කුල ගෙය – Episode 33

Oct 16, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
රොෂාන් සමග යුරෝපය කරා යාමට වැනේසා එක පයින්ම එකඟ වූවාය. ව්යාපාරික හමුවීමක් ඇති බව ළමාතැනීට සහ රුක්මාට දැන්නු ඔහු ඒ ගැන වැඩිදුර තොරතුරු සාකච්චා කලේද නැත. කුඩා ඩයනා කන්දප්පා ගේ නිවසේ ජීවත් වීම නිසා වැනේසාට හටගත්තේ පාලුවකි. නමුත් ඒ නිසාම මෙවැනි ගමනක් යාමට තමාට හැකි නොවේද? වැනේසා සිදු වුන හැම දේම තමාගේ යහපතට සිදුවීම ගැන සතුටු වූවාය. අනික් අතින් කන්දප්පා ගේ නිවසේ වසන ඩයනා සැප සම්පත් පිරි ජීවිතයෙන් මිදී ගිය හෙයින් කුසුම්ට සහ කන්දප්පාට ඒ වන විට දිනපතා කරදර කරමින් සිටියාය. ඒ ගැන දැනගත් වැනේසා ගේ සිත ප්රීතියෙන් බර විය.

Continue Reading Below

ඒ වන විට රුක්මාගේ දරුවන් දෙදෙනා වයස අවුරුදු දෙකට ආසන්න වී සිටි අතර නිරෝගීව සුන්දරව ලොකු වෙමින් සිටියෝය. රොෂාන් දරුවන් ගැන බෙහෙවින්ම ආඩම්බර විය. රුක්මා සමග විරසකයක් නැති වුවත් ඔවුන් දෙදෙනා සෑහෙන්න වියෝ වී සිටි අතර දරු උපත් වලින් පසු අඹු සැමියන් ලෙස ඔවුන්ගේ ජීවිතය එකට යා යුතු උත්සව ආදියට පමණක් සීමා වෙමින් පැවතුනි. මෙසේ වීමට මතුපිටින් බලන කල කිසිඳු හේතුවක් නොවූයෙන් කිසිවෙක් මේ විවාහය ගැන සැක කලේද නැත . ඒ වෙනුවට හැම දෙනාම උත්සව වලට යන වටිනා ඇඳුම් පැළඳුම් අඳින රුක්මා කෙරෙහි ඉරිසියාවෙන් සහ සතුටින් පිරී ගියහ. ඔවුන් දෙදෙනා පුද්ගලිකව හමුවන විනාඩියේදී පවා රොෂාන් තමාව මගහරින බව ඇයට පෙනී ගියේය.

ඊට අමතරව කුමක් හෝ පුංචි දෙයක් සිදු වුනත් රුක්මාගේ අධ්යාපන සුදුසුකම් ආදිය ගැන අපහාසයෙන් කතා කිරීම රොෂාන්ගේ සිරිතක් විය. දරුවන්ගේ පළමුවන උපන්දිනය වෙනුවෙන් විශාල සාදයක් ඔවුන් විසින් සංවිධානය කළ අතර පැමිණි සිටි හැමෝම රොෂාන්ගේ ජීවිතයට ලැබුන වාසනාව ගැන ඔහුට ප්රසංසා කළහ. එදා චායාරූප ගන්නා අතර රොෂාන් රුක්මාගේ සිහින් ඉන වටේ අතක් දමාගෙන ගත් සුන්දර සේයා රුවක් තිබුණි. එය ඔහුගේ වාහනයේ හැලී තිබුනේ ෆොටෝ සුද්ද කරගෙන එන අතරතුර එකක් රූරා බිම වැටී තිබුන හෙයිනි.

රොෂාන් වැනේසා සමග වැනේසාගේ පාස්පෝර්ට් එක හදාගැනීමට ගිය අතර කාලෙකට පසුව දෙදෙනා කාර් එකෙන් එකට ගමන් කරමින් සිටියහ. වැනේසා ඉදිරිපස අසුනේ ඉඳගත් විට රොෂාන්ට මහත් සහනයක් දැනුණේය. ඔහු ඇයට සිනාසුනේ ආදරෙනි. නමුත් වැනේසා බිම තිබුන ෆොටෝ එක ගෙන පරීක්ෂාවෙන් එය බැලුවාය.

“ ආ ..ඕක ඔය බබාලාගේ උපන් දිනේ දවසේ එකක්” ඔහු සිනාසෙමින් කීවේ මේ ෆොටෝව නිසා ගැටුමක් ඇති වෙතියි බියෙනි.

ඔහු සිතුවා ලෙසම වැනේසාගේ මුව කෝපයෙන් ඇද වී ගියේය.

“ ඔයා ඒ ගෑනි එක්ක සම්බන්ධයක් නැහැ..ළමයිගේ අම්මා විතරයි කීවට මේ ලස්සනට බදාගෙන ඉන්නේ “ කියමින් ෆොටෝව රොෂාන් වෙතට පෑවාය.

“ ළමයිගේ පලවෙනි උපන්දිනේ..මට පුලුවන්ද උන්ගේ අම්මගෙන් ඈත් වෙලා ෆොටෝවට පෙනී ඉන්න ?” ඔහු පෙරලා ඇසුවේය.

“ එහෙනම් නිකන් බොරුවට බොරු නොකියා ඉන්න රොෂාන්. ඔයා ඒ ගෑනි එක්ක ආදරෙන් ඉන්න අතරේ තමා මට බොරු කරන්නේ “ ඇගේ දෙනෙතින් කඳුළු ගලා ගියේය.

වාහනේ නතර කළ ඔහු ඈ වෙතට නැඹුරු විය.

“ දෙවියනේ දැන් ඔයාව සතුටු කරන්න මට මොකක් කරන්නද කියන්නේ? “ ඔහු ඇසුවේ කෝපයෙනි. වහා සන්සුන් වූ වැනේසා කඳුළු පිසදා ගත්තීය.

“ නැහැ රොෂාන් නැහැ..මම තනි වෙලා නිසා මම දුකෙන් ඉන්නේ. එක අතකට මම කවුද ඔයාගේ ගෙදර දේවල් කතා කරන්න නේද ?” කීවේ අවඥාවෙනි. රොෂාන් බ්ලක්මේල් කිරීමේ කලාව ඕ ඕනෙවටත් වඩා හොඳින් දැන සිටියාය.

“ එහෙම නෙවේ වැනේසා ඔයා මගේ ජීවිතේ..මගේ ආදරේ ..ඉතින් ඔයා මට ඒ ගෑනිව එලවන්නද කියන්නේ? ඒ ගෑනි මගේ ළමයිගේ අම්මා. අනික හරිම බොළඳයි..ඒ නිසානේ අපිට එයාට කිසිම බයක් නැතුව මේ විදිහට නිදහසේ ඉන්න පුළුවන්.”

“ ඒ වුනත් රොෂාන් එයා ඔයාගේ නීත්යානුකූල බිරිඳ..මම නිකන්ම නිකන් හොර ගෑනියෙක් විතරයි. මගේ දරුවෝ, මගේ සැමියා මේ හැමදේම මට නැති වුණා. එහෙම වුනේ ඔයා නිසා නෙවේද? දවසක ඔයා මැරුනොත් මට මිනිය වත් බලන්න ඔය ගෑනි ඉඩක් දෙන්නේ නැහැ. දැනටත් මම ජීවත් වෙන්නේ මාස් පතා ඔයා දෙන මුදලින් . මම ඔයා නැති දවසක් වුනොත් හිඟා කන්නද ?” ඕ ඇසුවේ හඬමිනි. මේ කතාවේ සත්යය මොනවට වැටහුණ රොෂාන් තමාගේ මරණය ගැන කවදාවත් නොසිතු කෙනෙකි. එබැවින් ඔහු වැනේසාගේ අසරණකම ගැන සිතා දුක් විය. ඔහු සෙමින් ඇගේ හිස අත ගෑවේය.

“ මම ඒ ගැන යුරෝප් ගිහින් ආව ගමන් පිළිවෙලක් කරන්නම්. ඔයාට මම පොල් වත්තක් ලියා දෙන්නම්. එතකොට එයින් එන අදායමින් ඔයාට මාස් පතා යැපීමට හොඳ මුදලක් ලැබෙනවා. හැමදේම කතා කරන්න අපිට වෙලාවක් ලැබේවි ඉදිරියේදී . “ ඔහු ඇය අස්වැසුවේය.

……………………………………………………….

“මට මේ ජරා කෑම කන්න බැහැ “ ඩයනා පිඟාන විසික් කළේ බිත්තියේ වදින ලෙසය.

අම්මගේ දැඩි පාලනය යටතේ හැදුන ඩයනා අම්මාට බෙහෙවින් බිය වූවාය. නමුත් දැන් වසරක සිට කුසුම්ගේ නිවසට පැමිණීමෙන් පසු ඇති පදමට කුසුමට අපහාස කිරීමට සහ බැනීමට ඇයට බයක් නැති විය. කන්දප්පා සහ කුසුම් විසින් වෛද්ය වරයෙක් වෙත ගෙන යනු ලදුව ඇගේ ගර්භයේ උන් කළලය ඉවත් කරන ලදී. මෙය නීත්යානුකූල නැතුව හොරෙන් කරන නිසා රෝගියාගේ නම ලෙස කුසුම්ගේ නම යෙදීමට පවා කුසුම් කැමති වූයේ අනාගතයේ මෙයින් ඩයනාට කරදරයක් වෙතියි සිතීමෙනි.

මින් පසු මෙවන් විපතක් නොවී ආරක්ෂිතව විසීමට ඩයනා ගෙදර ගෙන්වාගැනීම කන්දප්පාගේ අභිලාශය වුන අතර දික්කසාදය සමග ඩයනා ගේ භාරකාරත්වය ගැනීමට කන්දප්පා සමත් විය. ඩයනා සිටියේ මානසිකව ශක්තිමත්ව නොවේ. ජුලියන්ගේ විදේශ ගත වීම, පුරුදු පරිසරයෙන් ඉවත්වීම යන සියල්ලම ඩයනා කෙරේ බලපෑ අතර මේ සේරටම මුල රුක්මා සහ කුසුම් බව වැනේසා පවසන හෙයින් ඒ ගැන ඉති සිතින්ම විස්වාස කිරීම ඩයනා කරගෙන ගියාය.

මේ ගැන දැනගන්නා වැනේසා සතුටින් ඔද වැඩුනේ කන්දප්පා සහ කුසුම් ට හොඳ දඬුවක් ලැබුන බවට සිතමිනි. මේ අතර කුසුම් බෝධි පූජා පවා තැබුවේ ඩයනා ගේ මානසික ව්යාකූල බව සමනය් වීමට අදිටන් කරගෙනය. දිනෙන් දින දෙමහල්ලන් වෙහෙසුන නමුත් ඩයනා අඟලකින් හි ඉදිරියට ආවේ නැති. ඇය පාසල් යාමද නතර කළ අතර කාමරේ දොර වසාගෙන කාමරයට කොටු වී සිටියාය. වැරදීමකින් හෝ කතා කළේ කන්දප්පා සමග පමණකි. කුසුම් හට දැඩිව වෛර කරන්නේ කුමන කරුනකටද කිසිවෙකුත් නොදත්හ.

එය 1983 වසරේ ජුලි මාසේ දවසක් වුන අතර අවු රශ්මිය නිසා ළමයින්ට බීමට තැඹිලි කඩා ගත් කුසුම් එකින් එක කපා ජොග්ගු වලට දමන්නට වූවාය. නරින් , කබරයින් පිරි මහා වනයක් වුන මාලඹේ ප්රදේශයේ මුළු ගමටම තිබුනේ ගෙවල් හත අටකි. ඒවාද සශ්රීක ලඳු වලින් වැසී ඈතින් පැවතිනි. අක්කර භාගයක පමණ මේ අලුත් ඉඩමට ඔවුන් දෙදෙනා විවාහයෙන් පසු පැමිණියේ ආර්ථික කටයුත්තක යෙදීමක් ගැන සිතාය. කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ තේ කඩයක් දැමීම සහ සිගරට් ඒජන්සියක් ආරම්භ කිරීම කන්දප්පාගේ අභිලාශය විය. ඔහු ඉක්මනින් විශ්රාම යාමට සනිටුහන් කරගෙන සිටියේ තමාගේ නිලය ඉහළ යාමට වැනේසා ගේ අනියම් සැමියා වුන රෝශාන්ගෙන් ලැබුන බලපෑම සලකාය. ඔවුන්ගෙන් ලද වැලි ඇටයක් පවා දැන් ඔහුට පිලිකුල්ය.

එයින් එක ජෝග්ගුවක් ටකරන් මඩුවේ රෙදි මහන ගැහැණු ළමයින්ට ගිහින් දුන් ඇය ඉතුරු ටික වීදුරු දෙකකට දමා එකක් බිනරට දුන්නීය. අනිකත් ඔසවාගෙන කාමරයට ගියේ ඩයනාට තැඹිලි වීදුරුව ලබා දීමටයි. තැඹිලි එක හුස්මට බීගත් ඩයනා වීදුරුව මේසය උඩින් අවඥාවෙන් තැබුවා පමණකි. එළියෙන් මහත් හඬක් නැගුණේය. කදු , පොලු මුගුරු අරගත් මැරයන් පිරිසක් ඔවුන්ගේ ගෙදර කොල්ල කෑමට පැමිණ තිබුනේ දෙමල ජාතික නිවසක් මේ ගමේ ඇති බවට ආරංචි වීම නිසාය. දින දෙකක් මුළුල්ලේ කොළඹ සිටින දමිල ජාතිකයන් සොයා , ගසා , මරා ඔවුන් සතු දේ පැහැර ගැනීම සංවිධානාත්මක මැර පිරිසක් විසින් සිදු කළ අතර ජනාධිපත් ජයවර්ධන පොලිසියට නිවාඩු දීම නිසා මැරයෝ සිය ක්රියාකාරකම් ඇති පදමට කරගෙන ගියෝය.

එබැවින් මහන ගැහැණු ළමයිනුත් මේ දිනවල මේ නිවැසේ නතර වී සිටි අතර දැන් දැන් විදේශ වලින් රෙදි ඕනේ තරම් එන නිසා කුසුම් විසින් මසන රෙදි වලට ලොකු ලාභයක් නොලැබුනත් ව්යාපාරය නව මන් ඔස්සේ යමින් තිබුණි. මැර සෙනග සිය නිවසට කොහෙත්ම එනු ඇතියි කුසුම් සිතුවේ නැත. කන්දප්පා වුර්තියෙන් හමුදා නිලධාරියෙක් වීමත් ඇය සිංහල වීමත් එයට හේතු විය.

ඉදිරියට ගිය කුසුම් මෙහි ගෘහ මූලිකයා දමිල වුවත් හමුදා නිලධාරියෙක් බව තදින්ම කීවාය. ඔවුන් සැබවින්ම පැමිණියේ මෙහි ජීවත් වන සුන්දර ගැහුණු ළමයා වන ඩයනා උදුරා ගැනීමටයි. ඩයනා කෙරෙහි දෙනෙත් රඳවා සිටි ප්රාදේශීය දේශපාලනඥයෙකු මේ සැලසුම මැර පිරිසට දී තිබුණි. දහසය හැවිරිදි ඩයානා අතිශය රූමත් කෙල්ලකි. කුසුම්ට හැර වෙන කිසිවෙක්ට ඇය නපුරුකම් කලේද නැත.

“ අපිට මුකුත් එපා..මෙහේ ඉන්න දෙමල කෙල්ල දුන්නහම ඇති.කාටවත් කරදරයක් කරන්නේ නැහැ “ නඩයේ නායකයා කුසුම්ට පැහැදිලි කළේය.

“ මෙහේ ඇති දෙමළ කෙල්ලෙක් නැහැ” කියමින් කුසුම් දොර මුවා කළාය. බිනර ඇගේ ඇඟේ එල්ලුණේය.

“ නැති වෙන්න විදිහක් නැහැ… “ කියමින් ඔහු ටිකෙන් ටික ඉස්සරහට එන බව පෙනුනි. මේ අතර කාමරයේ සිටි ඩයනා මහත් බියට පැමිණියාය. දැන් දැන් කුඩම්මා තමාව මැරයන්ට දී නිදහස් වනු ඇතියි ඇයට සිතේ. තමා කවදාවත් කුඩම්මට වචනෙකින් හෝ කාරුණික නොවුන බව ඇයට මෙනෙහි විය.

මේ අතර සෙමින් කුස්සියේ පසෙක ඇති බන්ඩි කැත්ත අතට ගත් බිනර එය ගෙනවිත් අම්මා අතට දුන්නේය. ආවේශ වුනාක් මෙන් කෙට්ටු කුසුම් විලාප දීගෙන ඉස්සරහට පැන්නාය. මේ විලාපය පිරිමි සියල්ලෝම පසුපසට කරවන්නට සමත් විය.

“ තොපි එකෙක් තව අඩියක් ඉස්සරහට තියපල්ලා බලන්න… මම එකෙක් නෑර කැති ගානවා “ ඕ ආවේගයෙන් කෑ ගැසුවාය.

“ දුවේ …. අර ළමයා විතරයි අපිට ඕනේ. දුවගේ ළමයෙක් නෙවේනේ “පාරවල් දෙකකට එහා ජීවත් වන වැඩකට නැතිම මිනිහෙක් වූ සුදු උන්නැහේ කීවේ සාකච්චා මාර්ගයට ඒමටය.

“ මගේ වුනා නැතා..මගේ වහල යට ඉන්න කිසිම ළමයෙක් මම උඹලට දෙන්නේ නැහැ. අප්පා දෙමළ වුනා කියල ඒ කෙල්ලව ගෙනියන්න උඹලට බැහැ…. “ කියූ ඇය විකල්ලෙන් ගැසූ පහරට තව ටිකෙන් එක මැරයෙක් ගේ උරහිස කැපෙන්නට තිබුණි. ඔවුන් පසුබැස ගියේ හෙට දිනයේ නැවත එන බවට ප්රතිඥා දෙමිනි.

බියපත් වුන කුසුම් සහ කන්දප්පා ඩයනා ගෙදරින් හමුදා වාහනයක දමාගෙන හමුදා නිවස්නය වෙත ගෙන යාමට තීරණය කළහ. එහි හැමදා සිටිය නොහැකි හෙයින් ඒ වන විට වැනේසා ජීවත් වුන කුරුනෑගල නගරයේ වටිනා පොල් ඉඩමේ බංගලාව වෙත යැවීමට හැකි බව ඔවුනට වැටහුණි. දික්කසාදයෙන් පසු කන්දප්පා වැනේසා සමග කතා නොකලෙන් දුව ලවා දුරකතනයෙන් කතා කරවීම කන්දප්පා ගේ අභිලාශය විය. දුරකථන තිබුනේ හමුදාවේ හෙයින් ඩයනා උදේම කන්දප්පා සමග එහි ගෙන යනු ලැබුවාය.

අම්ම සේවකයන් කීප දෙනෙක් සමග දිවි ගෙවන ඒ පොල් ඉඩමට ඩයනා කවදාවත් ගිහින් නොතිබුණි. සිය දරුවා මුහුණ දුන් අනතුර ගැන දැනගත් සැනින් වැනේසා වහා ඇය එහි ගෙන්වා ගනු ඇති බව කන්දප්පා ඉඳුරාම විශ්වාස කළේය. අම්මාගේ සුවදායක නිවසට නැවත යාමේ ප්රීතියෙන් ඩයනාද සිටියේ සතුටිනි.

දුරකතනය නාද වන විට ඩයනාගේ හිත පිනා ගියේ කාලෙකට පසු අම්මා සමග කතා කරන්නට ලැබීමේ ප්රීතියෙනි. නමුත් විනාඩි දෙකක් ඇතුලත ඇගේ මුහුණ අඳුරු වෙනු කන්දප්පාට පෙනුනි. සාවධානව ෆෝන් එක තැබූ ඩයනා “ යමු තාත්තේ ගෙදර , අම්මගේ ගෙදර යන්න ඕනේ නැහැ. කුසුම් අම්මා තනියම නේද ?” අසමින් එලියට ආවාය.

ඩයනාගේ මේ හදිස්සි විපරියාසය සහ ප්රථම වරට කුසුම්ට “ කුසුම් අම්මා “ ලෙස ඇමතීම මවිතයක් වුනත් දැන් රූමත් ඩයනා ආරක්ෂා කරන්නේ කෙසේද යන ගැටලුව කන්දප්පා ගේ සිතේ හටග්තේය. එමෙන්ම ඩයනාට එන්න එපා කියා වැනේසා කීවාද? ඔහු මේ ගැන හාර හාරා විමසුවත් ඩයනා පිළිතුරක් නොදුන්නීය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article