කුල ගෙය – Episode 24

Aug 14, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
ජීවිතයේ ප්රථම වතාවට රටින් පිට ගිය රුක්මා උද්දාමයට පත් වූවාය. මුලින්ම මනහර වෙනීසියට ගිය ඔවුන් දෙදෙනා බොහෝ විට දවල් කාලය සංචාරයටත් විවිධාකාර වූ ආහාර පාන රස විඳීමටත් ගෙවා දැමූහ. කාර්යබහුල කාලයකට පසු රෝශාන්ද බෙහෙවින්ම නිදහසින් කිසිවක් නොසිතා ගතකළ සුන්දර නිවාඩුවක් වූයේය. ජීවිතේ පලවෙනි වතාවට බස් ලෙස ක්රියාකරන බෝට්ටු දුටු රුක්මා කුඩා දරුවෙක් මෙන් සිනාසුනාය.

Continue Reading Below

වෙනීසියට ගිය දෙවෙනි දවස ඔවුන් දෙදෙනා සංචාරය නොකර හෝටලයේ අසිරිය විඳිමින් , රසවත් ආහාර ගනිමින් දෙදෙනා වෙනුවෙන් කාලය වෙන් කළහ. රුක්මා හට වැනේසා සමග තිබුන සම්බන්ධය ගැන රොෂාන් විසින් හෙළි කරන ලදී. නමුත් ඔහු එය හෙළි කළේ ඉතා කෛරාටික ලෙසය.

තමා විවහා වුනේ ඒ දිගු කාලීන සම්බන්ධය නතර කර බිරිඳක් සමග දරුවන් හදාගෙන යහපත් ලෙස පිළිවෙලට ජීවත් වීමේ චේතනාවෙන් බව ඔහු දිවුරා කීවේය. වැනේසා ගැන දුරකථන ඇමතුම ලැබීම ගැන ප්රථම වතාවට වැනේසා රොෂාන් හට හෙළි කළාය. මෙය දැනගත් රොෂාන් කටහඬේ ස්වභාවය අසමින් නැවත නැවත කවුරුන් විසින් මේ පහත් වැඩේ කරන්නට ඇතිද කියා අනුමාන කරන්නට හැදුවත් ඔහුට එසේ කළ නොහැකි විය. වැනේසා මෙවැනි දෙයක් කළ හැකි බව සිතුනත් සිය ආදරණීය පෙම්වතිය එවන් ක්රියාවක යෙදීම කොහෙත්ම විය නොහැකි බව නැවත සිතුවේය.

“ බාගදා මා එක්ක තරහ බිස්නස් කාරයෙක් ඔය වැඩේ කරවන්න ඇති.” ඔහු හිත හදා ගත්තේය. කෙසේ වෙතත් ඔහුගේ විවාහය නතර නොවීම ගැන ඔහු සතුටු විය .

වැනේසා ගේ සියදිවි නසා ගැනීමේ උත්සාහය නිසා තමාට එදා රාත්රියේ එහි ගොස් ඇගේ රෝහලේ පහන් කරන්නට සිදු වුන බවත් අනතුර පහව ගිය පසු නැවත කොහෙත්ම ඈ බැලීමට නොයන බවත් ඔහු රුක්මා හට දිවුරා පොරොන්දු වූයේය.

“ දැන් අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා . අතීතය අමතක කරමු රුක්මා “ ඔහු ආදරෙන් ඇයට කීවේ ඇගේ හිස සිපගනිමිනි.

රුක්මා ස්වභාවයෙන්ම රැවටිය හැකි ගැහැණියකි. එබැවින් ඔහුට වැනේසා සමග ඇති සම්බන්ධය හොරෙන් ගෙන යාමට ඇගෙන් බාධාවක් නැති බව රොෂාන්ට වැටහිණි. රොෂාන් යනු යහපත් මිනිසෙකි. රටේ නමගිය කුලවත් , ධනවත් වංශවතෙකි. අනෙක් අතින් ඔහු ඇයට මහත් සැලකිල්ලක් පෙන්වයි. එක සතියක් සැලකිල්ල පෙන්වා ඊළඟ සතියේ ඔහු සම්පූර්ණයෙන් ඇගෙන් වෙන් වේ. හිටියාද කියා අමතක වූවක් මෙන් ඔහු වැඩෙහි යෙදේ. රුක්මා සිතන්නේ ඔහු කාර්යබහුල නිසා මෙසේ සිදු වන බවයි. එබැවින් යහපත් භාර්යාවක් ලෙස ඔහුට අතීතය හැරදමා ජීවිතය අලුතින් පටන් ගැනීමට දිරි දීමට රුක්මා අදිටන් කළාය.

වැනේසා වෙතට දුන් අත් පළඳනාව අවසාන ත්යාගය වශයෙන් ලබා දුන් බව රොෂාන් කරුණු සහිතවම ඇයට පැහැදිලි කළේය.

“ එයා කොහොම වුනත් මා එක්ක ජීවිතේ බෙදා ගත්තානේ දැන් ඉතින් අත්හරිද්දී තෑග්ගක් දෙන එක මගේ වැදගත්කම නේ රුක්මා “ වශයෙන් එයද ඉතා හොඳින් ගලපා දීමෙන් පසු රුක්මාගේ සැක දුරු විය. එමෙන්ම ඔහු කෙරෙහි මෙන්ම වැනේසා කෙරේ රුක්මාගේ සිතේ හටගත්තේ අනුකම්පාවකි. ඇගේ පෙම්වතා උදුරා ගැනීමෙන් තමා කළේ වරදක්ද ඕ විටෙක සිතුවාය.

“ නැහැ ..නැහැ ..මම මේ විකාර පැටලිලි දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම මොකක් කරන්නද ?” යලිත් වරක් සිතුවාය.

අතීතයේ කුණු ගඳ හමන තැන් මගහැර පරිස්සමෙන් අඩි තබා ඉදිරියට යන අඹු සැමි දෙදෙනා වැනීසියෙන් ෆ්ලොරන්ස් නගරය කරා ගිය අතර රුක්මා ජීවිතේ වඩාත්ම සතුටු වුන දෙසතිය ලෙස ඇගේ මතකයේ බොහෝ කල් රැවූ දුන්නේය. ජීවිතයේ ප්රථම වතාවට පිරිමියෙකු ගේ පහස ලැබූ රුක්මා හට රොෂාන් කෙරෙහි දැඩි ලෙස ලොල් වන්නට ගත වූයේ දින කීපයකි. ඔහුගේ විලාසය ජීවිතේ හැම සැප සම්පතම විඳි මිනිසෙකුගේ සාන්ත ස්වභාවය වුන අතර රුක්මාගේ දැඩි ඇල්ම සහ ආශාව නිරන්තරවම බුබුළු දමා ඉහල නගිමින් පැවතුනි. ඇගේ සතුට , ආශාව හා ජීවිතය පටන් ගත්තා පමණකි.

ගඟක් මුල් අදියරේ ගලන විට සන්සුන් නැත . කුඩා දියදහර උල්පතෙන් මිදී වේගයෙන් ගස් ගල් හරහා ගලා හැලේ. නමුත් ගඟ මැදට එන විට විශාල ජල දහරාවක් බවට පත්ව ගලන්නේ සාන්තවයි. ඇගේ අලුත් බව , මිහිරි බව රොෂාන් මහත් ආස්වාදයෙන් රස වින්දේය. රාත්රියේ රුක්මා යහන කොතෙක් විශාල වුවත් රොෂාන් වෙත පැමිණ ඔහුගේ ඇඟට කකුල් අතපය සියල්ල දමාගෙන ඔහුගේ උණුසුමේ ගුලිවී නිදයි. මෙතෙක් කලක් නිදහසේ සිය විසල් වියන් ඇඳේ අතපය දිගහැර නිදාගත් රොෂාන් ගැලවිය නොහැකි තරම් තදින් තමා සිය සිහින් අත් වලින් වැළඳගෙන නිදන රුක්මාගේ උණුසුමේ නිදයි. තමාගේ සෙලවීමෙන් ඇගේ නින්දට බාධා වෙතියි ඇතැම් විට ඔහු බොහෝ වේලා පිබිදී සිටී.

ඔහු සමග එකට සිටි කිසිඳු ගැහැනියක් මේ අයුරින් කූඩැල්ලෙක් මෙන් ඔහුගේ ඇඟේ එල්ලීගෙන නොසිටි අතර මෙයට හේතුව කුමක්ද රොෂාන්ට දැනුනේ නැත. දෙවන සතියේ ඔවුන් ෆ්ලොරන්ස් කරා ගිය අතර ලංකාවට ඒමට සූදානම් වන කාලය වන විට රුක්මා ඔහු පසුපස නූලක් මෙන් එල්ලී යාමට හුරු වී සිටියාය. රොෂාන් නැති ජීවිතයක් ගැන ඇයට හිතා ගැනීමට නොහැකි වුන අතර තමා රොෂාන් නැතුව වසර 19 ක් මුළුල්ලේ ජීවත් වුනේ කෙසේද වරෙක පුදුම වූවාය.

ඔවුන්ගේ ආගමනයෙන් පසු ජීවිතය කෙමෙන් සාමාන්ය අතට හැරුණු අතර රොෂාන් උදයේ වැඩට යාමටත් හවස එන තුරු රුක්මා බලා සිටීමත් සිදු විය. ඇතැම් දිනවල ඔහු ප්රමාද වූයේ කාර්යාලයේ වැඩ අධික වූ බැවිනි. ළමාතැනී සහ රුක්මා සුපුරුදු ලෙසම කාලය ගත කළ අතර ගෙදර නායකත්වය කෙරෙහි රුක්මාගෙන් කිසිම අභියෝගයක් නැති හෙයින් ළමාතැනී දිගටම නිවසේ ගෘහ මූලිකාව විය.

රුක්මාව තුන් වන මහලට නොගෙන තමා තනිව එහි සිටින බවට වාගාඩම්බර දොඩවා තිබුන නමුත් රුක්මා තමා කෙරෙහි දක්වන දැඩි ආදරය නිසා මෙන්ම ළමාතැනී කෙරෙහි ඇති බය නිසාම රොෂාන් එසේ කිරීමට හිතුවේ වත් නැත. ඒ වෙනුවට දෙවන මහලේ වුන රුක්මාගේ ආයිත්තම් ඔහුගේ කොටසට එහායින් තුන් වන මහලටම ගාමිණී ලවා ගෙන්වා ගත්තේය. රුක්මා සැතපුනේ රොෂාන්ගේ යහනේය. දෙවන මහල රුක්මාගේ ස්තානය බව කලින් ළමාතැනී සමග තර්ක කර තිබුන හෙයින් දැන් දෙදෙනා අතර පවතින ආදරය සහ සමගිය දුටු ළමාතැනී යටි සිතින් හිනා සුනාය.

“ ඔන්න ශීලෝ ..මම උඹට කීවේ ඕකනේ. අරකිගේ නැටුම් ඔක්කොම කෙල්ලෙක් ගේනකම් විතරයි කියල “ කියමින් ළමාතැනී පහත මාලයේ ඇඳි පුටුවේ පසෙකට ඇල වුනාය.

“ අනේ ඔවු අපේ හාමිනේ..අපේ චූටි හාමුත් ඉතින් ඒකටම හරිනේ “

“ ඔය සල්ලම් වෙච්ච ගෑනු නෙවේනේ . ඉස්කෝලෙන් අස්වුණ ගමන් පොඩි එකානේ. ඉතින් කසාද මිනිහට පන ඇරගෙන”

“ ඇත්තට කවුද හාමිනේ මගුල කතා කරේ… ?”

“ උඹට කියන්න මම මෙයයිට මගුල් හොයන එක එපා වෙලාම නවත්වලා හිටියේ. ඇයි දෙවියනේ මගුල් ගමන් සීයකට වැඩිය ගියානේ “

“ නැතුව..මගේ අතින් කැවුම් වෙහෙරක උසට හදල ඇති රොෂාන් බේබිට මගුල් බලන්න යන්න “ ශීලාවතී සමීප යෙහෙලියක් ලෙසින් සිය ආදර ස්වාමි දියණිය සමග සාමිචි කතාවේ යෙදේ.

“ අන්තිමට ඉරණම් කාරයා එයාම තෝරා ගත්තා. රොෂාන් නම ජරා කරගෙන හිටපු විදිහට කොහෙන් කියල ගෑනු හොයන්නද ?” ඔහුගේ දුරාචාර මතක් කළ ඇය සැනසුම් සුසුම් හෙළුවාය .

……………………………………………………………….

මේ අතර රොෂාන්ගේ මධු සමය වෙනුවෙන් ගිය චාරිකාවට පසු ලංකාවට පැමිණ සතියක් ගත වී හෝ තමාට දුරකථන ඇමතුමක් නොලැබීම ගැන වැනේසා සිටියේ දැඩි කෝපයෙනි. රුක්මා සහ රොෂාන් එකිනෙකා කෙරෙහි පෙමින් බැදී ඇතියි සැක කළ ඇය ගාමිණී ඇමතීමට පිළිවෙලක් නැති කම ගැන කල්පනා කරමින් සිටියාය. රොෂාන් ගේ පුද්ගලික දුරකථනයට ඇමතීම නුවණට හුරු නැත. ඒ නමුත් වැනේසාට හිතෙන්නෙම එයට අමතා රුක්මා ගේ නියම තැන ඇයට පෙන්වා දීමටයි. එසේ කිරීමෙන් රොෂාන් තමා සමග කිපිය හැකි හෙයින් ඕ එසේ කිරීමට බය වූවාය.

කොයි දෙයක් කිරීමට පළමුව වුවද තොරතුරු දැනගැනීම ඇවැසිය. එබැවින් ඕ සිසිලියානා හට අමතර මුදලක් දී පෙම්වතා වන ගාමිණී වෙතට යැවුවාය. සිසිලියානා ගේ පණිවිඩය ඇසු ගාමිණී තමා වැදගත් කටයුත්තකට වරුවක නිවාඩුවක් ගන්නා බව රොෂාන්ට පවසා පහු වෙනිදාම ගල්කිස්ස වෙතට පිටත් වූයේ සිය ෆුට් සයිකලයෙනි. අතරින් පතර කුඩා කඩපසු කරමින් ඔහු වේගයෙන් බයිසිකලය පැද්දේය. බයිසිකල් කීපයකුත් තෙල් කරත්ත දෙකකුත් හැර වෙනත් වාහන ගාලු පාරේ තිබුනේ නැත. කොට ගවුම් ඇඳගත් ලමිස්සියෝ දෙදෙනෙක් පන් මල්ලක් රැගෙන පාර මාරු වන අතරතුර කඩවසම් ගාමිණී දෙසට හිනා සෙමින් යමක් එකිනෙකාට කොඳුරා ගත්හ.

වැනේසා ගාමිණීව ඉතා ආදරෙන් පිළිගත්තාය. සිසිලියානා හමු වීමට පෙර වැනේසාට ඔහු හමු වීමට හේතු වූයේ කුමක්ද යන්න ඇසීමට ඉස්තෝප්පු කොටසක මිටි අසුනක ඉඳගත්තේය.

“ මම ගාමිණීට නිකමට එන්න කීවේ. දැන් කෝල් කරන්න විදිහක් නැති නිසා. ආවට ස්තුතියි“ ඇය කැඩුන සිංහලෙන් තෙපලාය.

“ මමත් මේ පැත්තේ එන්න කියල හිටියේ . සිසි හම්බ වෙන්න හාමු “ ගාමිණී කීවේ කපටි හිනාවක් පාමිනි. වැනේසාට හාමු යයි ඔහු ව්යවහාර කළේ හිතාමතාය. රදල පැලැන්තියට අයත් නැති ඇය මේ ආමන්ත්රණයට බෙහෙවින්ම ඇලුම් කළාය. එයින් රොෂාන් හා සම තත්වයට වැටෙන බව ඇයට සිතේ. වැනේසා ගාමිණීට ප්රිය කිරීමට හේතුවක් වූයේද මෙයයි. ළමාතැනී මිය ගිය දිනක රොෂාන් තමාව නිවසට කැන්දාගෙන යනු ඇති බව ඕ උදක්ම විස්වාස කළාය.

“ ඔයාලගේ අලුත් නෝනා කොහොමද ?” ඇය ඇසුවේ ඉරිසියාවෙන් දැවෙමිනි.

“ මොන ? අර ලොකු හාමු බැන්ද නෝනද? “

“ ඔවු ..ඔවු..ඒ ගෑනි තමා. අර අනාත ගෑනි”

වැනේසා හැම විටම රුක්මාට අනාත ගෑනි ලෙස කියා සතුටක් ලබන්නේ ඇය කෙරෙහි ඇති වෛරය නිසාය. තමාට නැති හැම දෙයක්ම ඇති ගැහැණිය ලෙස රුක්මා පිළිකුල් කළ වැනේසා ඇතැම් විට රුක්මා ඉක්මනින් මිය යත්වා යයි පැතුවාය. තමාට නැති වංශවත් බව සහ ධනය ඇති රුක්මා රොෂාන්ගේ විවාහක භාර්යාවයි.

“ හොඳින් ඉන්නා බව පේනවා. ලොකු හාමුත් මේ ටිකේ පරක්කු නොවී ගෙදර ආවා. මොකද නෝනා බලාගෙන ඉන්න නිසා”

“ඒකයි එහෙනම් දැන් මට කතා නොකරන්නේ “ කියූ වැනේසා ගේ දත් සැපිනි.

රොෂාන් රට ගිය අතරතුර ගාමිණී සහ වැනේසා දුරකතනයෙන් කතා කළහ. ඒ අනුව මගුල් දා රාත්රියේ ඇතිවූ ගැටුමින් දෙදෙනා හිත හොන්දකින් නොසිටින බව ගාමිණී විසින් වැනේසාට දන්වා තිබුණි. රට සිට පැමිණෙන විටද දෙදෙනා එකිනෙකා රණ්ඩු වී පැමිණෙනු ඇතියි උණුසුම් ලෙස අපේක්ෂා කළද දැන් සිදුවී ඇත්තේ දෙදෙනා අතර සමීප කමක් වර්ධනය වීමයි. සහමුලින්ම සිය සැලසුම් වතුරේ යමින් අපේක්ෂා බිඳ වැටීමේ කෝපයෙන් වැනේසා ගේ දෙනෙතින් කදුළු ගුලි ගලා හැලෙන්නට විය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article