කුල ගෙය – Episode 23

Aug 7, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
“ වැනේසා නෝනා දික්කසාදය දෙන්න එකඟ වුන එක ලොකු දෙයක් නේද ? “

Continue Reading Below

කුසුම් ඇසුවේ සැහැල්ලුවෙන් කන්දප්පා ගේ හිස අතගාමිනි. ඔවුන් දෙදෙනා හමුවන්නේ සතියකට සැරයකි. එවිට කන්දප්පා කුසුම්ගේ නිවසේ නතර වේ. කුසුම් ඔහු කැමති ආහාර ගස් වලින් කඩවා තබයි. විශේෂයෙන් උයයි. වෙන එකක් තබා කන්දප්පා ගේ අම්මා උයන කරි වල රස ගැනීමට ඇය යාපනේ තුනපහ කුඩු පවා ගෙදරම හැදුවාය. පූරි , තෝසේ, සාම්බාරු මෙකී නොකී යාපනේ ආහාර හැම එකම පසුගිය වසර පහ පුරාම කුසුම්ගේ අතින් සැදේ.

සේවකයන් නැති කුඩා නිවස කුසුම් ඉතා පිරිසින්දුව තබාගෙන සිටියාය. නමුත් වැනේසා ට මෙන් උසස් රසයක් හෝ උසස් දේ මිලට ගැනීමට මුදලක් ඇයට නැත. පැන්ෂන් එකෙන් දරුවාට වියදම් කිරීමට අමතරව ආදායමක් ලැබීමට කුසුම් සිංගර් මහන මැෂිමෙන් රෙදි මැසුවාය. වැන්දඹුවක් වුවත් අභිමානවත් ගැහැනියක් වුන ඇය කන්දප්පා ගෙන් මුදල් ඉල්ලුවේ නැත. කන්දප්පා මුදල් ටිකක් බලෙන්ම මේසේ උඩ තබා යන්නේ ඇගේ සොච්චම් වැටුපෙන් තමාත් පැමිණ ආහාර ගැනීම අයෝග්ය හෙයිනි.

ඇඳුම් ගන්නට මුදලක් වසරකට වරක් හෝ දෙන්න හැදුවොත් “ අනේ මට ඇඳුම් අඳින්න තැනක් නැහැ. තියාගන්න තැනක් නැහැ “ කුමක් හෝ කියා මාරු වේ. කන්දප්පා කොහෙත්ම කුසුම්ට මුදල් ලබා දීමෙන් තබා ගන්නට අදහස් කළේද නැත. උපතින්ම සකසුරුවම් කාරයෙක් වූ ඔහුගේ වියහියදම් චාම්ය. නමුත් ඔහු වැටුපෙන් සීයට අසුවක් පමණ ඉතුරු කළේය. සෑහෙන මුදලක් ඔහුගේ පොත් වල තිබුනත් කුසුම් ඒවා ගැන නොවිමසයි.

කන්දප්පා ගේ අරපිරිමසුම් දායක පැවතුම් මුල් යුගයේ සිට වැනේසා සහ ඔහු අතර ගැටුම් ඇති කරගන්නට හේතු විය. කන්දප්පා හීන දැක්කේ ඉඩම් ගන්න, දුවට රත්රන් ගන්න වැනි දේවලටය. ඔහුගේ අක්කා දීග දෙන විට අම්මා පවුම් 50 ක පමණ රත්රන් දෑවැද්දට දුන්නේ යාපනේ චාරිත්ර වලට අනුවය. ඒ අනුව තමාද තම දියණියට දෑවැද්දට රත්රන් දිය යුතු යයි මුලදී කන්දප්පා සිතුවේය. නමුත් වැනේසා සමග හැදෙන වැඩෙන ඔවුන් ලංසි ජාතිකයන්ගේ වටිනාකම් අරගත්තා මිස දමිල ජාතිකයන්ගේ වටිනාකම් වලට සමීප වුනේ නැත. එකල වැනේසා ෂොපින් යන්නට මුදල් ඉල්ලා නිතරම කන්දප්පා සමග කළහ කළාය.

“ එයා දෙන්න පොරොන්දු වුනේ නොදී බැරි කමට “ කන්දප්පා සිතුවිලි දැහැනින් මිදී පිළිතුරු දුන්නේය.

“ දැන් අර වගේ ලොකු මහත්තයෙක් ඉන්නවා නම් වැනේසා නෝනට මොකටද කසාදයක් ?” කුසුම් ඇසුවේ පුදුම වෙමිනි.

“ කවුද දන්නේ ? කොහොම වුනත් මට මේ ටික පිළිවෙලක් කරගන්න අවුරුද්දක් වත් යයි කුසුම් . ඊට පස්සේ අපි දෙන්නා බඳිමු. ගෙදර තට්ටු දෙකට හදවමු. මෙහේ මටත් ඉන්න ඉඩක් නැහැනේ “

“ කොහොමත් අපිට දරුවෙක් ලැබෙද්දී අලුතින් ඉඩ ඕනේ වෙනවා “ කුසුම් කීවේ කල්පනාකාරීවය. කනවැන්දුම් ගැහැණිය ලෙස හැමෝගෙන්ම ගර්හාවට ලක් වුන තමා දැන් හමුදාවේ ලොකු මහත්තයෙක් ගේ බිරිඳ වෙන්නට සිටීම ඇගේ සතුට දෙගුණ කළේය.

“නෑදෑයෝ දැනගත්තොත් පැලෙයි. උන් හැමදාම කරේ මට හිනා වුන එකනේ” කියමින් කුසුම් සතුටින් ඔද වැඩුනාය.

“ ඔය කයි කතන්දර කීවට මහත්තයා හැර මටයි මයේ කොල්ලටයි අතපාන්න කවුරුත් හිටියේ නැහැ” යයි වැඩිදුරටත් කීවේ ජයසෝම ගේ පැන්ෂන් පත හදා ගන්නට කිරි දරුවාද කැටිව බසයෙන් බසයට මාරු වෙමින් කාර්යාල ගණනේ ගිය ගමන් සිහි වීමෙනි. එවන් දිනක සිය මියගිය කනිෂ්ට සෙබලා වෙනුවෙන් කන්දප්පා කුසුම්ට උදවු කරන්නට ඒම මොන තරම් පුදුමද ?

වැනේසා ගේ ප්රසිධ්දියේ පැවති අනියම් සම්බන්ධයෙන් පීඩාවට පත්ව අපේක්ෂා භංගත්වයෙන් සිටි ඔහු කුසුම් හට උදවු කිරීමට මුලින්ම පැමිණියේ අවංක චේතනාවෙනි. ඇගේ අසරණකම සමග එක්වූ චාම් කම මෙන්ම මියගිය ජයසෝම කෙරෙහි වූ දැඩි භක්තිය කන්දප්පාගේ සිත ගත්තේය.

“ කුසුම් වැනේසා මොකටට හරි ඔයාව හම්බ වෙන්න ආවොත් අපි අතර තියන දේවල් එයා එක්ක කතා කරනන් එහෙම එපා. වැනේසා කියන්නේ ඔයා වගේ කෙනෙක් නෙවේ. ඕනෙම දෙයක් කරන්න පුළුවන් ගෑනියෙක්. “

“ එතකොට ආවොත් මම මොකද කරන්නේ ?” ඇය ඇසුවේ චංචල සිතෙනි.

“ තියන ප්රශ්නයක් මගෙත් එක්ක කතා කරන්න කියන්න . ඔයාට ඕවගෙන් වැඩක් නැහැ කියන්න. මොනවා හරි පොඩි හරි වෙනස් දෙයක් වෙනවා නම් මට දන්වන්න. පොඩි දෙයක් වත් නොකියා ඉන්නෙපා “

“ ඒ කීවේ ?”

“ ඒ කියන්නේ. පුතා රැගෙන එද්දී කවුරු හරි වාහනයක් ඔයාගේ පස්සෙන් ආවොත්..මම මේ වෙනවට නෙවේ කියන්නේ. මොනවා හරි සැක සහිත දෙයක් වෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. වැනේසා මේ වෙලේ ඉන්නේ බූමිතෙල් වැදුන ගැරඩියා වගේ. මාව නතර කරගන්න ඕනෙම වැඩක් කරයි “ මේ වදන් කීවේ පහුගිය සතියේ සිදු වුන සියදිවි නසාගැනීමේ සැලසුම ගැන කල්පනා කිරීමෙනි.

කුසුම් වැනේසා කෙරෙහි කරුණාවන්ත ලෙස කතා කලද වැනේසා කුසුම් වැනි සාමන්ය ගැහැනියකට පැරදීමේ වේදනාවෙන් වියරු වැටී සිටි බව කන්දප්පා දැන සිටියේය. දික්කසාදය ලංකාවේ නීතියට අනුව පහසු දෙයක් නොවේ. වැනේසා විරුද්ධ නොවන්නේ නම් පහසුවෙන් ලබා ගත හැක. නමුත් එයටත් වසරක් වත් ගත වන බව නීතිඥයා පවසා තිබුණි. නමුත් වැනේසා විරුද්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් කිරීමට දේවල් ඇති නමුත් රොෂාන් වැනි බලවතෙක් විත්ති කූඩුවට ගෙන්වීම යනු හිතීමට වත් නොහැකි දෙයකි. එබැවින් දැන් ඔහුට අලුතින් ලැබුන තුරුම්පුව හොඳින් සෙල්ලම් කිරීමට ඔහු සනිටුහන් කළේය. එහි උණුසුම යාමට පෙර මාස 3 ක් ඇතුලත මූලික කටයුතු පිළිවෙල කරගැනීම කන්දප්පා ගේ අභිප්රායයි.

…………………………………………………………………………

උදෑසන රියදුරා ගෙදර නතර කර අලුත් ජෝඩුව දෙමාපියන් දැකීමට රුක්මාගේ නිවසට යන විට ළමාතැනී හවුල් වූයේ නැත.

“ අලුත් ජෝඩුව යනවා කියන්නේ මාව අරගෙන යන එක නෙවේ.” රුක්මාගේ පෙරෙත්ත කිරීමට පිළිතුරු ලෙස ළමාතැනී කීවාය. ඔසරියක් ඇඳ ළමාතැනීට උරුමයෙන් ලැබුන කීරවැල්ල පරම්පරාවේ කුමාරිහාමිලා ගේ මාලය පැළඳගත් රුක්මා හට කැඩපතින් තමාව හඳුනා ගත නොහැකි විය.

රොෂාන් ඇගේ පිටුපස නෙරියේ රැලි සැකසුවේ සිනා සෙමිනි.

“ අම්මා කැමැති මමත් ගෙදරට ඔසරිය අඳිනවා දකින්න “ රුක්මා ඔහුට හැට්ට කට්ටක් දෙමින් කීවාය. ඔහු ඒ හැට්ට කට්ට පසුපස නෙරියට යටින් යට පොට අල්ලා ගැසුවේය.

“ අනේ මේ ..මේ රෙදි පොට්ටනියක් ගෙදරට අඳින්න ඔයාට පිස්සුද? මම හිතුවා දෙන්න එහෙට මෙහෙට වෙලා කුටු කුටු ගාද්දී “ රොෂාන් සිනාසෙමින් කීවේ අම්මට අවසානයේ ඇගේ සියලුම විකාර අදහස් එක සිතින් පිළිගන්නා ලේලියක් ලැබීමේ සතුටිනි.

කැවිලි පෙවිලි, හාල්, කෙසෙල් පුරවා තබන ලද ඩිකියෙන් යුතු කාරයෙන් විවිධ ශබ්ද නැගේ.

“ නිකන් බර කරත්තෙක යනවා වගේ “ රොෂාන් අම්මාගේ වැඩ ගැන සිනා සේ. රාත්රියේ ගුවන් යානය පවතින බැවින් දහවල් ආහාරයට නොසිට ඔවුන් දෙදෙනා නිවසට පැමිණීමට සනිටුහන් කළහ. ශ්රීමතී සහ ලාල් විසින් ඔවුන් දෙදෙනා මහා ඉහලින් පිළිගත් අතර එදිනම දුවගේ නමට පවරන ලද අම්මාගේ වතු යායේ ඔප්පු තිරප්පු ලාල් විසින් රුක්මාට ලබා දුන්නේය. මේ තීරණය සතුටින් නොගන්නා ලද නමුත් රුක්මාගේ විවාහයට පෙර ඔහුගේ පෙර බිරිඳ එනම් රුක්මාගේ මියගිය මවු පැමිණ කනට ගසනු හීනෙන් දැකීමෙන් ඔහු විසින් ගත් තීරණයකි. දියණියට කළ වෙනස්කම් ගැන හර්ද සාක්ෂිය නිසා මෙන්ම මළවුන්ට බය වූ නිසා ශ්රීමතී මේ ගැන වචනයක් කීවේ නැත. අනික් අතින් තමා කළ කී දේවල් ගැන ශ්රීමතී ගේ සිතේ හටගත්තේ දැඩි පසුතැවීමකි. තමා විසින් තාඩන , පීඩන කළ රුක්මා දැන් රටේ නමගිය ප්රභූ වරයෙක්ගේ බිරිඳයි. ජීවිතේ කොයි තරම් වෙනස් වෙනවාද?

එන අතරතුර රොෂාන් ඇටන්වල වතුයාය ගැන රුක්මා සමග කතා කළාය. කුඩා කළ එහි ගියා මිස ඈ එහි ගොස් නැත. ලාල් විසින් එය රැක බලාගත්තේ එයින් එන ආදායම සලකාය. දැන් එයින් එන ආදයම හිමි වන්නේ රුක්මාටය. එය සෑහෙන හොඳ ආදායමක් වුනත් එහි කටයුතු බලාකියා ගැනීම ඇයට හුරු නැත.

“ මම හිතාන ඉන්නේ ඇටන්වල වත්තේ තව ළඟ ඉඩමකුත් අරගෙන තේ ෆැක්ටරි එකක් දාන්න රුක්මා “ අපි දෙන්නට එහේ තියන ගෙදර ටිකක් හදල මාසෙකට වතාවක් වත් ගිහින් එන්න පුළුවන්නේ. රුක්මා සැහැල්ලුවෙන් හිනැහුණාය.

“ හරි ලස්සන පළාත රුක්මා. මම ඇන්ටන් එක්ක ඔය පැත්තේ යනවා මාස කීපෙකට සැරයක් “ ඔහු ඇන්ටන් යයි කීවේ සමන් දේවාලයේ බස්නායක නිලමේ ගැන සිහි කරමිනි.

ඔවුන් දෙදෙනා ගෙදර පැමිණ ආහාර ගෙන මුළු හවසම සූදානම් වූයේ මධු සමයට ඉතාලියේ සංචාරයට අවශ්ය මදි පාඩු සැකසීමටයි. පැය 15 ක අති දීර්ඝ ගමන රුක්මාට වෙහෙස කර විය හැකි නිසා රොෂාන් අවැසි දේවල් සම්පාදනය සිය අතට ගෙන ඇයට නිදා ගන්නා මෙන් ඉල්ලා සිටියේය. ළමාතැනී ඔවුන් දෙදෙනා එන තුරු රෙජිනාගේ නිවසට යාමට අකැමති විය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article