කුල ගෙය – Episode 28

Sep 11, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

රුක්මාගේ ප්රථම ගර්භනී බව පිලිබඳ ප්රීතියෙන් රැජින පාරේ ගජනායක වලවුව පිරී ඉතිරී ගියේය. රොෂාන් වැනි කුලවත්, ධනවත්, දේශපාලන සම්බන්ධකම් ඇති මිනිසෙකුගේ පළමු දරුවා ලැබීම කාගේත් අවධානය යොමු කරවීමට හේතුවකි. ගර්භනී බව නිසා ඇතිවන ප්රීතිය රොෂාන්ට කරුණු දෙකකින් වැදගත් විය. පළමුවැන්න ඔහුගේ ඊළඟ පරම්පරාව ගෙනයාමට උරුමක්කාරයෙක් බිහි කිරීමේ මහා වගකීමයි. දෙවැන්න එලියට නොපැමිණ ඔහු ඇතුළු හදෙහිම දරා සිටියේය. ලාබාල රුක්මා කොයිම හෝ මොහොතක ඔහු දමා යනු ඇති ලෙස අස්ථාන බියක් ඔහුගේ මෙන්ම ළමාතැනී ගේ සිතේද තිබුන අතර වැනේසා විෂයෙහි මහත් පරීක්ෂාවෙන් හැසිරීමට එයම හේතුවක් විය. නමුත් ගැබිණි වීම යනු රුක්මා කොහේ වත් යා නොහැකි ලෙසට සදහටම ලෙයින්ම තමා සමග බැඳීමකි.

Continue Reading Below

නීත්යානුකූල ලියවිල්ලකට වඩා ඒ බැඳීම ශක්තිමත් නොවේද ? ඔහු කල්පනා කළේය. රුක්මා ගැබිණි වීමෙන් පසු ඔහු ඇය ගෙන ආ රාජකාරි වලින් එකක් අවසන් වේ. ඒ ගැන ඔහු රුක්මාට නොමදව ස්තුති පූර්වක විය. සැබවින්ම ගැබිණි වීම සමග ඔහුගේ හිතේ ආයාසයෙන් ඈ කෙරෙහි මවාගත් ලාලසාව වහා මවක් කෙරෙහි ඇති ගෞරවයට මාරු විය. ඔවුන් දෙදෙනා පළමු වරට දැක තවම මාස 5 ක් පමණකි ගත වී ඇත්තේ. එකිනෙකා හඳුනා ගැනීමට , ජීවිතේ මිහිර විඳීමට පෙරම ඔවුන් මවු පිය යුවලක් විය.

රාත්රියේ වැඩ නිමවී නිවසට එන රොෂාන් රුක්මාගේ සුවදුක් විමසයි. යමක් විය යුතු නම් සේවකයන් යොදවා සියල්ලම අනලසව ඉටු කරයි. නමුත් ඔහුට ඇය සමග කායික සම්බන්ධයක් පැවැත්වීමට හිත හදාගැනීමට කොහෙත්ම නොහැකිය. එයට හේතු වූයේ කුසයේ ඔත් කුමාරයා හට හානියක් වෙතියි යන සිතුවිල්ලයි. එමෙන්ම ජීවිතේ ඇති තරම් ගැහැනුන් ඇසුරු කළ රොෂාන්ට කායික සම්බන්ධය මහා විශාල දෙයක්ද නොවේ. අනික් අතින් සතියකට වරක් වැනේසා ගේ නිවසට දහවල රහසින් ගොඩ වැදෙන ඔහුට කායික සුවයේ අඩුවක්ද නැත. සමාජයට පෙනෙන්නට වැනේසා ඇසුරු නොකරන නිසා හැම දෙනාම සිතුවේ රොෂාන් දැන් වැරදි සම්බන්ධතා නතර කළ යහපත් මිනිසෙක් බවයි. බ්රහස්පතින්දා වැනේසා හමුවී පැය 5 ක් පමණ එහි ගත කළ ඔහු ගෙදර පැමිණියේ සුපුරුදු ලෙස රුක්මාට ආහාරයට ගැනීමට රසකැවිලි මල්ලක් ඇතිවය.

ඔහු එන විට ඕ සාලයේ අසුනකට බර වී සිටියාය. මදක් වේලාසනින් ගෙදර එන රොෂාන් දුටු රුක්මා ප්රීතියෙන් ඔකඳ වී ගියාය. නැගිට දොර වෙතට ගිය ඇය රොෂාන් අතක් දිගු කොට අල්ලා ගත්තේය.

“ ඔයා අද වේලාසනින් නේද?”

“ඔවු රුක්මා පහුගිය මාසෙම මම ගෙදර ආවේ රෑ ජාමේ… අද ඔයා එක්ක ටිකක් ඉන්න ඕනේ කියල හිතුවා “ කියමින් සිනාසුනේය. මෙතරම් පහසුවෙන් බොරුවක් තම මුවෙන් පිටවීම ගැන ඔහු යටි සිතින් මවිත විය. එමෙන්ම ඒ බොරුව ඉතාම කදිම බොරුවක් බව ප්රත්යක්ෂ කළේය.

සිහින් සිරුරක් සහිත ඇගේ විශාල උදරය ගර්භයට තොටිල්ලක් මෙන් පෙනෙමින් තිබුණි. ඇගේ උදරය සාමාන්ය මවකට වඩා මදක් විශාලය. ඉපදෙන්නට සිටින්නේ ගැහැණු ළමයෙක් යයි හැමෝම අනාවැකි කියූ අතර පළමු වර පිරිමි දරුවෙක් ඉපදීම බලාපොරොත්තුවෙන් සිටි රොෂාන් මෙයින් මදක් වේදනාවට පත් විය.

ආහාරයෙන් පසු රොෂාන් සහ රුක්මා වේලාසනින් නිදන්නට ගියහ. සතියකට පසු වැනේසා හමුවී පෙම්සුව විඳීමේ ප්රමුදිත සිතින් සිටි රොෂාන්ට ඉක්මනින් නින්දට යාම ඇවැසි විය. දහවල් දවසම ළමාතැනී සහ සේවකයන් සමග හුදෙකලාව නිවසේ සිටින රුක්මා කාන්සාවට පත් වූයේ පසුගිය කාලය පුරාම රොෂාන් වැඩ සමග කාර්ය බහුල වූ බැවිනි. පෙර නම් කෙටි කලක් ඔවුන් දෙදෙනා එකට වෙරළට යාම හෝ වික්ටෝරියා උද්යානයට යාම කළහ. සිකුරාදා , සෙනසුරාදා දිනවල සමාජ ශාලා වලටද ඇතැම් විට රොෂාන් රුක්මා කැන්දාගෙන ගියේය. අගනුවර උසස් ගනයේ ක්ලබ්හැම එකකම සාමාජිකයෙක් වුන ඔහු නැවත වරක් තනිව යාමට හුරු වූයේ රුක්මාගේ ගැබිණි බව සමගය.

දැන් ඔහු ව්යාපාරික කටයුතු වලට හමුවිය යුතු ආගන්තුකයන් සහ ඔහුගේ මිතුරු කැල හැර කිසිවෙක් සමග රාත්රී ආහාර වලට නොයයි. විශේෂයෙන්ම විවාහයෙන් පසු ඔහු ඉඳහිට හමුවන ආගන්තුක ගැහැනුන් සමග පැටලීම් නතරම කර දැම්මේය. පෙර මිතුරියන් ඉඳහිට සිය විවාහයන් වල එකාතනමය බව බිඳ දැමීමට මෙන් හදිස්සියේ දුරකතනයෙන් අමතා හමුවීම් ඉල්ලා සිටී.

“ මගේ නෝනා බබෙක් ලැබෙන්න ඉන්නේ..හවස මා එනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි වෙන දවසක හමු වෙමු “ යයි කියා ඔහු ඉතා මහත්මා ලීලාවන් පැරණි මිතුරියන් ප්රතික්ෂේප කරයි.

ව්යාපාරයේ වැඩ කෙරෙහි ගත සිත යොදා කැප වුනේ වෙනදාටත් වඩා මුදල් හදල් වල වටිනාකම ඔහුට දෙගුණ තෙගුණ වී පෙනුන හෙයිනි. නමුත් සොර රහසේ සතියකට වරක් දහවල වැනේසා හමුවීමට ගල්කිස්සට ලෙස්සා යාම රොෂාන්ගේ සිරිතකි. වැනේසාද එළඹෙමින් තිබුන මහලු බව නිසා ඇතිවන රූපයේ අඩුපාඩු වසා ගැනීමට මෙන් ඔහුව සතුටු කරවීමට හැකි සැම වෙරම යොදන ලද්දීය. ආහාර ඉතා රසට උයා පිහා තැබීම ඔහු සතුටු කිරීමට අලුත් අලුත් දේ සිතීම වැනේසා විසින් නිරතුරුවම කළාය. ගැබිණි බව සමග රුක්මා සමග තිබු දුබල , ව්යාජ සමබන්ධය එක අතකින් ශක්තිමත් වුන අතර හදවතින් දෙදෙනා දුරස් වුනාක් මෙන් රෝශාන්ටද දැනුණි.

යොවුන් වියේ සිටි රුක්මා ඔහුගේ හදිස්සි සමීප වීම මෙන්ම දුරස් වීම ගැන වේදනාවට ඇතැම් විට පත් වූවාය. ගැබිණි බව සමග සිදුවන හෝර්මෝන අසමතුලිත බව සමග රොෂාන්ගේ කායික ඇසුර මගහැරීම ඇගේ සිතට ගෙනාවේ දැඩි බියකි. “ ඔහු නැවත වැනේසා වෙත යනවාද ? “ කියන සැකය නිරතුරුවම ඇගේ හිතට ගෙන ආවේ වෙහෙසකි. කොතරම් පරීක්ෂාකාරී වුනත් රොෂාන් කිසිම සාක්ෂියක් නොතබා සීරුවෙන් වැඩ කළ හෙයින් ඔහුට චෝදනා කළ නොහැකි වුවද ඇගේ ස්ත්රීත්වය ඉවෙන් මෙන් යමක් ඇයට කියමින් පැවතුනි.

එදා ඔහු වැනේසා හමුවීමේ ප්රීතිය නිසා නිදන්නට සූදානම් වුවත් රුක්මා සෙමෙන් ඔහු වෙත තල්ලු වුනේ උදරයේ සිටින බිලිඳු හට අපහසුවක් නොවීමට සීරුවෙනි. දරුවා දැන් දැන් රුක්මාට පමණක් තේරෙන කුඩා සෙලවිලි කිරීමට පටන් ගෙන ඇත. දරුවාගේ චලන ඇසීමට , දැනීමට රොෂාන් නොයෙක් වර උත්සහ දැරුවත් ඔහුට මෙතෙක් කලක් අපහසු වී තිබුණි. රුක්මා රොෂාන්ගේ ගෙල වැළඳගෙන ඔහුගේ කම්මුලට හාද්දක් දුන්නාය.

දයාවෙන් ඇගේ හිසකෙස් පසෙකට කළ රොෂාන් පෙරලා පරිස්සමෙන් ඇගේ නළලට හාද්දක් දුන්නේය. ඔහුගෙන් අනුබලයක් නොලැබෙන හෙයින් රුක්මා ප්රවේශමෙන් ඔහුගේ විශාල අත ගෙන තමාගේ කොටට කපන ලද කෙස් වැටියේ කොන් අතරට ගෙන ගියාය. ඉක්බිති ඒ අත නැවත වරක් ඔසවා දෙතොල් තබා සිප ගත්තීය. ඇගේ වේගවත් සුසුම් වල හඬ ඇසුන නමුත් රොෂාන් ඉවසීමෙන් සහ සැලකිල්ලෙන් සුසුම් හඬ නොසලකා ඇගේ පිට තමා වෙතට සම්බන්ධ වෙන පරිදි පසෙකට හරවා තුරුල් කර ගත්තේය. ඔහුගේ නහයට අසුවන ඇගේ සුවඳවත් කෙටි කොණ්ඩය ඝන බුරුසුවක් වැනිය. ඔහු ඒ අතරට ඇඟිලි තුඩු යවා ප්රවේශමෙන් හිස සම්බාහනය කළේය. ඇයට සනීපයක් දැනුණේ ශාරීරික වේදනා අපමනව විඳින කාලයක් හෙයිණි.

ඉක්බිති සාමාන්ය ප්රමාණයට වඩා දෙගුණයක් විශාලව පැවති පියයුරු ගවොමට මතුපිටින් සිනිදු ලෙස ස්පර්ශ කළ ඔහු පිටුපසින් ඇගේ කම්මුලට හාද්දක් දී “ බබා ලැබෙන්න තව ටික දවසනේ..අපිට ආයෙත් හිටියා වගේ එතකොට ඉන්න පුළුවන් “ කියා ඉංග්රීසි බසින් කීවේය. යොවුන් වියේ හිරිමල් සමයේ සිටි රුක්මා ඔහු තමා වෙත දක්වන සැලකිල්ලට ස්තුති පූර්වක වුන නමුත් සැමියා සමග සමීප වීමට තමා තුළ ඇති ආශාව දැවෙමින් පවතින බව ඇයට සිතිනි. විනාඩි කීපයක් ඇතුලත රොෂාන් සිහින් හඬින් ගොරවන්නට පටන් ගත් අතර රුක්මා සුසුමක් හෙලා ඔහුගෙන් ඈතට වී අනෙක් අතට සිරුර මාරු කළේ අපහසුවෙනි.

ඒ වන විට වැනේසා රොෂාන් නීති පතා නොවරදවා මුදල් දීම සහ සතියකට වරක් හමුවීම කරන කොටගෙන තිබෙන තත්වය සමග මදක් අනුගත වී සිටියාය. පළමු නඩු වාරයට සහභාගී වුනත්, එයට විරුද්ධත්වයක් නැති බව කීවත් ඇය සිටියේ දික්කසාදය තීන්දු වීමට පෙර කුසුම් එලවා කන්දප්පා නැවත තමා වෙත ලං කර ගැනීමේ චේතනාවෙනි. රුක්මා රොෂාන්ගේ බිරිඳ වුවද රොෂාන් කියූ ලෙසම ඇගෙන් කරදරයක් සිදු වී නොමැති වුවද රොෂාන් තමාගෙන් පැහැර ගැනීම ගැන රුක්මා කෙරෙහි වූයේද නොමද කෝපයකි.

සති පතා ඔහු පෙරටත් වඩා මහත් අභිරුචියෙන් තමා හමු වන්නේ රුක්මා ගෙන් කායික සැපතක් නොලබන නිසා බව දැනගත් වැනේසා මහත් අභිමානයට පැමිණියාය. රොෂාන්ගේ වලවුවට දරුවන් වැදීමට පමණක් ඇය ගෙන ආ බව දැන් ප්රත්යක්ෂ හෙයින් ඈ ඉඩක් ලැබෙන හැම විටම ග්රේස් සමග රුක්මා වෙත අපහාසාත්මකව කතා කළාය.

“ පට්ටි වෙළඹ වදන එක හැර වෙන දෙයක් නැහැ…එක අතකට වෙළඹ ගෙනාවෙත් ඒකටනේ “ ඕ සිනාසෙමින් කේක් කැබැල්ලක් ගෑරුප්පුවෙන් ගෙන සීරුවෙන් කටේ දමා ගත්තීය.

“ අවාසනාවන්ත ජීවිතයක් වැනේසා “ යයි ග්රේස් කීවේ තම සැමියා තමාට සොරෙන් වෙනත් ගැහැනියක් වෙත ගියොත් යන සිතුලිල්ල හිතට දැනීම නිසා හටගත් බියෙනි.

“ හොඳම වැඩේ. අම්ම මැරිලා නම් පාඩුවේ ඉන්නේ නැතුව මොන එකටද රොෂාන්ගේ කරේ එල්ලුනේ? “ වැනේසා කීවේ කෝපි කෝප්පය අතට ගනිමිනි.

“ ළමයා හම්බ වෙන්න වුන ගමන් රොෂාන් ඔය ගෑනිව පැත්තකට කරලා දැම්මා. දැන් ගෙදර එන්නෙත් රෑ වෙලාලු. “

“ ඔයා දන්නේ කොහොමද?” ග්රේස් අසන්නේ විමතියෙනි.

“ මට කීවේ ගාමිණී … තව ළමයි කීපදෙනෙක් හම්බ වුනා නම් හාමු ඔය ගෑනිව එලවාවී කියල තමයි මට ගාමිණී කීවේ “ වැනේසා කීවේ අභිරුචියෙනි. තමාගේ හිත සැනසවීමට ගාමිණී හදා කියන කරුණු එක සිතින් විස්වාස කිරීම නිසා වැනේසා මහත් සතුටින් සිටියාය. ඇතැම් විට හුදෙකලාවේ සිය උද්යානයට වී කල්පනාවේ නිමග්න වන ඇය අනාගතයේ දිනක දරු ප්රසූතිය සමග රුක්මා මිය යනු නිරන්තරවම පතමින් ප්රීති වූවාය. එවිට තමාට ඉක්මනින් ගජනායක වලවුවේ පදිංචියට යා හැකිය.

“ I am always there for you” කියමින් තමා වැන්දඹු රොෂාන් සනසනු පවා මනසින් දකිමින් ඕ බොහෝ හවස් වල සිය මනරම් උද්යානයේ සිට කෝපි පානය කළාය. ඒ අතර විවහා වෙන්නට හීන දකිමින් සිටින කන්දප්පා කුසුම් විසින් එලවනු ලදුව තම දෙපා මුල වැටෙනු ඇතැම් විට මතක් කරමින් තෘප්තිමත් වූවාය. සන්ධ්යාවේ හුදෙකලාව ගිලුන සිය නිවසේ අලංකාර ලතා ගෘහයේ වාඩි වී ගෙන ඉර බසින තුරු නිනවුවක් නැතුව සිටින ඇය දකින කෙනෙක් මොනවා ගැනද කල්පනා කල්පනා කරන්නේ ඇහුවොත් ඇය විලි වැදී යනු නොඅනුමානය. හැම විටම ඇය කල්පනා කරමින් සිටියේ ඔවුන් දෙදෙනා ගැනය. කන්දප්පා ගැන ඇගේ සිතේ වූයේ පිළිකුලක් සහ පැරදීම ගැන වෛරයකි. එමෙන්ම ඔහු කුසුම් වෙත යාම ගැන රෝශයකි.

ඇයගේ ජීවිතයේ කන්දප්පා ගේ නික්මයාම සමග සිදුවුණ ලොකු වෙනසක්ද නොවීය. රොෂාන් සුපුරුදු ලෙසම ඇගේ ජීවිතයේ සිටී. මුදල් හදල් වලින්ද අඩුවක් නැත. තමා විවාහ වීම නිසා හටගත් වරදකාරී බව නිසාම රොෂාන් ඇයට දැන් වැඩියෙන් මුදල් දේ. ඇය ගැන පෙර මෙන් සොයා බැලීමට ඉඩක් නැති නිසා ඔහු ඇයට වඩා ආදරය කරන්නාක් මෙනි.

ජුලියන් වැඩි මනක්ම ගෙදරින් එපිට සිටී. ආහාර ගැනීමට සහ නිදාගැනීමට හැර ඔහු ගෙදර සිටින්නේ කලාතුරකිනි. ඩයනා බොහෝ විට කාමරයේ සිටී. ඇගේ හදිස්සි නිහඩ බවට හේතුව සිතීමට වැනේසාට වෙලාවක් තිබුනේ නැත. සුපුරුදු ලෙසම වැනේසා සිටියේ සතුටිනි. සිය රුව රකිනා ආකාරය ගැන මෙන්ම වැඩි වැඩියෙන් මුදල් වියදම් කිරීම දැන් ඇයට ඇබ්බැහියක් වැනිය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article