කුල ගෙය – Episode 26

Aug 28, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
ගැහැණියක ලෙස පිරිමින්ගේ මන බැඳීමේ අපූරු හැකියාවක් ඇති ගැහැණියකි වැනේසා. රොෂාන් වැනේසා සැලකුවේ පිරිමින්ගේ මන දොළ පිරවීමට උපන් සිත්කළු ගැහැනියක් ලෙසිනි. ඇගේ ලලනෝපචාරී හැසිරීම් සහ භාවහාව ලීලා මෙතෙක් කලක් දැඩි සතුටක් ගෙනාවේය. ඇය අසන්කීර්ණය. ගැහැණුන් තේරුම් ගැනීමේ අදහස පසෙක තබා ඔවුනට ආදරේ කළ යුතු බවත් ගැහැණියක් තේරුම් ගත නොහැකි තරමට සුන්දර බවත් හේ ඉඳුරාම විශ්වාස කළේය.

Continue Reading Below

උපතින්ම රදලයෙක් වුන ඔහු එතෙක් කලක් පෙම්වතියන් ලෙස විටින් විට ඇසුරු කළද සිය පන්තියට අයත් උසස් ගැහැණුන්ගේ අසීමාන්තික මානය සහ උද්ධච්ච හැසිරීම් නිසා ඔවුනට දැඩිව ඇලුම් කළේ නැත. ඔවුන්ගේ තත්වය ධනය සමග රොෂාන්ගේ තත්වය එතරම් වෙනස් නොවුයෙන් රොෂාන්ගේ මනදොල පිරවීමට සැදී පැහැදී සිටියේද නැත. එබැවින් වැනේසා යනු එතෙක් ඔහුගේ ක්ෂේම භූමිය විය. මනහර ආහාර, සංගීතය, ගැටුම් කම්කටොලු නැති ඇගේ සමාගමය ඔහුව ඇද බැඳ තබා ගත්තේය. විවාහක බිරිඳක් සිටීම යනු මානයෙන් ඔලුව පුරවාගත් ගැහැනියක සමග දෛනික අරගලයක් ලෙස සිතු ඔහු මෙතෙක් විවාහ වෙන්නට පසු බෑවේ වැනේසා සමග ඇති ආදරය මෙන්ම තමාට ලැබෙන නිදහස සලකාය.

රුක්මා ගත් කල්හි අනාත ගැහැණු ළමයෙක් ලෙසින් දෙමාපිය විරහිත අසරණ ජීවිතයක් ගෙවූ හෙයින් ස්ව වර්ගයාට අයත් ගැහැණුන්ගේ අහංකාරකම් , බලකිරීම් කොහෙත්ම ඇති කෙනෙක් නොවේ. අනික් අතින් ඇයගේ පරම්පරාව තමාට ගැලපෙන ඉහළම පරම්පරාවකි. රුක්මාට ආදරය කිරීම සහ විවහා ජීවිතයක් ගෙවීම බෙහෙවින්ම පහසු බව රොෂාන් වටහා ගත් හෙයින් විවාහයක් ගැන වූ අනියත බිය ඔහුගෙන් දුරස් විය. ඔහු ඇයට සමීප විය . අනාගතය ඇය සමග ගෙවීමට සැලසුම් කළේය.

ඉරිදා දිනය ඉතා සතුටින් සිය නිවස්නයේ අලුත බැඳපු භාර්යාව ගේ ආදරය සමග ගෙවූ ඔහු සඳුදා දිනයේද වැඩ සමග කාර්ය බහුල විය. අඟහරුවාදා උදෑසන එකොළහට පමණ රාජකාරි හමුවීමක් අවසානයේ තේ එකක් තොලගාන අතරතුර වැනේසා සමග කතා කිරීමට ඔහුට සිතක් ඇතිවේ. ඇය සුවෙන් බව ඔහු දැන සිටියේය. කිසියම් ගැටළුවක් වෙතොත් ගාමිණී හරහා ඔහුට දන්වන බව දැන සිටියේය. ඇය වසර ගණනාවක සිට ඔහුගේ හොඳම මිතුරියයි.

රොෂාන් තමාට දුරකතනයෙන් කතා නොකිරීම ගැන කෝපයෙන් සිටි වැනේසා දහවල් 11 ට පමණ දුරකථනය නාද වන විට පුදුම වූවාය. මේ වෙලේ ජුලියන් පාසලේ සිට අනතුරක් වත් කරගෙනද?

“ හලෝ ..වැනේසා …. “ රොෂාන් ගේ හඬ හඳුනා ගැනීමත් සමග ඕ ප්රීතියෙන් විකසිත වී ගියාය.

“ ඉතින් කියන්න.ඔයා හොඳින් නේද ?” ඇය ඇසුවේ සතුටින් මෙන්ම නිදහසිනි. පහුගිය දිනවල ඇතිවුන කෝපය එලි කිරීමට සුදුසු වෙලාවක් නොවුන අතර ඇගේ කෝපය රොෂාන් කෙරෙහි එල්ල වුනේ නැති. සැබවින්ම ඇය කිපුනේ රුක්මා සමගය. මගේ අහිංසකයා රවටා ගත්තා යනුවෙන් ජුලියන්ට වඩා වසර තුනක් යන්තම් වැඩිමල් රුක්මා කෙරෙහි වෛරයෙන් සිතුවාය. රොෂාන් තමාගෙන් වෙන් වූයේ රුක්මාගේ ලජ්ජා නැති කම නිසා හෙයින් ඇයට හැකියාවක් තිබේ නම් රුක්මා මරා දැමීමට වුවත් පහසු විය.

එකිනෙකාගේ විස්තර කතා කළ වැනේසාට රොෂාන් ගේ සිතේ රුක්මා කෙරෙහි ඇති සැබෑ හැගීම් මොනවාද කියා අනුමාන කළ නොහැකි වූයේ දක්ෂ ව්යාපාරිකයෙක් වුන ඔහු ඉතා ප්රවේශමෙන් පිළිතුරු දීමට සමත් නිසාය. තමා හැකි ඉක්මනින් වැනේසා බැලීමට එන බවට ඔහු පොරොන්දු විය.

“ මට පෙරේදා කන්දප්පා ගේ දික්කසාද ලියවිලි ලැබුණා “ වැනේසා සොවින් කීවාය.

“ ඉතින් ඔයා අත්සන් කරාද ?” රොෂාන් ඇසුවේ සංවේගයෙනි. මෙතක් කලක් ඇය අන් මිනිහෙක්ට අයිති ගැහැණියක්ව සිටියාය. තමා දැන් වෙනත් ගැහැණියකට අයත් වුන සැනින් ඇය තනි වීම ඔහුට සංවේගයක් ඇති කළේය. නමුත් කන්දප්පා නාමික සැමියෙක් පමණක් වුන හෙයින් ඇයට වේදනාවක් දැනිය නොහැකි යයි ඔහු සිතුවේය.

“ නැහැ රොෂාන්… අද අත්සන් කරනවා” ඇය කීවේද සොවිණි. “ එතකොට මම කාගේවත් බිරිඳක් නෙවෙයි”

රොෂාන් මේ කතාවට මුනිවත රැක්කේය.

“ ඔයාට දැන් බිරිඳක් ඉන්නවා. දැන් දැන් ඔයා මා එක්ක කතා කරන එක අඩු වේගෙන එනවා. කාලය සමග ඔයාට මාව අමතකම වෙලා යාවි. අවසානයේ මම තනි වුණා” වැනේසා කීවේ සැබවින්ම දැඩි සන්තාපයෙනි.

“ අමතක කරලා නම් මම ඔයාට කතා කරන්නේ ඇයි?” යනුවෙන් ඔහු ඇසුවේ එම කතාවේ සත්යයක් ඇති බව සිතමිනි.

“ දැන් ඉතින් මා ගැන කතා කළා ඇති. මා ගැන ඕනෙවට වඩා හිතද්දී මගේ හිත කලබල වෙනවා රොෂාන්. ඔයා හොඳින්ද? …… සනීපෙන්ද ?” නම නොකියා ඇසුවේ රුක්මා ගැනය.

“ ඔවු . ඔය දවස පුරා මොකක් හරි විකාර කතාවක් කිය කියා ගේ පුරා එහෙ මෙහෙ දුවනවා. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අඩුම ගානේ ඇඳුමක් අඳින්න වත්…… හැම දෙයක්ම මගේ බලේට කරන්නේ “

ඔහු කීවේ සිනාසෙමිනි. වරදක් කියන්නාක් මෙන් නොව ඇගේ නොදැනුමත් ලාබාල බව ගැන උපහාසයෙනි. එමෙන්ම ඔවුන් දෙදෙනා අතර ගැහැණිය මිනිසා ලෙස සම්බන්ධයක් නැති බවද ඒ අස්ථාන පිළිතුරෙන් නිරූපනය විය.

“ කොයි එකටත් පරිස්සමෙන් රොෂාන්.. ඔයා වගේ වයසින් වැඩිමල් කෙනෙක් එක්ක මොන දේකට කසාද බැන්දද කවුද දන්නේ ?” වැනේසා තෙපලාය.

මේ පිළිතුරෙන් රොෂාන් තුෂ්නිම්භූත විය. මෙයට දෙන පිළිතුර කුමක්ද ඔහු කල්පනා කළේය.

“ අනේ වැනේසා ..අපි රුක්මා ගැන කතා නොකර ඉම්මු. එයා දැක්කොත් ඔයා වුනත් එයාට කැමති වේවි. ජුලියන්ට වඩා යන්තම් අවුරුදු 3 යි වැඩිමල්. ඔයාට දුවෙක් වගේ. එයාගේ නොතේරුම් කම නිසා නොවෙන්න අපි දෙන්නට කවදාවත් සම්බන්ධය ගෙනියන්න බැහැ. මට නිදහසේ ඔයාට හැම දේම කරන්න ලැබෙන්නේ එයා නිසා “

“ ඉතින් එයා එදා රෑ ඔයා මා ළඟ හිටපු එකට රණ්ඩු වුනේ නැද්ද?” වැනේසා ඇසුවේ පුදුම වෙමිනි.

“මුල් දවස් ටිකේ මූණ එල්ලගෙන හිටියා. පස්සේ මම එයාට විස්තරේ කීවා”

“ ඉතින් එයා මොකද කීවේ ?” කොතරම් වෛර කරත් රුක්මා කෙරෙහි ඇති භය නිසාම වැනේසා ප්රශ්න කළාය.

“ මම එයාට කියපු හැම දේම විස්වාස කරා විතරක් නෙවේ ඔයා ගැන පවු කියලත් කීවා . මම කීවා දැන් සම්බන්ධය ඉවරයි ආයේ මම ඔයාට උදවුවක් ඕනේ වෙන වෙලාවක රුක්මාගේ දැනුම යටතේම ඒ උදවුව කරනවා ඒ හැර වෙන සම්බන්ධයක් තියා ගන්නේ නැහැ කියල. ගෑනි මාව විස්වාස කරා. පවු එක අතකට. පොඩි ළමයනේ තාම” ඔහු සැනසිලිදායක සුසුමක් හෙලුවේය.

“ මට මොකටද එයාගේ උදවු ? ඔයාගේ ඔය මහ රැජින ඉස්සරහ මාව ලජ්ජා කරන්න එපා” වැනේසා නැගෙන කෝපයෙන් සහ අහංකාරයෙන් කීවාය.

“ නැහැ ..නැහැ..එයයි ඔයයි සම්බන්ධයක් ඕනේ නැහැ. අපි දිගටම හම්බ වෙන්න එයාගෙන් බාධාවක් දැන් නැහැ “ මේ පිළිතුරෙන් වැනේසා සතුටට පත් වෙතියි රොෂාන් සිතුවද එය එසේ වුනේ නැත. හිතේ ඇති තරහ නොපෙන්වා ඔවුන් සමු ගත්හ. ළඟදීම හදිස්සියේ වෙලාවක් ලැබුන විගසම ඇය හමුවෙන්නට එන බව ඔහු කීවේය.

වැනේසාට ඇවැසි වූයේ රොෂාන්ගේ මුදල් ලැබීම සහ ඔහුව රහසේ හමුවීම පමණක් නොවේ. තමා හැර වෙනත් ගැහැනියක් රොෂාන්ගේ ජීවිතේ සිටීම ඇයට දරා ගැනීමට නොහැකිය. ඊර්ශයාව නමැති පනුවා විසින් නිතරම විදිනු ලබන ඇය අස්තානයේ කෝප වේ. බය වේ.

රොෂාන් සහ රුක්මා ඇය බලාපොරොත්තු වුන ලෙස අමනාප වී විවාහය බිඳවී යනු ඇති බවත් ළමාතැනී ගේ මරණය දක්වා රොෂාන් තනිකඩව සිටිනු ඇති බවත් ඇගේ බලාපොරොත්තුව විය. ඉන් පසු රොෂාන්ගේ නිවස්නයේ පදිංචියට යාමට ඕ හීන දුටුවාය. තවමත් 38 හැවිරිදි තමාට තව වසර 5 ක් වත් දරුවන් හැදීමට පිළිවන. එබැවින් කෙසේ හෝ රොෂාන් සමග දරුවෙක් නැතහොත් ගජනායක පවුලට කුමාරයෙක් බිහි කිරීමට තරම් කල් ඇති වන පරිදි ළමාතැනී මිය යත් නම් මැනවියි සිතුවාය. එවිට ඇයට රොෂාන් ගජනායක නම් ව්යාපාරිකයාගේ බිරිඳ ලෙස උසස් සමාජයට සම්බන්ධ විය හැකිය. කුඩා කළ රොෂාන්ගේ නිවසේ දුටු තමා පෙම් කළ ඒ මහා ශ්රී විභූතියේ කොටස් කාරියක් විය හැකිය.

නමුත් රුක්මාගේ පලා නොයාම සහ ඉවසීම සමග වැනේසා දැන් දැන් නොයිවසිලිමත් වේ. තමාගේ හීනයට යන පාරේ සිටියේ ඉස්සර නම් ළමාතැනී පමණකි. රෝගී ඇය තර්ජනයක් ලෙස නුදුටු නමුත් රුක්මාගේ හදිස්සි ආගමනය නම් තමාව සදහටම තම සිහින නිවසින් පිටමන් කරන අසුබ ලකුණක් බව වැනේසා ප්රත්යක්ෂ කළාය. මදිවාට හෙට අනිද්දාම දරුවෙක් ඉපදීම යනු රුක්මා එළවීමට කොහෙත්ම බැරි වන ලෙස ඒ නිවසට ඇලීම බවත් දවසක තමාගේ දරුවනට හිමි වෙන්නට තිබුන දේපොළ සහ ව්යාපාර සියල්ලම නැති වීමේ පෙරලකුණු බවත් ඇය සිතුවාය.

ඇයට ආඩම්බර වන්නට දෙයක් දැන් ඉතුරු වී නැත. ඉතුරු වී ඇත්තේ දික්කසාදයක ලැජ්ජාව සහ දරුවන් කෙරෙන් වෙන් වීම පමණකි. වැනේසා දරුවන්ට කවදාවත් දඬුවම් නොකළ නමුත් ඔවුන් කෙරෙහි දැඩි ප්රේමයක් ඇති මවක්ද නොවේ. ඇය දරුවන් දුටුවේද තම අරමුණු ඉටු කර ගැනීමේ මාර්ග ලෙසිනි. දැන් දැන් ජුලියන්ගේ අධ්යාත්මය තමා ගෙවන ජීවිතය සමග ගැටෙන හෙයින් ඕ ජුලියන් අප්රිය කළා පමණක් නොව මේ දෙසැම්බරයට පවුල පිටින් ලංකාවට එන රොමාරියෝ සමග හැකි ඉක්මනින් ජුලියන් එහි යැවීමට විධි විධාන සැලසීමට අදහස් කළාය.

කුඩා ඩයනා හැන්දෑවේ කල්පනා සාගරයේ නිමග්න වී කල් ගෙවන මවගේ කුටියට පිවිසුනේ බයෙනි. ඔවුන් සාමන්යයෙන් නිවසේ ප්රධාන සාමාජිකයන් නොවන හෙයින් හිතු මනාපයට අම්මාගේ කාමරයට පිවිසිය නොහැකි විය. ඩයනාට වුවමනා වූයේ තාත්තා ගේ දික්කසාදය ගැන කතා කිරීමටයි. අයියා දැන් ලොකු හෙයින් බොහෝ විට දනුෂ්ක ගේ ගදර යයි. ඔහු ගෙදර සිටින්නේ රාත්රිය පහන් කිරීමට පමණි. ඩයනාට මහත් පාළුවක් දැනේ. ඇය වරෙක සිසිලියානා ලවා ගවුම් මසා ගත්තාය. නමුත් ගේ අස් කරන්නට කරදරේ හෙයින් සිසිලියානා ඩයනා සමග ක්රියාකාරකම් වලට කැමති නැත. වැනේසා කොහෙත්ම පාඩම් වැඩ හෝ කිසිවක් ඈ සමග නොකරයි. ගෙදර පාලනය සම්පූර්ණයෙන්ම සිසිලියානා අතේ තිබුන අතර අම්මා කළේ ඉල්ලන තරම් බඩු, ඇඳුම් ආදිය ගෙනත් දීම පමණකි.

“ ඔයා මොකද මෙහෙ ?” වැනේසා ඇසුවේ තම සිතුවිලි දාමයට බාධා කිරීම ගැන නොරිස්සුමෙනි.

“ තාත්තා අපිව දාල හැමදාටම යනවා කියන්නේ ඇත්තද ?” ඕ බයගුලුව ඇසුවාය.

“ ඔවු… “ වැනේසා දුන්නේ කෙටි පිළිතුරකි.

“ ඇයි එයා යන්නේ අම්මා ?”

“ එයා යන්නේ ..උඹල දෙන්න නිසා.. උඹල දෙන්නට එයාව තියාගන්න බැරි වුන නිසා………. වෙන ළමයි නම් තාත්තා යන්න හදද්දී බල කරලා හරි තියා ගන්නවා………. අයියා සහ උඹ එහෙම දෙයක් වත් නොකරන මෝඩයෝ දෙන්නෙක් …….. උඹල දෙන්නා තමා මගේ ජීවිතේ අවාසනාව….. උඹලා නොවෙන්න මම මීට වඩා ගොඩක් හොඳින් ඉන්නවා ..පලයන් යන්න මගේ දෑහට නොපෙනී ඩයනා .” කියමින් සිය කෝපයේ වේදනාව හයියෙන් කුඩා ඩයනා වෙත මුදා හැරියාය.

රොෂාන් ඉදිරියේ මුදා හරින්නට බය වුන කෝපය, කන්දප්පා ඉදිරියේ යටපත් වුන කෝපය පහසුවෙන් පිට පැන්නේ කිසිවක් කර කියා ගත නොහැකි ඩයනා වෙතය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article