කුල ගෙය – Episode 25

Aug 21, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
“මේ ගෑනි නම් මහා විලි ලජ්ජා නැති ගෑනියක් ග්රේස් “ වැනේසා කීවේ තේ කෝප්පය වෙතට නැඹුරු වී කූරු ගාමිණි.

Continue Reading Below

“ ඔයා මට විස්තරේ කීවේ නැහැනේ. ඉතින් මට කියන්නකෝ සේරම “ ග්රේස් මුදු ලෙස තෙපලාය.

ළමයින් පාසල් දැමු ග්රේස් කෙලින්ම වැනේසා වෙත ආවේ ප්රගතිය සමාලෝචනය කර ගැනීමටයි. ඔවුන් දෙදෙනා විසින් කරන ලද වැඩසටහන් වල ප්රතිපල එක්වී සමරන්නට සිටි ඔවුන් දෙදෙනා හමු වූයේ ඒ ගැන කතා කිරීමටයි.

“ දැන් ඔන්න දෙන්නා ආයෙත් හොඳටම සමගි වෙලා. රට ගිහින් ආවට පස්සේ රොෂාන් මට එක දවසක් වත් කතා කළේ නැහැ.” වැනේසා කීවේ දුකිනි.

“ වැඩ ගොඩගැහිලා ඇති වැනේසා. එයා යද්දී ඔයාට ෂොපින් කරන්න සල්ලි දීල නේද ගියේ? ගිය සතියේ ඔයා මට ගෙනාව ඇඳුම ගොඩක් ලස්සනයි කියල හස්බන්ඩ් කීවා “ ග්රේස් කීවේ තමා ලද ත්යාගය ගැන ස්තුතියක් ලෙසයි.

“ නැහැ.. වැඩ වලට වඩා එයාට දැන් අර ගෑනිගේ මායම් වලට රැවටිලා. අපේ රොෂාන් ගෑනුන්ට රැවටෙන මිනිහෙක් ග්රේස්”

මේ කතාවේ හාස්යය හොඳින් වටහා ගත්තත් හිනා නොවීම ග්රේස් සිටියාය. වැනේසා කෝප කර ගැනීම ලොකු පාඩුවකි.

“ ජීවිතේ කියන්නේ සල්ලිම නෙවේනේ. එයා මට දෙන සල්ලි ටික වගේද ? අර ගෑනිව ලෝකේ වටේ අරගෙන ගිහින්.

“ රොෂාන් බඳින්න හිටපු අනික් ගෑනු නම් එක ෆෝන් කෝල් එකෙන් අයින් වුනා” ග්රේස් කීවේ තම හැකියාව ගැන ආඩම්බර වෙමිනි.

“ ඔවු ග්රේස් . නමුත් මේ ගෑනි නම් ලෝකේ කාල වතුර බීපු ගෑනියෙක් වගේ. අනික ලජ්ජා නැති ගෑනියෙක් .”

“ නැත්නම් හනිමූන් එක දවසේ වෙච්ච දේ වගේ දෙයක් වෙලා තව ඒ මිනිහා එක්ක ඉන්නේ කවුද? මම නම් එදාම දාලා යනවා . අපේ රොෂාන්ගේ මෝඩ කමට මේවා තේරෙන්නේ නැහැ “ ග්රේස් කීවේ රුක්මා වෙතට සියලු වරද පටවමිනි.

තුන් වන මහලේ පදිංචියට රුක්මා රැගෙන නොයාමට කතිකා කරගෙන සිටි රොෂාන් තවමත් රුක්මා සමග එහි සිටින බව දැනගැනීම වැනේසා ගේ විශාල වේදනාවට හේතු වූයේ බිරිඳක් ලෙස තමා භය වුන ලෙසම රුක්මා බලය අල්ලමින් පවතින බව වටහා ගැනීමෙනි. මේ මගුල කිරීම ගැන ළමාතැනී සමගද වැනේසාට තිබුනේ කිය නොහැකි තරම් අමනාපයකි. දැනට සියලු සැලසුම් ව්යවර්ථ වීම නිසාත් කන්දප්පා සහ තමා අතර ඇති ගැටලුව විසඳිය හැකි ක්රමයක් සොයා ගත යුතු නිසාත් දෙදෙනා තවත් කුමන්ත්රණයක් දියත් කිරීමට සුදුසු කාලය නොවන බවට කතිකා කළහ.

එබැවින් වැනේසා සීරුවෙන් ගාමිණී සමග සන්බන්ධය තබා ගැනීමට අදහස් කළාය. ගාමිණීට මුදලක් දී සල්ලි හදිස්සියක් වුනොත් තමාට කියන මෙන් ඉල්ලා සිටියාය. සිසිලියානා සමග පෙම් සුව විඳිනු පිණිස විවාහක මිනිසෙකු වුන ගාමිණී හට වැනේසා ගේ නිවසේ සේවකයන් පදිංචි පෙදෙසට ඕනෙම වෙලාවක එන්නට සහ කාලය ගෙවනට අවසර දුන්නාය. පිටුපස වූ කුඩා ගේට්ටුවේ අමතර යතුරක් ඇය විසින් ගාමිණීට ලබා දුන්නේ තමාට කරන උපකාර වලට සහ ඔත්තු බැලීම් වලට ස්තුතියක් ලෙසය.

කන්දප්පා සමග විවාහ වෙන්නට සිටින කුසුම් බය ගැන්වීමට ඇයට සිත් විය . නමුත් කන්දප්පා විසින් ඇයට දැඩිව තර්ජනය කර තිබුනේ කුසුම් වෙත කරන ඕනෙම ප්රචණ්ඩ ක්රියාවක් හෝ දික්කසාදය වෙත පිටු පෑමක් අවසන් වන්නේ ඇය කළ දේ රොෂාන් හට කියනවා කියන තර්ජනයෙනි. මේ තුරුම්පුව කන්දප්පාට සෑහෙන්න වාසි දායක වුන නමුත් වැනේසා ගිරයට හසු වුන පුවක් ගෙඩියක් මෙන් සිර කරන ලදී. තමාගේ සැලසුම කන්දප්පාට හෙළි කිරීම ගැන ඇගේ සිතේ ජුලියන් කෙරෙහි හටගත්තේ නොමද අමනාපයකි.

“ මේ බුරුවා මගේම පුතෙක් වුනානේ. මූටත් පිහිටලා තියෙන්නේ තාත්තාගේ මෝඩ මොලේ “ කියා සිතමින් ඕ ජුලියන් කෙරෙහි උරණ වූවාය.

රොෂාන් සැබවින්ම මේ දිනවල වැනේසාට කතා නොකළේ ඇයට ඇති ආදරය අඩු වූ නිසා නොවේ. මැද වයසේ පිරිමියෙක් වුන ඔහු වසර ගණනක් ශාන්තව ගලා ගිය මිත්රත්වය ගැන විශ්වාසය තැබුවේය. එමෙන්ම වැනේසා ගේ සිතේ තමා කෙරෙහි ඇති ප්රේමය අවංක බව ඉති සිතින්ම විස්වාස කළේය. සැබවින්ම වැනේසා ඔහුට ප්රේම කළාය. එමෙන්ම විවාහක සැමියාගේ හිත රිදවා වුවද ඔහුව පිළිගත්තාය. රොෂාන් රට සිට පැමිණ බෙහෙවින්ම කාර්ය බහුල විය. එමෙන්ම රුක්මා සමග ඇතිවුන සම්බන්ධය මගුල් දා රාත්රියේ වුන භයානක සිදුවීම නිසා බිඳෙන්නට ආසන්න වුනත් යලි සකසා ගැනීම ඔහුගේ වගකීමක් විය. මේ කාලයම ඔහු කැප වූයේ රුක්මා තමා වෙතට නම්මවා ගැනීමටයි.

තමාට මේ සා ගෞරවයක් අත් කර දුන් අහිංසක රුක්මා බිරිඳක් ලෙස කදිම ගැහැණියකි. විවාහය නිසා අම්මා සතුටු වුන තරම රොෂාන්ගේ සිත ප්රමුදිත කළේය. ඉස්සර ඔහු සිටියේ මවගේ හිතේ නිදහස නැති කිරීමේ වැරදිකාර හැගීමෙන් පීඩිත වීගෙනය. අම්මා මිය ගියද දැන් ඔහුගේ හිතේ කහටක් නැත. පුතෙක් ලෙස තමා හැම යුතුකමම ඉහලින්ම ඉටු කර තිබේ.

විවුර්ත ආර්ථිකය ලංකාවට පැමිණීමත් සමගඇතිවුන කර්මාන්ත ප්රබෝධය සමග රොෂාන් සිය පාරම්පරික ධනය ආයෝජනය කරේ වතු ආර්ථිකය මතම රඳා සිටීම අනාගතයට අනතුරුදායක බව දුර දුටු හෙයිනි. දක්ෂ ව්යාපාරිකයෙක් වුන ඔහු ආර්ථික විද්යාව පිලිබඳ හසල දැනුමක් ඇත්තෙකි. JR ජයවර්ධන සමග සමීප හිතවත්කමක් දැක්වූ ඔහු ලංකාවේ ආර්ථිකය පිලිබඳ උපදේශ ලබාදෙන George Soros සමග අනාගත ආර්ථිකය ගැන කතා කළේය. පක්ෂ දේශපාලනය වෙනුවෙන් නොමසුරුව මුදල් හදල් ලබා දුන් ඔහු දේශපාලකයන්ගේ කලන මිතුරෙකි.

මධුසමය ගත කිරීමෙන් ඉක්බිති සතිය පුරාම වැඩ සමග කාර්ය බහුල වුන ඔහු හවස වැඩ ඉවර වුන විගසම නිවසට ආවේ රුක්මා ඔහු එනතුරු බලාගෙන සිටින හෙයිනි. දැන් රුක්මාගේ සම දිදුලන්නට පටන් ගෙන ඇති බව ඔහු මෙනෙහි කළේ සොම්නසිනි. එකල රුක්මා තලෙළු පැහැ වුවත් සිතේ සතුට සහ නිතරම කවන සනීප ආහාර වලට පින් සිදු වන්නට නිරෝගී වන්නට සහ තරමක් කෙසග බව අඩු වෙන්නට පටන් ගෙන තිබුණි.

සෙනසුරාදා වෙනතුරු අධිකව හමුවීම්, සාකච්චා වල යෙදුන රොෂාන් ඉරිදා දින ගෙදර සිටීමට සනිටුහන් කළේ විවේක ගැනීමටයි. පත්තර සියල්ලම උදේම ගාමිණී විසින් ඔහුගේ මේසය මතට ගෙනත් තබා තිබුණි. සොඵාවට අයත් තනි අසුනේ වාඩි වූ රුක්මා Sunday Times පුවත් පත කියවූවාය. ඇය සිටියේ ආර්ථිකය සම්බන්ධව ජනපති ජයවර්ධනගේ ප්රධාන උපදේශකයෙක් වුන ජෝර්ජ් සෝරස් ගේ ලිපියක් කියවමිනි.

“ ජෝජ් සෝරස් ආර්ථිකය ඇරපු විදිහට මම නම් කැමති නැහැ “ රුක්මා කීවේ ඉබේමය.

ඇගේ ප්රකාශයෙන් මවිත වුන රොෂාන් පුවත්පතින් මුහුණ මෑත් කර රුක්මා දෙස බැලුවේය. “ ඔයා ඇයි එහෙම කියන්නේ ?”

“ මේ විදිහට ලවක් දෙවක් නැතුව අරින එක නෙවේ කරන්න තිබුනේ. මේකෙන් වෙන්නේ අපේ රටේ කර්මාන්ත වල බිඳ වැටීමක් “

“ ඔයත් කතා කරන්නේ හරියට අර චේ ගුවේරා කාරයෙක් වගේ… “ කියමින් රොෂාන් සිනා සුනේය.

පුවත්පත පසෙකින් තැබූ රොෂාන් විස්කි වීදුරු දෙකකට වත් කළේය. ජීවිතේට මත්පැන් පානය නොකළ රුක්මා විවාහයේ සිට ඔහු විසින් තමා සමග ස්වල්පයක් බීමට අනුබල දේ. අම්මා දැනගතහොත් බැනුම් අසන්නට වන හෙයින් ඔහු අම්මාට ඒ ගැන නොකියන මෙන් ඇගෙන් ඉල්ලයි. මත්පැන් වල රසට රුක්මා ප්රිය නොකලද දෙදෙනාගේ සමාගමයට රුකුලක් වන හෙයින් ඕ මත්පැන් වීදුරුව අත දරාගෙන ස්වල්පය බැගින් බොයි.

සතිය පුරා රුක්මා බළල් පැටියෙක් මෙන් ළමාතැනී පස්සෙන් වැටීගෙන සිටියද රොෂාන් ගෙදර සිටින දිනයේ තුන් වන මහල පැත්ත පලාතට වත් නොපැමිණීමට ළමාතැනී පරිස්සම් වූයේ දෙදෙනාගේ පුද්ගලිකත්වයට හානි වෙතියි සිතමිනි. හැකි ඉක්මනින් මුනුබුරෙක් බැලීම ඇගේ ආශාව විය. ආශාවට වඩා දරුවෙක් ඉපදීමෙන් පසු මේ විවාහය දෙදරා යාමේ ඉඩක් නැතියි ඕ අවන්කවම අදහස් කළාය.

රොෂාන් රුක්මාගේ අතින් අල්ලාගෙන තමා ඉඳගන සිටින අසුනට ඇය කැන්දාගෙන ආවේය. රුක්මා ලඟින් වාඩි වී ඉතාම සුමුදු විදේශයකින් ගෙවන ලද විස්කි උගුරින් පහලට යන විට ඔහුට මහත් ආශ්වාදයක් දැනුණේය. ලෝකේ කොහේ ගියත් ඔහු ආසම තැන ඔහුගේම නිවසයි.

“ My house is sea and earth- My woman has large eyes “ කියා මහා කවි පැබ්ලෝ නෙරුඩා ගේ කවියක් මුමුනමින් ඔහු රුක්මාගේ අසාමන්ය ලෙස විශාල දෙනෙත් සහ තද කළු ඇසිපිය වලට නිමග්න වී බලා සිටියේය.

ඇගේ උරහිස වටා අත යැවූ ඔහු “ මේ විස්කි එක හරිම හොඳයි. ඔයත් බොන්න” කියමින් ඇයට පෙරෙත්ත කළේය.

“ ඉතින් ඔයා ඇයි අලුත් ආර්ථිකේ ගැන එහෙම කියන්නේ ? “ ඔහු ඉංග්රීසි බසින් ඇසුවේ ආර්ථිකය ගැන වූ සංවාදය යලි පටන් ගනිමිනි.

“ එයාලට තිබ්බේ අපේ රටේ හදන්න බැරි දේවල් විතරක් ගෙන්වලා අනික් ඒවාට තහනම එහෙම්ම තියන්න” රුක්මා පිළිතුරු දුන්නාය.

“ ඔයාට අමතකද පහුගිය කාලේ ? කන්න බොන්න අපිට තිබ්බට ගොඩක් ගම් වල මිනිස්සු බඩගින්නේ මැරුණා” විවුර්ත ආර්ථිකය නිසා තමා ලබාගන්නා ප්රතිලාභ ගැන මෙනෙහි කළ රොෂාන් කීවේය.

“ අවාසනාවට නියගය නොඑන්න ..අපි මේ වෙද්දී සැහෙන්න දෙයක් කරගෙන. දැන් හැම දේම රටින් එනවා තමයි ඩාලින් හැබැයි මම කතා කරන්නේ අද ගැන නෙවෙයි. තව අවුරුදු 30 කින් අපි මේවගේ විපාක විඳිනවා” රුක්මා අත ඔසවා තදින් ඉංග්රීසි බසින් තෙපලාය. සාමාන්යයෙන් කතා කරන විට සිංහලෙන් කතා කරන ඇය වැදගත් විෂය කරුණක් ලැබෙන හැම විටම කතා කළේ ඉංග්රීසියෙනි. ඔහු ඇගේ ආර්ථික විද්යාව සම්බන්ධ වාග් මාලාව ගැන මවිත වුන පලවෙනි වතාව මෙය නොවේ.

ඔහු ජීවතේ කවදාවත් ගැහැනියක් සමග මෙවැනි මාතෘකා කතා කර නොතිබුණි. ඔහු ඇසුරු කළ ගැහැණු බහුතරේ නිලියන්, නිරුපිකාවන් , වංශවත් පවුල් වල දියණියන් වැනි උදවියයි. වෙන එකක් තබා වසර ගණනක් අනියම් බිරිඳ ලෙස සිටි වැනේසා පවා කවදාවත් ආර්ථිකය ගැන කතා කළේ නැත. මෙවන් මාතෘකා වැනේසාට විෂය වුනේ නැත. පත්තරයක වුනත් ඇය බලන්නේ නළු නිළියන්ගේ විස්තර , රජ වාසලේ විස්තර වැනි ඕපදූප පමණකි. රුක්මා මෙවැනි ලිපි බලන බව ඔහු කොහෙත්ම බලාපොරොත්තු වූයේ නැත. ඔහුට අනුව ගැහැනුන් යනු සියුමැලි , පිරිමින් සැනසවීමට සහ ගෙවල් දොරවල් රැකීමට සිටිනා උදවියයි. ජීවිතේ ප්රථම වතාවට ගැහැණියක් සමග ලිංගික කරුණු , ඇඳුම් මෝස්තර , ඕපදූපයක් කතා නොකර ආර්ථිකය ගැන කතාකල රොෂාන් මවිත විය.

“ මම දන්නේ නැහැ ගැහැණු ආර්ථික විද්යාව ගැන ලිපි කියවනවා කියල “ ඔහු සිනා සුනේ ආඩම්බරයෙනි.

“ ඔවු තාත්තා පත්තර හැම එකම ගෙදරට ගෙන්වනවා. මම මේවගේ ලිපි කියවනවා “ රුක්මා කීවේ සැහැල්ලුවෙනි. රුක්මා විශ්ව විද්යාලයට නොයැවීම ගැන රොෂාන් බෙහෙවින්ම සතුටු වූයේ එහි ගියා නම් ඇය වාමාංශික දේශපාලනයට වැටෙනු ඇතියි යන අනියත බියෙනි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article