කුල ගෙය – Episode 31

Oct 2, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරු සොඵාවේ කොට්ටයක් දමාගෙන රොෂාන් නිදා ගත්තේ නාද වන දුරකථනය නිදන කාමරයේ සිටියොත් තමාට නෑහෙනු ඇතියි සිතීමෙනි. ඔහුට ඇහැරෙන විට වටින් ගොඩින් එලිය වැටෙමින් පැවතුනි. සියොතුන් අලුත් දිනයකට ගී ගයමින් සිටියහ. රුක්මා කරදරයක් නැතිව දරුවා ප්රසූත කළාද යන චේතනාව රොෂාන්ගේ සිතේ ඇතිවිය. කරදරයක් නම් ඔවුන් තමාට කතා කරනු ඇති. ඒත් මෙතරම් වෙලා කතා නොකළේ මන්ද ඔහුගේ සිත තැවුනත් ලංකාවේ අංක එකේ නාරි වේදියා විසින් බලන හෙයින් රුක්මා ගැන බයක්ද ඔහුට නොවීය.

Continue Reading Below

කොයි එකටත් කියා වහා ස්නානය කර ඇඳුම් ඇඳගෙන පහලට යන විට ඒ වන විටද පාන්දර පිබිදී ළමාතැනී කිරිබත් සාදවා ගේ දොර සියල්ල සරසා ඉතා වටිනා සුදු සහ රත්රන් පැහැ ඔසරියකින් සැරසී සිටියාය. පහළ මාලයට ගිය රොෂාන් නැවත වරක් දරුවාගේ සහ රුක්මාගේ ආගාර පිරික්සා බැලුවේය. සිනිදු තොටිල්ල සහ වියන් ඇඳ මනාව අතුරා තිබුණි. මේ තොටිල්ල හතර දෙනෙක් වත් එකතු වී ඉස්සිය නොහැකි බර තොටිල්ලකි. සොල්දොරේ සිට එය ගෙන ආවේ කොටස් වශයෙනි. පරම්පරා ගණනක් භාවිතා කළ මෙහි රොෂාන් සහ මුදලිතුමා යන දෙදෙනාම කුඩා කල සැතපුනාහ.

තොටිල්ලට රෙදි ආදිය මැසීම ළමාතැනී ගේ මතයට අනුව රුක්මා විසින් කරන ලද අතර පසෙකින් නවා පෙට්ටගමක් උඩ තබා තිබුන රෙදි නැපි රොෂාන් නහයට කිට්ටු කර සුවඳ බැලුවේය. ඒ සමග මේ වන විටත් මෙලොව එලිය දැකීමට ආසන්න සිය බිලිඳා ගැන ඔහුට මහත් සෙනෙහසක් හට ගත්තේය. අම්මා කැටිව හේ ඉක්මන් ගමනින් මැකාර්ති රෝහල දක්වා පිට විය. ඔහු පැමිණි විගස ඔහු හමු වීමට ඉදිදිරියට පැමිණියේ පෙර දින හමු වුන තරුණ වෛද්ය වරයාය.

සිනාසුන ඔහු රොෂාන් හට ඉංග්රීසි බසින් සුබ උදෑසනක් පැතුවේය.

“මගේ දරුවා ඉපදුනාද ? “ ඔහු පෙරලා සුබ නොපතා කලබලෙන් ඇසීය.

“ ඔවු මිස්ට ගජසිංහ ..සර් කීවා තව විනාඩි කීපෙකින් මැඩම්ව කාමරේට මාරු කරනවා කියල”

“ දරුවාට කොහොමද ? පුතෙක්ද දුවෙක්ද ? “ රොෂාන් ඇසුවේ රුක්මා ගැන නොසිතාය.

“ හොඳින් ඉන්නවා ..” කියමින් ඔහු කපටි හිනාවක් නගා දරුවා ගේ ලිංගය නොපවසා. ඉවත ගියේය.

VVIP අංශයේ එදා සිටියේ රුක්මා පමණක් හෙයින් රොෂාන් වේගයෙන් අඩි තබා රුක්මා රඳවා සිටි දෙසට ගියේ දරුවා සහ ඇය කාමරයට ගෙන එන විට පිළිගැනීමටය. ළමාතැනී පස්සෙන් වැටුනාය.

ඔවුන් ඒ දෙසට එන විට රුක්මාගේ කාමරයේ දොරේ රෝස පාට සහ නිල් පාට යන වර්ණ දෙකින්ම බැලුම් එල්ලා තිබුණු අතර දොරට තට්ටු කිරීමකින් හෝ තොරව රොෂාන් කඩා වැදුනේය. යන විට ඔහුගේ නෙතට වැටුණේ චීත්තයක් සහ ජැකට් එකකින් සැරසී සිටින රුක්මාය. වෛද්ය වරයා ඇගේ පසෙකින් සිට අතට දැමු පටියක් ලඟට සිය වෙද නලාව තබමින් රුධිර පීඩනය පරීක්ෂා කරමින් සිටියේය.

රොෂාන් දුටු විගස රුක්මා ඔහුට දුබල ලෙස සිනා සුනාය. රාත්රිය පුරා අපමණ වෙහෙසක් දරා උදෑසන තුනට පමණ දරුවන් උපද්දවා නින්දක් නිදාගෙන ඕ පිබිදී සිටියාය. උදේ වන තුරු රොෂාන් හට නොදැන්වීමට වෛද්ය වරයා සනිටුහන් කළේ රාත්රියේ රෝහලට පැමිණීම නොකළ හැකි නිසාත් රුක්මා හට අනපේක්ෂිත ලෙස නිමුන් දරුවන් ඉපදී සිටීමත් නිසාය. අද මෙන් ස්කෑන් පහසුකම් නොමැති එකල නිමුන් දරුවන් හඳුනා ගැනීමට ක්රමයක් නොවීය. නමුත් වෛද්ය වරයාගේ පළපුරුද්ද මත ඔහු ඇතැම් විට නිමුන් දරුවන් විය හැකි යයි සැක කළ නමුත් හෙළි කලේද නැත.

කුඩා බිලිඳුන් දෙදෙනා ළඟ ළඟ තබන කොට් දෙකක බාවා තිබුණේය. දුටු දසුනින් රොෂාන්ට අදහාගත නොහැකි විය. නිල් සහ රෝස බැලුන් එල්ලා තිබුනේ ඇයිද ඔහුට වහාම වැටහිණි. ළමාතැනී වහාම සිය මුණුබුරන් දෙදෙනා වෙතට දිව ගියාය. ඔවුන්ගේ රෝස පැහැති චූටි මුහුණු සහ පියවුන දෙනෙත දෙස රොෂාන් බලා සිටියේ ගල් ගැසීගෙනය. ගැහැණු දරුවා යමක් සූප්පු කරන්නක් මෙන් නින්දෙන්ම දෙතොල් සොලවයි. කටයුතු නිම කර වෛද්ය වරයා කාමරයෙන් නික්මී ගියේ රොෂාන්ට සුබ පැතීමෙන් පසුවය. කිසිඳු අනතුරක් නැති නිසා දවල් වන විට රුක්මාට ගෙදර යා හැකි බව ඔහු විසින් තීරණය කරන ලදී.

රොෂාන් රුක්මා වෙතට පැමිණ ඇයට හාද්දක් දුන්නේය. ඔහුගේ සිතේ පැවති බය , දුක , චකිතය දරුවන් නමැති ප්රීති ප්රමෝදයේ ගිලුනේය.

කුඩා දරුවෝ ගෙදරට කැඳවාගෙන ඒමෙන් පසු එතෙක් ගෙදර සැමගේ අවධානය දිනා සිටි රුක්මා කාහටත් අමතක වන ලකුණු පෙනුණි. ඇයට ආහාර කැවීමට පෙරෙත්ත කරමින් රොෂාන් දඟලන්නේ අනෙකක් නිසා නොව සිය දරුවන්ට කිරි මදි වේ යයි බියෙන් පමණක් බව රුක්මා ප්රත්යක්ෂ කළේ ශෝකයෙනි.

රුක්මාගේ සිත හෝ ඇගේ කනස්සල්ල තේරුම් ගැනීමට රොෂාන් කලබල වුනේ නැති. ඔහුට අනුව රුක්මාට කරදර වෙන්නට දෙයක් නැත. දරු උපතින් පසු රුක්මා ආදරය වැඩියෙන් බලාපොරොත්තු වෙනවා යයි කවුරුත් කීවොත් ඔහුට හිනා යනු ඇති. දැන් ඔවුන් දෙදෙනා මාපියෝය. ඔවුන් දෙදෙනාගේම ජීවිතය දරුවන් පමණකි.

රොෂාන් යනු ඉතා වාසනාවන්ත මිනිහෙක් බව ඔහු නැවත වරක් අවබෝධ කර ගත්තේය. උපතින්ම මහා ධනස්කන්ධයක් හිමි කරගත් ඔහු මොන දේකට වත් කලබල විය යුතු කෙනෙක් නොවේ. ඔහුට විශාල කාර්ය මණ්ඩලයක් සිටියේය. ඇති තරම් මිල මුදල් තිබුනේය. කියන පමාවට ඔහුගේ සිතැඟි ඉටු කිරීමට හැමෝම සැදී පැහැදී සිටියාක් වැන්න. ඔහුට ප්රීතිය ගෙනදෙන වසර ගානක් එකට සිටින අචල ආදරයක් තිබුනේය. මෙතෙක් කලක් ඔහුට අඩුවක්ව පැවතියේ ඔහුගෙන් පසු ගජනායක පරම්පරාවේ නම ගෙනයාමට පුරුකකි. ඔහුගේ ලාබාල , අහිංසක භාර්යා තොමෝ ඒ අඩුවත් හිතුවාටත් වඩා හොඳින් ඉටු කර තිබුණි. එක පුතෙක් පැතු ඔහුට පුතෙක් සහ දුවක් එකවර ලැබී ඇති.

සිය ජීවිතේ වාසනාවෙන් තෘප්තියට පත් රොෂාන් රුක්මා කෙරෙහි බෙහෙවින් කෘතඥ විය. ඇයට ත්යාග පිණිස දියමන්ති වලින් තැනු වටිනා මාලයක්, කරාඹු ජෝඩුවක් සහ ඒ වර්ගයේම අත් පළඳනාවක් තෑගී කළේය. රන්සිළු ලෙස පුතාටත් අමා ලෙස දුවටත් නම් තැබීමට දෙදෙනා කතිකා කළහ. ඔවුන්ගේ පරම්පරා වල කුල වන්නම් එකතු කිරීමට රුක්මා අකමැති වුනත් ළමාතැනී සහ රොෂාන් ඔවුන්ට මනාප ලෙස දරුවන්ගේ නම තැබූ විට මුලකුරු පමණක් 14 ක් උඩින් එක්වී තිබුණි.

“ ඉස්සරහට ඕවා වෙනස් වෙනවා..ලෝකේ ඉස්සරහට යනවා රොෂාන්. අන්තිමේ වෙන්නේ දරුවෝ නම නිසා අපහසුවට ලක් වෙන එක විතරයි “ රුක්මා ඉංග්රීසි බසින් කීවේ කෝපයෙනි.

දරුවන් විෂයෙහි රොෂාන් හැසිරුනේ ඔහුගේ මතයට පමණකි. හරියට ඔවුන්ගේ 100% කම අයිතිය තමා වෙතට පැටවුනාක් මෙනි.

“ රුක්මා ඔයා නිතරම ලෝකේ දකින්නේ හරිම අසුබ විදිහට… අපේ පරම්පරා හරියට අතුගෑවිලා යනවා වගේනේ.” ඔහු ඇගේ උරහිසට තට්ටු කළේය. ඒ සංවාදය මිත්ර ලීලාවෙන් අවසන් කළ ඔහු නික්මුනේ කාර්යාලයට යාමටය.

……………………………………………..

වැනේසා එළිවෙන තුරු නිදා නොගත්තීය. සිය මනස සන්සුන් වීමට ඕ මොර්ෆීන් යොදා සාදන ලද ඔසුවක් කිහිප වරක් පානය කළාය. මිතුරු වෙදැදුරා විසින් එය ඇයට ලබා දී තිබුනේ රොෂාන්ගේ සහ කන්දප්පාගේ වියෝව සමග හටගත් මානසික සංකූලතාවය සමගය. අධිකව පානය නොකිරීමට උපදෙස් ලැබී තිබුනත් ඔහුගේ අවවාදය නොතකා තුන් වරක් ස්වල්පය බැගින් පානය කර උදෑසන 4 ට පමණ ඕ තද නින්දකට වැටුණාය.

ඒ වැනේසා පිබිදෙන විට දහවල් එලිය වැටී තිබුනේය. වෙලාව ගැන හැගීමක් නැතිවම දුහුල් නයිට් ගවුම පිටින්ම එලියට යන අතර ඉකුත් දා රාත්රියේ සිදු වුන සිදුවීම් එකින් එක ඇගේ මනසට එන්නට විය. ඩයනා සොයා බැලීමට ඇයට සිතක් පහළ වූයේ නැත. කෑම මේසයට එහායින් ජුලියන්ගේ හඬ සමග තවත් හඬක් නැගේ.

“ ඕ ..කවුරු වෙන්න පුලුවන්ද? මේ වෙලාවේ ?”

ටිකක් සමීප වන විට කන්දප්පා පැමිණ ඇති බව ඇයට වැටහිණි. සීනුව ගසා සිසිලියානා ගෙන්වූ ඇය තමාට කෝපි රැගෙන එන මෙන් අණ කළාය. ගෙයින් එලියට ගිය ඇයට දහවල් ඉර අවුව තදින් දැනෙමින් පැවතුනි. ගෙදරට දාන සෙරෙප්පු ජෝඩුව නැතිවම ඇඳි වත පිටින් වැනේසා ජුලියන් සහ කන්දප්පා සිටි ලතා ගෘහය වෙත ගියාය.

හොඳ විවේකයක් ලබා ඇගේ මුහුණේ වෙහෙස නිවී ගොස් ඒ වෙනුවට ප්රාණවත් වී තිබුණි. දුහුල් නිතිය පිටින් සමීප වන වැනේසා දෙස කන්දප්පා වශී වූවක් මෙන් බලා සිටින බව පෙනුනත් ඔහුගේ සිත ගියේ බොහෝ ඈතටය. දෛවෝපගත ලෙස ඇය විවාහ වුන දිනයේද ඇඳ තිබුනේ මෙවන් නයිටියකි. කන්දප්පා ගේ සිත අතීතයට දිව ගියේය. එකල සිටි කෙට්ටු පැහැපත් කෙල්ලට වඩා අද සිටින පිරුණු වැනේසා සුන්දර බව හෙතෙම ප්රත්යක්ෂ කළේය. ඒ සුන්දරත්වයට තමා ජීවිතයේ කී විටක් වශී වී ඇතිද ඔහු කල්පනා කළේ සංවේගයෙනි. අවශ්යතාවය මත ඇතිකරගත් ප්රේමයෙන් අවංකව කුසුම් හා බැදී සිටියද කන්දප්පා ගේ සිතේ නැතිවූ ආදරය ගැන පිළිකුලක් මෙන්ම ලෝභයක් මොහොතකට ඇතිවී නැති විය.

ඕ සැහැල්ලු ඉඟි පාමින් ඔවුන් දෙදෙනා අතරින් වාඩි වූයේ කන්දප්පා තමා දැකීමෙන් ආශ්වාදයට පැමිණි බව ප්රත්යක්ෂ කර ගැනීමෙනි. වැලි තැවරුණ ඇගේ කිරි ගරුඬ මෙන් සුදුමැලි දෙපා ඉතා අලංකෘත විය. සතියකට වරක් ඉහළ මිලක් ගෙවා රූප ලාවන්යය ශිල්පිනිය විසින් සුවපත් කරන දෙපය ගැන ඕ බෙහෙවින්ම ආඩම්බර වූවාය. රතු නිය ආලේපන පිළිවෙලට ගලවා තිබුන ඇගේ නියපොතු පොපි මල් මෙන් රතු පාටින් බැබලුනේ ඕනෑම පිරිමියෙකුගේ මන බැඳීමට මෙනි. ජුලියන් අම්මා දෙස නොබලා පියා සමග කතාවේ යෙදී සිටියේය.

“ වාඩි වෙන්න වැනේසා” කන්දප්පා ආචාරශීලී ලෙස පැවසු අතර පුටුවෙන් නැගිට සිය පුරාන භාර්යාවට ආචාර කළේය.

“ රෙජී ..දැන්ද ආවේ? මට රාත්රියේ නින්ද ගියේ නැහැ. ඒ නිසා උදේ ටිකක් පරක්කු වුණා “ ඈ කීවේ යටහත් පහත් ස්වරූපයෙනි.

“සිසිලියානා මහත්තයට තේ එකක් ගෙනෙන් … කිරි නොදා “ යයි විධාන කළේ කන්දප්පා ගැන දැඩි සැලකිල්ලක් දක්වන්නක් මෙනි.

දික්කසාදයේ පලවෙනි නඩු වාරය කතා කර ඇති වුවත් වැනේසා ඔහු කෙරේ හැසිරුනේ කිසිවක් නොවූ පරිද්දෙනි.

“මම කියන්නේ අම්මා…..” යයි ජුලියන් කතාව පටන් ගත්තේ වැනේසාගේ නළල දෙස බද්ධ දෘෂ්ටියෙන් බලමිනි.

“ජුලියන් නංගි මගේ සහ තාත්තාගේ දරුවා. ඔයා අපේ තීරණ ගැන කරදර වෙන්න ඕනේ නැහැ . මම කැමතියි ඔයා මේ වෙලේ පාඩම් කරනවා නම්” යයි ජුලියන්ට සැරෙන් කීවේ ඔහුව පිටමන් කිරීමේ අදහසිනි.

“ මගේ නංගි….” කියමින් ඔහු බාධා කරන්නට හැදුවාක් පමණි.

“ ජුලියන් කාමරයට යනවා “ කියමින් වැනේසා මොහොතකට රවා කන්දප්පා වෙත සිනාවක් පෑවාය.

කන්දප්පා කාමරයට යන මෙන් සහ සියල්ල හරි බව මාපට ඇඟිල්ල ඔසවා ෆිට් කියා ජුලියන්ට කීවේය. ඔහු පුටුවෙන් නැග්ගේ කෝපයෙනි.

“ රෙජී එන බව මා දැනගෙන හිටියා…. ඔයා ආව එක මොන තරම් ලොකු ශක්තියක්ද මේ වෙලේ?”

වැනේසා කනට මී පැණි වක්කරනවා වැනි ස්වරයෙකින් කීවේ ඊයේ දිනයේ “ පහත් නිවටයා “ ලෙස ඔහුට ආමන්ත්රණය නොකළ භාර්යාවක් මෙනි.

කන්දප්පා විපත අසා සිටියේ බලවත් කම්පනයෙනි. කළ යුත්තේ කුමක්ද ඔහුගේ සිත තැවුනේය. රුක්මන් මේ වන විට ලංකාවේ නැත. ලංකාවේ සිටියත් විවාහකයෙක් වන රුක්මන් සොයා ගැනීමෙන් පලක්ද නැත. ඔහු දරුවා වෙනුවෙන් හදවතින්ම වැනේසාට දොස් කිවූ අතර කුමක් කරන්නද කල්පනා අකරමින් සිටියේය. අවසානයේ ඔහු පුටුවෙන් නැග්ගේ මේ ගැන කුසුම් හා කතා කිරීමට සිතාගෙනය.

“ රෙජී ..මා දාල යන්න එපා “ වැනේසා නැවත ආයාචාන කළාය

“ මම මොකටද ඉන්නේ? දැන් තව ටිකකින් රොෂාන් ඒවි වැනේසා” ඔහු උපහාසයෙන් කීවේ සම්බන්ධයේ වර්තමාන තතු ජුලියන්ගෙන් ඔහුට දැනගන්න ලැබුණ හෙයිනි.

“ නැහැ එයාගේ ළමයා ඉපදෙන්න වයිෆ් රෝහල් ගත කරලා ..එයා එන එකක් නැහැ “ වැනේසා පිළිතුරු දුන්නේ කුඩා දරුවෙක් මෙනි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article