම කුණු පොදක් නැතුව ලස්සනට පිළිවෙලට අතුගාල තිබුණේ. නෙහාර හනි හනිකට කෑම හදමින් හිටියේ. පෑන්ට්රියේ පිටුපාගෙන යමක් හැඳිගාන නොහාරගේ ලස්සන සිරුර කැපිල පෙනුනේ ඇඳගෙන හිටපු ෂෝර්ට් එකයි ස්කිනි එකයි නිසයි.

“ අමු හෙළුවෙන්… මගුල් විසේ වැඩිනේ..මිනිහ ඉන්න නිසා පෙන්නගෙන ඉන්නවා වෙන්න ඇති. ළමයි හදන්නේ නැත්තෙත් ඕවා නිසා තමයි. “ ඇය හිතෙන් හිතන ගමන් සාලේ හරහා කුස්සියට ගියේ අවන් එකේ තිබ්බ කේක් එකේ සුවඳ විඳිමින්.

“ අම්මෝ මොකද්ද නංගියෝ ඒ සුවඳ?” ඇය ඇහුවේ නිරායාසයෙන්.

ගැස්සුන නෙහාර පස්ස බලලා “ අනේ අක්කේ ඒ කේක් එකක්” කීවා.

“ඒ මොකෝ හදිස්සියේ කේක් හදන්නේ ? කවුරුත් එනවා වත්ද?” විනීතා ඇහුවේ විස්තර දැන ගන්න.

“ අනේ නැහැ අක්කේ.. අද ඉතින් සෙනසුරාදනේ… අපි දෙන්න හවසට ෆිල්ම් බලද්දී කන්න “ කියල නෙහාරා සිනාසුනා.

මේ වෙලේම එතෙන්ට ආවේ නෙහාරාගේ නැන්දම්මා. චාමින්දගේ අම්ම හරිම ලස්සන වයසක කාන්තාවක්.

“වාඩිවෙන්න..”ඇය පුටුවක් ඇද්දේ අසල්වැසියෙක් එක්ක හොඳින් ඉද්දි එතන සතුටක් තිබෙන නිසයි.

මේ වෙලේ වැඩ පාඩු කරගෙන විනීතා ගේ කතාවට හවුල් වෙන්න නෙහාරට ඕනෙකමක් තිබ්බේ නැහැ. පුටුවේ හරිබරි ගැහුන විනීතා අම්ම එක්ක කතාවට වැටුණා. ආගිය දේවල් විනාඩි කීපයක් කතා කරද්දීම ගෙට ආව චාමින්ද වහාම මොප් බාල්දිය අරගෙන ඉස්සරහට ගියේ ගේ මොප් කරලා දාන්න.

“අනේ අප්පේ චාමින්ද මල්ලි ගෙදර වැඩ ඔක්කොම කරනවා නේද?” විනීතා හයියෙන් ඇහුවේ චාමින්දගේ අම්මගෙන්.

“අනේ ඔවු ..අපේ පුතා එහෙමයි පොඩි කාලේ ඉඳල. ඒ කාලේ මල්ලිලා බලාගන්න මගේ පුතා මට කොච්චර උදවු කරාද “ චාමින්දගේ අම්මගේ මූනේ හිනාවක් මතු වුණා.

“අම්මට වැඩ කරන එක නම් ඕනෙම පිරිමියෙක් කරනවනේ. අපේ ගාමිණී වුනත් අම්ම කීවොත් නම් දහ සැරයක් හරි කඩේ යයි හැබැයි මම කීවොත් ඉවරයි.”

“ අපි නම් ඉතින් මනුස්සයා ලවා වැඩ කරගන්නේ නැහැ. දැන් කාලේ හැදෙන කෙල්ලෝ යට වස්තරේ ඉඳල හෝදවන්නේ මනුස්සයට කියලනේ” විනීතා කීවා.

“ ඔන්න ගාමිණී අදත් උදේ ඉඳල පුටුවට වෙලා මැච් එකක් බලනවා. පිරිමියෙක්ට සැප විඳින්නත් ඉතින් එසේ මෙසේ පිනක් ඕනේ නැහැ. ගාමිණීගේ නම් යට ඇඳුමේ ඉඳල හෝදන්නේ මම” විනීතා කීවේ මහා ආඩම්බරයෙන් වගේ.

අම්මගේ මූණ පොඩ්ඩක් අඳුරු වෙනවා ඈතින් හිටපු චාමින්ද දැක්කා. ඒ නිසා ඔහු වහ වහාම එතෙන්ට ආවේ බිරිඳ අවුල් වෙලාද බලන්න. ඇය ඈත තියා ඔහුට කට ඇද කරනවා දැක්ක ඔහුට හිනා යන්න ආවා.

“ මේකනේ විනීතා අක්කේ..මෙයයි මායි දෙන්නගෙම ගෙදර මේක. ඒ නිසා අපේ ගෙදර වැඩ කරන්න පිට මිනිස්සු එන්නේ නැහැනේ. නෙහාර උයද්දී මම රෙදි හේදුවා. එයා උදේ බාත්රූම් හෝදලා තිබුන නිසා මම දැන් ගේ මොප් කරලා දැම්මා. රසම රස කේක් එකක් එයා හැදුවා. දැන් අපි දෙන්නගේ වැඩ ඉවරයිනේ. අපි දෙන්න දැන් නාල , කාල , පොඩි නින්දක් දාල හවස එලියට යනවා. ඊට පස්සේ ඇවිත් ෆිල්ම් බලනවා. එයා වැඩ කරද්දී මම TV එක ඉස්සරහ හිටියා නම් හවස තියා රෑ ජාමේ වත් එයාට මේවා ඉවර කරන්න බැරි වෙනවා. එතකොට අපි දෙන්නට එකතු වෙලා විනෝද වෙන්න ගමනක් යන්න වෙලාවක් නැති වෙනවා..” කියල හිනා වුනා.

කට උත්තර නැතුව හිටපු විනීතා දිහා බලපු ඔහු “අක්කා ආවේ ?” කියල ඇහුවේ හිනාවෙන් මයි.

“ආ…මම ආවේ මේ ..මේ කහ ටිකක් ඉල්ලන් යන්න”

කහ ටික අරගෙන විනීතා පාරට බහිද්දී ළමයි දෙන්න ගෙදර ඇවිත් ඇති කියල මතක් වුණා. කේක් සුවඳින් ඇගේ නහය පිරිලා තිබ්බේ. ළමයිට දැන් බඩගිනි ඇති. ඉක්මනට හාල්මැස්සෝ ටිකක් එක්ක අල ගෙඩියක් උයල දෙනවා කියල ඇය හිතුවා.

ඒක හදල ඉවර වෙද්දී තමයි රයිස් කුකර් එකට හාල් ටිකක් තිබ්බේ නැහැ කියල මතක් වුනේ. ඒ වෙද්දීත් බඩගිනියි කියල කොඳුර කොඳුරා හිටපු ළමයි දෙන්නට ගාමිණී චූන් පාන් වැන් එකෙන් මාළු බනිස් අරගෙන දුන්නා.

වලන් ගොඩ හෝදන්න දැන් කම්මැලියි. රෑට මේ හාල්මැස්සෝ හොද්ද එක්ක පාන් කනවා. TV එකේ අර කොරියන් කතාව පටන් ගන්නේ 7 ට නේ.. ඒ මදිවට හෙට ඉස්කෝලේ දවසක්. රෙදි ගොඩේ තියන රෙදි අස්සෙන් එවෙලෙට ඇදලා මැදල දෙනවා ඇය හිතුවා.

ඒ අතරේ ඇයට මතක් වුනා නෙහාරාගේ කේක් එකේ සුවඳ “ මිනිහා ලවා වැඩ ගන්නවා නම් අපිටත් මොනා කරන්න බැරිද? මහා කම්මැලි ගෑණු. උන්ටමනේ පිරිමි ආදරේ “ කියල හිතපු ඇය රූපවාහියේ රිමෝට් එක අතට ගත්තා.

Share Now

Related Article