කුල ගෙය – Episode 29

Sep 18, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
මාස කීපයකට පෙර විදුහලින් ඉවත් වුන රුක්මා විවාහ වන විට ළමා වියේ අවසාන භාගය පසු කරමින් සිටියාය. එකල ඇගේ සිරුරේ තිබුනේ අසාමාන්ය කෙට්ටුවකි. ගැබිණි බවේ අවසන් අදියරේදී ඒ අසාමාන්ය කෙට්ටු බව දුරු වී ඇගේ සිරුර පිරී තිබුණි. නමුත් ඇගේ මුහුණේ ගෙඩි හටගෙන තිබුණි. රොෂාන් රාත්රී යාමයේ ගෙදර එන නිසා ළමාතැනී ට යාබද කාමරයක ජීවත් වීමේ පහසුව තකා දෙවන මහළ ඕ පදිංචියට තෝරාගත්තේ රොෂාන්ගේ පෙරේත්ත්ය නිසාය.

Continue Reading Below

“ නැහැ මම කියන්නේ මම නැති වෙලාවක ඔයාට අමාරුවක් ආවා . මොනවා කරන්නද ? ඒ නිසා ඔයා බබා ලැබෙනකම් දෙවෙනි මහලේ ඉන්න. ඊට පස්සේ අපි නැනී කෙනෙක් අරගෙන ඔයා නැවත උඩට එන්න” යනුවෙන් ඔහු ඇයට කියා සිටියේය.

ළමාතැනී මේ සැලසුම සැක කළද ඇයටද රුක්මාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ හැකි වෙන විසඳුමක් තිබුනේ නැත. රොෂාන් මෙයින් දැඩි ලෙස සතුටට පත් විය. ඔහුට ඕනෙම වෙලාවක නැවත වැනේසා සමග කතා කළ හැකිය. ජීවිතේ වැඩි කාලයක් තනිකඩයෙක් ලෙස සිටි ඔහු තුන් වන මහලේ ඔහුගේ නිදහස් භූමිය හෙයින් එහි කිසිවෙක් නොසිටීම මුල සිටම අගය කළේය. ඔහු වේලාසනින් ගෙදර එන දිනවල ස්නානය කර සූදානම් වී ළමාතැනී ගේ කාමරයට යාබද රුක්මාගේ කාමරයේ ඇය සමග සැතපුනේය. රාත්රීවන දිනවල පිටින්ම තුන් වන මහල කරා පැමිණ පෙර මෙන් තනිවම සැතපුනේය.

මේ වෙන් වීම සමග රුක්මා තනි වුවත් ඇයට ඊට වඩා දෙයක් කිවීමට නොහැකි වූයේ මේ සියල්ලම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් බව රොෂාන් විසින් දැඩිව පැවසු හෙයිනි.

ඇය අධිකව ආහාර ගෙන වගුරක ලැගගෙන සිටිනා පාත්තයෙක් මෙන් දෙවන මහලේ කෙටි ආලින්දයක හාන්සි පුටුවක දෙපා තබාගෙන සිටියාය. ශීලාවතී බන්කුවක වාඩි වී ඇගේ ඉදිමුන කකුල් තවයි. ඉරිදා දිනයක් වුන හෙයින් රොෂාන් සිටියේ නිවස්නයේය. උඩට වී පත්තර බැලීම කරමින් සිටි ඔහු සිටියේ කිසිම ගැටළුවක් නැති ප්රීතියෙනි. රුක්මා බලාපොරොත්තු වූයේ ඔහු නිතරම ගෙදරින් පිට සිටින හෙයින් නිවාඩු දිනයට තමා සමීපයට වී කටයුතු කරනු ඇති බවයි. ඔහු දැන් එතියි බලා සිටියද විනාඩියෙන් විනාඩිය ඔරලෝසු කටුව සෙලවුනා විනා රොෂාන් එන පාටක් නැත. දැන් ඇයට කඳුළු ගලන්නට ආසන්නය. කෝපයද, ශෝකයද එකවරම නැගේ.

ඕ ඔහු කුමක් කරනවාද බලන්නට උඩු මහලට සෙමින් නැගුනේ දිගු ගවොම මදක් ඔසවාගෙනය. කෙළවරක් නැති අමාරුකම් සහ රොෂාන්ගේ ගණන් නොගැනීම හැම විටම ඇයට මහත් වේදනාවක් ගෙන දුන්නේය. නමුත් එළියේ සිට බලන කෙනෙක්ට රොෂාන් කරන කිසිම වරදක් නැති වුන අතර ඔහු බිරිඳ ආදරෙන් රැක බලාගන්නා අභීෂ්ට සැමියෙකි. ඔහු කරන්නේ කුමක්ද බැලීමට සීරුවෙන් පැමිණි ඇය ඔහු පත්තරයක් බලමින් සිටින බව දැක සැනසුමක් දැනුණි. එදා මෙන් ඔහු දුරකතනයෙන් ප්රේම සල්ලාපයක යෙදී සිටිනු ඇතියි ඕ බලාපොරොත්තු වූවාය.

“ ඔයා මාව ගණන් ගන්නේ නැහැ “ කියන විට ඇගේ දෙනෙතින් කඳුළු ගලන්නට පටන් ගත් අතර ඔහු හිස ඔසවා බැලුවේ පුදුමයෙනි.

“ ඇයි රුක්මා ? මොකද්ද ප්රශ්නේ ?” ඔහු ඇසුවේ සඟවා ගත් අප්රසාදයෙනි. පහුගිය මාස හත අට තුළ නැවත වරක් වැනේසා සමග වූ සම්බන්ධය හොඳින් ශක්තිමත් වීම නිසා කොටින්ම කීවොත් වෙනදාටත් වඩා ශක්තිමත් වීම නිසා ඔහුට රුක්මාගේ සමාගමය ලොකුවට වුවමනා කර තිබුනේද නැත. ඇගෙන් උපදින දරුවා ඔහුට වටිනා කියන නමුත් ඇය යලිත් වරක් වැනේසා ඉදිරියේ පසෙකට ඔහුගේ හදවතින් තල්ලු වී තිබුණි.

වැනේසා දැන් පෙරටත් වඩා ඔහුට ආදරය කිරීමට යුහුසුළු වේ. රුක්මා නමැති ප්රතිවාදිනිය පරදා රොෂාන් අත්පත් කර ගැනීමේ අරමුණෙන් වැනේසා සටන් වදින බව සත්යය වුනත් වැනේසා ගේ ආදරණීය බවෙන් සහ භාවයෙන් ඔහු නැවත නැවත වශී වී ඇය වෙතම සිය හදවත පුද කළේය. බිරිඳ ගැබිණි සමයේ ඇය දරුවාට අයත් දේපොලක් බව සිතීමට බොහෝ ස්වාමිවරු පෙළඹෙති. නව මසක විවාහ ජීවිතයේ ප්රථම දැඩි බහින්බස් වීම එදා ඔවුන් දෙදෙනා අතර සිදු විය.

“ පවු කියල ජීවිතේ වෙනසක් කරලා දුන්නහම එනවා මගේ ඔලුවේ නගින්න. එදා තාත්තා ඇවිත් මට කියද්දී ගෙදරින් එලවන්න ඕනේ කියල අපරාදේ මම ඔයාව කසාද බැන්දේ …. තමුන්ගේ තැන දැනගන්නවා රුක්මා “ කියමින් රොෂාන් නිර්දය ලෙස රුක්මාට බැන වැදුනේ කෝපයෙනි.

මහත් වේදනාවට මෙන්ම බයට පැමිණි රුක්මා රොෂාන් වෙතට ගොස් ඔහුව දෑතින් බදා ගත් නමුත් ඔහු ඇගේ අත ගසා දමා පසෙක වූ සොඵාවේ වාඩි වූයේ ජයග්රාහී ලෙසිනි. හඬමින් පහළ සිය කාමරයට ගිය රුක්මා දුටු ළමාතැනී එදා වෙනදා මෙන් රොෂාන්ට දොස් කීවේ නැත.

ඒ වෙනුවට “ දුව පිරිමියෙක් මහන්සි වෙලා ගෙදර ආවාහම කරදර නොකර ඉන්න ඉගෙන ගන්න ඕනේ” කියමින් රවා බැලුවාය. මොවුන් දෙදෙනා අතර පවතින ගැටලුව ළමාතැනීට පැහැදිලි නැත. ඇයට අනුව පුතා දැන් වැරදි නොකරන යහපත් මිනිසෙකි. ඔහු උදේ හවා මහන්සි වේ. ඊට අමතරව රුක්මාට විය යුතු සියලු යුතුකම් ඔහු අකුරටම ඉටු කරයි. ඉතින් තව මොනවද ? මුදලිතුමා සමග සමීප සම්බන්ධයක් නොපවත්වන ලද ඇය සිය ජීවිතයේ මහා ආදරය වූ රොෂාන් කෙරෙහි හැම විටම කුළුණු ගුණයෙන් සිතු මවකි.

සති දෙකක් කල් ඇති බව වෛද්ය වරයා පවසා තිබුන නමුත් එදා සවස උදරයේ වේදනාවක් රුක්මාට දැනෙන්නට පටන් ගත් අතර රුක්මා එය ගණන් නොගෙන කාමරයට වී නිදා සිටියාය. අවසානයේ දුක හිතීම නිසා රුක්මා කැටිව උයනේ ඇවිදීමට සිතු රොෂාන් ඇගේ කාමරයට ගියේ ඈ අවධි කර ගැනීමටයි. නමුත් ජනේලය අසල හිටගෙන සිටි රුක්මා ඔහු දෙස බැලු අයුරින්ම යමක් වැරදී ඇති බව ඔහුට ඉවෙන් මෙන් දැනුණි. බියපත් නෙතින් රුක්මා සිය දෙපා දෙස බැලුවාය. ඇගේ දෙපා මුල ජලය ගලාගෙන යනු ඔහුට දක්නට ලැබුණි.

ළමාතැනී විසින් මෙය සාමන්ය බව පුන පුනා කියූ නමුත් රොෂාන් බෙහෙවින්ම බියපත් විය. අන්තරාය ඉව වැටුන හෙයින් කලබල වුන ඔහු වහාම අතට අහුවෙන ඇඳුමක් ඇඳගෙන මැකාර්ති රෝහල වෙත රුක්මා රැගෙන ගියේ තමා ඇයට බැන වැදීම ගැන හිතෙන් දොස් නගා ගනිමිනි. රියදරු රථය පදවද්දී ඔහු රුක්මා තුරුළු කරගෙන පසුපස අසුනේ ඉඳගෙන කෙටි දුර වහාම ගමන් කළේය. ළමාතැනීහට සැරසී එන ලෙස දන්වා ඔහු ඒ වන විට සූදානම් කර තිබු බෑගය පමණක් රැගෙන වහාම පිට වූයේ කඩිනමිනි.

රුක්මා රෝහලට ඇතුළත්කොට ලියවිලි සියල්ලටම අත්සන් තබන විට රුක්මාගේ හැඳුනුම් පත ගත් ලිපිකරු නිලධාරී රොෂාන් දෙස බැල්මක් හෙලුවේය. භාරකරු ලෙස රොෂාන්ගේ නම ඇතුලත් කළ අතර භාරකරු සහ රෝගියා අතර ඥාතීත්වය යන කොටසෙහි රුක්මාගේ පියා ලෙස සටහන් කළේ කිසිඳු චකිතයකින් තොරවය. මෙය දුටු රොෂාන්ගේ දත් සැපිනි. නමුත් මේ ඒ වෙනුවෙන් ලිපිකරුවාට දොස් නැගීමට කාලය නොවේ.

“ අයිසේ…. මම කියන නෑකම ලියනවා . මේ මගේ වයිෆ් “ කියා ඔහු සිය රදල මහන්තත්වයෙන් බුරා හැලුනේය.

බයට පත් ලිපිකරු තරුණයා සමාව ඉල්ලා කොලය අලුතින් ලිවීමට පටන් ගත්තේ රුක්මා දෙස හොරැහින් බලමිනි. රුක්මා රෝද පුටුවක නංවා කාමරයට යැවූ රොෂාන් වෛද්ය වරයා රුක්මා පරීක්ෂා කරන තුරු එලියට වී බලාගෙන කොරිඩෝවේ ඔබ මොබ සැරිසරමින් සිටියේය. රුක්මාට හෝ දරුවාට අනතුරක් නොවේවා යනුවෙන් ගැහෙන හදවතින් පැතු ඔහු මින් පසු කෙදිනක වත් රුක්මා හට හිත රිදෙන වචන නොකීමට තමාටම පොරොන්දු වූයේය.

ළමාතැනී එවිටම රෝහලට පැමිණි අතර විනාඩි 15 කින් පමණ වෛද්ය වරයා විසින් ඔවුන් දෙදෙනාවත් කාමරයට කැඳවන ලදී. රුක්මාට මදක් වේලාසන වුවත් පැමිණ ඇත්තේ ප්රසව වේදනාව බව තහවුරු කළ වෛද්ය වරයා තව ස්වල්ප මොහොතකින් වේදනාව නැවත පැමිණිය හැකි හෙයින් වහාම සූතිකාගාරයට යාමට සූදානම් විය යුතු බව හෙදියන්ට නියෝග කරන ලදී. තමා යමක් කා සූදානම් වී එන තුරු කටයුතු පිළිවෙල කිරීමට සහය වෛද්ය වරුන් දෙදෙනාට නියෝග කළ ප්රසව වේදියා රටේ නමගිය ප්රභූවරයෙක් වූ රොෂාන්ගේ දරුවා මෙලොව එලිය දැක්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය.

“ කලබල වෙන්න එපා මිස්ට ගජනායක මිසිස් ගජනායක දැන් ආරක්ෂිතයි. අපි හැමෝම මැඩම්ව බලාගන්නවා. “ කියමින් රොෂාන්ගේ පිටට තට්ටුවක් දමා අස්වැසුවේය.

හෙදියක විසින් එක අතකට සේලයින් නලයක් සම්බන්ධ කරමින් සිටි අතර රුක්මා සුදු සරුවාලයක් වැනි ගවොමක් ඇඳ කොන්දෙන් මතුවෙමින් පැවතුනු අසාමාන්ය වේදනාව සමග ඔට්ටු වෙමින් සිටියාය. රොෂාන් පැමිණ ඇගේ නිදහස් අත අල්ලා සිපගෙන බය විය නැති බව කියමින් ඇයව අස්වැසුවේය. ළමාතැනී සහ රොෂාන් රෝහලෙන් නික්මුනේ රුක්මාව සූතිකාගාරය වෙත රැගෙන යාමෙන් පසුය. දරුවන් ඉපදුන විගස ඔහු වෙත අමතන බවට වෛද්ය වරයා පොරොන්දු විය.

කොයි මොහොතේ හෝ දුරකතනය නාද වෙතියි යන අපේක්ෂාවෙන් ඔහු ඇඟ පත සෝදා ඉක්මනින් ආහාර ගෙන සිය මහලේ වූ ආලින්දයට වී සිටියේය. නින්ද නොඑන හෙයින් ළමාතැනීද පුතු සමග කතා කරමින් ඔහු අසලින් රැඳුනාය. අන වින , හූනියම් ගැන තදින් විස්වාස කළ ළමාතැනී කිසිවෙක්ට මේ පුවත නොකියන්නට රොෂාන් සමග කතිකා කරගෙන සිටියාය. වෙන එකක් තබා රොෂාන් දිවි අතිතුරුම අවිවාහකව සිටීම නිසා සියලුම දේපොළ තම දරුවන් තිදෙනා වෙත බෙදී යනු ඇතියි හීන දකිමින් සිටි රෙජිනාට හෝ ප්රසූතිය නිරුපද්රිතව සිදු වන තුරු නොකීම ඇඟට ගුණ බව ඇගේ අදහස විය.

“ අපේ ලොකු අම්මා නැති වුනේ ඔය විදිහට කුලුඳුලේ දරුවා ලැබෙන්න ඉද්දි ගැබ් හිරවෙන්න කළ විනයක් නිසා බව අම්මා නිතර කියනවා “ ඇය රොෂාන්ට කීවේ රෙජිනා අමනාප වෙතිද යයි රොෂාන් ඇසු ප්රශ්නයට පිළිතුරක් ලෙසිනි. ඕවා විශ්වාස නොකරන නමුත් දරුවා සමබන්ධ දෙයකදී අනතුරකට මුහුණ පෑම නොසුදුසු හෙයින් ඔහුද අම්ම කියන පිළිවෙලට වැඩේ කිරීමට සනිටුහන් කළේය.

ඒ මොහොතේම දුරකථනය නාද වෙන්නට පටන් ගත් අතර “ හිතුවාටත් කලින්ම වැඩේ හරි ගිහින් වගේ සිතමින් රොෂාන් දුරකතනය වෙත ගියේ ළඟ සිටින ළමාතැනී හට සිනාසෙමිනි “

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article