කුල ගෙය – Episode 32

Oct 9, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
“ වෙලාවකට ඒ කෙල්ල මට ජාතක දරුවෙක්ද කියලත් සැකයි කුසුම් “ කන්දප්පා කීවේ කෝපයෙනි.

Continue Reading Below

ඔහුගේ හිත වැනේසා සහ සම්බන්ධ ඒ වේදනාබර අතීතයට නැවත නැවත පියමන් කරයි. රොෂාන් රටගිය ඒ හය මාසය ඔවුන්ගේ ජීවිතයේ කවදාවත් නොසිටි තරම් සහ කවදාවත් අනාගතයේ නොවිය හැකි තරම් ඔවුන් දෙදෙනා සමීප වූහ. ඩයානා රොෂාන් රට යාමට පෙර පිළිසිඳ ගත්තාද ? කාල වකවානු නැවත නැවත හදමින් ඔහු ගණන් බැලු නමුත් දුව ඔහුගේ විය හැකි බව වැඩි බරකින් ඔහුට වැටහිණි.

වැඩිමහල් ජුලියන් ඔහුගේ ප්රියතම දරුවා වුන අතර ඩයනා සමග සමීප සම්බන්ධයක් කන්දප්පා හට තිබුනේද නැත. ඇයට වසර 4 ක් පමණ වන විට ඔහු ගෙදරින් වෙන් වුන හෙයින් දෙදෙනා අතර තිබු දැඩි බැඳීම දුරස්ව ගියේය. ඩයනාගේ කැරලි කොණ්ඩය තම පවුලේ කේශයන්ට සමාන නොවේද ඔහු කල්පනා කළේය. ඒ සිතුවිලි අතර නිමග්න ඔහු නැවත මේ ලෝකයට ආවේ කුසුම්ගේ හඬ අසාය.

“ එහෙම කියන්න එපා මහත්තයා. දරුවෝ එහෙම අතහරින්න හිතන්න වත් පුලුවන්ද ?”

ඇය ඇසුවේ සසල වෙමිනි. දිවා රාත්රී බිනරට අවැසි දෑ කරමින් ඉනේ ඉහේ ගසාගෙන දරුවන් හදනා කුසුම් ගෙදර රියකරුවා අතින් දරුවා ගර්භනී වන තුරු අම්මා නොදැනීම ගැන මවිත වූවාය.

“ මයේ පුතේ..ඉන්න තැනකින් ඕ කියල සෙල්ලම් කරන්න මැණිකේ “ කියමින් කුසුම් නිරන්තරවම කුඩා බිනර සිය ඇස මායිමේම තබා ගත්තීය. ඔහුට රෝගී වුන විට කිඹුහුම් අරින වාර ගණන පවා නිවැරදිව කියන තරමට ඕ දරුවා ගැන සොදිස්සියෙන් සිටිනා බව කන්දප්පා දනී.

“ කුසුම් වැනේසා කියන්නේ ඔයා වගේ ගෑනියෙක් නෙවෙයි. ඒ නිසා ඔයා ළමයි හදන විදිහයි ඒ විදිහයි වෙනස් “ කන්දප්පා කීවේ කෝපයෙනි.

“ දැන් මහත්තයෝ අපි පිළිවෙලක් කරන්න ඕනේ මේක නේද? “ ඇය ඇසුවේ කනස්සල්ලනි.

“ මගේ දුවෙක්ද කියලත් සැකයි මට “ කන්දප්පා නැවත කීවේ කෝපයෙනි.

සුසුමක් හෙලු කුසුම් ඔහුට තව හොදි හැන්දක් බෙදුවේ ඔහුගේ තද සිත මෙලෙක් කිරීමට මෙනි.

“ අපි කන්න අඹ ගෙඩියක් ගනිද්දී හැදුන වත්ත ගැන හොයන්නේ නැහැනේ මහත්තයා. ඒ ළමයාගේ උප්පැන්නේ තියෙන්නේ මහත්තයාගේ නම. අනික ඒ ලොකු සර්ගේ ළමයෙක්නම් ඒ විදිහට අතහැරලා දාන්නේ නැහැනේ. කාගේ වුනත් කමක් නැහැ දැන් මහත්තයාට නේ කටපුරා තාත්තා කියන්නේ “

මේ වචන අසන කන්දප්පා ගේ උගුරේ බත් හිරවිණි. අත සෝදාගත් ඔහු එලියට ගියේ තරු පිරි අහස දෙස බලා සිත සන්සුන් කර ගැනීමටයි. කුසුම් රාත්රී ආහාරයෙන් පසු වලන් සේදුවාය. බිනර හෙට පාසල් හෙයින් වේලාසනින් නින්දට ගොසිනි.

කුසුම්ගේ වචන මෙනෙහි කරන කන්දප්පා හට මහත් ලැජ්ජාවක් ඇතිවිය. උගතෙක් වන තමා නූගත් කුසුම් හා සලකන කල්හි මොන තරම් ප්රාථමික මෝඩයෙක්ද? ඔහු කල්පනා කළේ සංවේගයෙනි. ජීවිතේ ප්රථම වතාවට හැර දමා ඒමෙන් පසු ඔහු ඩයනා කෙරෙහි ආදරෙන් හිතන්නට පටන් ගත්තේය.

“ එයා බොහෝ විට මගේ ළමයෙක් වෙන්න ඉඩ තියනවා. එහෙම නොවුනත් එයා අර කුසම් කීවා වගේ තාත්තා කියන්නේ මටනේ. අනික් අතින් මගේම දුවෙක් නෙවේ වුනත් ඩයනා පළවෙනියට අඬනවා දැක්කේ මම. එයාගේ පලවෙනි කක්ක ටික හේදුවේ මම. ඉතින් එයාගේ ජීවිතේ ගැන මට වගකීමක් තියනවා” ඔහු මහත් දයායෙන් ඩයනා ගේ කුඩා කල අත්දැකීම් මෙනෙහි කළේය. කුඩා ඩයනා සේවය ඇරී ගෙදර එන තමා පිළිගැනීමට ඉදිරියට බෝලයක් මෙන් පැද්දෙමින් එන දසුනක් ඔහුගේ මොලය හරහා දුව ගියේය. වහා තීරණයකට එළඹුන ඔහු කුස්සිය කරා ගියේ කුසුම්ගේ අදහස දැනගැනීමටයි.

…………………………………………………………………………

දරුවන් උපන් පසු ඕනෙම නිවසක් කලබලකාරී වේ. මුල් කාලයේ ඔවුන් හඬන්නේ කිරි මදි නිසා බව හැමෝම කියන්නට පටන් ගත්හ. නමුත් ළමාතැනී මේ වෙලේ රුක්මාගේ සහයට ලඟින්ම හිට ගත්තීය. ලාල් සහ ශ්රීමතී දරුවන්ද කැටිව රුක්මාගේ නිවස්නයට ආවේ සිය පළමු මුනුබුරු යුගලය දැක ගැනීමේ අභිලාෂයෙනි.

“දෙන්නම රොෂාන් වගේමයි “ කියමින් ශ්රීමතී සිනාසුනාය.

රොෂාන් ආඩම්බරෙන් ඔද වැඩී ගියේ එන හැම දෙනාම දරුවෝ ඔහු වගේ යයි කීම නිසාය. සැබවින්ම දරු දෙදෙනා රුක්මා මෙන් කුඩා ඇඟපත තිබෙන දරුවෝ නොවූහ. ඔවුන්ගේ දිග අතපය සහ කෙලින් පිහිටි නැහැය දකින විට ඕනෙම කෙනෙක්ට රොෂාන් සිහි වීම අරුමයක් නොවේ.

කොතෙක් නපුරුකම් කළද කපන්න බැරි අත සිම්බින්නාක් මෙන් ශ්රීමතී මුල් සතියෙම උදේ පැමිණ කුඩා දරුවන් නහවා ගෙදර ගියේ තමාගේ වගකීමක් යයි සිතමිනි. ළමාතැනීගේ දනිස් අමාරුව නිසා බිම බැංකුවක ඉඳගැනීම අසීරු හෙයින් එය ඔවුනට පහසුවක් විය.

රොෂාන්ට රාත්රියේ දරුවන්ගේ කරදරෙන් මිදී සුවසේ නිදා ගැනීමට තුන් වන මහල පිටුබලයක් විය. එමෙන්ම ඔහු දැන් නිදහසේ සිටින්නේ රුක්මාට ඔහු වෙත අවධානය දෙන්නට වෙලාවක් නොමැති හෙයිනි. වැඩ ඇරී කොහෙවත් නොයා ගෙදර එන රොෂාන් බෝහෝ විට ඇඟ සෝදා දරුවන් වඩාගෙන මිදුලේ ඔබ මොබ සැරිසරයි. වන්නමක් කියමින් දරුවෝ නළවයි. නිවසේ සහ දරුවන්ගේ වැඩට සේවකයන් ඕනා තරම් සිටීම නිසා රුක්මා වෙහෙසට පත් වූයේ ඔවුන්ගේ නොසන්සිඳෙන කුසවල් පිරවීමට පමණි. රන්සිළු කිරි බීමට බෙහෙවින්ම කැමති දරුවෙකි. අනික් පසින් අමාවද දරාගෙන ඕ දෙපියවුරෙන් දෙදෙනාටම කිරි දුන්නීය. කිරි ඉවර වීම නොයිවසන රන්සිළු බෙරිහන් දී හඬයි. ඇතැම් විට මේ කෑගැසීම සහ නොසන්සිඳෙන බඩගින්න නිසා රුක්මා දැඩි වෙහෙසට සහ වේදනාවට පත් වූවාය.

රන්සිළු නිකන් හෝ කට බේරී කරනවා දුටුවොත් රොෂාන් රුක්මාට කිරි ටිකක් දෙන ලෙස කියයි. එක්කෝ රුක්මා හට කෑගසයි. රුක්මා දරුවන් විෂයෙහි අපරිශාවෙන් හැසිරෙන්නක් මෙන් අදහසක් හිතේ දරාගෙන රොෂාන් කටයුතු කරනවාද ඇතැම් විට රුක්මා කනගාටු වූවාය.

මේ දිනවල රොෂාන් සිටියේ කම්පනයෙනි. එයින් ඇතිවන කෝපය සහ නොරිස්සුම ඔහු පහසුවෙන් පිට කළේ රුක්මාටය. වැනේසාගේ දියණිය ගැබිණි වීම නිසා කළ හැකි දෙයක් ඔහුට නොවීය. නමුත් වැනේසා නිතරම දුරකතනයෙන් අමතමින් ඔහුට පැමිණිලි කළාය. ඩයනා කුඩා දරුවෙකි. අවශ්ය දෑ ගැනීමට මවට මුදල් හදල් දුන්නද රොෂාන් ඩයනා හෝ ජුලියන් ගැන ලොකුවට ගණන් ගත්තේද නැත. ඔහුට මේ සඳහා කළහැකි දෙයක්ද නොවීය.නමුත් වැනේසා උදේ හවා මේ ගැන කලබල වී කටයුතු කිරීම රොෂාන්ට මහත්ම පීඩාවක් වුන අතර ඒ පීඩාව පහකරගනීමට භාවිතා කළ රුක්මා දරු උපතකින් මාස කීපයක් ගිය කාන්තාවක් බව පවා ඔහු නොසිතුවේය.

එක පසෙකින් රොෂාන්ට රුක්මා අත්යවශ්ය කෙනෙක් වුන නමුත් කුමක් හෝ ඔහුත් නොදන්නා හේතුවකට ඇය නොරුස්සන්නට දැන් දැන් ඔහු පටන් ගෙන තිබුණි. ඔහුගේ පැවතී නිදහස් ජීවිතය නැති වීමේ කම්පනය සහ වැනේසා හුදෙකලා වීමේ වරදකාර හැගීම හදවතේ නිධන් වී තිබුන අතර අවිඥානිකව ඒ කෝපය පිට වූයේ රුක්මා වෙතටය. මෙය ඔහු හිතා මතා කළ දෙයක් නොවුනද ඔහුගේ ක්ෂුද්ර හැසිරීම් වලින් ඈ කෙරෙහි ඇති නොසතුට මනාව පෙනුනේය.

දරුවන්ට මාස දෙක පිරෙන දිනය ඔවුන්ගේ විවාහයේ පළමු සංවත්සරය විය. රුක්මා සොවින් සිටින හෙයින් සහ අඹු සැමියන් දෙදෙනා දැන් අහේතුකව එකිනෙකා නොරිස්සීම හේතු කොටගෙන ළමාතැනී මදක් කලබල වී සිටියාය. මෙයට හේතුව ලෙස ඈ සිතුවේ ඩොරීන් විසින් කවන ලද යමක් නිසා රොෂාන් රුක්මා කෙරේ නොයිවසන බවය. ළමාතැනී කොතෙක් සිතුවත් රුක්මාගේ වරදක් ඇයට සොයා ගත නොහැකි විය. රුක්මා බොහෝ විට රහසේ කඳුළු සලමින් දරුවන් වෙත අවධානය යොමු කරමින් සිටියා මිස කාමරයෙන් පවා එලියට ආවේ කලාතුරකිනි. රෝශාන්ද දරුවන් වෙත ගොස් ඔවුන් සුරතල් කිරීම කළ නමුත් රුක්මා සුරතල් කිරීම හෝ ඇයගේ හැගීම් ගැන සොයා බැලුවේ නැත.

“ ඔයා හොඳින් නේද? හොඳට කෑවද? හොඳට කන්න නැත්නම් කිරි මදි වෙයි “ වගේ වචන කීපයක් හැර ඔහුට රුක්මා සමග කතා කිරීමට දෙයක් තිබුනේද නැත. රුක්මා ඔහු සමග කළහ කර ගැනීම යටි සිතින් අපේක්ෂා කළ නමුත් ඒ බලාපොරොත්තුව ඉටු නොවුනේ රුක්මාගේ සහජ නියාලු ගතිගුණ නිසාය. හුදෙකලාව කඳුළු සලන ලද නමුත් ඕ කම්පිත දෙනෙත විශාල කර රොෂාන් දෙස බැලුවා මිස ඔහුට වචනෙකින් හෝ දෝෂාරෝපණ නොකළාය.

එදා දහවල වැනේසා හමුවී පැමිණි ඔහු වඩාම සතුටට පත් වූයේ ඩයනා ගේ ගැටලුව විසඳාගෙන වැනේසා සතුටින් සිටි හෙයිනි. ඒ සැහැල්ලුව ඔවුන් නැවත අලුත් යුවලක් මෙන් ප්රේමයෙන් මුසපත් කිරීමට සමත්ව තිබුණි. සුපුරුදු ලෙස දරුවන් සුරතල් කළ රොෂාන් ඔහුගේ මහළට ගියේ පත්රයක් බලමින් නිදහසේ සිටීමේ චේතනාවෙනි. දැන් සියලුම පවුල් බැමි වලින් වැනේසා නිදහස් වෙමින් සිටී. ජුලියන් හෙට අනිද්දා රටින් පිට වේ. කන්දප්පා වැනේසා ගේ ජීවිතයෙන් චුත වී ඇති. ඒ මදිවාට ඩයනාගේ භාරකාරත්වය කන්දප්පා අරගෙන තිබේ. දැන් වැනේසා නිදහස් ගැහැණියකි. වැනේසා සමග යුරෝපයේ සංචාරයක යෙදෙන්නට රොෂාන්ට සිත්වේ. අම්මට සොරා පැන ගන්නේ කෙසේද ඔහු කල්පනා කළේය.

ඔහුගේ දරුවන්ට මේ සම්බන්ධය දිගට ගෙන ගියොත් හානි වෙනු ඇති බව ළමාතැනී දිවුරා කීවත් රොෂාන් හාස්යයෙන් එය ඉවත දැම්මේය.

“ එයාලට මොනවා වෙන්නද? මම එයාල වෙනුවෙන් තමා මේ උදේ හවස නැහෙන්නේ. තාත්තා පොඩ්ඩක් විනෝද වුනා කියල දරුවන්ට නැති වෙන දෙයක් නැහැ “ රොෂාන් කල්පනා කළේ සැහැල්ලුවෙනි.

ළමාතැනී උඩු මහළට පැමිණියේ රුක්මාගේ සහ ඔහුගේ විවාහ සංවත්සරය ගැන මතක් කිරීමටය. එය මතක නැති කිරීම ගැන කියමින් උදේ රුක්මා කඳුළු සලා තිබුණි. පුවත්පත පසෙක තබා එලිය බලාගෙන සිගරට් දුම් පිඹිමින් ශීත ඉර්තුවේ දිනක වැනේසා සමග හිම වැටෙන හැන්දෑවක තුරුල් වී සිටිනා අයුරු ගැන හීන දකිමින් ඔහු සිටියේ උඩ බැල්කනියේය. ඔහුට ලඟට එන ළමාතැනී ගේ හඬ නෑසුනි.

“ පුතා… අද දවස අමතකද ?” ළමාතැනී ඇසුවාය.

“ ඇයි අම්මා..අද නෙවේනේ අම්මගේ උපන්දිනේ… “ ඔහු ඇසුවේ මවිත වෙමිනි.

“ ඇයි පුතාගේ කසාදෙ පලවෙනි අවුරුද්ද අදටනේ පිරෙන්නේ ..අර ළමයා හිතාන ඉන්නේ පුතා අමතක කරලා කියලයි “

“ දෙවියනේ ඇත්තටම අමතක වුනා නේන්නම් “ රොෂාන් කීවේ කනගාටු වෙමිනි. ඒ සමගම දැන් කළ හැකි යමක් ඇතිද ඔහු කල්පනා කළේය.

“ පුතා ඒ ළමයා දුකෙන් ඉන්නේ . මොකද දැන් ඒ ළමයා එක්ක වැඩි කතා බහක් නැත්තේ ?” ඇසුවේ ප්රශ්නයට විසඳුමක් ඇතිද සොයා බැලීමටයි.

“එයාට දුක් වෙන්න මුකුත් නැහැ. දරුවෝ දෙන්න හදාගෙන හරියට ඉන්න එකනේ තියෙන්නේ. අඩුම ගානේ වෙන තැන් වල වගේ නැන්දම්මා ලේලි ප්රශ්නයක් වත් නැහැනේ. අපේ අම්මා වගේ අම්මෙක් ළඟ ඉන්න එකම මදිද? ඔහු ඇසුවේ ළමාතැනී ගේ නිලය බලාය.

ඇගේ මාතෘ මුහුණේ සුන්දර හිනාවක් මතු විය.

“ ඒ වුනත් ඒ ළමයා ඉන්නේ වේදනාවෙන් නේද? පුතාට ඒ ගැන ගානක් නැතිද ?”

“ එයාට අසතුටු වෙන්න මම මුකුත් කරලා නැහැ අම්මා. මිනිහෙක් හැටියට මම තව මොනවා කරන්නද ? “ ඔහුද උත්තර දුන්නේ අසන්තෝසයෙනි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article