කුල ගෙය – Episode 30

Sep 25, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

දුරකතනයට අමතන රොෂාන්ගේ මුහුණ ඇඹරී යනු දුටු ළමාතැනී බය වූයේ රුක්මා ගැන නරක ආරංචියක් අහන්නට ලැබෙතියි යන සිතුවිල්ලෙනි. දුරකතනයෙන් කියවෙන දේ ඇසීමට මෙන් ඕ පුතු අසලටම ලං වූයේ පණිවිඩය මොකද්ද කියා ඉඟියකින් අසමිනි. විනාඩි කීපයක් සන්සුන්ව රොෂාන් හා..හ්ම්ම් කියමින් සවන් දෙන බව අසා සිටි ඇගේ සැකය වැඩි විය. සෙන්ටිමීටර කීපයක් එහායින් සවන් දෙන ඇයට හදිස්සියේ මේ ඇසෙන්නේ වැනේසාගේ හඬ බව දැනුණි. එසැනින් යක්ෂාවේශ වුන රදල මහගේ පුතාගේ අතින් දුරකතනය උදුරා ගත්තීය.

Continue Reading Below

“ ඈ වල්… බැල්ලියේ මගේ පුතාගේ කසාදෙ දවසේ අරම නාඩගමක් නැටුවා..තෝ අද මොකද්ද නටන්න හදන නාඩගම? “ කියමින් ගුගුරා හැලුනාය. එහා පසින් ෆෝන් එක තැබූ බව හැඟවෙන බීප් බීප් හඬින් පියවී සිහියට පැමිණි ඇය රිසිවරය දමා ගසා රොෂාන් දෙසට හැරුනේ කෝපයෙන් බිහිරිවය.

“ ගොන් වස්සෝ… තෝ අද එහෙම එලියට බැහැල ඔය බැල්ලි පස්සේ ගියොත් තොට මම මරණෙට වත් එන්න දෙන්නේ නැහැ කියල මතක තියාගන් “ කියමින් බුරාගෙන පැන්නාය.

“ අම්මා ..කේන්ති ගන්න එපා… මෙතන එහෙම දෙයක් නෙවේ වුනේ කියමින් රොෂාන් ඇගේ ඔඩොක්කුව පාමුල දන ගසා ගත්තේය. එතැන් පටන් අම්මා සහ පුතු අතර වාග් සංග්රාමය ආරම්භ විය.

“ උඹට නොතේරුනාට මට තේරෙනවා හැමදාම උඹේ ජීවිතේ අලුත් දෙයක්, හොඳ දෙයක් තියන දවසට ඔය බැල්ලි මොකක් හරි කියාගෙන එනවා. තෝ මීහරකෙක් නිසා ඒ කියන විදිහටම නටනවා. අද මොන නාඩගමක්ද තොපි දෙන්නා නටන්න හදන්නේ ? අර කෙල්ල අරහේ දරුවෝ වදන මහා වේදනාව විඳිද්දී. “

රොෂාන් යනු ආදරෙන් අන්ධ වී සිටියද මෝඩයෙක් නොවේ. මෙය ඇත්තටම අහම්බයක්ද? සැලසුමක්ද? ඔහු කල්පනා කළේය. ඔහුගේ ජීවිතයේ වැදගත්ම දිනය වන කුළුඳුල් දරුවා උපත ලබන දිනය තමා රුක්මා සමග ගත කිරීම වැලක්වීමට ගසන සැලසුමක්ද? ඒත් රුක්මා විලි පහරන්නට පටන් ගත්ත බව වැනේසාට කීවේ කවුද?

“ අම්මා රුක්මා ඇඩ්මිට් කරා කියල වැනේසා දන්නේ නැහැ” ඔහු කීවේ කල්පනා දැහැනින් මිදෙමිනි.

“ උඹ නොදන්නවා වුනාට අර වල් ගාමිනියා ඕකි එක්ක හැම වෙලේම කතා කරලා ඔත්තු දෙනවා. මම මොනවා කීවත් පුතා විස්වාස කරන්නේ හොර අඹුව සහ වැඩකාරයා බව මා දන්නවා. පුතාට හැමදාම වදපු අම්මට වඩා ලොකු වුනේ උන්වනේ”

කියමින් සුසුමක් හෙළුවේ අතීතය සිහි කරමිනි. වලවුවට අයත් කුඩා ඉඩමක පදිංචි කළ කර්ලිනා ගේ පවුල ඇයට මතක් වේ. කර්ලිනාගේ වැඩිමහල් ළමයා මුදලිතුමාගේ බව පැවසුන අතර ඔහු නීත්යානුකූල බිරිඳ වූ තමාට වඩා කර්ලිනා වෙත ආල ලීලා පෑ අයුරු ළමාතැනීට මතක් වේ.

“ මොනවා වුනත් දැන් මම කොහොම යන්නද අම්මා? මම යන්නේ නැහැ. මම අම්ම එක්ක ඉන්නවා. කොයි වෙලේ හරි වයිෆ්ට බබා ලැබෙයි. ලැබුන ගමන් මම යන්න ඕනේ. “ ඔහු තීරණයකට එමින් කීවේය.

“ දැන් මොකද්ද ඕකුන්ට මේ රෑ වැහුනා යකා ?” කියමින් ළමාතැනී විපරම් කරන්නට වූවාය.

සිදුවී ඇති මහා අවුල ලෙහන්නේ කෙසේද කියා රොෂාන් කල්පනා කළේය.

“ මේකයි පුතේ … අර දරුවා උඹ එක්ක රණ්ඩු වෙන්නෙත් ඕවා නිසානේ. උඹ ඔය වේසා ගෙදර රිංගන එක නවත්වලා නැති බව මම දන්නවා. ඉතින් මිනිහෙක්ට ගෑනු දෙන්නෙක් ඉද්දි වෙන්නේ මේකයි, එක ගෑනියෙක් එක්ක වත් සම්බන්ධයක් නැතුව මුළු ජීවිතේම අවුල් ජාලයක් වෙනවා. උඹේ හොර අඹුව ලෝකේ කාල වතුර බීලානේ ඉන්නේ. උන්ගේ ඇති ලජ්ජා බය නැතිකම් ජන්මෙන්ම එන ඒවා.” කියමින් සුසුමක් හෙළුවාය.

දිනක් හවස ඇය සිය සහෝදරයාගේ දුවගේ කොටහලුව අවසානයේ ගෙදර එන විට කාර්යාල කාමරයේ මුදලි තුමා සිටි හැටිත් අඩක් ඇරුන දොරින් රෙජිනාට ටියුෂන් දෙන්නට ආ ඩොරීන් මුදලි තුමාගේ මේසය මත ඉඳගෙන මුකුළු කරන හැටිත් අද මෙන් ඇගේ නෙත් ඉදිරියේ මැවී පෙනුණි. මේ වන තුරු මේ කතාව ඇය කාටවත් කීවේ නැති නමුත් එදා සිට ඩොරීන් උගන්වන්නට එන සැම විටම ගෙදර සිටීමට පරිස්සම් වුනේ “ ගෑනුන්ට බැනල ඇති වැඩක් නැහැ. මේ මිනිහා නාකි වෙලත් මනමාලකම “ යයි හිත හදා ගනිමිනි.

“ මෙතන ගැටලුව තියෙන්නේ ඔය හූනියම් දෙක ගෙට දාගත්තේ මගේ මෝඩ කම නිසා . රෙජිනාට උගන්වන්න කියල ඩොරීන් ගෙට දා ගත්තු නිසයි පුතා මේ වගේ මුලාවක වැටුනේ “ ඕ කණගාටුවෙන් පැවසුවාය.

……………………………………………………………………………………………….

එදා රොෂාන්ගේ දරුවා ඉපදීමට ආසන්න බව සැබවින්ම වැනේසා දැන සිටියේ නැත. ඔහු විසින් තහනම් කර ඇති නමුත් දුරකතනයෙන් කතා කිරීමට සිදු වූයේ සිදුවීමේ බරපතකම නිසාමය. වැනේසා ආදර ඉන්ද්රජාලාවේ පැටලී සිටින අතරතුර කන්දප්පා සාර්ථක ලෙස සිය ලෝකය හදමින් සිටියේය. ජුලියන් සමග සමීප වුවද ඔහු ඩයනා සමග සමීප නැත. පියා සමග දිනපතා කතා කිරීමේ හෝ සිරිතක් ඇයට තිබුනේද නැත. එහෙම සිරිතක් හැදීමේ වැදගත්කමක් වැනේසාට වැටහුනේද නැත.

සති දෙකකට පමණ පෙර කිසිවෙක්ට නොදන්වා වැනේසාගේ සුවච කීකරු , කඩවසම් රියදුරු මහතා කාටවත් නොකියා පලා ගොස් තිබුණි. ඔහුට අනතුරක් වී ඇතියි සැක කළ වැනේසා , රොෂාන්ට දන්වා ඔහුගේ නිවසට ගිය අතර ඔහු රට ගිය බව ගෙදරින් දන්වා තිබුණි. ගිය රට කුමක්ද ඇසු කළ ඔවුන්ද දන්නේ ඔහු ගොසින් සතියකට පසුව බව දන්වන ලදී. මේ බව රොෂාන්ට කියූ විට රොෂාන් කීවේ “ ඔය යකා ගියා නම් මොනා කරන්නද වෙන කෙනෙක් ගන්න “ කියාය. ඔහුට එය කොහෙත්ම වැදගත් දෙයක් නොවීය.

නමුත් ඔහු ගොස් ටික දිනකින් ඩයනා රෝගී වුන අතර ඇය වෛද්ය වරයා වෙත එදා හවස ගෙනියන ලද්දේ කලන්තය නිසාය. එහිදී මේ වන විට තවම 13 වැනි වියේ පසුවන ඩයනා මාස දෙකක ගැබිනියක් බව හෙළි වීමෙන් වැනේසා වියරු වැටුණාය. පහර පිට පහර එල්ල කිරීමෙන් පසු දරුවාගේ පියා රුක්මන් බව දැනගත් වැනේසා උමතුවෙන් මෙන් රොෂාන්ට කෝල් කළේ ඔහුගෙන් කුමක් කළ යුතුද ඇසීමටයි. නමුත් ගැටලුව කියා ඉවර කිරීමටත් පෙරම ෆෝන් එක ගත් ළමාතැනී කෑගහන්නට වූයෙන් ඇය ෆෝන් එක තැබුවේ මහත් සන්තාපයෙනි.

අද රාත්රියේ රොෂාන් හමු වී මේ ගැන පිලියමක් කිරීම උගහටය. සාලයට වී කඳුළු සලමින් වැනේසා කල්පනා කළේ මොකක් කරන්නද කියාය. මේ අතර කල්පනා කරමින් සිටි රොෂාන් හෙමින් පල්ලම් බැස රාත්රියේ වැනේසාගේ නිවසට ගාමිණී පිටත් කළේ හැකි ඉක්මනින් තමා එන බවත් ගෙදර සත්ය තත්වයත් ඇයට දන්වනු පිණිසය.

මිටි බන්කුවේ ඉඳගත් ගාමිණී විසින් රොෂාන්ගේ බිරිඳ රෝහලට ඇතුලත් කළ පුවත කීවෙන් වැනේසාගේ සන්තාපය දෙගුණ තෙගුණ විය.

“ දැක්කද කුමාරිහාමිට ළමයෙක් ලැබෙන්න ගියා විතරයි මගේ ළමයාගේ මේ සා දරුණු ගැටලුව ලොකු නැති වුනා “ යයි ඕ තරහෙන් සිතුවාය. මේ වෙලේම ජුලියන් පිහිනුම් පහුණු වී අඳුර සමගම ගෙදරට ආවේය. ගාමිණී ඉස්තෝප්පුවේ සිටිනු දුටු ඔහු මොහොතක් නතර වුනේ හිතවත් ගාමිනී සමග වචනයක් දෙකක් කතා කිරීමටයි. කෝපය වැඩි කමට වැනේසා ජුලියන් වෙත බුරා හැලුනාය.

“ යන්තම් ආවද ජුලියන්? “ ඔහු බැලුවේ වෙනදා තමා ගෙදර ආවද කියා වත් නාසන අම්මා කලබල වී සිටිනු දැකීමෙනි. සාමන්යයෙන් ඇය දරුවන්ගේ දවසේ වැඩ ගැන ඉස්සර කතා බහ කළත් රොෂාන්ගේ සහ රුක්මාගේ විවාහය තීන්දු වුන දවසේ සිට පසුගිය වසර පුරාම ඔවුන් දෙදෙනා ගැන තුට්ටුවකට වත් මායිම් කළේ නැත. පහුගිය වසරම මේ අවාසනාවන්ත පවුලට කුණාටුවක් හැමුවාක් වැනිය. කරදර පිට කරදර එකින් එක පැමිණි අතර එකිනෙකා හෙමින් හෙමින් එකිනෙකාගෙන් වියෝ විය.

“ මම ගෙදර ආවේ දැන් කියල ඔයා කවදාවත් නැතුව මොකද අහන්නේ ?” ඔහුත් ප්රශ්න කළේ කිසිඳු ගරු සරුවක් නැතුවය.

“ අන්න අර මෝඩ කෙල්ල වැඩ වරද්දවා ගෙන”

“ මට තේරෙන්නේ නැහැ අම්මා… නංගිට කරදරයක්ද? පහුගිය ටිකේ මටත් මුහුණ නොදී හැංගිලා වගේ හිටියේ.”

“ ඔවු… අර රුක්මන් රට පැනල තියෙන්නේ ළමයෙක් දීල මේ කෙල්ලට. අඩුම ගානේ මේකිට මම ගැන හිතන්න තිබුණා. මොන දුකක් විඳගෙනද තනි ගෑනියෙක් වෙච්ච මම ළමයි හදන්නේ ?” ඕ ඇසුවේ සියලුම වරද ඩයනා පිට පටවමිනි.

“ කෝ දැන් නංගි…. ඔයා එයාට මුකුත් කීවේ නැහැ නේද?” අසමින් ඔහු ගෙට දුවන්නට හැදුවේ නංගි බලනු පිණිසයි.

“ මොනවා කියන්නද ? හොඳටම තඩි බෑවා.. ඒත් ඇති වැඩේ මොකද්ද ? ඔය කාලකන්නි කෙල්ල තමයි මගේ අවාසනාව “ කියමින් සුසුමක් හෙළුවාය.

ජුලියන්හට සිය හය හතරක් නොදත් නැගණිය ගැන ඇති වූයේ වේදනාවකි. හුදෙකලා වුන කුඩා නැගණිය මෙවන් විපතක වැටේවි කියා නොසිතු තමා දවසම දනුෂ්කලාගේ ගෙදර ගතකල බව ඔහු සිහි කළේ වේදනාවෙනි.

“ රොෂාන් අන්කල්ගේ ගෑනිට ළමයෙක් ලැබෙන්න රෝහල් ගත කරලා එයාට එන්න විදිහක් නැහැ. “ ඕ තෙපලාය.

“ තාත්තාට කීවද ?” ජුලියන් ඇසුවේ මුදුවය.

“ ඔය මිනිහාට මොනවා කියන්නද? කීවත් එයාට මුකුත් කරන්න බැහැනේ” කීවේ කන්දප්පා යනු අතිශය නොවැදගත් මිනිහෙක් බව හඟවමිනි.

“ අම්මේ ….මගේ යකා අවුස්සගන්නේ නැතුව හෙට උදේම හමුදාවට කෝල් කරලා තාත්තාට එන්න කියන්න. නංගිගේ තාත්තා රොෂාන් අන්කල් නෙවේ”

“ එයා වැඩිම වුනොත් මට බනීවි… පිලියමක් කරන්න තරම් ශක්තියක් ඔය මිනිහට නැහැ. පහත් නිවටයා “

“ මේ ලෝකේ නංගිට වත් මට වත් ආදරේ කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා නම් ඒ තාත්තා විතරයි. ඔයාගේ රොෂාන්ට පුළුවන් එකම දේ සල්ලි දෙන එක විතරයි. එයාට අපෙන් ඇති වැඩක් නැහැ. දෙවියන්ගේ නමට හෙට උදේම මම තාත්තාට කතා කරනවා “ කියමින් ඔහු උඩු මහලට දිවුවේය.

ඔහු එන හඬ අසා මේ වන විටත් තොල් පැලෙන තරමට ගුටිකා සිටි ඩයනා අයියා විසිනුත් පහර දෙනු ඇතියි මහත් ලෙස බියපත් විය. ඇය ගැබිනියක් වුවද තවම ඇඟිල්ල කටේ ගසාගෙන උරමින් නිදන අන්දමේ කුඩා දැරියකි. ඇඳ විට්ටම පසෙකින් සැඟවී සිටියේ වැනේසා විසින් උමතුවෙන් මෙන් පහර දෙන විට ඇඟ පුරා පහ වුන මුත්රා සමගිනි. දහදිය, කඳුළු , මුත්රා එකතුව කාමරේ දුර්ගන්ධයක් හමමින් පැවතුනි. පහර දී ඉවර වී හෝ කෝපය පහව නොගිය වැනේසා ඩයනා බිම දමා උගුර පාගන ලද අතර පසෙක සිටි සිසිලියානා ඈතට නොකරන්න ඩයනාට අනතුරක් සිදු වන්නට පවා තිබුණි.

නංගී යයි මුදුව ඇමතු ඔහු “ එලියට එන්න පැටියෝ” කියමින් ඇයට කතා කළේය. සහෝදරයන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන විනාඩි කීපයක් ගෙවූහ. ඔහු එලියට බැස්සේ කාමරේ දොර ලොක් කර යතුර අතට ගනිමිනි. නැතහොත් නැවත කෝප වන වැනේසාගෙන් ඩයනාට අනතුරක් විය හැකියි ඔහු සසල විය.

මගේ පුංචි නංගි කෙසේ හෝ බේරා ගන්නවා යන අදිටන ඔහුගේ සිතේ ඇතිවිය. දනුෂ්කගේ අම්මා මල්ලිලාව සහ දනුෂ්කව ආරක්ෂා කරන හැටි ගැන ඔහුගේ හිතට ආවේය. ඒ මතුද තමාට ඇය කොතරම් ආදරේද? තම සැමියාට කොතෙක් කරුනාවන්තද? ජුලියන්ගේ හිතේ වැනේසා කෙරෙහි ඇති වූයේ දැඩි තරහකි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article